මගේ කවි හුදකලා වින්දනයක ප්‍රතිප්‍රකාශනයි

 ඡායාරූපය:

මගේ කවි හුදකලා වින්දනයක ප්‍රතිප්‍රකාශනයි

කවි කිහිපයක්’ නම් කුළුඳුල් කාව්‍ය සංග්‍රහය කරමින් ‘80 දශකයේ මැද භාගයේ කාව්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ආරියවංශ රණවීර පසුව ‘සම්මිශ්‍රණ’, ‘ගේ කුරුල්ලෝ සහ වී කුරුල්ලෝ’, ‘සඳ ඇබින්දක්’, ‘ඉමක් සහ මලක්’, ‘අතු ඉති’, ‘ඔයබඩ වවුල්ලු’ ආදී වශයෙන් කාව්‍ය සංග්‍රහ කිහිපයක් පළ කරමින් පාඨක, විචාරක අවධානය හිමි කරගති. එක් පසෙකින් බටහිර කවියද, තවත් පසෙකින් ජපන් හයිකු කවියද ඇසුරු කරමින් තමාගේම කවි මඟක් සකසා ගත් ඔහු ‘ලිලැක් මල් මිටක්’, හා ‘විසිරි මිණි’ නමින් රුසියානු හා ජපන් හයිකු කාව්‍ය එකතුවක්ද පරිවර්තනය කළ අතර පසුගියදා ඔහු ඔහුගේ නවතම කාව්‍ය සංග්‍රහය නිකුත් කළේය. ඒ, අහස ප්‍රකාශනයක් වූ ‘තවමත් මල්’ය. මේ, ඒ නිමිත්තෙන් අප ඔහු සමඟ කළ සංවාදයකි.

ඔබේ මේ කාව්‍ය සංග්‍රහය සඳහා පසුබිම සැකසුණේ කෙසේද?   
මෙය මගේ පහළොස්වෙනි කවි පොතයි. මගේ අලුත් කවි පොතක් පළ වුණේ අවුරුදු හයක පමණ නිහැඬියාවකිනුයි. මේ පොතට ඇතුළත්ව ඇති කවි ලියැවිලා දැන් කාලයක් වෙනවා. එහෙත් කවි පොතක් පළ කරන්න මම ඉක්මන් වුණේ නැහැ. පහුගිය කාලයේදී නන්දන වීරසිංහ සහ කීර්ති වැලිසරගේ වැනි මගේ මිත්‍රයෝ මේ අලුත් කවි ඇතුළත් කරලා පොතක් පළ කළොත් හොඳයි කියල මාව උනන්දු කළා. පොත පළ කරන්න මා යොමු වුණේ ඒ අනුවයි.  
 
මේ කෘතියේ වෙනසක් තිබෙනවාද?
මේහි ප්‍රමිතිය හෝ ගුණාත්මකභාවය පිළිබඳව මට යමක් කියන්න අපහසුයි. මා මෙතෙක් අනුගමනය කළ කාව්‍ය ක්‍රමය හෙවත් මට හුරුපුරුදු කාව්‍ය මාර්ගය ඔස්සේ තවදුරටත් ඉදිරියට යන කෘතියක් ලෙස මෙය සැලකිය හැකියි. මෙයට පෙර පළ වූ මගේ කවි සහ මේ අලුත් කවි අතර විශාල වෙනස්කම් නැහැ කියා මා සිතනවා. බොහෝ විට මගේ කාව්‍ය ප්‍රවේශයේ එක ලක්ෂණයක් තමයි සමාජමය කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට වින්දනාත්මක සංකල්පනා වෙත නැඹුරු වීම. ඇතැම් අය මේ ගැන දොස් කියන අවස්ථාත් තියෙනවා. කොහොම වුණත් බොහෝ විට සමාජමය කරුණු කාරණා වෙතට මගේ කවි යොමු වෙන්නෙ නැහැ. මගේ කවි බොහොමයක් තනියම විඳින වින්දනයක ප්‍රතිප්‍රකාශන හැටියට සලකන්න පුළුවන්. මේ අලුත් කවිවලත් තියෙන්නේ ඒ ලක්ෂණයයි.

ඉන් අදහස් වන්නේ ‘රණවීර ලකුණ’ මේ කවි තුළ ඇති බවද?   
ඔව්. මම එහෙම හිතනවා.   

මේ පොත ‘තවමත් මල්’ යැයි නම් කළේ ඇයි?   
මේ කවි පොතේ ‘තවමත් මල්’ නමින් කවියකුත් තියෙනවා. එයින් කියැවෙන්නේ මේ ගසේ තවමත් මල් තියෙනවා කියන පණිවුඩයයි. ඉස්සර තරම් මල් නැහැ. ඒත් අතු අගිස්සෙ මල් ටිකක් තියෙනවා. ඉතින් මම රසිකයාගෙන් ඉල්ලනවා, පිට පාරෙ යන්න එපා, මල් පොඩ්ඩක් තිබුණා වුණත් ළං වෙලා බලන්න තවමත් ඒ මල්මද මේ තියෙන්නේ කියල. මේ අලුත් කවි පොත පිළිබඳව ප්‍රතිචාර කොහොම වෙයිද කියලා මම බොහොම සැලකිල්ලෙන් බලාගෙන ඉන්නවා. මොකද මම කවි පොතක් කළේ කාලෙකින්. මගේ කවි මඟෙහි ඉදිරිය මේ කවි පොතෙන් සනිටුහන් වෙන්න පුළුවන්. ඒ නිසා මේ පොත දෙස විශේෂයෙන්ම රසිකයා බලන බැල්ම සහ ඒ ගැන ඔවුන් කියන දේවල් මට ඉතා වැදගත්.   

කවිය නමැති මාධ්‍යය තුළ ඔබේ කවියේ අනන්‍යතාව ඔබ හඳුන්වා දෙන්නේ කුමන ආකාරයටද?   
කවිය කියල කියන්නේ කෙනෙකුට කිසියම් සංවේදනාවක්, චිත්ත වේගයක් අනෙක් අයට ප්‍රක්ෂේපණය කිරීමට තිබෙන වැදගත්ම කලා මාධ්‍යයක්. අපේ රටේ ඉස්සර නම් කවිය පැවතුණේ හඬ නඟා කියවන නිර්මාණ වර්ගයක් හැටියටයි. එහෙත් දැන් බොහෝ විට කවිය විඳින්නෙ නිහඬව කියැවීමෙන්. අද බොහෝ අය කවි පොතක් අරගෙන කවිය සමීපව විඳිනවා. මගේ කවි ලියැවෙන්නේ එවැනි නිහඬ සහ සමීප කියැවීමකට හුරු වූ පිරිසක් සඳහායි. එහෙම නැතුව සමාජ ප්‍රශ්න පදනම් කරගත් කවිවල තියෙන සමාජමය පණිවුඩය මේ කවිවල නැහැ. සමාජමය වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කිරීම ගද්‍යයෙන් කරන්නත් පුවළුන්. එහෙත් එවැනි දේවල් කවියක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම අමාරු වැඩක්.   

කලකට පෙර කවිය සම්බන්ධයෙන් පැවැති සංවාද අද නොමැති වීම ගැන ඔබේ අදහස කුමක්ද?   
ඒ ගැන තියෙන්නෙ කනගාටුවක්. අද පත්තර පිටුවල කවි පළ වෙනවා. ඒ අතර විඳින්න පුළුවන් කවියක් තියෙනවාද කියලා මමත් හරි ආසාවෙන් බලනවා. එහෙත් එවැන්නක් පේන්න නෑ. කවි හැටියට බොහෝ දේවල් පත්තරවල පළ වෙනවා. එහෙම පළ වුණාම ලියන අය වගේම කියවන අයත් ඒවා හොඳ කවි කියල හිතනවා. අන්තිමට ඒකෙන් කවියට වෙන්නෙ විශාල හානියක්. කාලයකට ඉහත හොඳ කවිය හඳුනාගැනීමට වැදගත් වන ආකාරයේ කතිකාවක් තිබුණා. ඒ කතිකාව දැන් නැහැ. ඒ ගැන ඇත්තටම හරි දුකයි.   

කලෙකට ඉහත ඔබ ‘එළිමහන් කවි හා ගුහා කවි’ නමැති අදහසක් ඉදිරිපත් කළා?   
ඒ නමින් මගේ කවි පොතකුත් තියෙනවා. එහිදී මම එළිමහන් කවි කියලා අදහස් කළේ සමාජ ප්‍රශ්න, සමාජයේ තියෙන පොදු ගැටලු සහ සමාජ අසාධාරණකම් වගේ දේවල් පදනම් කරගෙන ලියන කවියි. මම හිතන්නෙ එවැනි කවිත් අවශ්‍යයි. අපේ රටේ වැඩි දෙනෙක් මේ අංශයේ කවි ලියන අයයි. එහෙත් ඒ කවි බොහෝ විට හුදු හිතේ අමාරුවට කියන ප්‍රකාශනවලින් එහාට ගිහින් ලියූ සැබෑ කවි හැටියට ඉදිරිපත් වෙන්නෙ නැහැ. එළිමහන් කවි කාව්‍ය ක්ෂේත්‍රයේ තියෙන්න ඕන. නමුත් කනගාටුවට කාරණය ඒවා බොහොමයක් කවි බවට පත් නොවීමයි. ඒවා හුඟක් වෙලාවට විරෝධාකල්ප පමණයි. ඒවා කවි වෙන්නෙ නැහැ. ගැටලුව තියෙන්නෙ අන්න එතැනයි. මේ කියන දෙය වැරදිද දන්නෙත් නැහැ. අලුත් පරපුරේ කවිකිවිඳියන්ගේ සියලු කවි නිර්මාණ මම කියවලා නැහැ. නමුත් මම කියවපු කවි ඔස්සේ මම නම් දකින්නෙ එවැනි තත්ත්වයක්. විශේෂයෙන්ම අපේ තරුණ පරපුර කවියෙන් කතා කරන්නෙම සමාජ කාරණා. එහි කිසිම වරදක් නැහැ. එහෙත් ඒවා දේශපාලන සටන් පාඨවලින් එහාට යන්නෙ නැහැ.
ගුහා කවි කියන එකෙන් මම අදහස් කළේ තමන්ට පෞද්ගලිකව දැනුණු පෞද්ගලික සංවේදනා ඔස්සේ ලියැවුණු කවියි. මම වැඩි වශයෙන් ලියන්නෙත් එවැනි කවි කියලයි මං හිතන්නෙ. පෞද්ගලික සංවේදනා ඔස්සේ ලියැවුණාට එවැනි කවි තමන්ට පමණක් නෙවෙයි, අනෙක් අයටත් විඳින්න පුළුවන් කියල මම විශ්වාස කරනවා. ඒ කවි හොඳ නම් පොදුවේ අනෙක් අයටත් විඳගන්න පුළුවන් කවි බවට පත් වෙනවා. මා මෙතෙක් ලියලා තියෙන කවි හැම එකක්ම වගේ අයත් වෙන්නේ ඒ ගණයටයි. මගේ කවියෙන් සමාජ ප්‍රශ්න ගැන කතා කරන්නේ නැත්තේ ඇයි කියලා සමහරු අහනවා. ඒක මම දකින්නේ කවියාට කරන බලහත්කාරමක් විදියටයි. කවියාගේ නැඹුරුව එවැනි කවි සඳහා නොවේ නම් වෙනස් ආරක කවි ලියන්න කියල කවියාට බල කළ යුතු නැහැ. බල කරන්නත් බෑ.

ඉතා කෙටි කවි ඔස්සේ මහා අරුත් නැංවීමට ඔබ යොදාගන්නා කාව්‍ය උපක්‍රම මොනවාද?   
ඇත්තම කියනවා නම් මම  ලියනකොට මට කවිය එනවා. එහෙම නැතිව මම උත්සාහයෙන් කවිය ලියලා පසුව එහි අඩුවැඩි කිරීම් කරන්නෙ නැහැ. ඒක කොහෙන් හරි මා වෙතට එනවා.  කාල් යුන්ග් නමැති මනෝ විද්‍යාඥයා නිර්මාණශීලීත්වය ගැන හරි අපූරු ලිපියක් ලියමින් මෙවැනි නිර්මාණ පහළ වීම ගැන අදහස් පළ කරලා තියෙනවා. එහිදී ඔහු මනස සහ මනසේ ක්‍රියාකාරීත්වය පිළිබඳව හැම පැත්තෙන්ම බලලා තියෙනවා. එහෙත් කවිය වගේ නිර්මාණශීලී අදහස් එන්නෙ කොහෙන්ද කියලා කියන්න ඔහුට හැකි වෙලා නැහැ. මගේ කවියත් එහෙම දෙයක් කියලා මට හිතෙනවා. ඒක පහළ වෙන්නේ කොහොමද කියලා කියන්න මට අමාරුයි. මම මගේ කවිය ආයාසයෙන් කෙටි කරන්නෙ නැහැ. ඒක හරියට විදුලිඑළියක් වගේ එක සැණෙකින් එනවා. එහෙම එනකොට මම ඒක ලියනවා. නැතිව දිග කවියක් ලියලා, ඊට පස්සෙ ඒක කෙටි කිරීමක් මා අතින් සිදු වෙන්නෙ නැහැ. ඒ මගේ ශෛලිය වෙන්න ඇති.

ජපන් හයිකු ඇසුරින් ඔබ ලියූ කෙටි කවි
කවි නොවේය කියනවා?   
ඒක එච්චර නිවැරදි කතාවක් නෙවෙයි. එහෙම නම් කෙළින්ම කියන්න ඕන මේවා කවි නෙවෙයි කියලා. ඔය අදහසට උත්තරයක් විදියට මමත් නන්දන වීරසිංහත් එකතු වෙලා රචනා කළ ‘තුන් පෙති හතර පස් පෙති’ කෘතිය සලකන්න පුළුවන්. ඒ කෘතියේ ඉතාම කෙටි කවි තියෙනවා. හැබැයි ඒවා හයිකු නෙවෙයි. ඒවා සිංහලෙන් ලියපු ඉතාම කෙටි කවි. ඒ කවිවලට ජපන් හයිකු සහ චීන කවි ආභාසය ලැබුවා. ඒ නිර්මාණ හරියට රස වින්දොත් මම හිතන්නෙ නැහැ ඔය කතාව කියයි කියල.   

පරිවර්තන ඔස්සේ බොහෝ විදෙස් කවි මෙරටට හඳුන්වා දුන් ඔබ තවමත් කාව්‍ය පරිවර්තනයෙහි යෙදෙනවාද?   
මෑතකදි නම් මම කවි පරිවර්තනය කළේ නැහැ. මේ වෙනකොට මම ටිකක් ලොකු වැඩක යෙදිලා ඉන්නවා. පහුගිය කාලය පුරාම මම ‘එලියට් සහ නව කවිය’ නමින් පොතක් රචනා කළා. අපේ තරුණ කවි කිවිඳියන්ට ඒ පොත වැදගත් වෙයි කියලා මම හිතනවා. මම ඒ පොත ටික ටික ලියලා තියෙන්නෙ කටු අකුරෙන්. කටු අකුරෙන් ලියලා මුද්‍රණයට භාරදෙන්න බැහැනෙ. ඒ නිසා මම දැන් කියවන්න පුළුවන් ආකාරයේ අකුරෙන් ඒක නැවත ලියනවා. මේ දවස්වල ඒකට කාලය ගත වෙනවා. ඒ නිසා කවි පරිවර්තනයට කාලයක් නැහැ. හැබැයි කවි පරිවර්තනය මම හරි ආසාවෙන් කරන දෙයක්. නැවත කවි පරිවර්තනය කරන්න අදහසක් මා තුළ තියෙනවා. විශේෂයෙන් ඉදිරියේදී චීන කවි පරිවර්තනය කිරීමේ ආසාවක් මා තුළ තියෙනවා.   

පරිවර්තන කවිය අපට වැදගත් වන්නේ කුමන ආකාරයටද?   
මාව අනුකරණය කරනවා කියන බොහෝ දෙනෙක් මම අනුවර්තනය කරපු කවි කියවපු අය කියලා මම හිතනවා. ‘ලිලැක් මල් මිටක්’, ‘විසරි මිණි’, ‘මිණි පැමිණි’ සහ ‘මඟ දෙපස මල්’ ඇතුළු මගේ පරිවර්තන කවි පොත් කියවපු අය තමයි හුඟක් වෙලාවට මගේ කවිය සමීපයෙන් යන්නෙ. මේ පරිවර්තිත කවි බහුල වශයෙන් පරිශීලනය වෙනවාද නැද්ද කියලා මම දන්නෙ නැහැ. පොත්වල අලෙවිය පැත්තෙන් බැලුවොත් නම් එහෙම වෙන බවක් පෙනෙන්නෙ නැහැ. දැන් බොහෝ අය පරිවර්තිත කවි තියා වෙනත් දෙයක්වත් කියවනවාද කියලා මට නම් සැකයි. ඇත්තටම වර්තමාන පරපුර කියවනවාද කියලා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් කියවන්නේ නැත්නම් අපි මේ මොනවා ලිව්වත් වැඩක් තියෙනවාද? පොතක් ආදරයෙන් අරගෙන කියවන සමාජයක් අද නැහැනෙ. එතකොට මොකටද මේ කවි ලියන්නෙ කියලත් වෙලාවකට හිතෙනවා.

සාකච්ඡා කළේ    [මේනුක විතාන]
ඡායාරූප    [සුදම් ගුණසිංහ]

මාතෘකා