පිටස්තරයකු වූ පත්‍ර කලාවේදියා

 ඡායාරූපය:

පිටස්තරයකු වූ පත්‍ර කලාවේදියා

මා පුවත්පත් කලාවට අවතීර්ණ වූයේ ‘විදුසර’ පුවත්පත හරහාය. ඒ, 1995 වසර මැද භාගයේය. එකල රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා පෞද්ගලික ආයතන ආදිය මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් කළේ නම් මාධ්‍යවේදීනට සංචාරයක් (Media Tour) සූදානම් කිරීමද සම්ප්‍රදායක් විය. ඒ ඒ මාධ්‍ය ආයතනවල මාධ්‍ය සගයනට එකිනෙකා හමුවී සමාගම් පැවැත්වීමේ අවස්ථාව සැලසුණේ මේ මාධ්‍ය සංචාර හරහාය. මේ කියන කාලයේ පරිසර අමාත්‍යාංශයෙන් සිංහරාජයේ සංවිධානය කළ මාධ්‍ය සවාරියකට එක් වීමට ‘විදුසරටද’ ඇරයුම් ලැබිණි. එහෙත් ඒ අවස්ථාව හිමි වූයේ ආධුනික මට නොවේ, තරමක ප්‍රවීණයකු වූ ප්‍රභාත් වීරරත්නටය. ‘දිවයිනෙන්’ ඊට එකතු වූයේ චන්ද්‍රසිරි දොඩන්ගොඩ නම් කෙනෙකි. මට අවස්ථාව අහිමි වුවත් ඒ ඒ පුවත්පත් හරහා ඔවුනොවුන් සිංහරාජ සවාරිය ගැන ලියූ විශේෂාංග රචනා මම කියවූයෙමි. එහිදී මගේ අවධානය යොමු වූ ලිපිය ලිවේ චන්ද්‍රසිරි දොඩන්ගොඩය. එය පරිසර සෞන්දර්යයට මානුෂික හැඟීම් මුසු කළ ලිපියක් වූ අතර වඩාත් ආකර්ෂණීය වූයේ එහි වූ ඍජු බවත්, නිදහස් බවත්, පැහැදිලි බවත්ය. මේ ප්‍රවීණ පත්‍ර කලාවේදියා දැනහඳුනාගැනීමේ දොළ මා තුළ උපනේ මින් පසුය. එහෙත් ඈතින් දැකගත්තා මිස ඔහු හා සමීපව කතාබහ කිරීමට මට අවස්ථාව නොලැබිණි. ඈතින් දුටු ආකාරයට ඔහු සිරුරින් කුඩා අයෙක් විය.

1997 වසරේ අප්‍රේල් මාසයේ මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිද්ධියක් වූයේ අහුන්ගල්ල පෞද්ගලික සත්වෝද්‍යානයේදී පාසල් දරුවකු සිංහයකුගේ ප්‍රහාරයකින් මියයෑමය. සිංහයා දරුවාට පහර දුන්නේ සත්වෝද්‍යාන හිමිකරුවන් ඌට මත්ද්‍රව්‍ය ලබාදී තිබූ නිසා බව කියවිණි. මට එහි යථාව ලිවීමට වුවමනා විය. ඒ අනුව මම එය ගවේෂණය කර වනජීවී නිලධාරීන් හා පොලිසියේ මැදිහත් වීමෙන් සතුන් කොළඹ
ගෙන ආ ආකාරය විශේෂාංග ලිපියක් වශයෙන් සකස් කළෙමි. මා ලිපිය ගෙන ගොස් බාරදුන්නේ  ‘විදුසරට’ නොව ‘දිවයිනේ’ චන්ද්‍රසිරි දොඩන්ගොඩටය. එය වඩා වැදගත් වූයේ ඊට බැවිනි. ඒ අනුව එම සතියේම ලිපිය අලංකාර ඡායාරූපයක්ද සමඟ ‘අහුන්ගල්ල සත්තුවත්ත කොළඹ ආ හැටි’ යන සිරස්තලයෙන් යුතුව ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ පළ විය. මින් උද්යෝගීමත් වූ මම තවත් විශේෂාංගයක් ලිවීමි. ඒ, ‘සමුද්‍රදේවී’ කාර්යාල දුම්රියේ කාර්යාල සේවක සේවිකාවන් පවත්වන සමාගම් හා සෙසු මගීනට හිරිහැර වන සේ ඔවුන් කරන ‘සීට් ඇල්ලීම’ ගැනය. ඒ ලිපිය දොඩන්ගොඩ විසින් පළ කර තිබුණේ ‘සමුද්‍රදේවී සමාගමේ සාතන්ලා සහ සුන්දරීලා’ යන සිරස්තලයෙනි. මින් අනතුරුව දිගටම ‘දිවයිනට’ ලියන්නැයි ඔහුගෙනුත්, ප්‍රධාන කර්තෘ ගාමිණී සුමනසේකරගෙනුත් මට ආරාධනා ලැබුණේ දිවයිනේ කලකට නොපැවති පුවත්පත් සංවාදයක් මේ හරහා ගොඩනැඟුණු බැවිනි. මේ ආකාරයට මා වෘත්තීය පුවත්පත් කලා දිවියට අවතීර්ණ වීමේ එක් සන්ධිස්ථානයක් චන්ද්‍රසිරි දොඩන්ගොඩය.

දොඩන්ගොඩ මට සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව උදා වූයේ 2000 වසරේ පටන් මා ‘දිවයිනේ’ පූර්ණ කාලීන පත්‍ර කලාවේදියකු වූ පසුය. අප දෙදෙනාගේම පොදු මාධ්‍යය සාහිත්‍යයය. මෙනිසා අපට නිරතුරු සංවාදයක් පැවතිණි. මෙකල දොඩන්ගොඩ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ විශේෂාංග කතුවරයා වූ අතර එහි ‘රූපණ’ අතිරේකයේ සංස්කාරකවරයා වූයේද ඔහුය. ඔහුට වුවමනා වූයේ පිටුවට ගැළපෙන හොඳම ලිපිය. ඊට ඔහුට ලියූ ලිපිය පුද්ගලයා වැදගත් වූයේ නැත. එනිසා ඔහුගේ පිටුවේ මගේ සාහිත්‍ය ලිපිවලටත් ඉඩක් විවර විය. ඇත්ත වශයෙන් අද ජීවතුන් අතර නැති සයිමන් නවගත්තේගම, සුගතපාල ද සිල්වා, මිණිවන් පී. තිලකරත්න, සිරි ගුනසිංහ ආදීන්ගේ සම්මුඛ සාකච්ඡා ‘දිවයිනේ’ පළ වූයේ දොඩන්ගොඩ නිසා බව කිව යුතුය.

දොඩන්ගොඩ ‘දිවයිනේ’ කාර්ය තුනක් කළේය. පළමුවැන්න ලිපි ලිවීමය. දෙවැන්න ලිපි සංස්කරණයය. තෙවැන්න ලිපි සොයාදීමය. සොයා දුන්නේ සෙස්සනට ලිවීමටය. ඔහු ලියූ ලිපි වර්ග තුනක් විය. එකක් විශේෂාංග ලිපිය. තවෙකක් තීරු ලිපිය. අනෙක පුවත්පත් නවකතාවය. සංස්කරණ කාර්යයේදී ඔහු කළේ ලිපිය සිත්ගන්නා විශේෂාංගයක් ලෙස සකස් කිරීමය. ඔහුට ණ, න, ළ, ල හා වියරණ ගැන ලොකු දැනීමක් නොතිබුණි. සංස්කරණයේදී ඔහු ලිපි අමුතුවෙන් ලිවීමද (Rewriting) කළේය. එහෙත් ඒ නැවත ලියූ ලිපිවලට ඔහුගේ නමක් ආදේශ වූයේ නැත. මේ නැවත ලිවීම ඔහු ඉගෙනගත්තේ දයාසේන ගුණසිංහ මහතාගෙන් බව පසු කාලයක මා දොඩන්ගොඩ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කීවේය. සැබැවින්ම පුවත්පත් කලාවේ දොඩන්ගොඩගේ ගුරුතුමා වූයේ දයාසේන ගුණසිංහය.

“ඔහු මගේ ලිවීමටත්, පෞරුෂයටත් විශාල වශයෙන් බලපෑවා. ඔහු තද, එහෙත් අවංක පුද්ගලයෙක්. ඔහු කිසි වෙලාවක රස්සාව ගැන හිතුවේ නෑ.”  
(රිවිර, ‘කලස’ අතිරේකය, 2017.08.01)

දොඩන්ගොඩ පුවත්පත් කලාවේදියකු වශයෙන් අවංක සහ ස්වීය අනන්‍යතාවක් හිමි අයකු වීමට ඔහුගේ මේ ආභාසය ඉවහල් වූවා විය හැකිය. එහෙත් ඉහත සම්මුඛ සාකච්ඡාවේදී ලේඛකයකුට පුවත්පත් කලාව ගැළපෙන්නේදැයි ඇසූ පැනයට ඔහු දුන්නේ මෙවැනි පිළිතුරකි:

“ලියන්න පුළුවන් මිනිහෙක් පත්තර කන්තෝරුවට ගියාම ඔහුගේ දක්ෂකම් හැඩගැහෙන්නෙ පත්තර කන්තෝරුවට ඕන විධියටයි. ඒකෙන් ඔහුගේ භාෂාව නැති වෙනවා. ඒ නිසා මං කියන්නෙ ලේඛකයෙක් නම් වැදගත් වෙන්නෙ ලිවීමයි. නැතිව පත්තරකාරයෙක් වෙන එක නෙවෙයි.”  

සැබැවින්ම පත්තර කන්තෝරුව තුළ දොඩන්ගොඩ විශද කළේ පත්‍රකාරයකුගේ පෞරුෂයට වඩා කතාකාරයකුගේ පෞරුෂයය. ඔහු වැඩිපුර කාලය ගත කළේ සෙසු පත්‍ර කලාවේදීන් මෙන් කදේ වැටී නොවේ. ඔහු සිටියේ නිහඬවය. ඔහු උදේ අට, අටයි තිහ වන විට කන්තෝරුවට සපැමිණියේය. පැමිණි මොහොතේම ඔහු කළේ එදා දවසේ ‘දිවයින’ පත්‍රය බැලීමය. ඔහුට මුලින්ම වැදගත් වූයේ තමන්ගේ කන්තෝරුවේ පුවත්පතය. ඔහු එහි සෑම වැදගත් පුවතක්ම, විශේෂාංගයක්ම කියවූයේය. එය අද පුවත්පත් කලාවේදීන් තුළ නැති අංගයකි. ඔහු නිවසින් උදේ කෑම වේලක් ගෙන ආ අතර ඔහු පුවත්පත බැලූයේ එක් අතකින් එම කෑම අනුභව කරන අතරය. අනතුරුව ඔහු කළේ සෙසු පුවත්පත් ගොනු තමන්ගේ ලියන මේසය වෙත ගෙන පුටුවේ වාඩි වීමය. ඔහු ඉරිදා පුවත්පතට ඇවැසි විශේෂාංග සොයාගත්තේ මෙසේ උදේට කරන ලිපි කියවීම හරහාය.

කෙතරම් අන්තරාවර්තී චරිතයක් වුවත් ඔහු කන්තෝරු සගයින්ගේ සිනා කෙළිකවට බස්වලට හවුල් නොවූ කෙනෙක් නොවීය. ඔහු ඊට එක් වූ අවස්ථාවල කෙළිකවට කතා තවත් රසවත් විය. මෙවිට ඊට හවුල් වන තවත් ප්‍රවීණයින් තිදෙනෙක් විය. ඒ, කිත්සිරි නිමල් ශාන්ත, කරුණාදාස සූරියාරච්චි හා අනුර සොලමන්ස්ය. ඇතැම් අවස්ථාවල ගාමිණී සුමනසේකරද හා ජයන්ත චන්ද්‍රසිරිද ඊට එක් විය. සුනිල් මාධව සිටින කාලයේ ඔහුත් මෙහි සාමාජිකයෙක් විය. මට අදටත් සිතාගත නොහැකි කරුණ නම් මෙතරම් රසික - කලා පෞරුෂ රැසක් එකම තැනක, එකම කාලයක කේන්ද්‍රගත වූයේ කෙසේද යනුය. ඇත්ත වශයෙන් එකල ලිපියක වරදක් නිවැරදි කරගැනීමට, එහි සංදිග්ධතා ලිහා ගැනීමට අපට කිසිදු ගැටලුවක් වූයේ නැත. ඒ සියලු දේ ඉසියුම්ව බැලීමට සමත් රසඥතා ශක්තියෙන් හෙබි පිරිසක් අප අතර සිටි බැවිනි.

දොඩන්ගොඩ කවර ලිපියක් වෙනුවෙන් හෝ වැඩි වේලාවක් වැය නොකළේය. ඔහු මුලින්ම කළේ කන්තෝරුවේ ලියන කඩදාසි ඇති තැනට ගොස් කඩදාසි ගොනුවක් ගෙන ආපසු තමාගේ ලියන මේසයට පැමිණීමයි. ඔහු ලියන්නේ ප්‍රවෘත්තියක් පාදක කරගත් විශේෂාංගයක් නම් ඔහු ඒ ප්‍රවෘත්තිය පළ වී තිබුණු පුවත්පත් ගොනුව අතට ගෙන දෙතුන් වරක් එය බැලුවේය. එහෙත් ලිවීමට පටන්ගත් විට ඔහු කිසි විට ආපසු පුවත්පත් ගොනුව නොබැලීය. ඔහු කළේ දිගටම ලියාගෙන යෑමය. විශේෂාංගයක් යනු කල්පනා ලෝක කථනයක් බව ඔහු වටහාගත්තා සේය. ඉරිදා පත්‍රයට ඇවැසි පුවත්පත් නවකතාව ලිවීමේදී ඔහු මේසය ළඟ වාඩි වී මිනිත්තු තිහක් වැනි කාලයකින් කතාංගය ලියා හමාර කළේය. ඔහුට ඕනෑම ගාලගෝට්ටියක් තුළ ලිවීමට හැකි වීමද වෙසෙසකි. කන්තෝරු සගයින් මහ හඬින් සිනා කෙළිකවට බස් දොඩන්නේ තමාගේ මේසය අද්දර වුවද ඔහුට බාධාවක් නැති විය. කන්තෝරු රූපවාහිනියෙන් අවට අය කවර මහ හඬකින් ක්‍රිකට් තරඟ හෝ ගීත නැරඹූවද ඔහුට ඒ කිසිවක් බාධා නොවීය. ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු පැවසුවේ ඔහුට වඩාත් හොඳින් ලිවිය හැක්කේ ගීත අසමින් බවය. මේ සෑම අවස්ථාවකදීම මා ඔහු තුළ දුටුවේ බැවහැර ලෝකයෙන් වසන් වූ පුද්ගලයෙකි. ඔහු මේ ලෝකයේ පය ගසා සිටියත් සිතින්, මනසින් විසූයේ මේ ලෝකයේ නොවේ. අන්තරාවර්තී චරිතයකට (Invertebrated Character) ඔහු තරම් අනෙකෙකු මට සොයාගත නොහැකිය.

දොඩන්ගොඩගේ චරිතයෙන් මා උගත් දේ කිහිපයකි. මුලින්ම කිසිවෙකු මත නොයැපීමයි. නැතහොත් තමනට ප්‍රත්‍යක්ෂ වූයේ කවරක්ද ඒ දේ නොබියව ප්‍රකාශ කිරීමයි. ඔහු ප්‍රකාශ කළ ඇතැම් දේට ඇතැම් විට විශාල විරෝධයන් එල්ල විය. එහෙත් ඔහු ඒ නිසා නොසැලුණේය. තවත් දෙයක් නම් ප්‍රධානියකු යටතේ වැඩ කරන්නේ කෙසේද යන්නයි.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ ‘දිවයින ඉරිදා සංග්‍රහයේ’ විශේෂාංග කතුවරයා මෙන්ම නියෝජ්‍ය කතුවරයෙක්ද විය. මෙකල එහි ප්‍රධාන කර්තෘවරයා වූයේ ගාමිණී සුමනසේකරය. ඔහු එහිදී ගාමිණී මහතාට සහයෝගය දුන්නා මිස කිසි විට ඔහුට එරෙහිව නොගියේය. ඔහු තැන තැන විවේචනයද නොකළේය. බැරිම තැනකදී කීවේ “ඒක ඇත්ත තමයි” යන්න පමණි. ගාමිණී මහතාගේ අවධියේ බොහෝ අවස්ථාවල දොඩන්ගොඩට හෘදසාක්ෂියට එකඟ නැති දේ ඉටු කිරීමට සිදු විය. එහිදී ඔහු කී දේ කරබාගෙන කළත් ඒ කළේ ගාමිණී මහතා සතුටු වන සේ නොවේ, ඒ දේ ගොඩින් බේරෙන ලෙසය.

මා ඔහු සමඟ කළ සම්මුඛ සාකච්ඡාවේදී ඔහු ග්‍රන්ථ කතුවරයකු වශයෙන් හෝ පුවත්පත් කලාවේදියකු වශයෙන් කිසි විට ඇගයීමට පත් නොවීම ගැනද කථා කළේය. ඔහුට ඒ ගැන පැවතියේ වේදනාවකි. එහෙත් අවසන එය සිය කලාවේ නිරත වන ඕනෑම අව්‍යාජ මිනිසකුට අත්වන දේකැයි සිත හදාගත්තේය.

දොඩන්ගොඩ ලීවේ ‘මල් කතා’ යැයි පිරිහෙළූ පිරිසක්ද වූහ. ඒ ගැන දොඩන්ගොඩ උරණ වූයේ නැත. ඔහු එය පිළිගත්තේය. ඔහු කීවේ පුවත්පතේ අවශ්‍යතාව මත එසේ කිරීමට සිදු වූ බවය. එහෙත් ජනප්‍රිය ප්‍රේම කතාව අද කිසියම් තැනක ඇත්නම් එය හොඳින්ම ‐ ඇසට කඳුළු වැටෙන ලෙස ‐ ලිවිය හැකි තැනැත්තා දොඩන්ගොඩ බව ඔහු පිරිහෙළූ කිසිවෙක් නොකීහ. මා දකින ලෙස චන්ද්‍රසිරි දොඩන්ගොඩ බහුකුසලතා ඇත්තෙක් විය. ප්‍රථමයෙන් ඔහු උසස් පත්‍ර කලාවේදියෙක් විය. ‘මල් කතා’ ලීවේ යැයි කීවත් දෙවනුව ඔහු බැරෑරුම් ප්‍රබන්ධකරණයේ කුසලතාවද ඇත්තෙක් විය. ඔහුගේ ‘පිටුවහල් කළ මිනිසෙක්’, ‘දැල බිඳුම’, ‘දෙදෙනෙක් සහ කතා දෙකක්’, ‘භෂ්මාවශේෂ’ වැනි නවකතා කියවන විට ඒ බව හැඟී යනු ඇත. තෙවනුව ඔහු උසස් කවියෙක්ද විය. ඔහුගේ ‘හිතෝපදේශය නොකී කවි’ නම් කාව්‍ය සංග්‍රහය ඊට දෙස් දේ. නිතර ඔහු කීවේද ඔහු කතාකරුවෙක් නොව කවියෙක් බවයි. ඔහු මුලින්ම පුවත්පතට ලියා ඇත්තේ කතා නොවේ, කවිය. එකල ගමේ නම, නම මුලින් යොදා ලිවීම විලාසිතාවක් විය. ඒ අනුව ඔහු පුවත්පත්වලට කවි යවා ඇත්තේ ඔහුගේ ගම මුලින් ලියා ‘චන්ද්‍රසිරි’ කොටස දෙවනුව ලියාය. ඔහුගේ කවීත්වය මැනවින් මතු වූ තැන් පුවත්පතට වරින් වර ඔහු ලියූ කවි කොටස්වලින් කැපී පෙනිණි. කෙසේ වුව ඔහු කවියකු ලෙස අගය කළේ පරාක්‍රම කොඩිතුවක්කු පමණක් වීම ඔහුගේ දොම්නසට මෙන්ම සොම්නසටද හේතු විය. ඔහු ප්‍රබන්ධකරුවකු වශයෙන්ද අගය කළේ පරාක්‍රම පමණකැයි ඔහු පුන පුනා කීවේය.

2014 වසරේදී පමණ දොඩන්ගොඩට ‘දිවයින’ කන්තෝරුවෙන් විශ්‍රාම යෑමට සිදු විය. තිස් වසරකට වඩා වැඩි කලක් එක දිගට පූර්ණකාලීන පත්‍ර කලාවේදියකුව සිට හිටිගමන් ඉන් ඉවත් වන්නට සිදු වීම ඔහුට දරාගත නොහැකි විය. ඔහු මහත් සංවේගයෙන් යුතුව ඒ ගැන ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ තීරුවක් ලීවේය. ඒ, ඔහු නිතිපතා ලියූ ‘ඇසි දිසි මානය’ තීරුවේය. ඔහු එය දක්වා තිබුණේ ඔහුගේ අවසන් තීරුව වශයෙනි. ඔහුට කන්තෝරුවෙන් ඉවත් වීමට සිදු වීම ගැන ‘දිවයින’ පරිපාලනය විවේචනය කළ නොහැකි විය. එනිසා ඔහු එය ලියා තිබුණේ තමා අවට ලෝකය තමාටම පරාරෝපණය කරගනිමිනි. එය වක්‍රෝක්ති ප්‍රහාරයකි. එය මට සිහිගැන්වූයේ කෆ්කානු යථාර්ථවාදයය. මෙවේලේ මම ඔහුට දුරකථන ඇමතුමක් දුනිමි. ඔහු කීවේ “ඔව් මල්ලී, මට කන්තෝරුතෝරුවේ ඉඳන් සම්පූර්ණ කතාව ලියන්න බෑ” යනුවෙනි. කෙසේ වෙතත් කන්තෝරුවෙන් එළියට බට දොඩන්ගොඩට ඔහුගේ කිසිදු පත්‍ර කලා සගයෙක් සහයෝගය දැක්වූයේ නැත. වෙනදා ඔහු යටතේ සිටි පත්‍ර කලාකාරයන් පසුව පුවත්පත් කතුවරුන් බවට පත් වුවත් ඒ කිසිවෙක් දොඩන්ගොඩ තමාගේ පත්තර ආයතනයට බඳවා ගත්තේ නැත. එය ඔහුට මහත් වේදනාවක් විය. එනිසාම ඔහු මා හා පැවති සාකච්ඡාවේදී මෙසේ කීවේය.

“පුවත්පත් කලාවේදීන්ගේ හැටි එහෙම තමයි. හොඳ මිනිස්සු නෑ. පත්තරේකින් හැලුණොත් හැලුණාම තමයි. ආයේ ‘වරෙන් උඹ අපිත් එක්ක වැඩ කරන්න’ කියල කථා කරන්නෙ නෑ.’”  

චන්ද්‍රසිරි දොඩන්ගොඩ මාධ්‍ය සහෘදයාගේ ජීවිත අන්දරය දෙස බලද්දී මට හැඟෙන්නේ එය අප පුවත්පත් කලාවේදීන් සැම දෙනාගේම ජීවිත කතාවේ අවසානය නොවේද කියාය. පුවත්පත් කලාවේදීනට ලොකු වැටුපක් නැත. යාන වාහන නැත. බොහෝ විට වෙසෙන්නේ කුළී නිවෙස්වලය. එසේ වුවත් ඔහු තමන් සේවය කරන ආයතනයට මහත් ගෞරවයක් ඉතිරි කර දෙයි. මුදලක් උපයා දෙයි. ඔහු තමන් දෙස බලමින් ලෝකය අමතනු වැනිය. තමන් ළඟ බලමින් පිටස්තරයට වත්කම් දෙනු වැනිය. එහෙත් ඔහු අවසන කුළීකාරයෙකි. ඔහු කුළිකාරයකු බව දැනගන්නේ යම් දිනෙක ඔහු කන්තෝරුවෙන් එළියට බට දවසටය. දයාසේන ගුණසිංහ ‘දිවයින’ කන්තෝරුවෙන් එළියට ගියේ පිටිපස්සා දොරෙනි. පිටිපස්සා දොරෙන් ඇතුළට ආ ඔහු පිටිපස්සා දොරෙන් එළියට ගියේය. ඔහු සමඟ කිසිවෙක් කථා කළේ නැත. කථා කළ එකම පුවත්පත් කලාවේදියා දොඩන්ගොඩය. දයාසේන ගුණසිංහ දොඩන්ගොඩට කීවේ කුමක්ද? “ඔහු මට කිව්වෙ මෙච්චරයි. ‘ජීවිතේ හැටි මෙහෙම තමයි!’” චන්ද්‍රසිරි දොඩන්ගොඩ සොහොයුරාගේ ජීවිතාවසානය පිළිබඳවද මට හැඟෙන්නේ ඒ දේමය.“ජීවිතේ හැටි මෙහෙම තමයි!” 

ඡායාරූපය [මයන්ත පෙරේරා]

මාතෘකා