ලංකාවේ පාඨකයා සමඟ මගේ කෘති ගැන කතා කිරීම විශේෂ අත්දැකීමක් : ජර්මානු ලේඛක නෝර්මන් ඕහ්ලර්

 ඡායාරූපය:

ලංකාවේ පාඨකයා සමඟ මගේ කෘති ගැන කතා කිරීම විශේෂ අත්දැකීමක් : ජර්මානු ලේඛක නෝර්මන් ඕහ්ලර්

ශ්‍රී ලංකාවේ ජර්මානු සංස්කෘතික ආයතනය සංවිධානය කළ විශේෂ සාහිත්‍ය වැඩසටහනකට සහභාගි වීම සඳහා ජගත් කීර්තියට පත් ජර්මානු ලේඛක නෝර්මන් ඕහ්ලර් පසුගියදා දිවයිනට පැමිණියේය. මෙයට පෙර නවකතා ඇතුළු ප්‍රබන්ධ කෘති කිහිපයක් රචනා කර ඇති ඔහු 2015 වසරේ සුවිශේෂ කෘතියක් එළිදැක්වීය. ඒ, හිට්ලර් යුගයේ ජර්මනිය අළලා වූ ‘බ්ලිට්ස්ඩ්’ (Blitzed) නමැති ප්‍රබන්ධ නොවන කෘතියයි. එය මේ වන විට ලොව භාෂා විසිඅටකට පරිවර්තනය වී තිබේ. මේ අතර ඔහුගේ අලුත්ම නවකතාව ‘ජීවිතයේ සමීකරණය’ (The Equation of Life) යන නමින් ඉංග්‍රීසි බසින් පළ වූ අතර මේ, ඔහු මෙරටට පැමිණි වේලේ අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ශ්‍රී ලංකාවේ පාඨකයින් වෙනුවෙන් ඔබ ගැන කෙටි හඳුන්වාදීමක් කළ හැකිද?

මේ වන විට මම නවකතා හතරක් රචනා ලියලා තියෙනවා. ‘ඊක්වේෂන් ඔෆ් ලයිෆ්’ නමැති මගේ අලුත්ම නවකතාවේ පාඨ කිහිපයක් මම පසුගියදා කොළඹදී පාඨක පිරිසක් ඉදිරියේ කියෙව්වා. මේ වන විට මම ‘බ්ලිට්ස්ඩ්’ නමින් ප්‍රබන්ධ නොවන කෘතියකුත් පළ කරලා තියෙනවා. හිට්ලර් යුගයේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන ලියැවුණු ඒ කෘතියේ පාඨ කිහිපයකුත් මම මෙරට පාඨක පිරිසක් ඉදිරියේ ඉදිරිපත් කළා. ඒ කෘතිය බොහෝ අයගේ අවධානයට ලක් වූ බව පෙනෙන්නට තිබුණා. ලංකාවේ වගේම වෙනත් රටවලත් ඒ කෘතිය කතාබහට ලක් වුණා කියලා මම හිතනවා. මෙයට පෙර පළ වුණු මගේ නවකතා සියල්ලටම වඩා එහි කිසියම් විශේෂත්වයක් තිබෙන බව විචාරකයින් පවසනවා. හේතුව සමහර විට ඒ කෘතිය මඟින් ඉදිරිපත් කෙරෙන තොරතුරුවල ඇති සුවිශේෂත්වය වෙන්න ඇති කියලා මම හිතනවා.  

එවැනි කෘතියක් රචනා කරන්න ඔබ පෙළැඹුණේ කෙසේද?

හිට්ලර්ගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ වෛද්‍ය තියෝ මොරෙල් විසින් වරින් වර තැබූ සටහන් ගොනුවක් ජර්මනියේ ෆෙඩරල් ලේඛනාරක්ෂක පුස්තකාලයේ තිබිලා මට හමු වුණා. ජර්මනියේ නාසි යුගය සහ හිට්ලර් පිළිබඳව මෙතෙක් බොහෝ අය නොදන්නා ආකාරයේ ඉතාම අප්‍රකට තොරතුරු රාශියක් ඒ සටහන්වල ඇතුළත් වෙලා තිබුණා. ඒ කරුණු ඇසුරින් ප්‍රබන්ධ නොවන කෘතියක් රචනා කළ යුතු යැයි මට සිතුණා. මගේ කෘතිය සඳහා ඒ අපූරු සටහන් තවදුරටත් අධ්‍යයනය කිරීම මට ඉතාම ආශ්වාදජනක කටයුත්තක් වුණා. එය එක්තරා ආකාරයකට අතීතය වෙත මා පුද්ගලිකව ගිය චාරිකාවක් වැනි දෙයක් කියාත් මට හිතෙනවා. අප අසා ඇති ඉතිහාසයේ එක්තරා යුගයක් හා බැඳූණු අප්‍රකට සහ රසවත් තොරතුරු රාශියක් ඒ සටහන් ඔස්සේ රැස් කරගන්නට මට හැකියාව ලැබුණා. ඒවා මට වගේම තවත් බොහෝ අයටත් ප්‍රයෝජනවත් වේවි යැයි සිතුණු නිසා මෙවැනි පොතක් රචනා කිරීමට මම පෙළැඹුණා.  

ඒ කෘතියට ලැබුණු ප්‍රතිචාර සතුටුදායකද?

එය ඉතාම සාර්ථක වූ බව පෙනෙනවා. මේ වන විට ලොව පුරාම විවිධ භාෂා විසිඅටකට පමණ එය පරිවර්තනය වෙලා තිබෙනවා. හිට්ලර් යුගයේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන කරුණු ඉදිරිපත් කරන ප්‍රථම කෘතිය විදියටත් සමහරු එය සලකනවා. ඒ හරහා ලොව පුරාම ව්‍යාප්ත පාඨක පිරිසක් මා සමඟ එක්ව සිටිනවා. ඒ ගැන මම ඇත්තටම සතුටු වෙනවා.  

ප්‍රබන්ධ ලියන ඔබට මෙවැනි ප්‍රබන්ධ නොවන කෘතියක් රචනා කිරීම අලුත් අත්දැකීමක් වුණාද?

පැහැදිලිවම ඔව්. එහෙත් ප්‍රබන්ධ රචනා කිරීමට සාපේක්ෂව ප්‍රබන්ධ නොවන කෘති රචනා කිරීම පහසු බවයි මගේ අදහස. ප්‍රබන්ධයේදී ලේඛකයා රැඳී සිටිය යුතු නිශ්චිත රාමුවක් හෝ කාල පරාසයක් පිළිබඳ සීමාවක් පැනවෙන්නේ නැහැ. ඒ නිසාම කොතැනින් පටන් ගත යුතුද, කුමක් කෙසේ ලිවිය යුතුද සහ අදාළ කරුණු ඉදිරිපත් කළ යුත්තේ කුමන ආකාරයටද වැනි ගැටලු රාශියක් හමුවේ ලේඛකයා අතරමං වෙනවා. ඒ නිසා ප්‍රබන්ධ කෘති රචනා කිරීම අසීරු සහ බැරෑරුම් කටයුත්තක්. එයට සාපේක්ෂව ප්‍රබන්ධ නොවන කෘතියක් රචනා කිරීම පහසුයි. එයින් අදහස් වන්නේ ප්‍රබන්ධ හෝ වේවා ප්‍රබන්ධ නොවන හෝ වේවා ඕනෑම පොතක් ලිවීම පහසු කටයුත්තක් යන්නත් නෙවෙයි. ප්‍රබන්ධයක් රචනා කිරීමේදී ලේඛකයාට කිසියම් ස්වාධීනත්වයක් ලැබෙනවා. ප්‍රබන්ධ නොවන කෘතියකදී එවැනි නිදහසක් ලැබෙන්නේ නැහැ. එහිදී ලේඛකයාට සත්‍ය තොරතුරු මත පදනම්ව කෘතිය රචනා කරන්න සිදු වෙනවා. ඒ වගේම කෘතිය සඳහා යොදාගන්නා තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳව ඉතා සැලකිලිමත් වීමටත් සිදු වෙනවා.  

ඔබ මෙයට පෙරත් ලංකාවට පැමිණ තිබෙනවාද?

ඔව්. මේ මම ලංකාවට පැමිණි දෙවැනි අවස්ථාව. මෙයට පෙර 2015 වසරේදී මම විදේශික සංචාරකයෙක් විදියට ලංකාවට ආවා. ඒ අවස්ථාවේදී මම සාහිත්‍ය කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ ගමනේදී සංචාරකයෙක් විදියට මම වැඩි කාලයක් ගත කළේ කොළඹ නගරය ආශ්‍රිතව. මේ සැරේ මම දකුණු වෙරළ තීරය නැරඹිමටත් ගියා. මම දැකපු විදියට ලංකාව ඉතාම සුන්දර රටක්. භූගෝලීය පිහිටීම, ස්වාභාවික සුන්දරත්වය සහ ජනගහනය යනාදී සියලු කරුණු සැලකිල්ලට ගත්තාම ශ්‍රී ලංකාව ලෝකයේ වෙනත් රටවල් අතර සුවිශේෂ රටක් කියලා මම හිතනවා. නැවත වරක් මේ රටට පැමිණීමට හැකි වීම ගැන මා තුළ සතුටක් තියෙනවා. එහෙත් තවම මේ රට ගැන ඒ තරම් ලොකු දැනුමක් මට නැහැ. මම මෙයට පෙර ඉන්දියාවටත් ගිහින් තියෙන නිසා ඊට සාපේක්ෂව ලංකාවේ ජනගහනය වැඩියි කියලාත් මට හිතෙනවා. මේ රටේ පාඨක පිරිසක් සමඟ මගේ කෘති ගැන සහ සාහිත්‍යය ගැන කතා කරන්න අවස්ථාවක් ලැබීම මට ලැබුණු විශේෂ අත්දැකීමක් කියලා මම හිතනවා.  

ඔබ ලියන්නේ ඇයි?

මට හරි විදියට කරන්න පුළුවන් ලිවීම විතරයි කියලයි මම හිතන්නෙ. මම ලියන දේවල් ගැන මට විශ්වාසයක් සහ අභිමානයක් තියෙනවා. පොතක් ලිවීම සඳහා විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා. එය මට ඉතාම හොඳින් කළ හැකි දෙයක් කියලා මම හිතනවා. පොතක් ලියන්න ගත්තාම ඒ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්න මට හැකියාව තියෙනවා. මම ලිවීමෙන් වින්දනයක් ලබනවා. ප්‍රබන්ධ හෝ වේවා ප්‍රබන්ධ නොවන හෝ වේවා යම් යම් දේ ලියමින් සහ සංස්කරණය කරමින් කාලය ගත කරන්න ලැබීම විශේෂ දෙයක් හැටියට මම සලකනවා. ඒ නිසාම ලේඛකයෙක් වීම ගැන මම සතුටට පත් වෙනවා.  

ඔබ සිතන ලෙස ලිවීමේ ක්‍රියාවලිය සිදු වන්නේ කෙසේද?

ලිවීම සඳහා කිසියම් කැපකිරීමක් අවශ්‍ය වෙනවා. පොතක් ලියන්න පටන්ගත්තාම හැම දවසකම ඒ වෙනුවෙන් කාලයක් කැප කිරීම වැදගත්. දිනකට අවම වශයෙන් පැය පහක් හෝ හයක් ඒ සඳහා වැය කළ යුතුයි. එහිදී හික්මීම, එහෙමත් නැත්නම් සංයමය ඉතා වැදගත් වෙනවා. ලේඛකයෙකුට තමන් කැමති ඕනෑම තැනක ඉඳගෙන ලිවීමේ යෙදෙන්න පුළුවන්. ඒවගේම ලේඛකයාට කිසියම් උත්තේජනයක් අවශ්‍ය වෙනවා. එය ලෙහෙසියෙන් සැලසුම් කරලා ලබාගත හැකි දෙයක් නෙවෙයි. ඒ නිසාම එක් අතකින් එය සුරක්ෂිතභාවයක් රහිත වෘත්තියක් බවට පත් විය හැකි අවස්ථාත් තියෙනවා. එක්තරා දවසක හෝ එක්තරා මොහොතකදි තවදුරටත් ලියන්න බැහැ කියලා ලේඛකයෙකුට හිතෙන්න පුළුවන්. ඒ නිසා එය සුන්දර වගේම දුෂ්කර සහ අභියෝගාත්මක වෘත්තියක්. ලිවීම සිදු වන්නේ මෙන්න මෙහෙමයි කියලා සමීකරණයක් හෝ වට්ටෝරුවක් නැහැ. එය එකිනෙකට වෙනස් ආකාරවලින් සිදු විය හැකි දෙයක්. එකම ලේඛකයකුට වුණත් එය කෘතියෙන් කෘතියට සහ අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්.  

ඔබ සඳහන් කළ උත්තේජනය සඳහා ප්‍රතිචාර, ඇගයීම් සහ සම්මාන වැදගත්ද?

මා ලියන දේවල්වලින් වැඩක් තියෙනවාද කියන කාරණය තේරුම්ගැනීම සඳහා එවැනි ඇගයීම් මට වැදගත් වෙනවා. ලේඛකයෙක් ලිවිය යුත්තේ මුදල් හෝ වෙනත් දෙයක් අපේක්ෂාවෙන් නෙවෙයි. කිසි කෙනෙක් නොකියෙව්වත් ලේඛකයා ලිවිය යුතුයි. එහිදී කිසියම් ඇගයීමක් ලැබෙනවා නම් ඔහුට එය වැදගත් විය හැකියි. ලිවීම කියන්නේ හැමදාමත් අලුත් අභියෝගයන්ට මුහුණ දෙමින් කරන කටයුත්තක්. අවශ්‍ය වන්නේ ඒ අභියෝගයට සාර්ථකව මුහුණදීමයි. තමන් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නා යැයි ලේඛකයාට සතුටු විය හැකි නම් එය ප්‍රමාණවත්. ඇගයීම් සහ සම්මාන වැනි දේවල් එයට පරිබාහිර කාරණා පමණයි.  

අද වන විට පාඨකයින් මුද්‍රිත පොත්පත් කියවීමෙන් ඈත් වෙමින් සිටිනවා යැයි ඔබ හිතනවාද?

ඔව්. ලෝකයේ හැම රටකම අද එවැනි තත්ත්වයක් දකින්න ලැබෙනවා කියලා මම හිතනවා. පොත් වෙළෙඳපොළ පසුගිය වසර කිහිපය තුළ සියයට එකොළහක පමණ ප්‍රමාණයකින් කුඩා වී ඇති බව මට දැනගන්නට ලැබුණා. එය විශාල පහත වැටීමක්. එහෙත් ස්මාර්ට් දුරකථන හෝ වෙනත් නව තාක්ෂණ උපක්‍රම හා සසඳන විට පොතට වැඩි ආයු කාලයක් තියෙනවා කියලා මම හිතනවා. පොතක් පරම්පරා ගණනාවක් යන තුරු පැවතීමේ හැකියාවක් තිබෙන දෙයක්. ඒ නිසා පොත් සහ පොත් කියවීම තව කාලයක් යන තුරු අඩු මටට්මින් හෝ පවතීවි. එහෙත් ඉස්සර තරම් පිරිසක් දැන් පොත් කියවන්නේ නැති වීම නම් කනගාටුවට කරුණක්.  

කියවීම අඩු වෙමින් යන පසුබිමක් තුළ පොතකින් සමාජයට බලපෑමක් කළ හැකිද?

නව මාධ්‍ය වැඩි වැඩියෙන් බිහි වෙමින් ජනතාවට සහ පාලන අධිකාරීන්ට අවශ්‍ය විදියට හැඩගැහෙමින් ක්‍රියාත්මක වෙනවා. ඒ මාධ්‍යවලට අද පවතින දේශපාලන සහ වෙළෙඳ පරිසරය මුල් කරගත් සමාජ ආර්ථික ක්‍රමය තුළ ලොකු නිදහසක් ලැබෙන්නේ නැහැ. එහෙත් එයට සාපේක්ෂව පොතට තවමත් ස්වාධීන පැවැත්මක් තියෙනවා. තනි ලේඛකයෙක් ලියන කෘතියකින් වඩාත් ස්වාධීන මතයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා ලේඛකයෙකුට අදත් සමාජයට කිසියම් බලපෑමක් කළ හැකියි. ලේඛකයා හෝ පොත සඳහා උරුම වී තිබුණු ස්වර්ණමය යුගය මේ වන විට අවසන් වී තිබෙනවා. එහෙත් ලතින් ඇමෙරිකාවේ ගාර්සියා මාර්කේස් හෝ ජර්මනියේ ගුන්තර් ග්‍රාස් වැනි ලේඛකයින් මුළු මහත් රජයක් සහ ජනතාවක් වෙනුවෙන් පෙනී සිටි යුගයක් තිබුණා. ඇතැම් විට ඒ යුගය මේ වන විට අවසන් වෙලා තිබෙනවා සේ පෙනෙන්නට පුළුවන්. එහෙත් ලේඛකයින්ට තවමත් කිසියම් බලයක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා.  

මාර්කේස් වැනි ලේඛකයින් හරහා ප්‍රචලිත වූ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය ගැන ඔබේ අදහස කුමක්ද?

මම ඉන්ද්‍රජාලික යථාර්ථයට ප්‍රිය කරන කෙනෙක්. කිසියම් දෙයක ඉන්ද්‍රජාලමය මොහොතක් තියෙනවා දකින්න මම කැමතියි. සැබෑ ලෝකය ගැන කතා කරන යථාර්ථවාදී රචනාත් අවශ්‍යයි. ඒ වගේම ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය වැනි ඒවාත් වැදගත්. සාහිත්‍යයේ ඉදිරි ගමනට මේ විවිධ ලේඛන ශෛලීන් විවිධ ආකාරයෙන් වැදගත් වෙනවා. දැන් ‘ඊක්වේෂන් ඔෆ් ලයිෆ්’ නම් මගේ අලුත් නවකතාවට මම ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රීතිය යොදාගෙන තියෙනවා. එහෙත් ‘බ්ලිට්ස්ඩ්’ නමැති ප්‍රබන්ධ නොවන කෘතියේදී යොදාගත්තෙ යථාර්ථවාදී රීතියයි. මම පුවත්පත් කලාවේදියෙක් ලෙසත් කටයුතු කරමින් පොත්පත් රචනා කිරීමට යොමු වූ කෙනෙක්. ඒ නිසා යථාර්ථවාදී ශෛලිය වගේම අලුත් සාහිත්‍ය රීතීන් ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. ලියන්නේ මොන ශෛලියෙන්ද කියන එක තීරණය වෙන්නේ ලියන දෙය අනුවයි.  

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් සහ ෆ්‍රාන්ස් ක්ෆ්කා වැනි ජර්මානු බසින් ලියූ ලේඛකයින් ගැන අද ජර්මනියේ තියෙන්නේ කුමන ආකාරයේ පිළිගැනීමක්ද?

ඔවුන් අදටත් ඉතා ඉහළම පිළිගැනීමට ලක් වෙනවා. විශේෂයෙන්ම සාහිත්‍යය සහ කලාව ඇසුරු කරන හැම කෙනෙක්ම කෆ්කා, බ්‍රෙෂ්ට් සහ හර්මන් හෙස වැනි ලේඛකයින්ට සහ ඔවුන්ගේ කෘතිවලට ආදරය කරනවා. ඒවගේම ජර්මනියේ නව ලේඛක පරපුරේ ඉදිරි ගමන සඳහා ඔවුන් ආදර්ශ වෙනවා. ජර්මනියේ පාසල්වලත් ඔවුන්ගේ නිර්මාණ ගැන උගන්වනවා. එයට අමතරව පොදු සමාජයේ වැඩි පිරිසක් තුළත් එම ශ්‍රේෂ්ඨ ලේඛකයින් සහ ඔවුන්ගේ නිර්මාණ ගැන යම් අවබෝධයක් තියෙනවා.  

ඔබේ පුවත්පත් කලා දිවිය ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති රචනයට වැදගත් වුණාද?

ප්‍රබන්ධ නොවන කෘති රචනා කිරීම සඳහා නම් එය ඉතා පැහැදිලි ලෙසම වැදගත් වුණා. මා රචනා කළ ‘බ්ලිට්ස්ඩ්’ කෘතිය දීර්ඝ පුවත්පත් ලිපි මාලාවක ස්වරූපයක් ගත් කෘතියක්. එවැනි ප්‍රබන්ධ නොවන කෘතියක් රචනයට මගේ පුවත්පත් දිවියේදී ලැබූ අත්දැකීම් විශාල වශයෙන් වැදගත් වුණා. ඒ වගේම පුවත්පත් කලාවෙන් මා උගත් දේ සහ ලැබූ අත්දැකීම් ප්‍රබන්ධ කෘති රචනයේදී වෙනස් ආකාරයකින් වැදගත් වුණා.  

ඔබේ කෘති ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂාවන්ට පරිවර්තන වීම වැදගත් යැයි ඔබ හිතනවාද?

ඔව්. පරිවර්තන ඉතාම වැදගත්. එක් භාෂාවකින් පළ වූ කෘතියක් තවත් භාෂාවකට පරිවර්තනය වීම මුල් කෘතියේ ලේඛකයාට වගේම වෙනත් භාෂාවකින් කියවන පාඨකයින්ටත් වැදගත්. මගේ කෘතියක් වෙනත් භාෂාවකට පරිවර්තනය වීම මට දැනෙන්නේ මා ලබන විශේෂ ජයග්‍රහණයක් හැටියටයි. මගේ පරිවර්තකයින් සමඟ සමීපව කටයුතු කරන්න මම කැමතියි. එ්ත් ඒ ඇතැම් පරිවර්තකයින් කිසි දිනෙක මට හමු වන්නේ නැහැ. ඇතැම් විට ඔවුන්ගේ භාෂාව මට තේරුම් ගන්නත් බැහැ. ඒ නිසා ඔවුන් කරන පරිවර්තනවල ස්වරූපය මොන වගේද කියලා මම දන්නේ නැහැ. මගේ ‘බ්ලිට්ස්ඩ්’ කෘතිය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළ පරිවර්තකයා සමඟ එකට කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. එහිදී ප්‍රංශ පරිවර්තනයේ තිබුණු යම් යම් වැරදි නිවැරදි කිරීමේ අවස්ථාව මට ලැබුණා. හැම පරිවර්තකයකු සමඟම ඒ අයුරින් සමීපව කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා නම් වටිනවා.

මාතෘකා