මම උදේට ලියන ලේඛකයෙක්

 ඡායාරූපය:

මම උදේට ලියන ලේඛකයෙක්

මෙක්සිකෝ නවකතාකරු කාලෝස් ෆුවෙන්තෙස්

ලියන්න ලොකු හයියක් ඕන වෙනවා

ලිවීමෙදි ඕන කරන්නෙ මේ විධියෙ (කතුවරයා නිරත වුණු ප්‍රංශ තානාපති ධුරය වැනි) හිත විසිරුවා හැරීම නෙවෙයි, එක් දෙයකට ලේඛකයාගේ පරිකල්පන ඇස ගොනු කිරීමයි. අවධානය යොමු කළ දේ හැරුණාම වෙන කිසි දේකින් නිර්මාණයක් කළ නොහැකි බවට දැඩි අවශ්‍යතාවකුයි ඊට ඕන වෙන්නෙ. ඉතින් අවුරුදු දෙකක් තිස්සේ සිර වී තිබුණු මේ ශක්තිය දැන් මගෙන් එළියට එනවා. මේ දවස්වල මම ගොඩක් ලියනවා. ඒවගේම මම දැන් ලියන හැටි ඉගෙන ගන්නවා. මීට කලින් මම ලියන්නෙ කොහොමද කියල දැනගෙන සිටියෙ නෑ. මම හිතන්නෙ මම ඒක ඉගෙන ගත්තෙ මේ විධියට රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ නිසයි. රාජ්‍ය නිලධාරියකු වුණාම ඔබට අතින් ලියනවා වෙනුවට ඕන තරම් මනසින් ලියන්න කාලය හිමි වෙනවා. හිතන්න මතන්නත්, මනසින් ලියන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නත් කාලය ලැබෙනවා. ලියන්න ගියාම තරුණ කාලෙ මම හරියට පීඩා වින්දා. මොකද හැම දවසකම හිස් පිටුවකින් ආරම්භ කරන එක මට ලොකු අභියෝගයක් වුණා. ලියන්නෙ මොනවාද කියල මට හිතාගන්න බැරි වුණා. මම හිස් පිටුව දිහා ඔහේ බලාගෙන, ලියමින් කපමින්, ආයෙ ලියමින් කපමින් පිටුව එක්ක ලොකු සටනක් කළා. අන්තිමේ ඊට මං වන්දි ගෙව්වෙ ඇඟේ වණ බිබිලි මතු වෙලායි. මට එතනදි කතාවක් ලියන්න පුළුවන් වුණේ මගේ තිබුණු දැඩි උද්යෝගය හා කායික ශක්තිය නිසයි. මොකද අවුරුදු විසි තිස් ගණන්වලදී ලියද්දි කෙනෙකුට ලොකු හයියක් තියෙනවා. ඉන් පස්සෙ ඔහුට ඔහුගේ ශක්තිය වැය කරන්න සිද්ධ වෙන්නෙ බොහොම පරෙස්සමින්. අද මම ආපසු හැරිලා බැලුවාම මට හිතෙන්නෙ මම රාජ්‍ය තාන්ත්‍රික සේවයට අවුරුදු දෙකක් (අතින්) ලිවීම අත්හැරලා මානසිකව ලියන්න ඉඩ විවර කරපු නිසයි මට අද මේ විධියට ලියන්න ඕන දේට කෙළින්ම අවතීර්ණ වෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඉතින් දැන් මට ලියන්න වාඩි වෙන්න කලින්ම ලියන්න පුළුවන්. වෙනදා වගේ හිස් පිටුවක් ඉදිරියේ එකල මෙකල වෙවී බලා ඉන්නෙ නැතිව ඒ හිස් පිටුවෙ ලියන්න පුළුවන්.

ලියන්න වාඩිවෙන්න කලින් මම කතාව මනසින් ලිවිය යුතුයි

මම උදේට ලියන ලේඛකයෙක්. මගේ අත් අකුරින් උදේ අටයි තිහට මම ලියන්න පටන් ගන්නෙ. දවල් දොළහයි තිහ වෙනකන් මම එහෙම ලියනවා. ඒක මං නවත්වන්නෙ ඒ වෙලාවට මම පිහිනන්න යන නිසයි. ඊළඟට මම ආපහු ඇවිල්ලා කෑම කාලා හවස ඇවිදින්න යන වෙලාව එනකන්, ඒ කියන්නෙ පහුවදා ලියන්න ඕන දේ හොයාගන්න ඇවිදින්න යනකන් කියවනවා. ලියන්න වාඩි වෙන්න කලින් මම මගේ මනසින් කතාව ලියන්න ඕන. (මම දැන් වෙසෙන ඇමෙරිකාවෙ) ප්‍රින්ස්ටන්වල මේ විධියට ඇවිදිද්දි මම හැමදාම ත්‍රිකෝණ රවුමක් ගහනවා: මම මුලින්ම මර්සර් වීදියේ අයින්ස්ටයින්ගේ ගෙවල් පැත්තට යනවා. ඊළඟට ස්ටොක්රන් වීදියේ තෝමස් මාන්ගේ නිවාසය පැත්තට ඇවිදිනවා. ඊළඟට එව්ලීන් පෙදෙසේ හර්මන් බ්‍රොක්ස්ගේ නිවාසය පැත්තට ඇවිද යනවා. මේ තැන් තුන දිහාට ගියාට පස්සෙ මම ආපසු ගෙදර එනවා. ඉතින් ඒ අතරතුර කාලයේ මම පොතේ පසුවදා ලියන්න යන පිටුවල පිටු හය හතක් මනසින් ලියා අවසන්.

මම අන්තිම මොහොත වෙනකන් හරි වැරදි බලනවා

මම මුලින්ම අතින් ලියනවා. පස්සෙ මට “ඕන දේ ලියවුණා” කියල හිතුණාම මම ඒ ලියපු ටික පැත්තකට දානවා. පස්සෙ අත්පිටපත අරගෙන කියවලා හරි වැරදි බලලා මමම ඒක ටයිප් කරනවා. ඒත් අන්තිම මොහොත වෙනකන් මම එහි හරි වැරදි බල බලා ඒක ටයිප් කරනවා.

ලියන හැම කතාකරුවෙක්ම ඉන්නෙ පෘෘස්තියානු ගැටලුවක

මම කඩදාසියේ ලියන්න ගනිද්දි කතාව ප්‍රායෝගික වශයෙන් ලියවිලා ඉවරයි. එහි මඟහැරුණු කොටසක් හෝ මඟහැරුණු දේ නැහැ. සාමාන්‍යයෙන් මම දන්නවා කතාවක් ලියැවෙන විධිය. මම එහිදී අඩු වැඩි වශයෙන් සිද්ධි ගළපනවා. ඒත් ඒ එක්කම එහිදී කතාවට ගේන්න සිටි ඇතැම් විස්මය මතු වන අවස්ථා මට අත්හරින්න සිදු වෙනවා. නවකතාවක් ලියන ඕන කෙනෙක් දන්නවා තමන් නියැලී ඉන්නෙ එක්තරා අයුරින් පෘෘස්තියානු (Proustian) ගැටලුවක කියල. ඒ කියන්නෙ තමන් ලියන්න යන දේ කලින් දැනගෙන ඉන්න අතරෙ තමන්ගෙන් ලියැවෙන දෙයින් විස්මයට පත් වීමත් අවශ්‍යයි කියන එක. මිෂෙල් පෘෘස්ට් ලිව්වෙ ඔහු ලියන්න යන දේ අත්වින්දා නම් විතරයි. ඒත් ඒ අතරෙ ඔහුට තමන් ලියන දේ කවදාවත් අහලාවත් නෑ වගෙත් ලියන්න සිදු වුණා. ඒක හරිම අපූර්ව, අසාමාන්‍ය දෙයක්. එක අතකට නවකතාකරුවන් වන අපි හැමෝම නියැලී ඉන්නෙ එකම විධියෙ වික්‍රමයක. ඒ, කියන්නෙ ලියන්න යන දේ දැනගෙන, තමන්ගෙ අමුද්‍රව්‍ය හරියට පාවිච්චි කරන අතරෙ කතාවෙ විස්මයක්, අලුත් දෙයක් මතු වීමට නිදහසක් තබා ගැනීමයි. එ් දේ පාඨකයාට පොතක් කියවීමට ඇති මූලික අවශ්‍යතාවක්.

නිතරම සමාජ කාර්යය හා සෞන්දර්යය අතර ආතතියක් ඇති වෙනවා

අපට අපේ සංස්කෘතිය තුළ ඇමෙරිකානු ලේඛකයන්ට වඩා වැඩි වැඩ කොටසක් කරන්න තියෙනවා. ඇමෙරිකානු ලේඛකයින්ට ඔවුනොවුන්ගේ වැඩ කටයුතුවලටත්, ලියන්නත් හුඟක් කාලය තියෙනවා. ඒත් අපට එහෙම නෑ. අපට සමාජ වගකීම් තියෙනවා. පැබ්ලෝ නෙරූඩා නිතර කියන දෙයක් තමයි හැම ලතින් ඇමෙරිකානු ලේඛකයෙක්ම ඇවිදින්නේ මහා බරක්, තම ජනතාවගේ බරක්, ඔහුගේ අතීතයේ බරක්, ඔහුගේ ජාතික ඉතිහාසයේ බරක් ඔසොවාගෙන කියල. අපට ජීවිතය දුන් දේ අප අමතක නොකර ගන්න නම් අපි අපේ අතීතයේ මහා බර තේරුම්ගන්න ඕන. ඔබ අතීතය අමතක කළොත් ඔබ මියයාවි. පොදු ජන සමාජය වෙනුවෙන් ඔබ යම් යම් ක්‍රියාකාරකම් කරන්න ඕන. මොකද ලේඛකයකු විධියට නෙවෙයි, පුරවැසියකු විධියට ඔබ කළ යුතු දේවල් ඒවා. එහෙම වුණත් ඔබ එහිදී පාවිච්චි කරන්න ඕන ඔබේ සෞන්දර්යාත්මක නිදහස හා සෞන්දර්යාත්මක වරප්‍රසාදයි. මේ අනුව මේ දෙක අතර (සමාජ කාර්යය හා සෞන්දර්යය අතර) නිතරම ආතතියක් ඇති වෙනවා. ඒත් සමහර වෙලාවට ඇමෙරිකාවෙ වෙනවා වගේ ආතතියක් නැතිම වෙනවාට වඩා ආතතියක් තියෙන එක හොඳයි.

මගේ තේමාව අසම්පූර්ණයි

මම හිතන්නේ හැම ලේඛකයෙක්ම ජීවත් වෙන්නෙ කල්පනාවන් (obsessions) උඩ. මේ සමහර කල්පනා ඔවුන්ට එන්නෙ ඉතිහාසයෙන්. අනෙක්වා එන්නෙ ඔවුනොවුන්ගේ පෞද්ගලිකත්වයම උඩ. ඒවගේම තවත් ඒවා අයිති වෙන්නෙ තනිකරම කරදරකාරී වන විෂය පරාසයට. ඒක ලෝකයේ ඕනෑම ලේඛකයකුට ඇති පොදු දෙයක්. මගේ කල්පනාවන් මගේ හැම පොතකම තියෙන්නෙ එකම විධියට: ඒවා බිය එක්ක ගනුදෙනු කරනවා. මගේ හැම පොතකම තියෙන්නෙ බිය ගැන. ඒ කියන්නෙ දොරෙන් කවුරු ඇතුළට ඒවිද, කවුරු මට ආසා කරාවිද, මම කාට ආසා කරාවිද, මම මගේ ආසාවන් කොහොම ඉෂ්ට කර ගනීවිද යන බිය, තැතිගැන්ම පිළිබඳ පොදු මානුෂික සංවේදනාව එහි තියෙනවා. මං ආසා කරන දේ මම බලා ඉන්න කණ්ණාඩියේ පෙනෙන මං ආසා කරන දේමද? මේ කල්පනාවන් මම ගනුදෙනු කරන පොදු ඓතිහාසික සන්දර්භය සමඟ මගේ හැම පොතකම තියෙනවා. ඒත් ඉතිහාසය තුළ වගේම පුද්ගලත්වය තුළත් මගේ තේමාව අසම්පූර්ණයි. මොකද අපි ලෝකයටත්, අප අපටත් බයයි.

පරිවර්තනය [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා