ජෝර්ජ් කීට් නැවත සොයාගත් කෘතියක්

 ඡායාරූපය:

ජෝර්ජ් කීට් නැවත සොයාගත් කෘතියක්

ජෝර්ජ් කීට්: කලාවෙහි නිමග්න ජීවිතයක්

කර්තෘ - එච්.ඒ.අයි. ගුණතිලක (ඉයන් ගුණතිලක)

පරිවර්තනය - එච්.බී. ගුණරත්න

ප්‍රකාශනය - අගහස් ප්‍රකාශකයෝ

“කීට් ශ්‍රේෂ්ඨ සිත්තරෙකුගේ ජීවමාන හරය යැයි මම සිතමි. ඔහුගේ සියලු නිර්මාණවල, මෙතරම් මැ තරුණ කලාකරුවකුට අතිශයින් අනර්ඝ ගුණාංග වන පරිණත බවෙන් ලබන සංයමය, කාර්ය සාධනයෙහි සිත්ගන්නාසුලු ස්ථාවරත්වය දක්නට ලැබෙයි. අපූර්වාකාරයෙන් වර්ණ භාවිත කරද්දී වුවද, අවධානයෙන් යුතුව මූර්තිධර පරිමා (plastic volumes) විසුරුවද්දී වුවද, විශේෂයෙන්ම සිංහල ජනයා චිත්‍රණයේදී, කීට්ගේ සිත්තම් නාට්‍යමය පලසක් ජනනය කරයි. මෙම රූප නුහුරු අර්ථසූචක මහිමය නව අරුතක් විදහා දක්වන අතර තීව්‍රතර හෘදයංගම හැඟීමක තේජසක් විහිදුවයි.”

1930 ජනවාරියේ පැවති ජෝර්ජ් කීට්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් නැරඹූ එවක කොළඹ චිලී තානාපතිවරයා ලෙස කටයුතු කළ නොබෙල් සම්මානලාභී කවියකු වන පැබ්ලෝ නෙරූදා ලියූ සටහනකින් මෙය උපුටා ගැනිණ. ජෝර්ජ් කීට් එවක 29 හැවිරිදිය. මේ සටහනද ඇතුළත් ග්‍රන්ථයක් එච්.බී. ගුණරත්න විසින් සිංහලට පරිවර්තනය කර තිබේ.(එච්.බී. ‘හිතුවක්කාරී’ නවකතාව ලියා ගොඩගේ සම්මානය දිනූ ලේඛකයාය.) ‘ජෝර්ජ් කීට්: කලාවේ නිමග්න ජීවිතයක්’ කෘතියේ නමයි. ඉංග්‍රීසි බසින් මෙය ලියා ඇත්තේ පුස්තකාල විෂයයෙහි ප්‍රාමාණික විද්වතකු, ශාස්ත්‍රඥයකු හා රසවතකු වන ඉයන් ගුණතිලක විසිනි.

මේ පොතේ අන්තර්ගතය කොටස් තුනකින් යුක්තය. ඉන් පළමුවැන්න පොතේ නමින්ම එන නිබන්ධයයි. ජෝර්ජ් කීට්ගේ කලාව හා ජීවිතය පිළිබඳ සුහද හා ගැඹුරු විවරණයක් එහි වෙයි. දෙවැන්න ජෝර්ජ් කීට්ගේ ලේඛන නාමාවලියයි. තෙවැන්න ඔහු පිළිබඳව ලියවුණු ලේඛන නාමාවලියයි. ‘එච් .ඒ.අයි. ගුණතිලක: නිර්ව්‍යාජ බුද්ධිමතකුගේ ආදර්ශරූපී ජීවන කාර්යය’ මැයෙන් ආචාර්ය සුනිල් සෙනෙවි විසින් ලියන ලද අගනා නිබන්ධයක් මේ පොතේ අවසන් පරිච්ඡේදය ලෙස ඇතුළත් වෙයි.

1901 වසරේ මහනුවරදී උපත ලද ජෝර්ජ් කීට් ඉන්දු ඕලන්ද සම්භවයකින් යුත් වංශවත් පෙළපතකින් පැවත එයි. හෙන්රි කීට් ඔහුගේ පියාය. මව කොන්ස්ටන්ස් ස්ප්‍රෝල්ය. ත්‍රිත්ව විද්‍යාලයෙහි ඉගෙනුම ලැබූ ඔහු එහි විශිෂ්ටතම ශිෂ්‍යයා ලෙස සම්මාන ලැබුවද කියවීම සහ ඇඳීම කෙරෙහි වැඩිපුර නැඹුරු විය. චිත්‍ර ශිල්පියකු ලෙස ප්‍රකට වුවද ඔහු හොඳ කවියෙකි. ‘අනාගත පිළිරුව’ සහ ‘පිළි ගැලවූ අඳුර’ කාව්‍ය සංග්‍රහ ඔහු විසින් පළ කරනු ලැබ ඇත. ඉයන් ගුණතිලක ඒ කවි ගැන මෙසේ කියයි.

“මෙම නිදහස් කාව්‍යාකෘතියේ මුඛ්‍ය සංකේත භාවිතය, ඔහුගේ පසුකාලීන සිත්තම්වල විචිත්‍ර විනිවිදින සංකල්ප රූප එහි ප්‍රබෝධිත වාග් රූපයෙන් පූර්වාපේක්ෂිත වූ, ‘අඳුරට’ සාපේක්ෂව එහි ‘ආලෝකය’ මත උපන් විපුල විෂයාසක්ත අත්දැකීමක්, සාධනයේ ගවේෂණයක් ප්‍රකාශ කරන බව පෙනී යයි.”

ජෝර්ජ් කීට් 20 වැනි සියවස මුල් භාගයේ ඇති වූ බුද්ධි ප්‍රබෝධයේ නිශ්චිත කොටස්කරුවෙකි. ඔහු ලයනල් වෙන්ඩ්ට්ගේ පුරෝගාමීත්වයෙන් 1943 දී ඇරඹුණු 43 කණ‍ඩායමේ සාමාජිකයෙකි. 43 කණ්ඩායම 1943 වසරේ තම පළමු චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වීමට පෙර, එනම් 1927 සිට 1936 දක්වා කාලයේදී කීට්ගේ චිත්‍ර සැලකිය යුතු ප්‍රමාණයක් රසිකයන් අතරට ගොස් තිබිණ. තත්කාලීන සිත්තරකු වු ජස්ටින් දැරණියගල සමග එක්ව ඔහු තම සිතුවම් ඉදිරිපත් කළේය. ඔහුගේ චිත්‍රවල අනන්‍යතාව පිළිබඳ අදහසක් සමකාලීන බුද්ධි මණ්ඩපවලට කාන්දුවෙමින් පැවතිණ.

“මේ වන විට ඔහුගේ අනන්‍ය චිත්‍ර ශෛලිය සිය බුද්ධිය හා ප්‍රබල සභානුභූතිය මඟින් වටහා ගැනීමට උගෙන සිටි පොදු ජනතාව අතර බලපෑමක් ජනිත කිරීමට කීට් මුල පුරා තිබිණ.” ඉයන් ගුණතිලක කීට්ගේ චිත්‍ර සමාජගත වූ ආකාරය පැහැදිලි කරයි. 1938 සිට වසර දෙකක කාලයක් තිස්සේ කීට් බොරැල්ල ගෝතමී විහාරයේ සිතුවම් ඇන්දේය. ඒවා ශ්‍රාස්තාලීය මට්ටමේ පිරිසකට සීමා නොවී මහජනයා සතු දායාදයක් වී ඇති අයුරු සිතුවම් නරඹන්නන්ගේ ප්‍රතිචාරවලින් පෙනේ. 1943 සිට 1987 දක්වා ඔහුගේ චිත්‍ර අඛණ්ඩව ප්‍රධාන පෙළේ චිත්‍ර ප්‍රදර්ශන නියෝජනය කළේය. 1952 සිට යුරෝපා රටවල 43 කණ්ඩායම පැවැත්වූ චිත්‍ර ප්‍රදර්ශන ඔස්සේ ඔහුගේ සිතුවම් එතෙර රසිකයන්ගේ අවධානයට ලක් විය. 43 කණ්ඩායම චිත්‍ර කලාව නූතනත්වයට ගෙන ඒම සඳහා බරපතළ මැදිහත් වීමක් කළේය. එය අතිශයින්ම ඉදිරිගාමී මැදිහත් වීමකි. ලයනල් වෙන්ඩ්ට්ගේ අභාවයෙන් පසුව එහි කටයුතු ඇණ හිටියේය.

එහෙත් කීට්ගේ නිර්මාණ කාර්යය ඇණ හිටියේ නැත. ජෝර්ජ් කීට් මල්වත්ත විහාරාශ්‍රිත පරිසරය සහ මහනුවර කඳුකර සෞන්දර්ය ඇසුරේ චිත්‍ර කලාවෙහිද ලේඛන කලාවෙහිද අත්පොත් තැබූ බව ඉයන් ගුණතිලකයන්ගේ නිරීක්ෂණයයි. ඒ අනුව මුල් කාලීන චිත්‍රවල ආවේණික හැඩය, එනම් නොබිඳුණු තද රේඛා සහ තද පැහැය සමග විහාරාශ්‍රිත සිතුවම් සම්ප්‍රදායේ මානව රූප සහ ලියවැල් ඔහුගේ චිත්‍රවල මුල් ලකුණු සලකුණු කර ඇතත් එය ඔහුගේ ප්‍රකාශනය බවට පත් නොවීය.

ඔහු නවීන සිත්තරකු වන්නේ නූතන චිත්‍රකලා සේවනය ඔස්සේ නව්‍ය අන්තර්ගතයක් පිළිබඳ උනන්දුවීම ඔස්සේය. විශේෂයෙන්ම යුරෝපා චිත්‍ර ශෛලීන් මෙන්ම දකුණු ඉන්දියානු සංගීතය, නර්තනය හා දෘශ්‍ය කාව්‍ය, ගීත ගෝවින්දය, භාරතීය චිත්‍ර මුර්ති කලා යනාදී වශයෙන් ඔහුගේ රසවින්දනය හා ඥාන විභාගය ක්ෂේත්‍ර කිහිපයක පැතිරී තිබිණ. මේ ගැන ඉයන් ගුණතිකයන්ගේ නිරීක්ෂණය දක්වමි.

“ව්‍යාජ බෞද්ධ සදාචාරය හා ඈඳුණු වික්ටෝරියානුවාදයේ අතිශයින් පිරිහුණු සම්ප්‍රදාය හා ඉතා දැඩි හරසුන් රූප ප්‍රචලිතව පැවති කලාත්මක පරිස්ථිතියක කීට් චිත්‍රණය කිරීම ඇරඹීය..... ඔහුගේ යොවුන් හා හිරිමල් තරුණ විය පිබිදෙන ජාතිකත්වයත් නිදහස් අරගලය හා සමාජවාදී මානවවාදයේ ආකර්ෂණය යන අරමුණුවලින් ඇදගනු ලැබිණ. නමුත් කලාකරුවකු සේ ඔහුගේ නිර්මාණ සමස්තයක් ලෙස කිසිම දේශපාලන බැඳීමකින් හෝ බරපතළ සමාජ ඕනෑකම්වලින් කැපී පෙනෙන අයුරින් නිදහස්ව තිබිණ.”

ඉයන් ගුණතිලක කීට් පිළිබඳ සම්පාදනය කළ මේ නිබන්ධය ඔහු ළඟ සුරැකිව තිබූ කීට්ගේ නිර්මාණ තරම්ම වටී. එමෙන්ම ඉයන් ගුණතිලක නමැති ශාස්ත්‍රවන්තයා සහ ගැඹුරු රසවතාගේ මහිමය පිළිබඳ නියම ශාස්ත්‍රීය ගවේෂණයක් ලෙස සැලකිය හැකි ආචාර්ය සුනිල් සෙනෙවිගේ නිබන්ධය මේ පොතට ආලෝකයකි. සාහිත්‍ය නිමාණකරුවකු ලෙස ප්‍රකට එච්.බී. ගුණරත්නයන්ගේ පරිවර්තන මැදිහත් වීම සෝදාපාළුවට ලක්වෙමින් පවතින ශාස්ත්‍රීය අධ්‍යයන ක්ෂේත්‍රයට වට සීතල පොද වැස්සක් වැන්න.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා