‘ජයසිරි ගේ සමුගැනීම’ සංකීර්ණ කාව්‍යයක්

 ඡායාරූපය:

‘ජයසිරි ගේ සමුගැනීම’ සංකීර්ණ කාව්‍යයක්

මහාචාර්ය විමල් දිසානායක

මහාචාර්ය විමල් දිසානායකගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය වන ‘ජයසිරි ගේ සමුගැනීම’ මේ වන විට ප්‍රකාශයට පත්ව තිබේ. සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති එය පිළිබඳව ඔහු සමඟ ඊමේල් මගින් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ. 1960 වසරේ ‘අකල් වැස්ස’ කාව්‍ය සංග්‍රහයෙන් කාව්‍යකරණයට අවතීර්ණ වූවිමල් දිසානායක අනතුරුව කාව්‍ය සංග්‍රහ ගණනාවක් රචනා කළේය. මේ වන විට ඔහු ඇමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයක් දරයි.

ඔබට අනුව කවියේ මූලික ලක්ෂණ මොනවාද?

මගේ විශ්වාසයේ හැටියට කවියේ මූලික ලක්ෂණය වන්නේ කියවන්නා තුළ, පාඨකයා තුළ අපූර්ව වින්දනයක් දැනවීමේ හැකියාවයි. හැම විටම කවියා සතු කාර්යය වන්නේ කියවන්නාට අමුතු වින්දනයක් ලබාදීමයි. මේ අමුතු වින්දනය නොයෙක් ආකාරයෙන් ලබාදෙන්න පුළුවන්. ඇතැම් විට කතා ප්‍රවෘත්තියක් කීමෙන් වින්දනයක් ලබාදෙන්න පුළුවන්. තවත් සමහර විට කිසියම් අවස්ථාවක් නිරූපණය කිරීමෙන් අමුතු වින්දනයක් ලබාදෙන්න පුළුවන්. විචාර සිතුවිල්ලක්, විචාර චින්තාවක් පදනම් කොටගෙන අපූර්වත්වයක් මතු කරන්න පුළුවන්. මේ ආකාරයට නොයෙක් ක්‍රම මගින් ඒ අපූර්ව වින්දනය ලබාදීමයි කවියකුගේ පරමාර්ථය. ඒ කටයුත්ත ඉටු වන්නේ කොහොමද කියන එක තවදුරටත් අපට විග්‍රහ කරන්න පුළුවන්. මේ අපූර්ව වින්දනය ලබාදීමේදී භාෂාව ඉතාමත් වැදගත් වෙනවා. උපමා රූපක, සංකල්ප භාවිත කරමින්, සංකේත භාවිත කරමින් කිසියම් අත්දැකීමක් ප්‍රකාශ කරන හැටි වැදගත්. මා දකින හැටියට අමුතු වින්දනයක් පාඨකයාට ලබාදීම කවියා සතු ප්‍රධාන කාරියක්. ඒ සඳහා ඊට උචිත භාෂා ආකෘතියක් සකස් කරගැනීමත් කවියා විසින් කළ යුතු දෙයක්.

‘ජයසිරි ගේ සමුගැනීම’ කාව්‍ය කෘතියේදී ඔබ එය කර ඇත්තේ කුමන ආකාරයටද?

මේ කාව්‍යයට මුල් වී තිබෙන්නේ සිය දිවි නසාගැනීම සුන්දර අද්භූතයක් බවට පත් කොට ගත් තැනැත්තෙකුගේ සිත තුළ සිය අවසාන පැය විසිහතර ඇතුළත මතු වන අදහස්, හැඟීම් සහ සංකල්පනායි. මේවා විචිත්‍ර සංකල්ප රූප ප්‍රවාහයකට පත් කිරීමට ගත් උත්සාහයක් මේ කෘතියෙන් ඉදිරිපත් කර තිබෙනවා.

මේ කාව්‍යයෙහි ආඛ්‍යානයක ඡායාවක් ඇතත් වඩාත් මතුව ඇත්තේ සංකල්ප රූප නොවේද?

ඔව්. එය සත්‍යයක්. ජයසිරිගේ ජීවිතයේ මුඛ්‍ය සන්ධිස්ථාන කිහිපයක් තිබෙනවා. බාල කාලයේදී සිය මව මියයෑම සහ සිය පියා නැවත වරක් විවාහ වීම, විශ්වවිද්‍යාලයේදී දේශපාලනය පිළිබඳව ඇති වූ කලකිරීම, වයඹ පළාතේ ගුරුවරයෙකු වශයෙන් සේවය කරන විට ඇති වූ ප්‍රේම සම්බන්ධය බිඳවැටීම, කටුගස්තොට විද්‍යාලයක ගුරුවරයෙකු වශයෙන් සේවය කරන විට මතු වූ ගැටලු, වර්තමාන දර්ශන ශාස්ත්‍ර වෙත සිත්සතන් ඇදී යෑම ඉන් ප්‍රධාන තැනක් ගන්නවා. මේ අවස්ථා සංකල්ප රූප මාලාවකට නැගීමට මා උත්සාහයක් ගත්තා.

ඔබ සංකල්ප රූප සඳහා වැඩි ඉඩක් දෙනවා.

මා සංකල්ප රූප භාවිතයට ප්‍රධාන ස්ථානයක් දී තිබෙන්නේ ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇතිවයි. පාඨකයා ආඛ්‍යානයට ඇදබැඳ තබාගැනීමටත්, පාඨකයාගේ චින්තන ලෝකය පුළුල් කිරීමටත් එවැනි සංකල්ප රූප උපයෝගී කරගැනීම වැදගත් කියා මා විශ්වාස කරනවා. ඒ නිසා මගේ ආඛ්‍යානය ක්‍රියාත්මක කිරීමට මෙන්ම ඥාන විභාගාත්මක උපක්‍රමයක් ලෙසත් මා සංකල්ප රූප යොදාගන්නවා.

මේ කාව්‍ය කෘතියේ අභ්‍යන්තර රටාව ගැනත් යමක් කිව හැකිද?

මේ කාව්‍යයෙහි අභ්‍යන්තර රටාව කෙරෙහි මා විශේෂ සැලකිල්ලක් දැක්වූවා. එය භාවමය හා බුද්ධිමය පරිශ්‍රමයකින් පසක් කොට ගත යුතුයි. උදාහරණයක් වශයෙන් කාව්‍යාවසානයෙහි දක්ෂ ආධුනික කවියෙකු පිළිබඳ පුවතක් තියෙනවා. එහි වැදගත්කම කුමක්ද කියා ඇතැම් පාඨකයින් ප්‍රශ්න කරනවා. ජයසිරි තුළ කවියෙකු වීමේ දැඩි ආසාවක් තිබුණා. එය මුදුන්පත් වූයේ නැහැ. තමාට මුදුන්පත් කරගැනීමට නොහැකි වූ එම අභිලාෂය එම ආධුනික කවියා තුළින් ළඟා කරගැනීම ජයසිරිගේ ප්‍රාර්ථනයයි.

හැඳින්වීමෙහි සඳහන් කර ඇති “මෙවැනි ආඛ්‍යාන කාව්‍යයක් පාඨකයන් අතර එතරම් ජනප්‍රිය නොවෙතැයි හඟිමි” යන අදහස තවදුරටත් පැහැදිලි කළ හැකිද?

‘ජයසිරි ගේ සමුගැනීම’ තරමක් සංකීර්ණ කාව්‍යයක්. ඇතැම් පාඨකයන් මට දන්වා එවා ඇති පරිදි එහි නියම අර්ථය වටහාගැනීමට එය කිහිප වරක් කියැවිය යුතුයි. අපරදිග රටවල මෙන්ම පෙරදිග රටවල වර්තමාන යුගයේ ලියැවෙන බොහෝ පද්‍ය කාව්‍ය, සංකීර්ණ ඒවා ලෙස හැඳින්විය හැකියි. ටී. එස්. එලියට්ගේ ‘ද වේස්ට්ලෑන්ඩ්’ කාව්‍යය මා දහ දොළොස් වරක් කියවා තිබෙනවා. එය අලුතෙන් කියවන සෑම වාරයකම මා එහි අලුත් අරුත් දකිනවා.

ඔබේ කෘතිය පාඨකයන් අතර එතරම් ජනප්‍රිය නොවේ යැයි සිතාගෙන ඇයි ඔබ මෙවැන්නක් ලීවේ?

සිංහල කාව්‍ය ක්ෂේත්‍රයේ සිංහල පද්‍ය සංකථනය වඩා පුළුල් කිරීමට නම් සංකීර්ණ කාව්‍ය නිර්මාණ අවශ්‍යයි. මෙවැනි කෘති පළ වී මාස පහ හයක් ඇතුළත එතරම් ජනප්‍රියත්වයක් නොලැබුවත්, දශක ගණනාවක් තුළ පාඨක අනුග්‍රහය දිනාගැනීමට ඉඩ තියෙනවා. එය නවෝත්පාදනයට මුල් තැනක් දෙන කාව්‍යවල ඉරණමයි.

මෙවැනි ආඛ්‍යාන කාව්‍යයක් සිංහල කාව්‍ය පාඨක ප්‍රජාවට වැදගත් වන්නේ කෙසේද?

මෙබඳු කාව්‍යයකින් පාඨකයාට සියුම් භාෂාත්මක වින්දනයක් ලබාදීම මගේ එක් අරමුණක්. එමෙන්ම සංකීර්ණ චෛතසික තත්ත්වයන් කෙරෙහි ආලෝක ධාරාවක් විහිදුවමින් මනුෂ්‍යත්වය පිළිබඳ අවබෝධය ගැඹුරු කිරීම තවත් අරමුණක්. ජයසිරිගේ සිත් ඇදගත් වර්තමාන චින්තන ප්‍රවාහවල විශේෂතා හා සීමා දැක්වීම තවත් අරමුණක්. මෙබඳු අරමුණු පාඨක ප්‍රජාවට ප්‍රයෝජනවත් වෙතැයි මා විශ්වාස කරනවා.

මේ කාව්‍යයෙහි බහුල ලෙස යෙදෙන ‘නිදහස’යන වචනය කාව්‍යයෙහි මධ්‍යම සංකල්පය ලෙස සැලකිය හැකිද?

ඔව්. එය තමයි ප්‍රධාන සංකල්පය. කාව්‍ය මන්දිරයෙහි දොරටුව විවර කරන යතුර එයයි. ජයසිරි දකින ආකාරයට සිය නිදහසෙහි පරම සිහිනය මරණය සිය අතට ගැනීමයි. එමගින් තමා අධිපතියා වීමයි. මීට අමතරව මිනිසා කොටු කරන භාෂාවෙහි සීමා බිඳ දමා නිදහස ලබාගැනීමේ අරමුණද කාව්‍ය ශරීරයෙහි සටහන්ව තිබෙනවා. කාව්‍යය පුරා විහිදී ඇති සංකල්ප රූප මේ බව තහවුරු කරනවා. ඒවා භාෂාවෙහි සීමා සීමා පළල් කිරීමට උපකාරී වෙනවා.

ලංකාවේ පැවැති කවි කොළ ඔස්සේ ඉදිරිපත් කෙරුණු කවියෙන් කතන්දර කීමත් ආඛ්‍යාන කාව්‍ය සම්ප්‍රදායටම අයත් යැයි සැලකිය හැකිද?

ඔව්. කවි කොළ කියන්නෙත් ආඛ්‍යාන කාව්‍ය රචනා විශේෂයක්. ආඛ්‍යාන කාව්‍යවල ස්වරූපය කාලයෙන් කාලයට වෙනස් වෙනවා. වර්තමාන ආඛ්‍යාන කාව්‍යවල සිනමා කලාවෙහි බලපෑම දක්නට ලැබෙනවා. ශීඝ්‍ර ඡේදනය සහ සමෝධානය වැනි ලක්ෂණවලට එහි වැදගත් තැනක් දී තිබෙනවා.

කවිය එතරම් පාඨක අවධානයට ලක් නොවන පසුබිමක රජත පුස්තකය ඇතුළු සම්මාන කවියට වැදගත් යැයි ඔබ සිතනවාද?

ඔව්. රජත පුස්තකය ඇතුළු වෙනත් සම්මාන මගින් සිංහල සාහිත්‍යයේ වර්ධනය සඳහා විශාල මෙහෙයක් ඉටු කරන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් පසුගිය වසරෙහි රජත පුස්තක සම්මානය ලක්ශාන්ත අතුකෝරල මහතාට ප්‍රදානය කිරීමෙන් ඒ මහතාගේ නිර්මාණ කෞශල්‍යය මැනවින් තහවුරු වුණා. මෙහිදී සම්මාන විනිශ්චය පිළිබඳවත් එක් කරුණක් කිව යුතුයි. එය මධ්‍යස්ථව, අපක්ෂපාතීව, කල්ලිවාදයෙන් තොරව, අපගේ දේශීය සාහිත්‍ය සම්ප්‍රදාය ගැන මෙන්ම විශ්ව සාහිත්‍ය ප්‍රවණතා ගැනද මනා අවබෝධයකින් යුතුව ඉටු කළ යුතුයි. එවිටයි සම්මාන ප්‍රදානයෙන් අපේක්ෂිත අරමුණ ඉටු වන්නේ.

කියවීම අඩුවෙන් පවතින, දැඩි වාණිජකරණයකට ලක්ව ඇති අද වැනි සමාජ, ආර්ථික හා දේශපාලන පරිසරයක කවියෙන් යමක් කළ හැකිද?

ඔව්. අද වැනි වාණිජකරණයට, පාරිභෝගිකත්වයට නැඹුරු වී ඇති සමාජයක, පහත් පෙළේ ජනමාධ්‍ය වැඩසටහන්වල බලපෑමට ගොදුරුව ඇති සමාජයක වින්දනය රළු වී තිබෙනවා. සියුම් අදහස් හා හැඟීම් ප්‍රකාශ කිරීමෙහි ලා භාෂාවේ ශක්තිය දුබල වී තිබෙනවා. එමෙන්ම නව චින්තන ලෝකවලින් අප දුරස්ථව සිටිනවා. මේ තත්ත්වය වෙනස් කිරීමට කවියෙන් මෙහෙයක් ඉටු කළ හැකියි. මගේ අලුත්ම කාව්‍යය වන ‘ජයසිරි ගේ සමුගැනීම’ මා රචනා කළේ මේ අභිප්‍රායයත් සිතෙහි ඇතිවයි.

ඊමේල් සංවාදය [අජිත් නිශාන්ත]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?