ආලෝකෝ උදපාදි

 ඡායාරූපය:

ආලෝකෝ උදපාදි

අන්ධකාරය නැති කරන්නේ ආලෝකය යි. ‘ආලෝක’ යන පදය තත්සම පදයකි. එය පාලි තත්සමයක් මෙන් ම සංස්කෘත තත්සමයක් ද වේ. පාලි හා සංස්කෘත අක්ෂර වින්‍යාස රීති අනුව එය ලියනු ලබන්නේ ‘ආලොක’ යනුවෙනි.

වැලිවිටියේ පණ්ඩිත සෝරත ස්වාමීන් වහන්සේගේ ‘ශ්‍රී සුමඞ්ගල ශබ්ද කොෂයෙහි’‘ආලෝක’ යන පදය ලියා ඇත්තේ ‘ආලොක’ යනුවෙනි. (137 පිට). එහෙත් සිංහල අක්ෂර වින්‍යාස රීතිය අනුව ඒ තත්සම පදය ‘ආලෝක’ යනුවෙන් ලිවීමෙහි කිසිදු වරදක් නැත.

‘ආලෝක’ යන පදයේ අර්ථ දෙකක් ඇතැයි සෝරත නාහිමියෝ ස්වකීය ශබ්දකොෂයෙහි කියති. 1. දැකීම 2. එලිය (137 පිට)

එලිය ද එළිය ද?

‘එලිය’ යන පදය උන් වහන්සේ ලියා ඇත්තේ දන්තජ ‘ලි’ යන්නකිනි. (202 පිට). එහෙත් අක්ෂර වින්‍යාස අකාරාදි කීපයක එය ‘එළිය’ යනුවෙන් මූර්ධජ ‘ළි’ යන්නකින් ද ලියා ඇත. නිරවද්‍ය වින්‍යාසය කුමක් ද?

මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ ‘සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය’ නම් කෘතියෙහි’ ද (43 පිට) භාෂා ශාස්ත්‍ර අධ්‍යයන පර්ෂදය මඟින් පළ කරන ලද ‘ජන මාධ්‍ය සඳහා භාෂා අත් පොත’ නම් කෘතියෙහි ද (83 පිට) මේ පදය වින්‍යාස කොට ඇත්තේ ‘එළිය’ යනුවෙන් මූර්ධජ ‘ළි’ යන්නකිනි. එහෙත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මඟින් පළ කරන ලද ‘සිංහල ලේඛන ව්‍යවහාරය - උපදේශ සංග්‍රහය’ නම් කෘතිය ඒ පදය ‘එළි’ හා ‘එලි’ යනුවෙන් දෙවිධියෙන් ම නිවැරදිව ලිවිය හැකි බව කියයි. (47 පිට)

‘ආලෝකය’ යන අර්ථවත් ‘එලි’ යන පදය ‘එළි’ යනුවෙන් ද ‘ජාතක අටුවා ගැටපදයෙහි’ (19-31) හමු වන බව සෝරත හිමියෝ කියති. (203 පිට). මේ අනුව අපට කිව හැක්කේ ‘එලිය’ හා ‘එළිය’ යන පද දෙක ම නිරවද්‍ය විකල්ප ව්‍යවහාර බව යි.

‘ආලෝක’ යන තත්සම පදයට අනුරූප ‘තද්භව’ පදය ‘අලු’ යන්න යි. ඒ අනුව ‘ආලෝක යාම’ යන්න ‘අලුයම’ බවටත් ‘අරුණාලෝක’ යන්න ‘අරුණලු’බවටත් ‘ඒකාලෝක’ යන්න ‘එකලු’ බවටත් පත් වේ. බුද්ධ වචනය ඇතුළත් ත්‍රිපිටකය පළමුවරට ලේඛනගත කළ විහාර ස්ථානය වූ ‘ආලෝක විහාරය’ ඒ අනුව ‘අලු විහාරය’ බවට පත් විණ.

ආලෝකවත්

‘ආලෝක’ යන ප්‍රකෘතියට පරව ‘වත්’ යන ‘ගුණ ප්‍රත්‍යය’ එක් කිරීමෙන් ‘ආලෝකවත්’ යන ‘සංයුක්ත ගුණ පදය’ සැදේ. ‘ඉතා ආලෝකවත් පරිසරයක්’ යන වහරෙහි මෙනි. එහෙත් ‘වත්’ වෙනුවට ‘මත්’ යොදා ‘ආලෝකමත්’ යන පදය ද දැන් ව්‍යවහාරයට ගෙන තිබේ. එය අව්‍යක්තයැයි වියරණ ඇදුරෝ කියති.

‘ආලෝක’ යන පදය පාදක කොට ගෙන සැදුණු සමාස පද සමූහයකි. ඉන් සමහරක එය යෙදී ඇත්තේ ‘පූර්ව පදය’ වශයෙනි.‘ආලෝක වර්ෂ’ යන සමාසයෙහි මෙනි. සමහරක එය යෙදී ඇත්තේ ‘අපර පදය’ වශයෙනි. ‘ආසියා ආලෝකය’ යන සමාසයෙහි මෙනි. ‘ආලෝක’ යන පදය සහිත සමාස පද කීපයක් මෙහි විමසිල්ලට හසු වේ.

ආලෝක කසිණය

‘කසිණය’ යනු භාවනාවෙහි දී අරමුණු වශයෙන් තබා ගන්නා වස්තුව යි. සමහර යෝගාවචරයන් ඒ අරමුණ වශයෙන් තමා ඉදිරියෙහි කබා ගෙන සිටින්නේ ආලෝකය යි. එසේ කසිණය වශයෙන් තබා ගන්නා ආලෝකය ‘ආලෝක කසිණය’ යනුවෙන් හැඳින්වේ.

ආලෝක තරංගය

තරංග වශයෙන් ගමන් කරන ආලෝකය ‘ආලෝක තරංගය’ නම් වේ.

ආලෝක ලේන

‘ආලෝක ලේන’ යනුවෙන් මහාවංශයෙහි 23 වෙනි පරිච්ඡෙදයෙහි සඳහන් වන්නේ වළගම්බා රජු සමයෙහි දී පාලි ත්‍රිපිටකය පළමු වරට ලේඛනාරූඪ කළ ලෙන යි. අද මේ විහාරය හැඳින්වෙන්නේ ‘අලු විහාරෙ’ යනුවෙනි. බුරුම (මියන්මාර) බෞද්ධයන් සිතන විධියට පසු කලක දී බුද්ධඝෝෂ මාහිමියන් සිය අට්ඨකථා සම්පාදනය කළේ ද මෙහි සිට ය.

ආලෝක වර්ෂය

ආලෝකය ගමන් කරයි. එක් තැනක සිට තවත් තැනකට ආලෝකය ගමන් කිරීමට ගත වන කාලය මනින්නේ ‘ආලෝක වර්ෂය’ නම් වර්ෂවලිනි. එනම්, වර්ෂයක කාල පරිච්ඡෙදය තුළ දී ආලෝකය ගමන් කරන දූර ප්‍රමාණය යි. මේ දුර ප්‍රමාණය කිලෝ මීටරවලින් දක්වතොත් 9,500,000,000,000 පමණ වේ. (මෙහි බින්දු එකොළහකි) ග්‍රහයන් අතර දුර මනින්නේ ආලෝක වර්ෂවලිනි. ‘ආලෝක වර්ෂය’ ඉංග්‍රීසියෙන් හැඳින්වෙන්නේ ‘light year’ යනුවෙනි.

ආලෝක සංඥා

මහා මාර්ගවල ගමන් කරන රථ වාහන හැසිරවීම පිණිස යොදා ගන්නා වර්ණවත් සංඥා ‘ආලෝක සංඥා’ නමි. මේ ආලෝක සංඥා ඉංග්‍රිසියෙන් හැඳින්වෙන්නේ ‘traffic lights‘ යනුවෙනි.

‘ආලෝක’ යන පදය අපර පදය වශයෙන් යොදා සැදුණු සමාස පද ද කීපයකි. මේ දෙ පදය බොහෝ විට යෙදෙන්නේ සන්ධි වීමෙනි.

අරුණාලෝකය

‘අරුණ’ හා ‘ආලෝකය’ යන පද දෙක ‘අරුණාලෝකය’ යනුවෙන් සන්ධි වේ. ‘අරුණ’ යනු හිරු උදා වීමට පෙර අහසේ ඇති වන ආලෝකය යි. මේ ආලෝකය කවි බසින් හැඳින්වෙන්නේ ‘අරුණලු’ (අරුණ-අලු) යනුවෙනි.

ආසියාලෝකය

‘ආසියාලෝකය’ යනු ‘ආසියා’ හා ‘ආලෝකය’ යන දෙපදය සන්ධි වීමෙන් සැදෙන්නකි. සර් එඩ්වින් ආනෝල්ඩ් නමැති ඉංග්‍රිසි කවියා විසින් බුදුන් වහන්සේ උත්කර්ෂයෙන් වර්ණනා කරනු පිණිස ලියූ කාව්‍යය ‘ආසියාලෝකය’ ( Light of Asia) නම් වේ. බුදුන් වහන්සේ ආසියාවේ පහළ වුණු ආලෝකය වශයෙන් පිදුම් ලැබිණ.

ඒකාලෝක

මුළුමනින්ම හෝ සම්පූර්ණයෙන් ම ආලෝක වූ යන අර්ථය ‘ඒකාලෝක’ යන පදයෙහි ඇත. එය සැදෙන්නේ ‘එක’ හා ‘ආලෝක’ යන දෙපදය සන්ධි වීමෙනි. එය කවි බසට නැඟෙන්නේ ‘එකලු” යනුවෙනි. ‘එක්’ හා ‘අලු’ යන දෙපදය සන්ධි වීමෙනි.

ඥානාලෝක

‘ඥනාලෝක’ යනු ‘ඥාන’ හා ‘ආලෝක’ යන දෙපදය සන්ධි වීමෙන් සැදෙන්නකි. ඥානය ආලෝකයක් වැන්න. අවිද්‍යාව නමැති අන්ධකාරය දුරු කරන්නේ ඥානාලෝකය යි. මෙය පාලි භාෂාවට හැරෙන්නේ ‘ඤාණාලෝක’ යනුවෙනි. සිංහල කවි බසට නැඟෙන්නේ ‘නැණලු’ යනුවෙනි. පුජ්‍ය කෝදාගොඩ ඥානාලෝක නාහිමියන් හැඳින්වීමට හෙළ හවුලේ සුබැසියෝ ‘කෝදාගොඩ නැණලු’ යන නම ද භාවිත කළහ.

ධර්මාලෝක

‘ධර්ම’ යන පදයට පරව ‘ආලෝක’ යන පදය යෙදීමෙන් ‘ධර්මාලෝක’ යන සමාස පදය සැදේ. ධර්මය අලෝකයක් වැන්න. භික්ෂූන් වහන්සේ නමකගේ නාමය හැටියට එය දෙනෙ විට ‘ධම්මාලෝක’ යනුවෙන් පාලියට නැඹුරු වේ.

ප්‍රඥාලෝක

‘ප්‍රඥාලෝක’ යනු ‘ප්‍රඥා’ හා ‘ආලෝක’ යන දෙ පදය සන්ධි වීමෙන් සැදෙන්නකි. ප්‍රඥාව ආලෝකයක් වැන්න. මේ ප්‍රඥාව නමැති ආලෝකය ‘ප්‍රඥාලෝකය’ නම් වේ. භික්ෂූන් වහන්සේලාගේ නම් අතර මේ නම යෙදෙන්නේ ‘පඤ්ඤාලෝක’ යනුවෙන් පාලි භාෂාවට නැඹුරුව ය.

බෞද්ධාලෝක

කොළඹ නගරයේ එක් මාවතක් නම් කොට ඇත්තේ ‘බෞද්ධාලෝක මාවත’ නමිනි. ඒ සමාසය සැදෙන්නේ ‘බෞද්ධ’ හා ‘ආලෝක’ යන දෙපදය සන්ධි වීමෙනි.

ලංකාලෝකය

ප්‍රථම සිංහල ප්‍රවෘත්ති පත්‍රය වශයෙන් සැලකෙන්නේ 1860 දී පළ වුණු ‘ලංකාලෝකය’ නමැති පුවත්පතයි. “ක්‍රිස්තියානි සඟරා මගින් බුදු සමයට එල්ල කරන ලද චෝදනාවලට පිළිතුරු දීමේ අරමුණ ඇතිව ලංකාලෝකය (1860) නමැති ප්‍රථම සිංහල පුවත්පත” පළ වුණු බව මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සඳහන් කරයි. (විසි වන සියවසේ සිංහල භාෂා ව්‍යවහාරය, 126 පිට). මේ පදයේ ප්‍රභවය නොදන්නා ඇතැම් ආධුනිකයෝ එය ‘ලංකා’ හා ‘ලෝකය’ යනුවෙන් වරදවා විසන්ධි කොට දක්වති.

 

මහාචාර්ය [ජේ. බී. දිසානායක]

මාතෘකා