මගේ එක පොතකටවත් දොරටවැඩුම් පවත්වලා නෑ : ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක

 ඡායාරූපය:

මගේ එක පොතකටවත් දොරටවැඩුම් පවත්වලා නෑ : ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක

සම්මානලාභී කෙටිකතා සහ නවකතා රචිකාවක මෙන්ම පරිවර්තිකාවකද වන ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායකගේ අලුත්ම සාහිත්‍ය කෘති තුනක් පසුගියදා දොරට වැඩිණි. ඒ, ‘ජයන්’ නම් නවකතාවත්, ‘වියට්නාමයට සෙනෙහසිනි’ නම් සංචාරක ආඛ්‍යානයත්, ‘ආලන්දර’ නම් කෙටිකතා සංග්‍රහයත්ය. එම කෘති තුනම සරසවි ප්‍රකාශන ලෙස පළ වී තිබේ. සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා ද්වයෙන්ම නිර්මාණකරණයේ යෙදෙන ඈ සමඟ අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

සාකච්ඡා කළේ [මේනුක විතාන]

    ඔබේ අලුත්ම නවකතාව වන ‘ජයන්’ හි නිර්මාණ පසුබිම කුමක්ද?

මේ නවකතාවට මූලික වශයෙන්ම පාදක වුණේ රත්නපුර පරිසරයේ මම හොඳීන් දන්න දේවල්. නවකතාවේ එන සමහර ගෙවල් ඇත්තටම ඒ ප්‍රදේශයේ තිබුණා. ඒ වගේම එහි තියෙන නීතිඥයෙකුගේ චරිතයක් නිර්මාණය වුණේ මගෙ ඥාතියෙකුගේ චරිතය ඇසුරින්. සාමාන්‍යයෙන් මම ලියනකොට ඇත්ත චරිත වැඩිය පාවිච්චි කරන්නෙ නැහැ. හැම වෙලාවෙම මම කරන්නේ කතාවක් නිර්මාණය කිරීමයි. මේ කතාවත් එහෙම නිර්මාණය කළ එකක්. පහුගිය කාලයේ රත්නපුරේ අපේ පාසල වන ෆර්ගසන් උසස් විදුහලේ අවුරුදු සියය සැමරීම සඳහා පොතක් ලිවීමේ කටයුත්තට දායක වෙන්න ලැබීමත් එක්ක රත්නපුරය ගැන මගේ මතකය නැවත අලුත් වුණා. මම ඒ පොතට රත්නපුරේ ඉතිහාසයත් ඇතුළත් කළා. ඒ වැඩ කටයුතුවලදි අපි කණ්ඩායමක් එකට වැඩ කළත් පොත ලියන කටයුත්ත පැවරුණේ මටයි. ඒත් එක්කම කාලෙකට පස්සෙ මට ආපහු රත්නපුරේ කතා මතක් වුණා. ඒවාත් මේ නවකතාවට පාදක වුණා. අපේ පාසලේ ඉතිහාසයත් තරමක් දුරට එහි ඇතුළත් වෙලා තියෙනවා.

ඒ වගේම අපි පුංචි කාලෙ ඉඳලා අහලා තිබුණු විදියට ඒ ප්‍රදේශයේ ඇහැලෙපොළගේ භාර්යාවො සහ උපභාර්යාවො හිටියය කියන ගෙයක් සම්බන්ධ කරුණුත් නවකතාවට යොදාගෙන තියෙනවා. ඔන්න ඔය වගේ ඒ පරිසරය හා සම්බන්ධ බොහෝ තොරතුරු මේ නවකතාවට පාදක වුණා. ඊට අමතරව ඒ කාලෙ ගැහැනු කෙනෙකුට නිදහස ලබාගැනීමට තිබුණු අපහසුව ගැනත් නවකතාවෙන් සාකච්ඡා කෙරෙනවා.   

    එහෙත් මෙය රත්නපුරයේ ඉතිහාසය පිළිබඳ නවකතාවක් නෙවෙයි?  

නැහැ. පසු කාලයක රත්නපුරයේ ක්‍රියාත්මක වූ භීෂණ යුගය ආශ්‍රිත යම් යම් තොරතුරුත් මෙහි ඇතුළත් වෙනවා. ලංකාවේ දෙවැනි තරුණ කැරැල්ලේදී දරුණු වධ හිංසා පමුණුවලා, ඒ කියන්නේ පරාල ඇණ ගහලා මරණයට පත් කරපු අය ගැන තාමත් අපට කැක්කුමක් තියෙනවා. මම කවදාවත් ඒ කැරැල්ලට සම්බන්ධ වූ දේශපාලන පක්ෂයක සාමාජිකාවක් වෙලා ඉඳලා නැහැ. හැබැයි මේ විදියෙ දරුණු දේවල් අපේ රටේ වුණාද කියලා හිතෙනකොට තාමත් පපුව රිදෙනවා. ඒවත් මේ නවකතාව ලිවීමේදී බලපෑවා. එයට අමතරව තවත් ආසන්න දේශපාලන සිදුවීම් ගණනාවකුත් බලපෑවා.   

 නවකතාවට වියට්නාමය පසුබිම් කරගැනීමට ඔබ පෙළැඹුණේ කෙසේද?  

මේ නවකතාව පිළිබඳ අදහස ඔළුවට එනකොට මම හිටියේ වියට්නාමයේ. ලංකාවට ආපු ගමන් මම කතාව ලියන්න පටන්ගත්තා. වියට්නාමයට ගියාම අහන්න දකින්න ලැබුණු දේවල් ඔස්සේ මේ නවකතාව ගොඩනැගිය හැකි බව මට දැනුණා. කලෙකට ඉහතදී තමන්ට හතුරුකම් කළ ඇමෙරිකාව සමඟ අද ඔවුන් තරහ නැහැ. ඔවුන් හැම කෙනෙක් එක්කම ගනුදෙනු කරනවා. දරුණු යුද්ධ තිබුණු රටක් වෙලත් වියට්නාමයේ ජනතාව හරි සන්සුන්, නිවිලා, මිත්‍රශීලීයි, වෛරාන්විත නැහැ. ඒකත් මට තදින් දැනුණා. මේ අලුත් නවකතාව ලියැවුණේ ඒ සියලු දේවල් ඔස්සේයි.

කතාව වියට්නාමයෙන් පටන් අරගෙන වියට්නාමයෙන් ඉවර වුණා. නමුත් ඒක වියට්නාමයේ කතාවක් විතරක් නෙවෙයි. ඇතැම් අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වියට්නාමය ලබා දුන් විසඳූම් සහ ඔවුන් අනුගමනය කරපු සමහර දේවල් සංහිඳියාවට ගැන හිතන කාටත් වැදගත් කියලා මට හිතෙනවා. වියට්නාමයට යනකොට මම හිටියෙ ඇමෙරිකාවෙන් ඔවුන්ට වෙච්ච දේවල් ගැන කිසියම් තරහකින්. හැබැයි ඔවුන් අද ඒවා ගැන කතා කරන්නෙ නැහැ. ඔවුන් තව අවුරුදු දහයක් විතර යනකොට අපව පහු කරගෙන යන්නත් ඉඩ තියෙනවා. ඔවුන් යුද්දෙ ගැන කතා කර කර, වෙච්ච දේවල් ගැන කතා කර කර ඉන්නෙ නැතුව ඉස්සරහට යන්න බලනවා. මිනිස්සු තමන් එක්ක සමාදාන වෙනකොට, ඉතිහාසෙත් එක්ක සමාදාන වෙනකොට ඉදිරියට යන්න ලේසියි කියලා ඔවුන් විශ්වාස කරනවා. ඒ කාරණා අපේ මෑතකාලීන දේශපාලනයත් එක්ක මිශ්‍ර කරමින් තමයි ‘ජයන්’ ලිව්වේ. ඒත් මම රත්නපුරේ හැදුණු වැඩුණු කෙනෙක් නොවුණා නම් සමහර විට ඒක ඒ විදියට ලියැවෙන්නෙ නැති වෙන්නත් තිබුණා.   

    ඔබේ මුල් නිර්මාණවල තිබූ සමීප බව දැන් නිර්මාණවල නැතැයි කියනවා?
කොයි දෙයක වුණත් යම් වෙනසක් කළාම බොහෝ අයට ඒක එක වරම සමීප වෙන්නෙ නැති වෙන්න පුළුවන්. දැන් ගමක කතාවක් ලියනවා නම් ඒ පැරණි ගම දැන් නැහැනෙ. අද වෙනකොට සමාජය වෙනස් වෙලා. ඔය වගේ ප්‍රකාශවලින් කියැවෙන්නේ එක එක්කෙනාගේ පෞද්ගලික අභිරුචිය ගැනයි.

    මෑත පළ වූ ඔබේ ඇතැම් නවකතා සාපේක්ෂ වශයෙන් සංකීර්ණයි කීවොත්?  

‘ෂැංහයියා සහ කොළඹයා’ නවකතාව සමහර අයට සංකීර්ණ වෙන්න ඇති. අවශ්‍ය නම් ඒ කතාවෙන් මට ඉතා පහසුවෙන් රසවත් කතන්දරයක් ලියන්න තිබුණා. එදා ඉඳලා අද වෙනකම් ගලාගෙන යන එක පවුලක කතාවක් ලියන්නත් තිබුණා. එහෙම ලියන්නෙ නැතුව මම ඒක වෙන මානයකින් ඇල්ලුවා. මම එහෙම වෙනස් විදියට වෙන වෙන අයගෙ කතා ඔස්සේ නවකතාවක් ලියනකොට, එහෙම නැත්නම් භාෂා ශෛලීන් දෙක තුනකින් ලියනකොට හෝ එකම ශෛලිය වෙනස් කරනකොට සමහරුන්ට ඒක ප්‍රශ්නයක් වුණා වෙන්න ඇති. නමුත් දැන් ඒ විදියේ තවත් පොත් පළ වෙන බවක් පෙනෙන්නට තියෙනවා. තව තවත් එහෙම පොත් පළ වෙනවා කියන්නෙ දැන් ඒ වෙනස පිළි අරගෙන තියෙනවා කියන එකනෙ.

මුල ඉඳලාම හරි හතරැස් අච්චුවකට පොත් ලියන්න මම කැමති වුණේ නැහැ. ‘සඳුන්ගිර ගිනිගනියි’ පවා මට යම් විදියකට අවසන් කරන්න තිබුණා. නමුත් මම ඒක ප්‍රශ්නයකින් අවසන් කළා. ඒ, මට කතාවක් ගැටගහගන්න බැරිකමකට නෙවෙයි. එය වුවමනාවෙන් කරපු එකක්. අලුත් පොත් හරහා විවිධ ආකෘති අත්හදා බලන්න මට ඕන වුණා. එහෙම නොවුණොත් නවකතාව එක තැන නතර වෙන්න ඉඩ තියෙනවා කියලයි මම හිතන්නෙ. තවමත් සමහර අය කැමති හොඳ කතන්දරයකටයි. එක එක අය නිරාවරණය වෙලා තියෙන තරමක් තියෙනවානෙ. දැන් කාලයේ ලියන පොත් ඔක්කොම ‘අංජ බජල්’ කියලා සමහරු බණිනවා. සමහර වෙලාවට ඒකෙ යම් සත්‍යයකුත් ඇති. කොහොම වුණත් මට නම් හිතෙන්නෙ නවකතාවේ ආකෘතිය වෙනස් වෙන එක හොඳයි කියලයි. සමහර දේවල් කියන්න එවැනි වෙනස් ආකෘති අවශ්‍යයි. චිත්‍ර අඳින්න බැරි කෙනෙකුටත් විකාරරූපී චිත්‍ර අඳින්න පුළුවන් කියලා සමහරු කියනවානෙ. ඒ වුණාට විකාරරූපී චිත්‍රයක් වුණත් චිත්‍ර අඳින්න බැරි කෙනෙක් අඳිනවට වඩා හොඳට චිත්‍ර අඳින්න පුළුවන් කෙනෙකුට අඳින්න පුළුවන්. ඒ වගේම කිසිම අවබෝධයක් නැතිව පශ්චාත් නූතන නවකතාවක් ලියන්න කියලා අතනින් කෑල්ලයි මෙතැනින් කෑල්ලයි අරගෙන අවුල් ගොඩක් දාලා ලිව්වයි කියලා ඒක විශිෂ්ට නවකතාවක් වෙන්නෙ නැහැ. හැබැයි ඇතැම් වෙලාවට එතරම් විශේෂත්වයක් නැති පොතක් වුණත් සමහර අයට බරසාර වෙන්නත් පුළුවන්. ඒක පෞද්ගලික රුචි අරුචිකම් මත තීරණය වෙන දෙයක්.

ඒ වගේම නවකතාවක් සංකීර්ණද නැද්ද කියන කාරණය තීරණය වෙන්නෙත් එය කියවන පාඨකයාගේ මට්ටම අනුවයි. දැන් විශාල වශයෙන් පොත් පළ වෙනවා. සමහර වෙලාවට එතරම් ප්‍රශස්ත මට්ටමකින් ලියවිච්ච නැති පොත් පවා ඇගයුමට පාත්‍ර වෙනවා. මට ප්‍රශස්තයි කියලා නොදැනුණාට ඒ පොත් විනිශ්චය මණ්ඩලයක ඉන්න අයට හොඳට දැනෙනවා වෙන්න පුළුවන්. ඒක හරිම පෞද්ගලික විඳීමක්. පොතක් විතරක් නෙවෙයි, කුමන කලා කෘතියක් වුණත් එහෙමයි. සමහර අයට මම මෑතකදි ලියපු ‘කොළඹයා සහ ෂැංහයියා’, ‘කෘත්‍රිම දූපත’ වගේ පොත් හොඳයි. ඔවුන්ට ඒ පොත්වලින් අමුතු ආකෘතියක් අහු වුණා.   

    ඔබේ මුල් නවකතාවේ සිට ‘ජයන්’ දක්වා එද්දි ආකෘතියේ වූ වෙනස ගැන ඔබේ අදහස කුමක්ද?  

ඒ වෙනස ගැන මම සතුටු වෙනවා. ඕන නම් මට ‘සඳුන්ගිර ගිනිගනියි” වගේ පොත් දිගටම ලියන්න පුළුවන්. රත්නපුරේ භාෂාවත් මගේ පපුවට කාවැදිලයි තියෙන්නෙ. එහෙම ලියන්න පුළුවන් ගැමි කතා ඕන තරම් මට තියෙනවා. ‘සත්ගුණාකාරය’ කියන්නෙ ඒ භාෂාවෙන් එහෙම ලියපු කතාවක්. ඉදිරියෙදි මම සමහර විට ආපහු ඒ විදියෙ කතන්දරයක් ලියන්නත් ඉඩ තියෙනවා. හැබැයි එහෙම ලිව්වත් මම එක ආකෘතියකට කොටු වෙන්නෙ නැහැ. කතාවෙ හැටියට තමයි ආකෘතිය හැදෙන්නෙ. ‘පොදු පුරුෂයා’ ලියලා මම ඒ හුස්මටම ‘බුද්ධදාසි’ ලිව්වා. ඒ වුණාට ‘බුද්ධදාසි’ නවකතාවෙ තියෙන්නෙ කතන්දර ස්වරූපයක්. හැබැයි ඊට වඩා ඉදිරියෙන් ‘පොදු පුරුෂයා’ තියෙනවා කියලා කෙනෙකුට දැනෙන්න පුළුවන්.  
 
    ඔබේ නවකතාවේ ගමනට ඔබ නිතර නිතර කරන දෙස් විදෙස් ගමන් බලපානවාද?  

ඔව්. හුඟක් බලපානවා ඇති. මම රත්නපුරෙන් කොළඹ එන්නෙ නැතිව හිටියා නම් මගේ ලියවිල්ල මීට වඩා වෙනස් වෙන්න තිබුණා. එහෙම වුණා නම් මම කොළඹ ගැන දන්නෙ නැහැනෙ. එතකොට මම කොළඹ ගැන ලියන දේවල් බොරුවක් වෙන්න තිබුණා. මොකද මම එතකොට ලියන්නෙ කොළඹ ජීවිතය අත්දැකලා නැතිවයි. කෙනෙකුට හිතින් මවාගෙන ඕන දෙයක් ලියන්න පුළුවන්. එහෙම ලිව්වාට සමහරක් වෙලාවට ඒවා එච්චර හොඳට එන්නෙ නැහැ. කොළඹ ආපු නිසා මගේ ලිවීම වෙනස් වුණා. නමුත් ඒකට සෑහෙන කාලයක් ගියා. මම හිතින් ගම අල්ලගෙන හිටපු කෙනෙක්. කොළඹ ඇවිල්ලත් ගොඩක් කල් ගිහිල්ලයි කොළඹ පරිසරයේ දේවල් ගැන මගෙ අතින් ලියැවුණේ.

ඊට අමරතව පිටරට ගමන් බිමින් මට සෑහෙන දුරට බලපෑවා. පිටරට ගියාම ලෝකය විශාල විදියට පුළුල් වෙනවා. ඒ ගමන් බිමින් නිසා මගේ ලෝකය පුළුල් වුණා. ලංකාවෙන් එළියෙ ඉඳලා ලංකාව දිහා බලන්න මට හැකියාව ලැබුණා. මම ඉන්දියාව ගැන මෙච්චර දන්නෙ නැත්නම් මට ‘සෞම්‍යාලෝකය’ වගේ පොතක් ලියන්න බැහැ. ඉන්දියාවෙ ගිහිල්ලා මම ලබාගත් අත්දැකීම් ඇසුරින් මම බොහෝ දේවල් ලියලා තියෙනවා. සමහර වෙලාවට ඒ සමහර දේවල් කෙනෙකුට පිළිගන්න අමාරු වෙන්නත් ඉඩ තියෙනවා. මම ඉන්දියාවේ කැළෑවල ඇවිදලා යෝගියෝ එහෙම හම්බ වුණා කිව්වාම ඒ අත්දැකීම නැති කෙනෙකුට ඒක මහ අමුතු දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එවැනි අමුතු අත්දැකීම් විශාල ප්‍රමාණයක් මම ඉන්දියාවෙදි ලබාගෙන තියෙනවා. ඉන්දියාවෙදි මම දැකපු දේවල් සහ හමු වුණු අය ගැන හැම දෙයක්ම මම ලියලා නැහැ. ඒ සමහර දේවල් නවකතාවක ලියන්න බැහැ. ලිව්වාට කවුරුවත් ඒවා විශ්වාස කරන්නෙත් නැති වෙයි.   

 ප්‍රබන්ධයකදි සැම විටම ලිවිය යුත්තේ සත්‍යය හෝ විශ්වාස කළ හැකි දේවල්ම පමණද?  

එහෙම නැහැ. ප්‍රබන්ධයෙදි අපි ගියෙ නැති තැනක්, දැකලා නැති දෙයක් මවාගන්න පුළුවන්. හැබැයි ඒවාත් මවාගන්නෙ අපි දන්න ඒවා උඩනෙ. ප්‍රබන්ධයෙදි දිව්‍යලෝකයක් මවාගන්නත් පුළුවන්. දැන් බලන්න අපේ රටේ දෙවිවරුන්ව ඇඳලා තියෙන්නෙ කොහොමද? රජවරු ඇඳපු ඇඳුම් වගේ ඇඳුම් දෙවිවරුත් අඳින්න ඇති කියලා හිතින් මවාගෙනයි දෙවිවරුන්ව ඇඳලා තියෙන්නෙ. ඒ වුණාට දෙවිවරුන්ගේ ඇඳූම් මොන වගේද කියලා කවුරුත් දැකලා නැහැනෙ. බුද්ධ රූපය ඇඳලා තියෙන්නෙත් එහෙමනෙ. නිර්මාණකරුවා දැකලා තියෙන හුඟක් සිල්වත් කෙනෙක් අනුව යම් දෙයක් හිතේ මවාගෙන එහෙම අඳින්න පුළුවන්. අපි ලියන ඒවාත් එහෙමයි. අමුතු තැනකට ගියාම අපට ඒවා බලපානවා. නොදැකපු කෙනෙකුට වඩා දැකපු කෙනෙකුට ඒවා බලපානවා. එහෙම දැකපු දෙයක් අපි ලියන්නෙ ඒ ආකාරයටම නෙවෙයි. අපි පාවිච්චි කරන්නෙ ඒ පසුබිමයි. ඒක වඩා සාර්ථකයි. මම කවදාවත් දැකලා නැති ගෙවල් ගැන මගේ හැම පොතකම වගේ තියෙනවා. ඒ ගෙවල් කොහොමද මැවෙන්නෙ? මා තුළ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ කුමන හෝ අවබෝධයක් එක්ක ජෝර්ජ් කීට්ගේ චිත්‍ර, ජෙෆ්රි බාවාගේ ගෙවල්, ලෝකයේ විවිධාකර ගෙවල් සහ විවිධාකාර නවීන ගොඩනැගිලි, දිල්ලි හෙරිටේජ් හෝටලය, මදුරෙයි හෙරිටේජ් හෝටලය සහ කණ්ඩලම හෝටලය වගේ එක එක දේවල් සම්මිශ්‍රණය වෙලා එහෙම මැවෙනවා වෙන්න පුළුවන්. අලුත් දෙයක් හදනකොට කලින් අපි දැකපු ඒ වගේ දේවල් බලපාන්න ඉඩ තියෙනවා.
 
    ‘වියට්නාමයට සෙනෙහසිනි’ නමින් මෑතදී පළ වූ කෘතිය ගැන විශේෂ යමක් කියනවා නම්?  

වියට්නාමයේදි මට සාහිත්‍යකරුවන් සෑහෙන පිරිසක් හමු වුණා. ඒ වගේම එහේ මගේ කවි කියවීමටත් අවස්ථා තුනක්ම සංවිධානය කරලා තිබුණා. ඒ කටයුතුවල යෙදෙමින් මාස තුනක පමණ කාලයක් මම එහේ හිටියා. ඒ මුළු කාලය පුරාම මට ඒ රටේ සංවිධානය කරලා තිබුණු සාහිත්‍ය කටයුතුවලින් ගැලවෙන්නම විදියක් තිබුණෙ නැහැ. ඒ වියට්නාම සාහිත්‍යකරුවන් සහ සාහිත්‍යකාරියන් තමන්ගේ නිර්මාණ පරිවර්තනය කරන්න මට අවසර දුන්නා. ඒ නිසා එවැනි පරිවර්තන කිහිපයකුත් ඇතුළත් කරලා සංචාරක ආඛ්‍යානයක්ම නොවන මෙවැනි පොතක් ලියන්න ඕන කියලා මට හිතුණා. වර්තමාන වියට්නාමය මොන වගේද කියන එක ගැන අදහසක් මේ පොතෙන් ඉදිරිපත් වෙනවා. වියට්නාමයේ මුහුණුවර මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා කියලා මම හිතනවා.

මේ පොතට මම වියට්නාම කෙටිකතා කිහිපයක පරිවර්තන ඇතුළත් කරලා තියෙනවා. එයට අමතරව තවත් සමහර වියට්නාම කෙටිකතා ගැනත් එහි සඳහන් වෙනවා. ඒ වගේම මගේ නිරීක්ෂණ සහ මට හමු වූ විශේෂ කිහිප දෙනෙක් ගැන විස්තරත් පොතේ තියෙනවා. ඉතාම තදින් මගේ හිත බැඳගත්තු වියට්නාම ජනකතාවකුත් මේ පොතට ඇතුළත් කරලා තියෙනවා. ඒ ජනකතාව මට දැනෙන්නෙ හරියට දැන් කාලෙ කතාවක් වගෙයි. මේ සියලු දේවල් එක පොතකට ඇතුළත් කරලා පළ කිරීම වඩා හොඳයි කියලා මම හිතුවා. එහෙම නැතුව ඕන නම් මට වියට්නාම කෙටිකතා කිහිපයක් පරිවර්තනය කරලා වෙනම කෙටිකතා පොතක් පළ කරන්නත් තිබුණා. ඒත් එහෙම නීති දාගන්න ඕන නැහැ කියලයි මට හිතුණෙ.   

    මෙවැනි කෘතියක් අපට වැදගත් වන්නේ කුමන ආකාරයටද?  

මූලිකවම මේ වගේ පොතකින් වියට්නාමයේ වර්තමාන තත්ත්වය ගැන දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම වියට්නාමයේ කෙටිකතා කිහිපයක් රසවිඳීන්නත් අවස්ථාව ලැබෙනවා. අපේ රටේ බොහෝ දෙනෙක් වියට්නාමය කෙරෙහි මොකක්දෝ සහෝදර හැඟීමකින් ඉන්නවා කියලා මම හිතනවා. වියට්නාමයට ගියාම මට ඒ සහෝදර හැඟීම තදින්ම දැනුණා. ඒක නිසාත් මේ වගේ පොතක් අපේ අයට වැදගත් වෙයි කියලා මට හිතුණා. මම එතැනින් එහාට ගොඩාක් ලොකුවට හිතුවෙ නැහැ.   

    ‘ආලන්දර’ වැනි වෙනස් ආරක කෙටිකතා එකතුවක් රචනා කිරීමට ඔබ කීරණය කළේ ඇයි?  

කෙටිකතා වුණත් වෙන විදියකට ලියන්න පුළුවන්. මේ කෙටිකතා ලියලා තියෙන්නේ කෙටිකතා අස්සෙ කෙටිකතා විදියටයි. මෙතෙක් කල් රචනා කරපු කෙටිකතාවලට වඩා වෙනස් ආකාරයේ කෙටිකතා කිහිපයක් ‘ආලන්දර’ හරහා හඳුන්වාදෙන්නයි මම උත්සාහ ගත්තෙ. කෙටිකතා වුණත් හැමදාම එකම ආකෘතියකට හිර කරන්න ඕන නැහැ කියලා මට හිතුණා. දැඩි නීතියක් පනවගෙන, විශ්වවිද්‍යාලයක උගන්වන විදියට ගැලපෙන්න කෙටිකතා ලියන්න ඕන නැහැනෙ. පොදුවේ පිළිගැනෙන විදියට කෙටිකතාවක මූලික අවශ්‍යතා කිහිපයක් තියෙනවානෙ. සාමාන්‍යයෙන් කෙටිකතාවක එක අරමුණක් තියෙන්න ඕන. චරිත දෙකක් හෝ තුනක් තියෙන්න ඕන. ඒ කෙටිකතාව ඉලක්කය කරා යන්න ඕන සහ සංක්ෂිප්ත වෙන්න ඕන. මේ ක්‍රමයට කෙටිකතාව උගන්වන්න පුළුවන්. නමුත් ලේඛකයා එහෙම කොටු වෙන්න ඕන නැහැ කියලයි මම හිතන්නෙ.   

    පාඨක ප්‍රජාව මෙවැනි වෙනස්කම් භාරගන්නේ කුමන ආකාරයටද?  

පාඨකයො මොන විදියට මේවා භාරගන්නවාද කියලා නම් මම දන්නෙ නැහැ. හැබැයි ‘ආලන්දර’ පළවෙනි මුද්‍රණය මාසයක් ඇතුළත අවසන් වුණා. පාඨකයො පොත් කියවලා ෆේස්බුක් එකට එහෙම ලියන දේවල්වලින් තමයි ඔවුන්ගේ අදහස් දැනගන්න ලැබෙන්නෙ. ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. සමහරු හමු වුණාම අදහස් පළ කරනවා. ඒත් එහෙම හමු වෙන අවස්ථා දැන් හරි අඩුයි. පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන කාලයේදී බොහෝ වෙලාවට මම ලංකාවෙ නැහැ.
ඒ නිසා මට දැන් එතැනට එන අය හමු වෙන්නෙත් නැහැ. හුඟක් අය කියනවා පොත් අත්සන් කරගන්න ඕන නිසා ඒ කාලයේ පොත් ප්‍රදර්ශනයට එන්න කියලා. ඒ වුණාට වෙන රටකට යන්න වුණත් මටත් නිදහස තියෙන්නෙ ඒ කාලයටයි. ඒ නිසා බොහෝ වෙලාවට ඒ අවස්ථාවත් මට මඟ හැරෙනවා. අනෙක දැන් ඉස්සර කාලයේ වගේ බොහෝ අය පොත් ගැන අදහස් දක්වලා ලියුම් ලියලා එවන්නෙත් නැහැනෙ. දැන් බොහෝ අය ලියුම් වෙනුවට එවන්නෙ ඊමේල් පණිවුඩනෙ.   

 එයින් අදහස් වන්නේ පාඨක ප්‍රතිචාර ඔබට වැදගත් නොවන බවද?  

ලේඛිකාවක් හැටියට රැඳී සිටින්න ප්‍රමාණවත් සහ උණුසුම් ප්‍රතිචාර මට ලැබිලා තියෙනවා. ඒ නිසා මැසිවිලි නගන්න, නාහෙන් අඬන්න දෙයක් මට නැහැ. කවුරු හරි බැන්නත් ඉතින් ඒකෙ ඇති දෙයක් නැහැනෙ. මාර්ටින් වික්‍රමසිංහටත් ඕන තරම් බැණලා තියෙන්නෙ. ඒක එක එක්කෙනාගෙ නිදහස. ඒවා පස්සෙ එළවා එළවා ඉන්න ගියොත් මට ලියන්න වෙන්නෙ නැහැනෙ. මට ලියන්න ඕන නිසා මම දැන් බොහෝ බාහිර කටයුතු අඩු කරලා තියෙන්නෙ. වෘත්තීය ලේඛකයෙක් හෝ ලේඛිකාවක් එවැනි කැපකිරීමක් සහිතව කටයුතු කළ යුතුයි කියලා මම හිතනවා.  

 ලේඛකයකු බාහිර සමාජයෙන් හුදෙකලා වී සිටිය යුතුද?  

එක එක්කෙනා වෙනස්. එහෙම වෙන්න ඕනද නැද්ද කියලා නීතියක් නැහැනෙ. පොතක් ලියන්න පටන් ගත්තාම ඒක ලියලා අවසන් කරනකම් වෙන කටයුතුවල යෙදෙන්නෙ නැතුව ඉන්නයි මම නම් කැමති.   

    ෆේස්බුක් වැනි නව සමාජ මාධ්‍ය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?  

ෆේස්බුක් කියන්නෙ හොඳ මාධ්‍යයක්. ඒක නවීන දෙයක්. අනෙක අපට ඒක නවත්තන්නත් බැහැනෙ. දැන් බොහෝ අය ඉස්සර වගේ ලියුම් ලියන්නෙ නැහැ. ඒ වෙනුවට දැන් ඔවුන් නවීන තාක්ෂණය සහිත මේ වගේ මාධ්‍ය යොදාගන්නවා. ඉදිරියේදි අපට නවීන තාක්ෂණය නැතිව බැංකුවකට ගිහිල්ලා ගනුදෙනු කරන්නත් බැරි වෙනවා. ගුවන් ගමන්වලටත් එහෙමයි. සන්නිවේදනයටත් ඒක අදාළයි. ඉස්සර ලිවීමේ යෙදුණෙත් කිසියම් පිරිසක් පමණයි. ඒ සමහරු හිතුවෙ පත්තරයක ලියන්න ඉඩක් ලැබුණාම හතර අතට ගහන එක හරි හපන්කමක් කියලයි. ඒත් ෆෙස්බුක් වගේ මාධ්‍ය තියෙන නිසා දැන් එහෙම නැහැ. ෆේස්බුක් එකෙන් එක්කෙනෙක් කිසියම් දෙයක් ගැන හොඳ කියනකොට තව කෙනෙක් ඒ දේ ගැන වෙන දෙයක් කියන්නත් පුළුවන්. එක්කෙනෙක් යම් දෙයක් හොඳ නැහැයි කියනකොට, නැහැ. ඒක එහෙම නෙවෙයි කියන්නත් තව කෙනෙකුට පුළුවන්. ලේඛකයා ලියපු දෙයක් සම්බන්ධයෙන් පාඨකයාට යම් ප්‍රශ්නයක් තිබුණොත් ඒක පැහැදිලි කරගන්නත් ෆෙස්බුක් එකෙන් ඉඩක් ලැබෙනවා. ඒ නිසා ෆෙස්බුක් කියන්නෙ සාධනීය දෙයක් කියලා මම හිතනවා. හැබැයි ඒ මාධ්‍යය නරක විදියට පාවිච්චි කරන්න නරකයි.තමන් ලොකු දැනුම ඇත්තෙක් කියලා පෙන්නන්න මෙවැනි මාධ්‍යයක් හරහා අනෙක් හැමෝටම නිර්දය විදියට බණින අයත් ඉන්නවා. මම නම් කවදාවත් පොත්වලට ඒ විදියට බණින ඒවට එකතු වෙන්නෙ නැහැ. මම එතරම් කැමති නැති පොතකට වුණත් මම දොසක් කියන්න යන්නෙ නැහැ. මොකද මමත් ලියන කෙනෙක්නෙ. ලියන කෙනෙක් විදියට අනෙත් අය ලියන දේවල් විවේචනය කරන්න, ඒවාට හිනාවෙන්න හෝ ඒවා හෑල්ලුවට ලක් කරන්න මම එකතු වෙන්නෙ මොකටද කියලා මට හිතෙනවා.
   
    ෆේස්බුක් වැනි මාධ්‍යයක් හරහා හරවත් සාහිත්‍යමය කතාබහක් ගොඩනගාගත හැකිද?  

ඔව්. ඒ මාධ්‍ය හරහාත් සමහරු විචාර එහෙම ලියනවානෙ. එතැනදි සමහර අයට තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න ලොකු වචන මාලාවක් නැති වෙන්න පුළුවන්. කෙනෙක් යමක් කියවලා සතුටට පත්වීම නිසා පළ කරන එවැනි අදහසක ලොකු බරසාර බවක් නැති වෙන්න පුළුවන්. තවත් සමහර වෙලාවට යම් කෙනෙක් පොදුවේ වෙනත් පිරිසක් බණින නිසා බණිනවා වෙන්නත් පුළුවන්. කෙනෙක් ෆේස්බුක් එක සූක්ෂම විදියට තමන්ගේ වාසියටත්, වෙනත් කෙනෙකුගේ අවාසියටත් යොදා ගන්නවාත් ඇති. ඒත් අපි කැමති වුණත්, අකමැති වුණත් ඒක නවත්තන්නත් බැහැනෙ. එහෙම නම් අපි නවීන තාක්ෂණය සම්පූර්ණයෙන් අත්හැරලා ඉන්න ඕන.  
 
 මෙවැනි මාධ්‍ය ඔස්සේ හෝ ඔබේ නිර්මාණ සඳහා ප්‍රචාරක කටයුතු නොකෙරෙන්නේ ඇයි?   

මම කොහොමත් ප්‍රචාරක වැඩ කරන්නෙ නැහැ. මගෙ එක පොතකටවත් දොරටවැඩුම් උත්සව පවත්වලාත් නැහැ. එක එක්කෙනාට ආරාධනා කරලා, පහන් පත්තු කරලා, දේශන තියලා එවැනි උත්සව පැවැත්වීමේ කැමැත්තකුත් මට නැහැ.   

    ඔබ විශ්වාස කරන ආකාරයට අද සමාජයට කියවීම වැදගත් වන්නේ කෙසේද?  

කියවීම හරහා අද සමාජයට නව දැනුමක්, නව අර්ථයක් සහ නව කම්පනයක් ලැබෙනවා. ඉතා දියුණු තාක්ෂණයෙන් පමණක් සමාජයේ බොහෝ පිරිස් වෙත නොලැබෙන දේවල් කියවීමෙන් ලබාගන්න පුළුවන්. අද බොහෝ අය බොහෝ දේවල් දන්නවා කියලා හිතුවට ඇත්තටම ඒ දන්න දේවල්වලට වඩා බොහෝ නොදන්න දේවල් තියෙන්න පුළුවන්. කියවීම වැදගත් වන්නේ ඒ නිසයි. මට නම් කියවීමෙන් බොහෝ දේවල් ලැබුණා. මට ලියන්න පුළුවන් වුණේත්, මගේ ලෝකය පුළුල් වුණේත් කියවීම නිසායි.