විකල්ප නොබෙල් ත්‍යාගය ප්‍රංශ කැරිබියානු ලේඛිකා මරයිස් කොන්දිට

 ඡායාරූපය:

විකල්ප නොබෙල් ත්‍යාගය ප්‍රංශ කැරිබියානු ලේඛිකා මරයිස් කොන්දිට

ලිංගික අපචාර සිද්ධියක් මුල් කරගනිමින් ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය අවලංගු වීමත් සමඟ හඳුන්වාදෙන ලද විකල්ප නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හෙවත් නව ඇකඩමි ත්‍යාගය ප්‍රංශ කැරිබියානු ලේඛිකා මරයිස් කොන්දි වෙත පිරිනැමීමට මේ වන විට තීරණය වී තිබෙනවා.

‘ඩෙසිරාඩා’ (Desirada), ‘සෙගූ’ (Segu) සහ ‘ක්‍රොසිං ද මැන්ග්‍රෝව්’ (Crossing the Mangrove) ඇතුළු නවකතා විස්සකට අධික සංඛ්‍යාවක් රචනා කර ඇති ඇය දැනට අසූඑක් හැවිරිදි වියේ පසුවන ලේඛිකාවක්. ඇයට හිමි ත්‍යාගය එළඹෙන දෙසැම්බර් 9 වැනිදා පැවැත්වෙන විශේෂ උත්සවයකදී පිරිනැමීමට නියමිතයි.

මෙවර මේ ත්‍යාගය සඳහා ඇයට අමතරව ජපානයේ හරුකි මුරකාමි, බ්‍රිතාන්‍යයේ නීල් ජායිමන් සහ වියට්නාම සම්භවයක් සහිත කැනේඩියානු ලේඛිකා කිම් තුයි යන අයත් නිර්දේශ ලබා තිබුණා. ඒ අතරින් හරුකි මුරකාමි සිය කැමැත්තෙන්ම ඒ නිර්දේශය ඉවත් කරගත්තා.

කෙන්යානු සාහිත්‍යයේ දැවැන්තයෙක් මෙලොවින් සමුගනියි

ජාත්‍යන්තර කීර්තිය දිනූ කෙන්යානු ලේඛකයෙකු සහ නයිරෝබි විශ්වවිද්‍යාලයේ කීර්තිමත් කථිකාචාර්යවරයෙකු වූ මහාචාර්ය ක්‍රිස් ලුකොරිටෝ වන්ජාලා පසුගියදා මෙලොවින් සමුගත්තා. මියයන විට 75 හැවිරිදි වියේ පසු වූ ඔහු නවකතා සහ කෙටිකතා රචකයෙකු මෙන්ම විචාරකයෙකු ලෙසද ඉහළම පිළිගැනීමට ලක්ව සිටි විද්වතෙක්.

ඔහු රචනා කළ ‘ඩ්‍රම්ස් ඔෆ් ඩෙත්’ (Drums of Death) නමැති නවකතාව එතරම් පාඨක විචාරක අවධානයට ලක් වුණේ නැහැ. එහෙත් ඔහු සංස්කරණය කළ ‘මෙමරීස් වී ලොස්ට් ඇන්ඩ් අදර් ස්ටෝරීස්’ (Memories We Lost and Other Stories) නමැති කෙටිකතා සංග්‍රහය කෙන්යාවේ නව සාහිත්‍ය පරපුර අතර ඉහළ පිළිගැනීමක් හිමිකර ගැනීමට සමත් වුණා.

එය කෙන්යා විෂය නිර්දේශ සංවර්ධන ආයතනය විසින් කෙන්යාවේ ද්විතියික අධ්‍යාපන සහතික විභාගයටත් නිර්දේශ කරනු ලැබ තිබෙනවා. ඔහු රචනා කළ ‘ඇප්‍රිකාස් බියර්ඩඩ් මෙන්’ (Africa's Bearded Men) නමැති ස්වයංලිඛිත චරිතාපදානයක්ද ඉදිරියේදී පළ වීමට නියමිතයි.

 

මාතෘකා