නවකතාවකදි වුණත් ඓතිහාසික තොරතුරු විකෘති කරන්න බෑ

 ඡායාරූපය:

නවකතාවකදි වුණත් ඓතිහාසික තොරතුරු විකෘති කරන්න බෑ

සම්මානලාභී ලේඛිකා රූපා ශ්‍රියානි ඒකනායක

සම්මානලාභී ලේඛිකා රූපා ශ්‍රියානි ඒකනායක පසුගියදා ඇගේ අලුත්ම නවකතාව එළිදැක්වූවාය. ඒ, ‘සෝබන මාලිගා’ය. අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය පාදක කරගනිමින් රචනා කරනු ලැබ ඇති ඒ පිළිබඳව අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

රූපා ශ්‍රියානි රචනා කළ ‘තරු බඹසර’ නවකතාව 2007 ස්වර්ණ පුස්තක සම්මාන අවසන් වටයට නිර්දේශ වූ අතර 2012 වසරේ රචිත ‘සිටුවර පුවත’ නවකතාව ස්වර්ණ පුස්තක සම්මානය ලැබුවාය. තවද 2010 වසරේ ඇගේ ‘දුටිම් නෙතින් කසුබ් නිරින්දෝ’ නවකතාවට ගොඩගේ සම සම්මානය ලැබිණ. මේ, ඇගේ ප්‍රබන්ධ කලාව පිළිබඳ විමසන සම්මුඛ සාකච්ඡාවකි.

‘සෝබන මාලිගා’ නවකතාව ඔබ හඳුන්වාදෙන්නේ කෙසේද?

මෙය අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය අළලා ලියැවුණු නවකතාවක්. එය ඓතිහාසික ගණයට වැටෙන පොතක් හැටියට සලකන්නත් පුළුවන්. එයට පසුබිම් වන්නේ මෑත ඉතිහාසයයි. අනගාරික ධර්මපාලතුමා ගැන දන්න හුඟක් අය තවමත් ලංකාවේ ඉන්නවා. ඒ නිසා ඉතා ඈත ඉතිහාසය පසුබිම් කරගත් රජ කතාවක් ලියනවට වඩා මෙවැනි නවකතාවක් ලියන එක වැදගත් කියලා මට හිතුණා. මම මෙයට පෙර ඓතිහාසික නවකතා කිහිපයක්ම ලියලා තියෙනවා. ‘විජයයි කුවේණියයි’, ‘සෙංකඩගල මහ බිසෝ’ සහ ‘දුටිම් නෙතින් කසුප් නිරින්දේ’ ඇතුළු ඒ ඓතිහාසික නවකතාවලට වඩා මේ කෘතිය හුඟක් වෙනස්. ධර්මපාලතුමා කියන්නෙ පුදුම විදියට මිනිස්කමෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක්. එතුමා ඒ ප්‍රයෝජන ගත්තෙ තමන්ට නෙවෙයි, තමන්ගෙ රට, ජාතිය සහ ආගම වෙනුවෙන්. රට, ජාතිය සහ ආගම කියන දේවල් දැන් ටිකක් තහනම් වචන වුණාට ඒ දවස්වල අපි සුද්දන්ට යටත් වෙලා හිටි යුගයනෙ. ඉතින් ඒක නිසා ඒ කාලයේ ජාතික චින්තනය සහ ජාතික ප්‍රබෝධය ඇති කිරීමට ධර්මපාලතුමා හරි වෙහෙසක් දැරුවා. ඒ චරිතය ඇසුරින් චරිතාපදානයක් වෙනුවට මෙවැනි නවකතාවක් ලිවීම වැදගත් කියලා මම හිතුවා.

මීට අවශ්‍ය තොරතුරු ලබාගත්තේ කෙසේද?

ධර්මපාලතුමා ගැන පළ වෙලා තියෙන ඉතාම හොඳ පොත් ලියලා තියෙන්නේ ආනන්ද ගුරුගේ මහතායි. ධර්මපාලතුමා ගැන ලියන ඕනෑම කෙනෙක් ආනන්ද ගුරුගේ මහතාගේ ‘ධර්මපාල ප්‍රතිරාවය’ සහ ‘ධර්මපාල ලිපි’ කියන පොත් කියවනමායි. ඊට අමතරව, ධර්මපාල චරිතයේ ඉතා වැදගත් තොරතුරු ගැන දැනගන්න හෝ ඒ චරිතය සමීපව අධ්‍යයනය කරන්න වැදගත් වෙන පොත්පත් ලංකාවේ එච්චර නැහැ. පිටරැටියන් තමයි ධර්මපාලතුමා ගැන හුඟක් ලියලා තියෙන්නෙ. ඒවා හුඟක් මම කියෙව්වා. හැබැයි මේක නවකතාවක්. අපට කරුණු එක්රැස් කරලා වාර්තාවක් ලියන්න පහසුයි. ඒත් නවකතාවක් ලියන්න බෑ. නවකතාවක් ලියනවා කියන එක ටිකක් කල්පනාවෙන් කරන්න ඕන වැඩක්. ඇත්ත චරිත සමඟ පරිකල්පනයෙන් නිර්මාණය කරපු චරිතත් මුසු වෙමින් තමයි නවකතාවක් ගොඩනැගෙන්නෙ.

සැබෑ චරිතයක් පාදක කරගෙන නවකතාවක් ලිවීම ඔබට කෙතරම් අභියෝගාත්මක වුණාද?

මෙවැනි කෘතියකදි බොරු දේවල් ලියන්න බැහැ. වෙනත් සාමාන්‍ය නවකතා ලියනකොට හිතට එන, හොඳයි කියලා හිතෙන ඕන දෙයක් අපට ලියන්න පුළුවන්. හැබැයි නවකතාවකදි එහෙම ලිව්වොත් එය අදාළ චරිතයට කරන හානියක්. නවකතාවකදි වුණත් ඓතිහාසික තොරතුරු විකෘති කරලා ලියන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මෙයට කලින් සීගිරි කාෂ්‍යප සහ දෝන කතිරිනා බිසව ගැන නවකතා ලියනකොට වුණත් ඓතිහාසික තොරතුරු ගැන මම විශේෂයෙන් සැලකිලිමත් වුණා. මේ නවකතාවෙදි ඒ සම්බන්ධයෙන් ඊටත් වැඩිය සැලකිලිමත් වෙන්න සිදු වුණා. මොකද අර රජ කතාවලින් කියැවෙන්නෙ ඉතා ඈත ඉතිහාසය ගැන වුණාට මේ නවකතාවට පසුබිම් වෙන්නෙ මෑත කාලයේ අපි දන්න ඉතිහාසයයි. එතුමාගේ සංකල්පය තවමත් එහෙ මෙහෙ පාවෙන යුගයක්නෙ මේක. ඉතින් ඒ නිසා මේ කරුණුවල නිවැරදිභාවය තහවුරු කරගැනීම බැරෑරුම් කටයුත්තක් වුණා.

මෙහිදී සත්‍යය සහ පරිකල්පනය අතර සමබරතාව රැකගන්නේ කුමන අයුරින්ද?

මෙවැනි නවකතාවකදි අපි ගොඩනගන චරිතවලට පරිකල්පිත චරිතවලින් ආලෝකයක් ලැබෙන්න ඕන. එය බොහොම කල්පනාවෙන් කළ යුතු දෙයක්. මම මෙයට කලින් ඓතිහාසික කතා දෙක තුනක් ලියලා තියෙන නිසා මේ සම්බන්ධයෙන් කිසියම් අදහසක් මා තුළ තිබුණා. මෙවැනි නවකතාවක් එක දිගට හුඟක් ලියාගෙන යන්න බැහැ. මම ලියන්නෙ පරිගණකයෙන්. එහෙම ලියාගෙන යනකොට එක පාරට නතර කරන්න සිද්ධ වෙන අවස්ථා හරි සුලබයි. මේ චරිතය සම්බන්ධ කරුණු නිවැරදිද කියලා හරියටම තහවුරු කරගන්න අවශ්‍ය වුණාම ලිවීම නතර කරලා ඒ කරුණු ගැන වැඩිදුරටත් අධ්‍යයනය කරන්න සිදු වූ අවස්ථා තියෙනවා. මෙවැනි නවකතාවකදි පරිකල්පිත චරිත ගැන වුණත් ආවට ගියාට ලියන්න බැහැ. ඒ චරිතත් ගැටෙන්න ඕන අර සත්‍ය ජීවිත සමඟ වන නිසා අනෙක් චරිතවල විශ්වසනීයත්වය ගැනත් සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ නවකතාවක් එක දිගට හුඟක් ලියාගෙන යන්න බැහැ. ඒ සඳහා කාලයක් ගන්න වෙනවා.

මේ කෘතියට ලැබෙන ප්‍රතිචාර සතුටුදායකද?

ප්‍රතිචාර නම් තවම ඒ තරම් ඉහළ මට්ටමකින් ලැබුණෙ නැහැ. පොත කියවපු කිහිප දෙනෙක් මට කතා කරලා ඔවුන්ගේ අදහස් කිව්වා. පොත පාඨකයන් අතරට යනවාද නැද්ද කියන එක ගැන පැහැදිලි අදහසක් ලබාගන්න මට තවම හැකියාවක් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් පොතක් පාඨකයන් අතරට යන්න අවුරුද්දක විතර කාලයක් ගත වෙනවා. ඕනම පොතක් පාඨක අවධානයට ලක් වෙන්න කාලයක් යනවා. මගේ ‘සිටුවර පුවත’ වගේ නවකතාවක් වුණත් පාඨකයා අතරට යන්න ටිකක් කල් ගියා.

එවැනි නවකතා අවධානයට ලක්වීම සඳහා සම්මානත් වැදගත් වුණා?

සම්මාන ලැබීම නිසාම හුඟක් දෙනෙක් දැන් ලිවීමට පෙළඹිලා තියෙනවා. ඒ දෙස අපට ධනාත්මක විදියට බලන්න පුළුවන්. බොහෝ විද්වත් ලේඛකයින් පවා දැන් නිතර නිතර නවකතා ලියන ප්‍රවණතාවක් තියෙනවා. සම්මානවල හොඳ නරක දෙකම තියෙනවා. පාඨක ජනතාවත් දැන් පෙළඹිලා ඉන්නෙ සම්මාන හම්බ වුණු පොත් කියවන්නයි. ඒ අයට ඒකට දෝෂාරෝපණය කරන්නත් බැහැ. බොහෝ පොත් බිහි වන යුගයක, විශේෂයෙන්ම බොහෝ නවකතා පළ වන යුගයක තමන් කියවන්න ඕන පොත මොකක්ද කියලා තෝරාගැනීමේ නිර්ණායක පාඨකයින්ට තියෙන්න එපායැ. හුඟක් අය පොත් ප්‍රදර්ශනවලට එහෙම යන්නෙත් සම්මාන ලැබුණු පොත් මිලදී ගැනීමේ අදහස ඇතිවයි. හැබැයි සමහර විට සම්මාන නොලැබුණු ඉතාම අනර්ඝ පොතුත් ඔය අතරෙ තියෙන්න පුළුවන්. ආධුනික ලේඛක ලේඛිකාවන්ගේ වගේම ප්‍රවීණ ලේඛක ලේඛිකාවන්ගෙත් හොඳ පොත් සම්මාන නොලැබුණු පොත් අතරෙ තියෙන්න පුළුවන්. ඒ නිසා සම්මාන ලැබුණු පොත් විතරක්ම කියවන එක ඒ තරම් හොඳ ප්‍රවණතාවක් නෙවෙයි.

අද වන විට සම්මාන හෑල්ලුවට ලක් වෙලා?

ඒක නම් විනිශ්චය මණ්ඩලවල වැරදි තීන්දු තීරණ නිසා ඇති වූ තත්ත්වයක් හැටියටයි මම සලකන්නෙ. නවකතා ලියන අය වශයෙන් අපට ඒ තත්ත්වය විවේචනය කරන්න බැහැ. හොඳ පොතක් තේරීමේ වගකීම විනිශ්චය මණ්ඩල‍ සතු දෙයක්. විනිශ්චය මණ්ඩලවලට බොහෝ විට තෝරලා ගන්නෙ විශ්වවිද්‍යාල ආචාර්ය සහ මහාචාර්යවරු වැනි විද්වත් පිරිස්නෙ. සමහර විට ඒ අයට විෂය වන දේ පොදු පාඨකයාට විෂය නොවෙන අවස්ථා තියෙන්න පුළුවන්. තවත් සමහරු ඒවට කැමති වෙන්නත් පුළුවන්. ඒක ලංකාවෙ විතරක් නෙවෙයි, ලෝකෙ හැමතැනම තියෙන තත්ත්වයක්. ලෝකයේ ඕනම රටක සම්මාන දුන්නු පොත්පත් අරන් බලනකොට ඒවට විරුද්ධව කතා කරන අය හුඟක් ඉන්නවා. සමහර විට ඒ පොත්පත් දෙස විද්වතුන් බලන කෝණයෙන් සාමාන්‍ය පාඨකයා බලන්නෙ නැතුව ඇති. හැබැයි මම නම් හිතන විදියට අපේ පාඨකයාට යම්කිසි රසඥතාවක් තියෙනවා. අද බොහෝ අයට හොඳ පොත් ගැන අවබෝධයක් නැහැ කියලා හෝ ඔවුන් පොත් කියවන්නෙ නැහැ කියලා හෝ කියන්න අපට බැහැ. යම්කිසි රසඥතාවක් තියෙන, ආසාවෙන් පොත් කියවන තරුණ පිරිසක් අදටත් මේ රටේ ඉන්නවා. සමහර විට සම්මාන සහ නිර්දේශ ලබන පොත්පත් ඔවුන්ට විෂය නොවෙනවා වෙන්නත් පුළුවන්.

විෂය නිර්දේශයෙන් සාහිත්‍යය ඉවත් කිරීම කියවීමේ පුරුද්ද නව පරපුරෙන් ඈත් වීම සඳහා බලපෑවා?

පැහැදිලිවම බලපෑමක් වුණා. දේශපාලන වශයෙන් ගන්නා තීරණ අපේ දරු පරපුරේ අදහස් උදහස්වලට බලපානවා. අද අධ්‍යාපනය සම්බන්ධ බොහෝ තීන්දු තීරණ ගන්නේ විභාග පමණක්ම ඉලක්ක කරගනෙයි. ඒ නිසා විභාගයට සාහිත්‍ය ඕන නැත්නම් සාහිත්‍ය පොතපත කියවන්න ඕන නැහැයි කියන විදියෙ ආකල්පයක් බොහෝ අය තුළ ඇති වෙන්න පුළුවන්. එතකොට අම්මල තාත්තල වුණත් දරුවන්ව සාහිත්‍ය පොතපත කියවන්න උනන්දු කරන්නෙ නැහැනෙ. අද තියෙන්නෙ විෂය නිර්දේශය සඳහා තියෙන පොත්පත් පමණක් කියවලා විභාග සමත් වෙන ක්‍රමයක්. එයට අමතරව දැන් ළමයි තාක්ෂණය නිසා පොතපතෙන් ඈත් වෙන ගතියකුත් තියෙනවා. හැබැයි අවශ්‍ය නම් තාක්ෂණය උපයෝගී කරගෙන පොත්පත් කියවන්නත් පුළුවන්. මම ධර්මපාලතුමා ගැන හුඟක් පොත්පත් කියෙව්වේ අන්තර්ජාලයෙන්. ඒ වුණාට අපේ රටේ ඒ පුරුද්ද තවම ව්‍යාප්ත වෙලා නැහැ. දැන් අපට ඇත්තටම කරන්න තියෙන්නෙ තාක්ෂණය ඔස්සේ රසඥතාවයක් දියුණු කිරීමයි. පොත්පත් මිලදී ගන්නවා වෙනුවට දුරකථනයෙන් හෝ පරිගණකයෙන් පොත්පත් කියවන්න ළමයි වුණත් කැමති වෙයි. දැන් ‘ඊ බුක්ස්’ එහෙමත් තියෙනවනෙ. ලංකාවේ එතරම් ප්‍රචලිත වෙලා නැති වුණාට පිටරටවල බොහෝ අය දැන් පොත් කියවන්නෙ ඊ බුක්ස්වලින්. ළමයා තුළ කියවීමේ රුචිකත්වය වැඩි කරන්න නම් ළමයා කැමති මාධ්‍යයෙන් අපි ඒක දෙන්න ඕන. පොතක් දිග ඇරගෙන කියවනවට වැඩිය ළමයා කැමතියි පරිගණකයෙන් කියවන්න.

සාහිත්‍යය කියවීම සඳහා රටේ පාලන බලයේ සිටින රජයට යමක් කළ හැකි යැයි ඔබ සිතනවාද?

ඔව්. ප්‍රතිපත්ති සම්පාදකයින්ට මේ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. මුලින්ම පොත්පත්වල අගය ප්‍රතිපත්ති සම්පාදකයින් දැනගන්න ඕන. කනගාටුවට කරුණ අපේ ප්‍රතිපත්ති සම්පාදකයින් අතර පොත්පත් කියවන අය අඩු වීමයි. රටක් කරවන අය අනිවාර්යයෙන් හිතන්න ඕන බාල පරම්පරාවට මොකද වෙන්නෙ කියලා. ඒක අපේ වගකීමක්. පුරවැසියන් වශයෙනුත් පාලකයින් වශයෙනුත් වගකීමක්. එහෙම සැබෑ වුවමනාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිපත්තිවලත් ඒක එයි. සමාජයටත් ගලයි. ඒක විය යුතුයි. ඒ වුණාට දැන් හුඟක් එහෙම වෙන්නෙ නැහැ.

මුහුණුපොත ගැන ඔබේ අදහස කුමක්ද?

ෆේස්බුක් මාධ්‍යය සාහිත්‍යමය පැත්තෙන් ප්‍රයෝජනයට ගන්නේ බොහොම සීමිත කාණ්ඩයක් පමණයි. ෆේස්බුක් කවි වගේම ෆේස්බුක් ගද්‍ය නිර්මාණ වගේ දේවල් හුඟක් ප්‍රචලිත කරන්න පුළුවන්. ඒ වගේම සාහිත්‍ය සංවාද සහ ඉතිහාසය වැනි විෂයන් පිළිබඳ සමාජ කතිකාවන් වැනි දේවල් ෆේස්බුක් වැනි මාධ්‍යයක් හරහා ප්‍රචලිත කරන්න පුළුවන්. ධනාත්මක පැත්තට. ඇත්තටම ෆේස්බුක් කියන්නේ හොඳ මාධ්‍යයක්. ඒත් එය හොඳින් පාවිච්චි වෙනවා අඩුයි.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා

ජනප්‍රිය ලිපි