ඔරියානා ෆලසි නම් කැරැලිකාර පුවත්පත් කලාවේදිනිය

 ඡායාරූපය:

ඔරියානා ෆලසි නම් කැරැලිකාර පුවත්පත් කලාවේදිනිය

ඉතාලි ජාතික පුවත්පත් කලාවේදිනියක වන ඔරියානා ෆලසි දීර්ඝ කාලයක් පුරා විවිධ ආකාරවලින් ලිවීමෙහි යෙදුණු ලේඛිකාවකි. නවකතා, විවාදාත්මක විචාර, යුද්ධය ආශ්‍රිත චරිත හා සිදුවීම් අලළා ලියැවුණු ලේඛන සහ සැබෑ පුවත් පදනම් කරගත් චරිත සටහන් යනාදී වූ ලිපිලේඛන සහ කෘතීන් රාශියක් ඇය රචනා කර ඇත. එහෙත් ඒ සියල්ල අතර වඩාත් කැපී පෙනෙන්නේ ඇය ලියූ ආන්දෝලනාත්මක මාධ්‍ය සාකච්ඡාය.

විශේෂයෙන්ම ලොව ප්‍රධාන පෙළේ දේශපාලන චරිත සමඟ ඇය පැවැත්වූ සම්මුඛ සාකච්ඡා බොහොමයක් ඒ අතර වෙයි. ඒවා එකතු කොට 1970 සහ 80 දශකවලදී පොත් ගණනාවක්ම පළ වූ අතර ඒ සියල්ල පාහේ ඉහළම අලෙවි වාර්තා තබමින් අලෙවි විය. විශේෂයෙන්ම සම්මුඛ සාකච්ඡාවලදී ඇය ඇසූ ප්‍රශ්නවල දැඩි ගවේෂණාත්මක ස්වරූපයක් තිබිණි.

වරක් ගීනා ලොලොබ්‍රිගීඩා නමැති ජනප්‍රිය නිළියක සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී “ඔබ ඔය මිනිස්සු කියන තරම්ම මෝඩයි කියලා මම හිතන්නෙ නැහැ” යැයි පවසා ඇත. තවත් අවස්ථාවක ලිබියාවේ මුවම්මාර් එල්-ගඩාෆි සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය, “ඔබ ඉතාම ජන අප්‍රිය සහ පිළිකුල්සහගත කෙනෙක් බව ඔබ දන්නවාද?” යැයි ප්‍රශ්නයක් අසා ඇත.

ඇගේ සම්මුඛ සාකච්ඡා ගරිල්ලා ජයග්‍රහණ සහ ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වූ ඒවාය. ලොව සුවිශේෂතම චරිත ගණනාවක් සමඟ ඇය පැවැත්වූ එවැනි සම්මුඛ සාකච්ඡා රැසක් ඇතුළත් කෘතියක් ‘ඉන්ටර්වීව් විත් හිස්ටරි’ (Interview with History) නමින් පළ වී ඇත.

ඒ හැරුණු විට, ‘ද සෙවන් සින්ස් ඔෆ් හොලිවුඩ්’(The Seven Sins of Hollywood), ‘ලෙටර් ටු එ චයිල්ඞ් නෙවර් බෝර්න්’ (Letter to a Child Never Born) සහ ‘අ මෑන්’ (A Man) නමැති නවකතාව ඇතුළු කෘතීන් රැසක් ඇය විසින් රචනා කර ඇත. සත්‍යය වෙනුවෙන් තනිව සටන් වදින මිනිසෙකු ගැන ඇය ලියූ ‘අ මෑන්’ නමැති නවකතාව මෙරට ප්‍රවීණතම පුවත්පත් කාලවේදියකු වන සුනිල් මාධව ප්‍රේමතිලක විසින් ‘මිනිසෙක්’ නමින් සිංහල භාෂාවටද පරිවර්තනය විය.

කෙසේ වුව ඔරියානා ෆලසිගේ ජීවිත කතාව පාදක කර ගනිමින් රචනා කරන ලද නව චරිතාපදානයක් පසුගියදා පළ විය. ‘ඔරියානා ෆලසි: පුවත්පත් කලාවේදිනිය, කලහකාරිය, වීර චරිතය’ යන අදහස සහිතව (Oriana Fallaci: The Journalist, the Agitator, the Legend) නමින් පළ වී ඇති එය රචනා කර ඇත්තේ ක්‍රිස්ටිනා ඩි ස්ටෙෆනෝ නමැති පුවත්පත් කලාවේදිනියක විසිනි.

ඉතාලි බසින් ලියැවී ඇති එය මරීනා හාර්ස් විසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත. විධිමත් අවසරයක් සහිතව ඔරියානා ෆලසි පිළිබඳව මේ වන විට පළ වී ඇති ප්‍රථම සවිස්තරාත්මක චරිතාපදානය ලෙස සැලකෙන එය මේ සුවිශේෂී පුවත්පත් කලාවේදිනිය ගැන අප්‍රකට තොරතුරු රැසක් ඉදිරිපත් කරන්නකි. එය ඇගේ චරිතය ගැන ගැඹුරින් කරුණු සාකච්ඡා කෙරෙන හෝ විශිෂ්ට ලෙස රචනා කරන ලද කෘතියක් නොවන නමුදු එමඟින් මේ චරිතය පිළිබඳ රසවත් විස්තරයක් ඉදිරිපත් කෙරෙයි.

සිය ජීවිත කතාව ලියා පළ කිරීමට ෆලසි කිසි විටෙක කැමැත්තක් දැක්වා නැත. “මා ගැන චරිතාපදානයක් ලියන්න මම කාටවත් අවසර දීලත් නැහැ, කවදාවත් දෙන්නෙත් නැහැ” යැයි ඇය වරක් පවසා තිබිණි. එහෙත් දිගින් දිගටම ඇයට කරුණු පැහැදිලි කර දීමෙන් පසුව එවැනි චරිතාපදානයක් සඳහා ඇගේ අනුමැතිය ලබාගැනීමට සැන්ටෝ එල්. අරිකො නමැති ඇමෙරිකානු ජාතික විද්වතෙකු සමත් විය. ඔහු රචනා කළ කෘතිය සඳහා ඇගේ අනුමැතිය මෙන්ම සහයෝගයද ලැබී ඇත.

එය ‘ඔරියානා ෆලසි: ද වුමන් ඇන්ඩ් ද මිත්’ (Oriana Fallaci: The Woman and the Myth) නමින් 1998 වසරේදී පළ විය. එය රචනා කරන අවස්ථාවේ ඇය දිගින් දිගටම ඒ ගැන ඉතා උනන්දුවෙන් කරුණු විමසමින් අන්තර්ගතය පිළිබඳව ඕනෑවටත් වඩා සැලකිලිමත් වී ඇත. ලේඛකයාගේ අත්පිටපතෙහි ඇතුළත්ව තිබුණු බොහෝ කරුණු ඇයට අවශ්‍ය පරිදි වරින්වර වෙනස් කරන්නට පවා සිදුව ඇතැයි කියැවේ.

එම කෘතියට සාපේක්ෂව වඩාත් සවිස්තරාත්මක කරුණු සහිතව පළ වී ඇති නව චරිතාපදානය ෆලසි ගැන වඩාත් නිවැරදි සහ පැහැදිලි අවබෝධයක් ලබාදෙන කෘතියක් බව බොහෝ විචාරකයින්ගේ මතය වී තිබේ. මේ කෘතිය රචනා කිරීමේදී ක්‍රිස්ටිනා ඩි ස්ටෙෆනෝ කලින් පළ වූ චරිතාපදානයේ කතුවරයා තරම් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා නැත.

ෆලසි 2006 වසරේදී පිළිකාවකින් මියයෑමට පෙර ඇය හමු වී සම්මුඛ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමේ අවස්ථාව කලින් කෘතියේ කතුවරයා වූ අරිකෝට ලැබී තිබුණද, නව කෘතියේ කතුවරිය වන ක්‍රිස්ටිනාට එවැනි අවස්ථාවක් ලැබී නැත. එසේම ෆලසි විසින් අරිකෝ වෙත ඇති කරන ලද බලපෑමට යටත් වීමට ක්‍රිස්ටිනාට සිදු වූයේද නැත. ඒ නිසාම වඩාත් විවෘත සහ මධ්‍යස්ථ මෙන්ම විචාරශීලී චරිතාපදානයක් රචනා කිරීමේ නිදහස මේ කෘතියේ කතුවරියට ලැබී ඇත. නව චරිතාපදානය බොහෝ සාර්ථක කෘතියක් බවට පත්ව ඇත්තේද ඒ හේතුව නිසාය.

වර්ෂ 1929 ජූනි 29 වැනිදා ෆ්ලොරන්ස් නගරයේදී උපත ලැබූ ඔරියානා ෆලසි කුඩා කාලයේ සිටම හැදී වැඩුණේ දැඩි දුෂ්කරතා සහ සමාජ පීඩනයන් පිළිබඳ මනා අවබෝධයක් ලබාගත හැකි වූ පරිසරයකය. ඇයගේ පියා වූ එඩොවාර්ඩෝ ෆලසි සිය පවුලේ පළමු දරුවා ලෙස ගැහැනු ළමයෙකු ඉපදීම ගැන කිසිදු සතුටක් පෙන්වා නැත. දේශපාලනය ගැන උනන්දුවක් දැක්වූ අයෙකු වූ ඔහු දෙවැනි ලෝක යුද්ධය පැවැති කාලයේදී ෆැසිස්ට්වාදයට එරෙහිව කටයුතු කළ අයෙක් විය.

කුඩා දැරියකව සිටි කාලයේ සිටම ඇය සිය පියාගේ දේශපාලන කටයුතුවලට විවිධ අයුරින් සහාය දැක්වූවාය. බුද්ධිමත් කාන්තාවක වූ ඇයගේ මව ගෘහනියක ලෙස මුළුගැන්වී ගත කළ ජීවිතය ගැන ඔරියානා බෙහෙවින් කලකිරී සිටියාය. සැමියාගේ විස්තෘත පවුල වෙනුවෙන් ඉවුම්පිහුම්, පිරිසිදු කිරීම් කටයුතු ඇතුළු සියලු බැලමෙහෙවර කිරීමට සිය මවට සිදුව ඇති අයුරු දුටු ඔරියානා ඒ පිළිබඳව පසු වූයේ දැඩි කනස්සල්ලකිනි.

ඇය පසු කලෙක මාධ්‍යවේදිනියක බවට පත් වූයේ සිය මව පත්ව සිටි ඒ කනගාටුදායක තත්ත්වය කිසිදු ගැහැනියකට අත් නොවිය යුතු යැයි යන අදහස ඔස්සේ කටයුතු කරමිනි. ඒ කාලය වන විට විශාල වශයෙන් පිරිමි ආධිපත්‍යය පැතිර ගොස් තිබුණු මාධ්‍ය ක්ෂේත්‍රයට ඇය පිවිසුණේ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ අධිෂ්ඨානය ඇතිවය.

මුල් කාලයේදී සුළු පරිමාණයේ සමාජ ගැටලු සහ ජනප්‍රිය චරිත පිළිබඳ තොරතුරු වාර්තාකරණයේ යෙදෙමින් කිසියම් පිළිගැනීමක් හිමි කරගැනීමට ඇය සමත් වූවාය. කාලයත් සමඟ මාධ්‍ය ලෝකයේ බොහෝ අප්‍රකට තොරතුරු ගැන දැනුවත් වෙමින් ගවේෂණාත්මක පුවත්පත් කලාවට පිවිසීමට ඇයට හැකි විය.

සිය අත්දැකීම් පරාසය පුළුල් කරගන්නා අතරම 1950 දශකයේ මැද භාගයේදී ඇය හොලිවුඩයේ සිට ඉතාලි පුවත්පත් සඳහා සේවය කිරීමට පටන් ගත්තාය. ඒ සමඟම ඇය හොලිවුඩයේ බොහෝ පිරිස් අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වූවාය. ඉන්ග්‍රිඩ් බර්ග්මාන්, ෂෝන් කොනරි සහ ෂර්ලි මැක්ලේන් වැනි අතිශය ජනප්‍රිය චරිත ඇගේ සමීප මිතුරු මිතුරියන් බවට පත් වූහ.

හොලිවුඩයෙන් පසුව 1963 සහ 1964 අතර කාලයේදී ඇය මාධ්‍ය වාර්තාකරණ කටයුතු සඳහා ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනය සමඟද නිතර නිතර සම්බන්ධ වූවාය. ඉන්පසුව ඇය ඒ අත්දැකීම් ඇසුරින් එවක ක්‍රියාත්මක වෙමින් පැවැති අභ්‍යවකාශ වැඩසටහන් පිළිබඳව පොත් දෙකක්ද රචනා කළාය. ගගනගාමීන් සමඟද සුහදව කටයුතු කළ ඇය ඔවුන්ගේ ප්‍රියසාදවලටද සහභාගි වී ඇත. දෙවැනි සඳ ගමන සිදු වූ අවස්ථාවේදී චාල්ස් කොන්රාඩ් නමැති ගගනගාමියා ඔරියානාගේ බිළිඳු වියේ ඡායාරූපයක්ද සඳ වෙත ගෙන ගොස් ඇතැයි කියැවේ.

ඇය කිසි විටෙක අන් අයට වුවමනා පරිදි වැඩ කටයුතු කිරීමට හෝ කිසිවෙකුට අවනත වීමට කැමති වූයේ නැත. ඒ නිසාම බොහෝ අවස්ථාවලදී ඇයට අවාසිදායක තත්ත්වයන්ද ඇති විය. ඇය නාසා ආයතනය පිළිබඳව ලියූ ලේඛන සඳහා ඇයට හිමි විය යුතුව තිබූ කිසියම් මුදලක් ලබාගැනීම සඳහා සවිස්තරාත්මක ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස ඇයට දැනුම් දෙනු ලැබූ විට ඇය ඊට එකඟ නොවීම නිසා ඒ මුදල ඇයට අහිමි විය.

ඇය ඇතැම් විට කිසිවෙකුට තේරුම් ගත නොහැකි ආකාරයේ ගති ලක්ෂණ ඇති කාන්තාවක් වූවාය. ගුවන්යානා ගමන්වලට බොහෝ ප්‍රිය කළ ඇය සෝපාන යන්ත්‍රවල ගමන් කිරීමට බිය වූවාය. අධික ලෙස දුම්පානයට ඇබ්බැහි වී සිටි ඇය දිනකට දුම්වැටි හැටකට ආසන්න සංඛ්‍යාවක් ඉරීමට පුරුදුව සිටියාය. තමන්ට ලැබෙන ලිපි කඩා බලා කියවීමේ පුරුද්දක් ඇයට නොතිබිණි. ඇය බොහෝ විට හුදෙකලාව කාලය ගත කිරීමට ප්‍රිය කළ තැනැත්තියක් වූවාය.

කිසි දිනෙක විවාහ දිවියට ඇතුළත් නොවූ ඇය ගත කළේ තනිකඩ ජීවිතයකි. එහෙත් ඇයට දිගු කාලීන ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම තිබී ඇත. ප්‍රේමයෙන් බැඳුණු අවස්ථාවලදී පවා ඇය උත්සාහ දරා ඇත්තේ හැකි තරම් හුදෙකලාව විසීමටය. සිය වැඩ කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට නම් තමාට එවැනි හුදෙකලා දිවියක් අවශ්‍ය බව ඇය වරෙක පවසා ඇත.

“කවුරු හරි ළඟ ඉන්නකොට මට ලියන්න බැහැ. තමන්ට ලියන්න ඕන වුණාම තනි වෙලා හුදෙකලාව ඉන්න පිරිමින්ට පුළුවන්. මොකද ඒගොල්ලන්ට බාධා කරන්න බිරින්දෑවරු බයයි. හැබැයි ගැහැනුන්ට එහෙම හුදෙකලා වෙන්න ලැබෙන්නෙ නැහැ. මොකද ඒගොල්ලන්ට පිරිමි අය නිතරම බාධා කරනවා. එක්කො හාද්දක් දෙන්න කියලා හරි, එහෙම නැත්නම් කෝපි එකක් ඉල්ලලා හරි පිරිමි අය ගැහැනුන්ට බාධා කරනවා” යැයි ඇය වරක් කියා තිබුණේ ලිවීමේදී ගැහැනුන් සහ පිරිමින් මුහුණ දෙන අත්දැකීම් ගැන අදහස් දක්වමිනි.

ෆලසි සිය දිවියෙහි අවසාන දශකය ගත කළේ ටස්කනි සහ නිව්යෝර්ක් නුවරය. සිය වෘත්තීය ජීවිතය ක්‍රමයෙන් අවසානය වෙත ළඟා වෙමින් තිබෙන බව 1990 දශකයේ අග භාගය වන විට ඇයට දැනෙමින් තිබිණි. ඒ වන විට ඇගේ ඔලිවෙටි යතුරු ලියනයද ගොඩගත නොහැකි තරමටම අබලන්ව තිබිණි. වරින්වර අලුත්වැඩියා කළද එය නැවත යථා තත්ත්වයට ගැනීමට නොහැකි විය.

කෙසේ හෝ 1991 වසරේ ඇගේ පියයුරක පිළිකා පටක වර්ධනය වී ඇති බව අනාවරණය විය. එහෙත් ඒ බව දැනගත් මොහොතේදී ඇය බියට හෝ කම්පනයට පත් වූයේ නැත. සැත්කමකින් ඉවත් කරන ලද ඒ පිළිකා පටක දැකගැනීමට තමන්ට අවශ්‍ය යැයි ඇය කියා සිටියාය. ඇයට ඒ අවස්ථාව ලබා දුන් විට එවැනි කුඩා පිළිකා පටකවලට තමා පරාජය කළ නොහැකි බව ඇය පවසා ඇත.

මුළු ලෝකයම සසල කරමින් ඇමෙරිකාවට ඉස්ලාම් අන්තවාදීන්ගෙන් ප්‍රහාර එල්ල වූ 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇය සිටියේ මෑන්හැටන් නුවරය. දීර්ඝ කාලයක් තිස්සේ ඉස්ලාම් අන්තවාදීන්ගේ ක්‍රියා කලාපයන් විවේචනය කරමින් ලිපි ලියූ පුවත්පත් කලාවේදිනියක වූ ඇය ඒ ප්‍රහාරයෙන් පසුව දැඩි සේ කුපිත වූවාය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇය අතින් ඉස්ලාම් අන්තවාදීන් සහ බටහිර රටවල් ගැන ආන්දෝලනාත්මක කෘති තුනක් ලියැවිණි. ඒ අතරින් පළමුවැනි කෘතිය ‘ද රේජ් ඇන්ඩ් ද ප්‍රයිඩ්’ (The Rage and the Pride) නමින් 2002 වසරේදී පළ විය. එයින් එක් කෘතියක ඇය ලියා තිබුණු වැකියකින් කියවුණේ “අල්ලාගේ පුත්‍රයෝ මී පැටවුන් වදන්නාක් සේ වර්ගයා බෝ කරමින් සිටිති” යනුවෙනි. මෙවැනි අදහස් නිසා ඒ කෘතීන් බොහෝ අයගේ ප්‍රසාදයට පත් වූ නමුදු, ඉන් ඇය වෛරය පතුරවන්නට උත්සාහ කරන්නේ යැයි තවත් බොහෝ අය පැවැසූහ.

කෙසේ වුව ඇය ළය පිළිකාව කරණ කොට 2006 සැප්තැම්බර් 15 වැනිදා ෆ්ලොරන්ස් නුවරදී ජීවිතයෙන් සමුගත්තාය.

සාටහන [අජිත් නිශාන්ත]

මාතෘකා