ලියන දේ කැපීමෙනුත් මම විනෝද වෙනවා : ඇමෙරිකානු යුදෙව් ලේඛක එලී වීසල්

 ඡායාරූපය:

ලියන දේ කැපීමෙනුත් මම විනෝද වෙනවා : ඇමෙරිකානු යුදෙව් ලේඛක එලී වීසල්

වචන වැඩෙනවා, වයසට යනවා, මියයනවා

මම මෙහි (නිව්යෝක් නගරයේ) අවුරුදු විස්සක් විතර කාලයක් ජීවත් වෙලා තියෙනවා. එච්චර කාලයක් මම ලෝකයේ කොහෙවත් ජීවත් වෙලා නැහැ. ඒ වුණත් මම The Accident නවකතාවේ පිටු කීපයකුත්, The Gates of the Forest නවකතාවේ එක පරිච්චේදයකුත් හැරෙන්න නිව්යෝක්වල ගත කරන කාලය ගැන ලියලා නැහැ. ඇයි ඒ? ඒ, මං තවම මගේ ළමා කාලය ලියා අවසන් කර නැති නිසයි. තවම මට මගේ ළමා විය ගැන ලියන්න තියෙනවා. වචන කියන දේ වැඩෙනවා, වයසට යනවා, මියයනවා. මම තවම ඒ රූපාන්තරණයට කැමතියි. ඉතින් මම පාවිච්චි කරන වචන තවම තියෙන්නෙ මගේ ළමා වියේ.

 

මට වැරදි වචන පාවිච්චි කරන්න ඕන වුණේ නෑ

මම හෝලොකොස්තයේ අත්දැකීම ලැබූවත් එය ලියන්න අවුරුදු දහයක් කල් බලා සිටියා. මොකද මට වැරදි වචන පාවිච්චි කරන්න ඕන වුණේ නෑ. මා අතින් පාවිච්චි වන වචන හෝලොකොස්තය පාවා දෙයි කියල මං භය වුණා. ඉතින් මම පොත නොලියා බලා සිටියා. මට තවමත් විශ්වාස නැහැ මං භාෂාව තෝරා ගැනීම හෝ නිහඬතාව තෝරා ගැනීම හරිද, වැරදිද කියල.

 

අපි වචන පාවිච්චි කළේ නැත්නම් අපට සියල්ල අමතක වෙනවා

බොහෝ වෙලාවට නිහඬව හිඳීමෙන් අපට සන්නිවේදනය මඟහැරෙනවා. ඒක භයානකයි. අන්න ඒ නිසයි මම නිහඬව සිටියෙ නැත්තෙ. මං නිහඬ වෙලා, හරියටම කීවොත් අපි නිහඬ වෙලා අපට යම් කිසිවක් මුදුන්පමුණුවා ගන්න පුළුවන් කියල මට දැනුණා නම් මං හිතන්නෙ මම කථා නොකර නිහඬව ඉන්නවා. එහෙම නම් මට මේ පොත් ලියන්න ඕන වෙන්නෙත් නෑ. මං එහෙනම් ඒවා ලියලා තියෙන්නෙත් මගේ හැඟීමට විරුද්ධ වෙලා. ඒත් අපි වචන පාවිච්චි කළේ නැත්නම් ඒ මුළු කාල සමයම (හෝලොකොස්ත කාලයම) අපට අමතක වෙලා යනවා කියල මම අවබෝධ කරගත්තා. ඉතින් වෙන කරන්න දෙයක් නොතිබූ නිසා අපට වචන පාවිච්චි කරලා අමතන්න සිදු වුණා.

 

ලියන කෘතියම අභ්‍යන්තර ගැටුමක්

අපි කාටවත් හෝලොකොස්තය ගැන ලියන්න ඕන වුණේ නෑ. හෝලොකොස්තය ගැන දිවි ගලවාගත්තකු ලියූ පොතක් කියවද්දි අපට හැම විටම එහි හොඳ - නරක දෙකේම හැඟීම දැනෙනවා. එක පැත්තකින් එය ලිවිය යුතු යැයි සිතෙනවා. අනෙක් පැත්තෙන් ඒක මං නොලිව්වා නම් හොඳයි කියල සිතෙනවා.

ලියන කෘතියම ගැටුමකුයි නිරූපණය කරන්නේ. මම ඒ ගැටුම මා වෙත ගන්නවා. The Oath කෘතිය ගන්න. එය මේ සියවසේ මුල ගමක් සහ චාරිත්‍රානුකූලව කරන මිනීමැරීම් ගැන කියවෙන නවකතාවක්. එහි හෝලොකොස්තය ගැන කිසිවක් නැහැ. ඒත් වෙනත් තලයකින් බැලුවොත් එහි එන්නේ හෝලොකොස්තයයි - එය යුදෙව්වන් මුහුණ දෙන හෝලොකොස්තය නෙවෙයි, ලෝකයම මුහුණ දෙන හෝලොකොස්තයයි.

 

ලිවීම යනු නිර්මාණය මතු වන ලෙස කොටස් ඉවත් කරමින් මූර්තියක් නෙළීම වගේ

හෝලොකොස්තය ගැන ලියූ හුඟක් අත්දැකීම් මට නැහැ. මොකද ඒ ගැන මම එච්චර ලියලා නැහැ. ඒත් උදේට නැඟිටලා ලියන එක මට කවදාවත් අරගලයක් නෙවෙයි. ඒක සුන්දර වේදනාවක්. ලියද්දි ඉන්නෙ මං විතරයි. මම බාධාවක් නැතිව පැය හතරක් ලියනවා. ඉන් පස්සෙ මගේ අධ්‍යයන වැඩ සඳහා ලිවීම නවත්වනවා. ඒත් ඒ පැය හතර අයිති මටයි. ලියූ දේ කපද්දි නම් මට එය අරගලයක් වෙනවා. මම පිටු නවසීයක් පිටු එකසිය හැටකට අඩු කරනවා. මම කැපීමෙනුත් විනෝද වෙනවා. කපද්දි සතුටක් නොදැනුණත් මම කපන්නේ වේදනාබර ආස්වාදයක් ලබමිනුයි. ලිවීම කියන්නෙ යම් තැනක තීන්ත ගෑම වගේ දෙයක් නෙවෙයි. එය පාඨකයාට පේන්න කැන්වසයක ලියන දේ නෙවෙයි. ලිවීම යනු නිර්මාණය මතු වන පරිදි කොටස් ඉවත් කරමින් මූර්තියක් නෙළීම වගේ කීවොත් වඩා නිවැරදියි. අනෙක් අතට ඔබ ලිවීමේදී ඉවත් කරන පිටු පවා අවසානයේ එහි තිබෙනවා කියන්න පුළුවන්. මුල සිට පිටු දෙසීයක් වෙනකන් ලියූ පොතකත්, පිටු අටසීයකින් පිටු දෙසීයක් දක්වා සංස්කරණය කර ලබාගත් පොතකත් අතර වෙනසක් තිබෙනවා. ඒ තමයි එහි කැපූ පිටු හයසීයත් ඇතුළත් වීම. වෙනස ඒවා ඔබට පේන්නෙ නැහැ.

 

මම ලියන්නේ පීඩනයක් මැද්දෙයි

ඔව්. මම මගේ ආචාර්ය උපාධි නිබන්ධනය ලියන්නේ ශ්‍රමණ වත විෂය ගැනයි. ඔබ කියනවා වගේ එය මෙතෙක් මම පළ කරල නෑ. මොකද මට එච්චර හදිස්සි නැහැ. මම ලියන්නේ පීඩනයක් මැද්දෙයි. මම ලියලා තියෙන හැම පොතකම කිසියම් දැවෙන බවක් (දැන් විසඳුම් ලැබිය යුතු බවක්) තියෙනවා. මගේ The Accident නවකතාවේ එන්නේ සියදිවිනසාගැනීම ගැනයි. Dawn නවකතාවේ එන්නේ හදිසි දේශපාලන ක්‍රියාමාර්ගයක් ගැනයි. The Jews of Action හි එන්නේ රුසියානු යුදෙව්වන් ගැනයි. The Jews of Action හි එන්නේ යුද්ධය, (රටක් රාජ්‍යයක් නැතිව) හුදකලා වීම සහ දිවිරැක ගැනීම ගැනයි. අනෙක් අතින් ශ්‍රමණ වත ගැන වූ - ක්‍රිස්තියානි ආගමේ, යුදෙව් ආගමේ, බුද්ධාගමේ ශ්‍රමණ වත ගැන වූ - උපාධි නිබන්ධනයේ එහෙම හදිසියක් නෑ. එයට තව බලා ඉඳිතැහැකි.

මාතෘකා