නවකතාව තරම් කෙටිකතාව පිරිහිලා නෑ : රන්ජිත් ධර්මකීර්ති

 ඡායාරූපය:

නවකතාව තරම් කෙටිකතාව පිරිහිලා නෑ : රන්ජිත් ධර්මකීර්ති

ප්‍රවීණ සාහිත්‍යධර හා නාට්‍යධර රන්ජිත් ධර්කීර්ති පසුගියදා තමාගේ අලුත්ම කෙටිකතා සංග්‍රහය ‘සුළඟ වැස්ස මුහුද’ නමින් එළිදැක්වීය. මීට පෙර ඔහු රචනා කළ කෙටිකතා සංග්‍රහ අතර ‘තුන්වැනි ලෝකයේ කතාවක්’, වර්ෂ 1984 දී සාහිත්‍ය සම්මාන දිනූ ‘ප්‍රදීපාගාරය යට’, ‘හරස් පාර’, ‘හුදෙකලා වූ මිනිහෙක්’, ‘සිතුවමක් හා සිහිනයක්’ සහ ‘පෙම් සිහින’ වැනි කෙටිකතා සංග්‍රහ පවතින අතර නවකතා අතර ‘එය තවත් දවසකි’, ‘සත් මහල’, ‘මැද මහල’, ‘සයුරු තරණය’, ‘හුදෙකලා වූ ගැහැනියකගේ පාපෝච්චාරණය’, ගිනි සිළුවක සඳ එළිය’, ‘බොල් පොළොව – නිල් අහස’ සහ ‘දෙනුවර අතර’ ආදිය වේ. ‘හිරු නැති ලොව’, ’මෝදර මෝල’ සහ ‘මේඝ’ ඔහුගේ නාට්‍ය කිහිපයකි. 
මේ, මෙරට වර්තමාන සාහිත්‍යය පිළිබඳව අප ඔහු හා කළ සම්මුඛ සාකච්ඡාවකි. 

මෙයට පෙර පළ වූ ඔබේ ‘පෙම් සිහින’ කෙටිකතා සංග්‍රහය නිසි ඇගයීමට ලක් වුණාද? 
එය ඇගයීමට ලක් විය යුතු බව බොහෝ අය කිව්වා. ඇතැම් අය මා තුළ සම්මාන පිළිබඳ බලාපොරොත්තුත් ඇති කළා. එය රාජ්‍ය සාහිත්‍ය සම්මානවල අවසාන පොත් තුන අතරටත් ආවා. එ්ත් ඊට සම්මාන හිමි වුණේ නැහැ.   
අද සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලවල වැඩි හරියක් ඉන්නෙ පොත් කියවන නැති අයයි. ඒ අය කරන්නෙ ඔය මණ්ඩලවල වාඩි වෙලා, කීයක් හරි අරගෙන සාක්කුවේ දාගන්න එකයි. ඔවුන් ජාතික වගකීමක් ඉටු කරන්න පුළුවන් අය නෙවෙයි. අද තියෙන ලොකුම අඩුව හොඳ විචාරයක් නැතිකමයි. සාහිත්‍ය මණ්ඩලවල ඉන්නෙත් විචාර කලාව දන්න අය නෙවෙයි. ඒවගේම ඔවුන් හොඳ විචාරකයොත් නෙවෙයි. ඒ අය සමහර නම්වලට බයයි. එක එක ප්‍රවණතාවලට බයයි. ඒ ප්‍රවණතා මොනවද කියලා ඔවුන් සමහර විට කියවලාත් නැහැ. මේ තත්ත්වය තුළ සම්මානවලදී මුල් වටයෙන්ම හැළිච්ච ඉතාම හොඳ කෘති තියෙනවා. ඒ නිසා ඇගයීම් හෝ සම්මාන ගැන ඒ තරම් ලොකු විශ්වාසයක් තියන්න බැහැ. මට ඇගයීම් හෝ සම්මාන ලැබුණත්, නොලැබුණත් මට පාඨකයො ඉන්නකම් මම ලියනවා.   

කෙටිකතාව සඳහා පිරිනැමෙන රජත පුස්තකය වැනි සම්මාන ගැන ඔබේ අදහස කුමක්ද? 
එවැනි සම්මාන දීමේ වරදක් නැහැ. ඒ හරහා නිර්මාණවලට කිසියම් අවධානයක් යොමු වෙනවා. ඊට අමතරව පොත් අලෙවියකුත් සිද්ධ වෙනවා. නමුත් සම්මාන උත්සව පවත්වාගෙන යනකොට ඒවා හරියට කරගෙන ගියේ නැත්නම් පාඨකයින්ගේ විශ්වාසය බිඳෙනවා. එතකොට ඔවුන් සම්මාන ගැන නොතකා තමන් කැමති ලේඛක ලේඛිකාවන් සහ ඔවුන්ගේ නිර්මාණ තෝරගන්නවා. මගේ ‘පෙම් සිහින’ කෙටිකතා පොතට සම්මාන ලැබුණේ නැහැ කියලා මට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මම දැන් එහි දෙවැනි මුද්‍රණයටත් සූදානම් වෙනවා. ඒ වසරේ සම්මාන ලැබූ කෙටිකතා පොත් කොයි තරම් දුරට පාඨකයින් අතරට ගියාද කියල මම දන්නෙ නැහැ. මගේ කෙටිකතා පොත නම් පාඨකයින් අතරට ගිය බව මම දන්නවා. පාඨකයින්ට යම් කිසි ඉවක් තියෙනවා. ඔවුන් හොඳ ලේඛක ලේඛිකාවන්ව සහ ඔවුන්ගේ නිර්මාණ තෝරගන්නවා. මේ පාඨකයෝ එන්න එන්න බුද්ධිමත් වෙනවා. විචාරකයො නැති වුණාට හොඳ පොත් මොනවද කියලා තෝරාගන්න දැන් පාඨකයින්ට පුළුවන්. අමුතුවෙන් විචාර හදලා ලියවලා, පළ කරලා හෝ සම්මාන දීලා ඔසොවලා තිබ්බට එවැනි නිර්මාණ වැඩි කල් පවතින්නෙ නැහැ. සමහර විට තව අවුරුදු දහයක් විතර යනකොට සම්මාන නොලබපු කෘතිත් ඉදිරියට යන්න පුළුවන්. සම්මාන ලබපු කෘති වළපල්ලට යන්නත් පුළුවන්. ඒක ඉතිහාසය තීරණය කරයි.   

ඔබේ ‘ප්‍රදීපාගාරය යට’ කෙටිකතා කෘතියට සම්මාන ලැබීමෙන් ඔබ තුළ යම් වෙනසක් වුණාද? 
ඔව්. ඒ වන විට මම එතරම් ප්‍රවීණ කෙටිකතාකරුවෙක් නෙවෙයි. එහෙත් සම්මානය ලැබීමෙන් පසුව මගේ කෙටිකතා ගැන යම් යම් පිරිස් කතා කළා. ඒ වන විට මාව දන්නෙත් නැතිව මහාචාර්ය විමල් දිසානායක මගේ කෙටිකතා ගැන විචාරයක් ලියලා තිබුණා. ඒ සම්මානය නිසා මගේ කෙටිකතා පොත පිළිගැනීමට ලක් වුණා. එයින් පසුව බොහෝ දෙනෙක් ඒ ගැන සාකච්ඡා කළා. ඒ නිසා සම්මානයක් ලැබීම මට ලොකු අනුග්‍රහයක් වුණා. ඇත්තෙන්ම ‘ප්‍රදීපාගාරය යට’ කෙටිකතා පොතට ලැබුණු සම්මානය මට හුඟක් වැදගත් වුණා. ඒ සම්මානයෙන් මම බොහෝ දිරිමත් වුණා. කෙටිකතා ක්ෂේත්‍රය තුළ තව රැඳී ඉන්න ඕන කියල මට හිතුණා. ඒවගේම මට ලොකු වගකීමකුත් දැනුණා. ආපස්සට නොයා, ඉදිරි කෙටිකතා සංග්‍රහය වඩාත් හොඳ තත්ත්වයට ගෙනියන්න ඕන කියලා මම හිතුවා. ලැබුණු සම්මානයේ ගෞරවය ආරක්ෂා කරමින්, පාඨකයින් මා කෙරෙහි තබන විශ්වාසයත් ආරක්ෂා කරමින් හොඳ දේ පමණක් කරන්න මම උත්සාහ ගත්තේ ඒ නිසයි.   

කෙටිකතාවට සාපේක්ෂව නවකතාව ජනප්‍රියයි? 
අද විවිධ සම්මාන නිසා නවකතාව ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ සමඟම නවකතාවේ අලෙවියත් වැඩි වෙලා තියෙනවා. එ්ත් ගුණාත්මකව කෙතරම් දුරට එහි වර්ධනයක් වුණාද කියන එක ගැන සැකයක් තියෙනවා. සෝඩා බෝතලේ ඇරියා වගේ විශාල නවකතාකරුවන් සංඛ්‍යාවක් මේ වන විට බිහි වෙලා ඉන්නවා. පසුගිය වසරේ ස්වර්ණ පුස්තක සම්මාන දිනපු නවකතාව එක දවසකට විසිදෙදාහක් අලෙවි වුණා කියලා ප්‍රකාශන ආයතනයම දැන්වීමක් දාලා තිබුණා. ඒ ගැන අපි කවුරුත් සතුටු වෙන්න ඕන. දවසකට පිටපත් විසි දෙදාහක් කියන්නෙ විශාල ගණනක්. හැබැයි ඒ ප්‍රමාණාත්මක වර්ධනය වගේම ගුණාත්මක පැත්ත ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕන.   
සම්භාව්‍ය කෘතියක් ගත්තොත් එහි පැවැත්ම තීරණය කරන නිර්ණායක දෙකක් තියෙනවා. එකක් තමයි එය පාඨකයාත් සමඟ කොච්චර කාලයක් ජීවත් වෙනවාද කියන එක. ඒවගේම තමයි ඒ අත්දැකීම කොච්චර පරණ වුණත් එහි විශ්වාන්තර, කාලය ඉක්මවන ප්‍රබල ශක්තියක් තියෙන්න ඕන. ‘ගම්පෙරළිය’ සහ‘විරාගය’ වැනි නවකතා අපේ පාඨකයො තවම කියවනවා. ‘මඩොල්දූව’ කෘතියෙත් අවුරුද්දකට පිටපත් විසිපන් දහසක් විකිණෙනවයි කියලා මට දැනගන්න ලැබුණා. කාලයකට ඉහත පියදාස සිරිසේනගේ නවකතාවලත් පිටපත් විසිපන් දහසක් බැගින් මුද්‍රණය කරලා තියෙනවා. අද නම් පොත් ගහන්නෙ පිටපත් දාහ, පන්සීය, දෙසිය පනහ වගේ ගණන්. එහෙම තියෙද්දි තවමත් පරණ පොත්වලට ඉල්ලුමක් තියෙනවා නම් ඒකෙන් පේන්නෙ ඒවායේ සම්භාව්‍ය ලක්ෂණ තියෙනවා කියන එකයි. ‘ගුත්තිලය’ කවදාවත් පරණ වෙන්නෙ නැහැනෙ. ‘සද්ධර්ම රතනාවලිය’ සහ‘ජාතක පොත’ තවමත් මිනිස්සු කියවනවනෙ. ඒ කෘතිවල ප්‍රබල ශක්තියක් තියෙනවා.   

ඉන් අදහස් වන්නේ එදාට සාපේක්ෂව අද පොත් දුර්වල බවද? 
සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන මහා පොත් ප්‍රදර්ශනයේදී අපි දකින්නෙ අපේ දෙකෝටියක ජනගහනයෙන් දශම ගාණක්. අද පොත්පත් මිලදී ගන්න එවැනි පිරිසක් හෝ ඉන්න එකත් ලොකු දෙයක්. වසර ගණනකට පෙර මගේ ‘අභයභූමිය’ පොතේ පිටපත් හත්දහස් පන්සියයක් මුද්‍රණය කළා. කුලසේන ෆොන්සේකාගේ ‘තුන් යහළු වික්‍රමය’ කෘතියේත් පිටපත් හත්දහස් පන්සියයක් මුද්‍රණය කළා. පසු කාලයෙදි මගේ පොතක පිටපත් පන්දාහක් මුද්‍රණය කළා. දැන් මගේ පොතකින් මුද්‍රණය කරන්නෙ පොත් දාහයි. ඒ පොත් දාහ විකිණෙන්නත් සැහෙන කාලයක් යනවා. ඒකෙන් පේන්නේ අද පාඨක සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා කියන එකයි. හැබැයි පාඨකයෝ නැති වෙලාම නැහැ. ඒ නිසා අපි හොඳ නිර්මාණ සාහිත්‍යයක් ගොඩනගනවා නම්, හොඳ නවකතා නැවත බිහි වෙනවා නම් මේ පිරිස වැඩි කරගන්න පුළුවන්.   
මට හිතෙන විදියට දැන් තියෙන්නේ ප්‍රතිභා ඌනතාවක්. කොච්චර කිව්වත් මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර සහ ඒ. වී. සුරවීර වගේ අය ලියූ කෙටිකතාවල සහ නවකතාවල මට්ටමට එන්න අද ඉන්න බොහෝ අයට අමාරුයි. වර්තමානයේ නවකතාව සහ කෙටිකතාව සම්බන්ධ නොයෙකුත් අත්හදාබැලීම් කෙරෙනවා. පශ්චාත් නූතනවාදය ආදී නොයෙකුත් දේවල්වලින් ඔළුව අවුල් කරගෙන මහ විශාල පොත් ලිව්වට හොඳ නිර්මාණ බිහි වෙන්නෙ නැහැ. මට වුණත් දැන් පළ වන සමහර පොත්වල පරිච්ඡේද දෙක තුනකට වැඩිය කියවන්න බැහැ. මම ඒ වගේ පොත් කියවන්න උත්සාහ කරලා පැත්තකට දාන අවස්ථා තියෙනවා. එතකොට ඒක මගෙ වරදක්ද? හැබැයි මම අලුතෙන් පළ වන විදේශීය පොත් ආසාවෙන් කියවනවා. ඒවා කියවන්න පුළුවන්.   

අද පරපුරේ ප්‍රතිභාව අඩු වෙනවා නම් එයට හේතුව කුමක්ද? 
ප්‍රධානම හේතුව අපේ අධ්‍යාපනය බිඳවැටීමයි. ඒ වගේම නව පරපුරට ද්විභාෂික අධ්‍යාපනය අහිමි වීම තවත් හේතුවක්. අද අපේ ජනගහනයෙන් සියයට අනූවක් විතර මියයන්නේ ‘ගුත්තිලය’ වැනි පොතක්වත් කියවන්නෙ නැතිවයි. තවත් පැත්තකින් දැන් අපේ ළමා සාහිත්‍යයත් ලේසියෙන් ලියන්න පුළුවන් දෙයක් වගේම ජාවාරමක් බවට පත් වෙලා. යොවුන් සාහිත්‍යයත් ඒ වගේම පිරිහිලා. අද අපේ ලේඛකයින් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව ඔවුන් කියවන්නෙ නැතිකම. මේ තත්ත්වය ඇති වුණේ පාලකයින් සාහිත්‍යය සහ ඉතිහාසය වැනි විෂයන් නව පරපුරෙන් ඉවත් කිරීම නිසයි. එය සිතාමතා කළ දෙයක්.   

‘සාහිත්‍යය කන්නද?’ කියා ඇසූ රාජ්‍ය නායකයාගේ ආකල්පයත් මේ තත්ත්වයට බලපෑවාද? 
ජනතාව සාහිත්‍යය පැත්තට නැඹුරු වුණොත් තමන්ට අවශ්‍ය විදියට පාලන ක්‍රමය පවත්වාගෙන යන්න බැරි වෙනවා කියලා ජේ. ආර්. ජයවර්ධන මහතා දැනගත්තා. ඒ නිසා ඔහු සාහිත්‍යය සහ කලාව ජනතාවගෙන් ඈත් කිරීමට කටයුතු කළා. හැබැයි ඔහු ඉතාම හොඳට පොත්පත් කියවපු කෙනෙක්. ඔහු ෂේක්ස්පියර් වැනි අය ගැන ඉතා හොඳ දැනුමක් තිබුණු කෙනෙක්. ඔහු කියවන අතරෙ අනෙක් අය කියවීමෙන් ඈත් කරන්න පියවර ගත්තා. ඉදිරියට සාහිත්‍යය නොකියවන පරපුරක් බිහි නොකිරීමට අවශ්‍ය පසුබිම හැදුවා. ඒ විදියට සාහිත්‍යය සහ කලාව අකාමකා දැම්මෙ නැත්නම් මේ ක්‍රමය ගෙනියන්න බැහැ.   
ඔබ දකින ලෙස ෆේස්බුක් වැනි නව මාධ්‍ය සාහිත්‍යයේ උන්නතියට බලපාන්නේද? 
සමහර අය ෆේස්බුක් එකට වැදගත් දේවල් දානවා. හැබැයි බොහෝ අය දාන්නෙ ඕපාදූප. එ් කිව්වෙ ගමන් බිමන් යන හැටි, කාපු බීපු හැටි වගේ දේවල්. කාටද මේවා වැදගත් වෙන්නෙ? අපට මොනවටද ඒවා? තව සමහර අය ෆේස්බුක් එකෙන් කවිත් ලියනවා. ඒත් ඒ කවි උසස් යැයි කිව හැකි කවිද? මට නම් ඒවා උසස් කවි නෙවෙයි. මේ කවි හරහා ඒවා ලියන අයට පෞද්ගලික වින්දනයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒවයින් හොඳ සාහිත්‍යයක් බිහි වෙයි කියල මම හිතන්නෙ නැහැ. අනෙක, ෆේස්බුක් කවිවලට දාන ඇතැම් ප්‍රතිචාරත් එක්ක අපේ භාෂාව විනාශ වෙන බවකුත් දකින්න තියෙනවා. ඒ භාෂාව අපට තේරෙන්නෙත් නැහැ.‘පට්ට’, ‘ෂෝක්’ වගේ අරවා මේවා.   

කෙටිකතාවේ හෙට දවස ගැන බලාපොරොත්තු තැබිය හැකිද? 
නවකතාවේ තරම් පිරීහීමක් කෙටිකතාවේ නැහැ. කවියෙත් පිරිහීමක් නැහැ කියලා මම හිතනවා. මේ විවිධ සම්මානත් එක්ක ඉදිරියේදී මොනවා වෙයිද කියලා කියන්න දන්නෙ නැහැ. ඉතාම හොඳ කෙටිකතා ලියන කෙටිකතාකරුවො අද ඉන්නවා. කෙටිකතාව තවමත් ප්‍රබල මාධ්‍යයක්. ඒ මාධ්‍යයට ප්‍රිය කරන, ගරු කරන පාඨකයොත් ඉන්නවා. නමුත් අද වන විට නවකතාව නම් බොහොම පිරිහිලා. ඒක විනාශ වෙලා ඉවරයි. ගොඩගන්නවත් පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. කෙටිකතාව එහෙම නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

සාකච්ඡා කළේ    [අජිත් නිශාන්ත]

මාතෘකා