ගුණදාස අමරසේකර නාට්‍ය විචාරකයා හා නාට්‍ය රචකයා

 ඡායාරූපය:

ගුණදාස අමරසේකර නාට්‍ය විචාරකයා හා නාට්‍ය රචකයා

ගුණදාස අමරසේකර නවකකතාකරුවෙකි. කවියෙකි. සාහිත්‍ය විචාරකයෙකි. සමාජ විචාරකයෙකි. කලක සිට දේශපාලන ක්ෂේත්‍රයේද ක්‍රියාකාරී භූමිකාවක යෙදී සිටින්නෙකි. මෙම ලිපියේ අරමුණ වන්නෛ් කලාකරුවකු මෙන්ම කලා විචාරකයකු ලෙසද ඔහු පිළිබඳ විමර්ශනයක යෙදීමය. එම කාර්යයේදීද ඔහු යෙදී සිටින හැම කලා ක්ෂේත්‍රයක් පිළිබඳවම නොව මෙම ලිපිය ලියන ලේඛකයා තමා වඩාත්ම හොඳින් දන්නේ යයි සිතන කලා මාධ්‍යය වන නාට්‍ය කලාව විෂයෙහි ගුණදාස අමරසේකර ලේඛකයා විසින් ප්‍රකාශ කරනු ලබන අදහස්, උදහස් සහ නිර්මාණකරණය සඳහා දරා ඇති ප්‍රයත්නයන් කෙරෙහි මෙහි විශේෂ අවධානය යොමු වේ. එසේ වුව ද එම අරමුණට අදාළ පමණට වෙනත් කලා ක්ෂෙත්‍රයන්හි මෙන්ම සමාජ දේශපාලන ක්ෂෙත්‍රයන්හි ඔහුගේ නියුක්තීන් කෙරෙහිද අවධානය යොමු කෙරෙනු ඇත.

අමරසේකරගේ සමාජ දර්ශනය මෙන්ම සාහිත්‍ය විචාරයේද දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ කීපයක් වේ. එකක් නම් ඔහුගේම වචනයෙන් කිවහොත් ඉවෙන් තීරණ ගැනීමය. එසේම ඒවා වැඩිදුර නොසිතා ප්‍රකාශයට පත් කිරීමය. මේ නිසාම තමා විසින්ම බැස ගන්නා ලද නිගමන ඉතා කෙටි කාලයක් තුළ දී ඉල්ලා අස් කර ගැනීමය. වරෙක ගමෙන් බිහි වන බුද්ධිමතුන් කෙරෙහි ඔහු විශාල බලාපොරොත්තු තබා සිටියේය. එහෙත් වැඩිකල් නොගොස් එම අපේක්ෂා පිළිබඳ ඔහු තුළම සැක පහළ වන්නට විය.1970 හා 1980 දශකයේද, අමරසේකර විසින් ලියන ලද ‘ගනඳුර මැදියම දකිනෙමි අරුණලු’ (1982), ‘අරුණලු සෙරෙන් අරුණෝදයට’ (1992), ‘ජාතික වින්තනය හා ජාතික ආර්ථිකය’ (1999) වැනි ග්‍රන්ථයන් මෙන්ම මෙම අවධියේ පුවත්පත්වලට ලියන ලද ලිපිද පරීක්ෂාවෙන් කියවා බලන විට මේ තත්වය පැහැදිලි වේ.

1980 දශකයේ මුල් භාගයේදී ජනතා විමුක්ති පෙරමුණේ ජාතිවාදී දේශපාලනයට දාර්ශනික පදනමක් සැපයීමේ ප්‍රයත්නයක දැන හෝ නොදැන යෙදී සිටි අමරසේකර මහතා 1985 වසර පමණ වන විට ජනතා විමුක්ති රෙමුණ විසින් දියත් කරන ලද දේශපාලනය හා එය මර්දනයට භාජනය වූ තත්වය යටතේ “ප්‍රඥාංකුර පිරිසක් මෙන්ම එවැනි පිරිසකගේ පයුරුපාසනය සඳහා අවශ්‍ය වින්තනයක් අත්‍යවශ්‍යව ඇති බව” නිගමනය කළේය. එපමණක් නොව “එය කළු වළාකුළු තුළින් මතු වූ රජත රේඛාවකි; ඝනාන්ධකාරය තුළින් පහළ වූ අරුණළු දහරකි. මෙවැනි ඛෙදවාචකයක් ඝනඳුරෙහි පහළ නොවන්නට එවැනි අරුණලු දහරක් පහළ වෙතැයි අපට සිතිය හැකි ද?” (‘අරුණළු සෙරෙන් අරුණෝදයට’) අාදී වශයෙන් කිසියම් අස්වැසීමක් ලබා ගන්නට තැත් කළේය. එසේ වුවද තමාගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඔහුටම සැකයක් ඇති වූ නිසා දෝ “මාගේ මේ නිගමනය බලාපොරොතක්තු සුන් වූවකු විසින් සිත සනසා ගන්නා අටියෙන් මවාගනු ලබන මායාවක් ලෙස කිසිවකු දකින්නට පුළුවන” යනුවෙන් තමාගේ නිගමනය ගැන තමා තුළම පහළ වූ සැකයද ප්‍රකාශ කළේය.

උක්ත කරුණු සංක්‍ෂිප්ත ව හෝ දැක්වීම වැදගත් වන්නේ එයින් සමාජ දේපාලන දර්ශනය පිළිබඳව පමණක් නොව ලේඛකයකු හා විචාරකයකු ලෙසද අමරසේකරගේ ආකල්පය පිළිබඳ ඉඟියක් ලැබෙන බැවිනි.

නාට්‍ය විචාරකයකු ලෙස තමා දුටු නාට්‍ය පිළිබඳව තම අදහස් හෙතෙම පුවත්පත් හා සඟරාවන්ට ලිවීය. එසේම නාට්‍ය කලා ක්ෂේත්‍රයේ විවිධ ප්‍රසිද්ධ සංවාදවලට සහභාගි විය. පුවත්පත් සඟරාවල පළ වූ විවිධ අදහස් පිළිබඳ තම ප්‍රතිචාරයද දැක්වීය. ඔහුගේ මෙබඳු මැදිහත් වීම් සමහර විට ඉතා ප්‍රබල විය. සාධනීය මෙන්ම නිෂේධනීය ලෙසද මෙරට නාට්‍ය කලාව කෙරෙහි බලපෑම් ඇති කළේය. එපමණක් නොව හෙතෙම නාට්‍ය දෙකක්ද රචනා කළේය. එහෙත් මෙම ලේඛකයා දන්නා පමණින් එම නාට්‍ය එකකුදු මේ වන තුරු මෙරට වේදිකාවට පැමිණ නැත. අමරසේකර හා මෙරට නාට්‍ය කලාව අතර ගනුදෙනුවේ ප්‍රධාන ලක්ෂණ කීපයක් වේ.

1974 දී සුගතපාල ද සිල්වාගේ ‘දුන්න දුනුගමුවේ’ නමින් කළ නාට්‍යය මෙරට විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ඉමහත් ප්‍රසාදයට පාත්‍ර විය. වෘත්තීය සමිති නායකයෙකු තම දරුවාගේ ජීවිතය ගැනද නොතකා වර්ජන අරගලයක් මෙහෙයවන ආකාරය දැක්වෙන මෙම නාට්‍යය සාර්ථක නිෂ්පාදනයක් විය. ගිය ගිය තැන ප්‍රෙක්ෂකයෝ නාට්‍යය අවසානයේ ඔල්වරසන් දුන්හ. අමරසේකර මේ පිළිබඳව ප්‍රශ්න කළේ ප්‍රේක්ෂකයින් මෙසේ ඔල්වරසන් නඟන්නේ නාට්‍යය ආස්වාදනය කිරීමෙන්ද නැතහොත් දේශපාලන හේතුවක් නිසාද යන්නයි. එය හුදු දේශපාලන හේතුවක් නිසා සිදු වන්නක් නම් මෙය කලා ක්ෂේත්‍රයට අයත් නොවන ප්‍රතිචාරයක් ලෙස අමරසේකර සැලකූ සේ පෙනිණි.

1970 ගණන්වල මැද භාගයේ, විශේෂයෙන්ම 1971 කැරැල්ලෙන් පසු අවධියේ මෙරට තරුණ නාට්‍යකරුවන් පිරිසක් දේශපාලන තේමා රැගත් නාට්‍ය ගණනාවක් නිපදවූ අතර එය එක්තරා ආකාරයක රැල්ලක් බවට පත් වී යයි කිව හැකිය. අමරසේකර මෙම නාට්‍ය පපඩම් නාට්‍ය ලෙස හැඳින්වූ අතර සමහර දේශපාලනඥයින් තරුණ නාට්‍යකරුවන් කුමාර වාහන කොට ගෙන තම දේශපාලන මතවාද ප්‍රචාරයට නාට්‍ය වේදිකාව යොදා ගෙන ඇතැයි නිර්දය මෙන්ම කර්කශ ප්‍රහාරයක් එල්ල කළේය. තරුණ නාට්‍යකරුවෝ අමරසේකර ඇතුළු විවේචකයින් යල්පිනූ මතවාද කරපින්නාගත් ප්‍රතිගාමී විචාරක පිරිසක් ලෙස හඳුන්වමින් ප්‍රතිප්‍රහාර දුන්හ. කෙසේ වුවද අමරසේකරගේ විචාරය නාට්‍යකරුවන් අතර දේශපාලන අරගල වුවද වඩා කලාත්මකව ඉදිරිපත් කරන්නේ කෙසේදැයි සිතා බැලීමට හේතු වී යයි කිව හැකිය. එහෙත් මෙම ක්‍රියාදාමයේ රසවත්ම අවස්ථාව වූයේ 1992 දී අමරසේකර තමාගේම දේශපාලන නාට්‍යයක් ලියමින් 1970 ගණන්වලදී තරුණ නාට්‍යකරුවනට කළ දෝෂාරෝපණය සංශෝධනය කිරීමය. හෙතෙම සිය ‘කවන්ධයක කතන්දරය’ (1992) නාට්‍යයේ ප්‍රස්ථාවනාවේදී මෙසේ කියයි.

“... අප විසින් මෙතෙක් වහරන ලද පපඩම් විශේෂණය ඉවත් කිරීම හිතකර යයි මම සිතමි. මේ වහර මා විසින් ඒ දිනවල වහරන ලද්දේ මේ නාටකය ජනතාවාදී යන සාඩම්බර නාමයෙන් ඉදිරිපත් කිරීමට තැත් කළ දේශපාලන අවස්ථාවාදීන්ගේ මානය බිඳලනු පිණිසයි. දැන් එවැන්නක් අනවශ්‍ය බැවින් ඒ ගැරහුම් පදය ඉවත් කර මේ නාටකය උද්ඝෝෂණ නාටකය වශයෙන් හැදීන්වීම වඩා සුදුසු යයි සිතමි.”

කෙසේ වුව ද එබඳු පාපෝච්චාරණයක යෙදෙන ගමන්ම අමරසේකර ලියන ‘කවන්දයක කතන්දරය’ ඊට කලකට පෙර ලියන ලද ‘පවුරු පදනම්’ මෙන්ම තම දේශපාලන අදහස් ප්‍රචාරණය සඳහා ලියූ අසාර්ථක නාට්‍යයකි. මේ නාට්‍ය දෙකෙන් එකක්වත් අධ්‍යක්ෂණයට මෙරට එකද නාට්‍යකරුවකුවත් ඉදිරි පත් නොවීම පුදුමයක් නොවේ.

අමරසේකර පොදුවේ නාට්‍ය කලාව පිළිබඳවත්, විශේෂයෙන් සිංහල නාට්‍ය පිළිබඳවත් 1992 වසරේ රචනා කරන ලද ‘කවන්දයක කතන්දරය’ නාට්‍යයේ හැඳින්වීමෙහි ඉදිරිපත් කරන තවත් දුර්මත කිපයකි. පළමුවැන්න “අප අද මුහුණ දෙන, සමාජය වෙත මුල් ඇදීගිය මුල් කෙඳි ජාලයෙන් යුතු මානුෂික ප්‍රශ්න ඒ සංකීර්ණ සමාජ ජාලය සමඟ කැටි කර දැක්වීමේ හැකියාවක් ශෛලිගත නාටකයට නොමැති බව” යි. දෙවැන්න එය කළ හැක්කේ සංවාද නාට්‍යයට පමණක් බවයි. තෙවැන්න බ්‍රෙෂ්ට්ගේ රංග ක්‍රමය අසාර්ථක, සංකර නාට්‍ය ක්‍රමයක් බවයි. සිව්වැන්න බ්‍රෙෂ්ට් නාට්‍ය ක්‍රමය අපගේ නාට්‍යකරුවන් බිලිගත් බොරුවළක් නොවේ යයි අපට කිව හැකිද යන ප්‍රශ්නයයි.

අමරසේකර අවුරුදු 10ක් පමණ කාලයක් එකම අදහසක් දරන්නකු නොවන නිසා මේ වන විට ඉහත කී කරුණු හතර පිළිබඳව ඔහු දරන අදහස් මොනවාදැයි විමසා බලා ඒවා පිළිබඳ තවදුරටත් කරුණු දැක්වීමට කැමැත්තෙමි.

ආචාර්ය [මයිකල් ප්‍රනාන්දු]

මාතෘකා