චරිත නිරූපණය

 ඡායාරූපය:

චරිත නිරූපණය

කලාත්මක නවකතාවක ප්‍රධාන අංග ලක්ෂණ කවරේදැයි විමර්ශනයට ලක් කරන විට එහි චරිත නිරූපණයට අතිශයින්ම සුවිශේෂී තැනක් හිමි වන බව කිව යුතුය. කතාවක් ගොඩනැගෙනුයේ සිද්ධි හා ඒ ඒ සිද්ධිවලට සම්බන්ධ වන ප්‍රාණීන් ආශ්‍රයෙනි. මෙහි ප්‍රාණීන් අතරට සප්‍රාණිකත්වය ආරෝපණය කෙරුණ ගස්, ගල්, වලාකුළු ආදී වස්තු ද ගත හැකිය. මේ අනුව ක්‍රියා සිද්ධ කරනු ලබන යම් සප්‍රාණික හෝ අප්‍රාණික කොටසක් හෝ වෙත් නම් ඔවුන්ට චරිත යන නම භාවිත කෙරේ. චරිත නිරූපණය නම් ඒ ඒ චරිතයන්ගේ ක්‍රියාකාරීත්වය විවරණය කිරීමයි. මෙය වෙනත් අයුරකින් පවසතොත් නවකතාවට සම්බන්ධ ප්‍රධාන චරිතවල බාහිර හැඩරුව පමණක් නොව, ඔවුන්ගේ සිතුම් පැතුම්, ආකල්ප, අභ්‍යන්තරික චිත්ත චෛතසික ස්වභාවයන් යන සියල්ල ඉතා සියුම් ලෙස විදහාපෑම චරිත නිරූපණය ලෙස දැක්විය හැකිය. නවකතාවක චරිත නිරූපණය පිළිබඳව මහාචාර්ය ඒ.වී. සුරවීර ‘නවකතා නිර්මාණය හා අවබෝධය’ නැමැති කෘතියේදී මෙවැනි අදහසක් ඉදිරිපත් කරයි.

“කලාකරුවාගේ පරමාර්ථය ස්වකීය නිර්මාණය මගින් සහෘදයා තුළ කිසියම් ප්‍රබල, අර්ථවත්, අනුස්මරණීය වින්දනයක් ජනනය කිරීමය. නව ප්‍රබන්ධ සාහිත්‍ය සම්බන්ධයෙන්ද මෙය සත්‍ය වන්නේය. ලේඛකයා විසින් උපයෝගී කරගනු ලබන හැම උපක්‍රමයක්ම මේ අරමුණ සපුරාලීම් වස් සැදී පැහැදී සිටිනු පෙනේ. භාෂාව, කතා වින්‍යාසය, දෘෂ්ටිකෝණය, ජීවන දෘෂ්ටිය ආදී සියලු අංග පූර්වෝක්ත අරමුණ කෙරෙහිම යොමු වෙතත් එය සපුරාලීමට ලේඛකයාට ඇති ප්‍රබලතම ප්‍රතිෂ්ඨාව නම් චරිත බව කිවමනාය. නව ප්‍රබන්ධයක හැම අංගයකටම වඩා චරිත නිරූපණය ඉස්මතු වන්නේ එහෙයිනි. කොටින් කියතොත් චරිත නිරූපණයක් නැති තැන නවකතාවක් නැත. කෙටිකතාවක්ද නැත. එහෙයින් චරිත නිරූපණය නව ප්‍රබන්ධ කලාවේ පදනම වන්නේය.”

මින් පැහැදිලි වන්නේ නවකතාවේ පදනම චරිත නිරූපණය බවයි. නවකතාව හා චරිත නිරූපණය අතර ඇති සම්බන්ධය මෙන්ම චරිතයන්ගේ විශ්වාසනීයත්වයෙහි වැදගත්කම සම්බන්ධයෙන් වර්ජිනියා වුල්ෆ් නම් ලේඛිකාව මෙබඳු ප්‍රකාශයක් කරයි. “හොඳ නවකතාවක පදනම නම් චරිත නිරූපණය මිස අනෙකක් නොවේ. කතා ශෛලිය වැදගත්ය. කතා වින්‍යාසය වැදගත්ය. එහෙත්, මේ එකක්වත් චරිතයන්ගේ විශ්වාසනීයත්වය තරම් වැදගත් නොවන්නේය.”

චරිත නිරූපණයේ මූලිකාංග කිහිපයකි. ඒවා අතර,

• නිරූපණය කරන චරිතයේ බාහිර ස්වරූපය.

• චෛතසික ස්වභාවය.

• දෙබස් හා සංවාද කථන.

• අන්තර් පුද්ගල සම්බන්ධතා හෙවත් සිදුවීම්.

• චරිතවල ස්වභාවය.

• අන්‍ය චරිතවල බලපෑම.... ආදිය ප්‍රධාන තැනට පැමිණේ.

මේ හැරුණු විට නවකතාව තුළ හමුවන සංකේත, චරිතවල ජීවන දර්ශනය හා ලේඛකයාගේ දෘෂ්ටිය යනාදී කරුණුත් චරිත නිරූපණයේම අංග වශයෙන් සැලකුවාට වරදක් නැත.

නවකතාවේ සිදුවීම් දාමය කිසියම් නිශ්චිත ඉරණමක් කරා ගමන් කරන්නේ එහි ක්‍රියාකාරී චරිතවල සුවිශේෂී ලක්ෂණ නිසාය. දේශීය හෝ විදේශීය හෝ ඕනෑම හොඳ නවකතාවක් විමර්ශනයට ලක් කිරීමෙන් මේ කරුණ පැහැදිලි වේ. මාර්ටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරන ලද ‘ගම්පෙරළිය’, ‘යුගාන්තය’ වැනි නවකතා සමාජ පරිවර්තනයක ප්‍රතිඵල වුවත් එම චරිත අවසාන වශයෙන් මුහුණ දෙන ඉරණම තීරණය වන්නේ ඔවුන්ගේ චරිතවල ඇති විශේෂ ගති ලක්ෂණ මතය. කේ. ජයතිලක මහතා විසින් රචිත ‘චරිත තුනක්’ නවකතාවේ ඉසාගේ දුක්බර ඉරණම ලාංකේය ගැමි සාරධර්මවල ඵලයක් ලෙස දැක්විය හැකිය. නමුත් රංජිත් එක ඉරණමකටත්, ඉසා තවත් ඉරණමකටත් මුහුණ දෙන්නේ ඔවුන්ගේ චරිත ලක්ෂණ නිසාය. එබැවින් චරිත ස්වරූපය යථාර්ථවාදීව නිරූපණය කිරීම නවකතාකරුවාගේ වගකීම වේ.

චරිත නිරූපණය යනුවෙන් අදහස් කරන්නේ ලේඛකයා ඉදිරිපත් කරන චරිත විස්තර හෝ වාර්තා නොවේ. ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කරන නවකතාවක ලේඛකයා හැමවිටම අදෘශ්‍යමානව සැඟවී සිටිය යුතුය. ලේඛකයා ඉස්මතු වී යම් යම් අදහස් ඉදිරිපත් කිරීම කලාත්මක නවකතාවක ලක්ෂණයක් නොවේ. නාට්‍යයක් වේදිකාව මත ප්‍රදර්ශනය වන විට නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වේදිකාවට පැමිණ චරිතවලට උපදෙස් දීම හෝ ඔවුන් හඳුන්වා දීම සිදු කරන්නේ නැත. ප්‍රේක්ෂකයා දකින්නේ නාට්‍යයේ නළු නිළියන් හා රඟපෑම් මිස අධ්‍යක්ෂවරයා නොවේ. නවකතාවද ඒ අයුරින්ම රචකයා ඉදිරියට පැමිණ චරිතවලට සහතික දීම චරිත නිරූපණය ලෙස දැක්වීම අසීරුය. ‘ගම්පෙරළිය’, ‘යුගාන්තය’ යන නවකතාවලද මේ දෝෂය දක්නට ලැබේ.

“තිස්ස කවර ජාතියක වුවත් අතීතය නොසලකන්නෙකි. වර්තමානයට පරිභව කරන්නෙකි. ඔහු කිසිවක් නොඅදහයි. විද්‍යාවට සරදම් කරයි. සමාජයට සිනාසෙයි....”

(යුගාන්තය - 130: පිටුව)

තිස්ස පිළිබඳව මේ විස්තරය කරන්නේ ලේඛකයාමය. ලංකාවේ මුල් යුගයේ රචිත පියදාස සිරිසේන, ඩබ්ලිව්.ඒ. සිල්වා ආදීන්ගේ නවකතාවල මේ ලක්ෂණ බහුල වශයෙන් දක්නට තිබේ. මේවා චරිත විස්තර මිස චරිත නිරූපණ නොවේ.

‘මළගිය ඇත්තෝ’ නව කතාවේදී දෙවෙන්දොරා සංගේ සහ නොරිකෝ සංගේ චරිත නිරූපණය එදිරිවීර සරච්චන්ද්‍රයන් ඉතා විශිෂ්ට ලෙස සිදු කර තිබෙන බව පැහැදිලිය. එය කුතුහලය උපදවන ප්‍රේම කතාවකට වඩා චරිත නිරූපණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ නවකතාවක් යැයි කිවහොත් නිවැරදිය. මෙහි කතාව ඉදිරිපත් කරන්නේ දෙවෙන්දොරා සංගේ ආත්ම ප්‍රකාශයක් ලෙස බැවින් ඔහුගේ චරිතය, චිත්ත අභ්‍යන්තරය වඩාත් සියුම්ව ඉදිරිපත් කිරීමේ හැකියාව සරච්චන්ද්‍රට ලැබී තිබේ.

කලාත්මක නවකතාවක චරිත නිරූපණය යනු චරිත විස්තරවලට වඩා නිර්මාණශීලී කාර්යභාරයකි. එහිදී ලේඛකයා චරිත නිරූපණය සඳහා උපක්‍රම රැසක් භාවිත කරයි. නවකතාවේ විවිධ අවස්ථා හා සිදුවීම් නිර්මාණය කර ඒවාට චරිතය දක්වන ප්‍රතිචාර මගින් චරිත නිරූපණය කිරීම එක් ක්‍රමයකි. එම ප්‍රතිචාර මගින් චරිතවල ස්වභාවය වටහා ගත හැකිය. පර්ල් එස්. බක් විසින් රචනා කරන ලද සාරභූමි නවකතාවේ ඕලෑං නම් වහල් ස්ත්‍රීයගේ චරිතය නිරූපණය වන්නේ ඇයගේ හැසිරීම් හා ක්‍රියාකාරකම් තුළිනි.

[ශක්තික සත්කුමාර]

මාතෘකා