ප්‍රබන්ධය කියන්නෙ දන්නා දේ ගැන නොදන්නා දේ ලිවීමයි

 ඡායාරූපය:

ප්‍රබන්ධය කියන්නෙ දන්නා දේ ගැන නොදන්නා දේ ලිවීමයි

ආජෙන්ටිනා ලේඛිකා ලුයිසා වැලන්සුවෙලා

එක වැකියක වටිනාකම

වතාවක් මගේ අම්මායි, බොර්හේසුයි (හොර්හේ ලුයිස් බොර්හේස්) එකතු වෙලා කෙටිකතාවක් ලිව්වා. ඔවුන් වැඩ කළ කාමරයෙන් ඇසුණු හිනාව මට මතකයි.... කතාව ලියද්දි බොර්හේස් ඔවුන් ලිය ලියා සහ හිනාවෙවී සිටි කෑම කාමරයෙන් එළියට ඇවිත් මෙහෙම කිව්වා: “අද අපි සෑහෙන දෙයක් කළා - අපි එක සම්පූර්ණ වාක්‍යයක් ලිව්වා. දැන් මං ඒ අත්දැකීමට කෘතඥ වෙනවා.” ඔවුන් කතාව ලියලා කොච්චර සතුටු වුණාද කිව්වොත් ඒ සතුටට ලිවීම කියන්නෙ ප්‍රීතිමත් දෙයක් කියල මං හිතුවා. ඒත් ලිවීම වැඩි හරියක් සතුටුයි තමයි.

මට ලියන්න මගේ භාෂාව අවටින් ඇහෙන්න ඕන

රට හැරගිය කෙනෙකුට ආපහු කවදාවත් තමන් සිටි රටට ආපහු එන්න බෑ. දැන් මම ඇමෙරිකාවේ ඉඳලා බුවනෝස් අයර්ස්වලට එද්දි බුවනෝස් නගරය කොච්චර වෙනස් වෙලා තිබුණාද කිව්වොත් එය තවදුරටත් මගේ නගරය වුණේ නෑ. බුවනෝස් අයර්ස් කියන්නෙ තමන්ගේ ඉබිකටුව ඇතුළට වෙලා ලියන්න හොඳ තැනක්. එහෙම ලියද්දි මව්බසින් ලිවීම තීරණාත්මකයි. මං අජෙන්ටිනාවට ආපසු ඇවිත් සොයාගත් එක් දෙයක් තමයි මිනිස්සු මගේ බසින් (එහි උච්චාරණ ස්වරයෙන්) වටපිටාවේ කථා කරනවා ඇසීමේ වැදගත්කම. මම නිව්යෝක් නුවර හැරගියේ මං ඉංග්‍රීසියෙන් සිහින දකින්න ගනිද්දියි. මටම මම ඉංග්‍රීසියෙන් අමතන්න ගනිද්දියි. මං ඉංග්‍රීසියෙන් හිතන්න ගනිද්දියි. ඒත් ආජෙන්ටිනා භාෂාව කියන්නෙ මට අත්නොහැර තියාගන්න ඕන දෙයක්.

එක මොහොතක කීප තැනක හිඳීම මගේ සිහිනයක්

මම හැම විටම ලියලා තියෙන්නෙ තැන් දෙකක් අතර පාලමක් උඩ ඉඳගෙන. ඒ පාලම උඩ ලිවීම මට ලියන්න අවශ්‍ය පිහිටීමක් - සිටින තැනින් ඉවත් වීමත්, එක් දර්ශන පථයකින් විතැන් වීමත් මට ලියන්න අවශ්‍ය වෙනවා. මං නිතරම බුවනෝස් අයර්ස් ගැන ලියන්නෙ මම ඒ නගරයෙන් පිට ඉන්න විටයි. මං හොඳටම දන්නවා ‘ක්ලාරා’ නවකතාව මගෙන් ලියවුණේ මට බුවනෝස් අයර්ස්වල ඉන්න නොලැබීමේ දැඩි පාළුව නිසයි. ඒ නවකතාවේ එන්නේ එක්දහස් නවසිය හතළිස් ගණන්වල බුවනෝස් අයර්ස් ගැනයි - පාතාල ජීවිත, ගණිකාවන්, පිම්පීන්, කානිවල් ආදිය ගැනයි. රටින් පිට ඉඳීම මට හොඳ දර්ශන පථයක් ලබාදෙනවා. දැන් මම බුවනෝස් නගරයේ ඉඳගෙන නිව්යෝක් නුවර ගැන ලියලා හරිම සතුටු වෙනවා. එය එක මොහොතක දෙතැනක ඉඳීමෙන් ඇති වන දෙයක්. එකම මොහොතක කීප තැනක හිඳීම මගේ ජීවිතයේ ලොකු සිහිනයක්.

මම මගේ තුවාල දරාගෙන ඉන්නෙ ආඩම්බරයෙන්

ඔබ අහන්නෙ මම ස්ත්‍රීවාදී ලේඛිකාවක්ද කියලනෙ. මම මං ගැන හිතන්නෙ උපතින්ම ස්ත්‍රීන්ට සහාය දක්වන, එහෙත් කිසිම වාදියකුට (වාදයකට - Isms) සහාය නොදක්වන කෙනෙක් විධියට. කිසිම දේකට බැඳෙන්න මට ඕන නෑ. මම ලේබල් වීම පිළිකුල් කරනවා. ඒත් පුංචි කාලෙ ඉඳලාම මං ස්ත්‍රියක් විධියට මගේ පැත්තට පොරබැදුවා. මම මර්දනය ඕනවටත් වඩා හොඳට දැක්කා. මම මං ගැන හිතන්නෙ ඒ යුද්ධයෙන් වෙඩි වැදුණු කෙනෙක් හැටියට. මම මගෙ තුවාල දරාගෙන ඉන්නෙ ආඩම්බරයෙන්. ඒත් ඒ තුවාල නිසා මම රතු රෙදි වනන්නෙ නෑ.

මම කවදාවත් නිර්මාණ පංතියකට ගිහින් නෑ

ඔබට ලේඛකයෙක් බිහි කරන්න බැහැ - ලෝකය දැකීමේ විධිය, භාෂාවට ආදරය, ජීවිත කාලය පුරා ඇති කැපවීම කෙනෙකුට සහජයෙන් එන දේවල්. ඒත් නිර්මාණවේදය පිළිබඳ පංතියක ඉන්න ශිෂ්‍යයින්ට දැනටමත් ලේඛක මනසක් තියෙනවා. එතකොට ඔවුන්ගේ නිර්මාණයේ ඔවුන් නොදකින දෑ දකින්න ඔබට ඔවුන්ට උගන්වන්න පුළුවන්, ඔවුන්ගේ සීමාකම් අතික්‍රමණය කරන්න - බලහත්කාරයෙන් ඔවුන් ඔවුන්ගේ පරිකල්පනයේ අඳුරු අහුමුළුවලට තල්ලු කරන්න - ඔබට උගන්වන්න පුළුවන්. ඒවගේම ඔවුන් දිරිමත් කරන්නත් ඔබට පුළුවන්.

ඒත් මම කවදාවත් නිර්මාණ පංතියකට ගිහින් නෑ. පාරතොටත්, පුවත්පත් කලාවත්, සංචාරයනුත් තමයි මගේ නිර්මාණවේද පංති වෙන්නෙ. ආගන්තුක නගරවල නරක පැතිවල ඉබාගාතේ තනිව ඇවිදයන්න මං ආසයි. මොකද ඒක හොඳ නිර්මාණ කෘතියක් වෙයිද කියල කවුද දන්නෙ? අනෙක ලියාගෙන යද්දි අතරමඟ සිර වුණොත් ඒ ඉබාගාතේ ගමන්වලින් ආපහු ලියන තැනට එන්න ලැබෙන්න පුළුවන්. ඒත් මං ඒ ගැන ඕනවට වඩා ආඩම්බර වුණත් එහෙම දෙයක් සිතන්න බැරි තරම් දැන් මම මහලුයි. ඒවගේම කම්මැලියි.

පුවත්පත් කලාවේදි ඕන කරන්නෙ තිරස් නිරීක්ෂණයක්

මගේ පුවත්පත් කලාව මගේ ප්‍රබන්ධයට රුකුලක් වුණාම කියන්න බැහැ. ඒ ලෝක දෙකම මගේ එකිනෙකට සමාන්තරවයි ගමන් කරන්නෙ. ඒ දෙක - තවමත් - එකට එකතු වෙලා නෑ. පුවත්පත් කලාව මට මං කියන දේ ඉතා නිශ්චිතව (හරියටම) සහ සංක්ෂිප්තව කියන්නත්, භාෂාව කෙරේ අවධානයෙන් ඉන්නත් ඉගැන්නුවා.... පුවත්පත් කලාවේදි ඕන කරන්නෙ තිරස් නිරීක්ෂණයක්. ඒක මුළුමනින් කරුණු මත (Factual) පදනම් වූ එකක්. අනෙක් අතින් ප්‍රබන්ධයේදි ඕන කරන්නෙ සිරස් නිරීක්ෂණයක් - ඒ කියන්නෙ කරුණු නොවන දේහි (Non Facts), අසිහියේ (Unconscious), කල්පනා ලෝකයේ (Realm of the Imaginery) ගැඹුරට කිමිද යෑමක්. මේ, ඇත්තටම ලෝකය දකින්න තියෙන එකිනෙකට සෑහෙන වෙනස් විධි දෙකක්.

පරිකල්පනයට ඉඩ දුන්නොත් මනස නිරවුල් වෙනවා

ප්‍රබන්ධය කියන්නෙ, අඩු තරමින් මට මගේ අදහස් කිව හැකි හොඳම විධියයි. පරිකල්පනයට පෙරමුණ ගන්න ඉඩ දුන්නොත් වෙන කිසිවකට වඩා මගේ මනස නිරවුල් වෙනවා - ඒත් එහිදී පරිකල්පනයේ පාලනය මගෙන් ගිලිහෙන්න මං ඉඩ දෙන්නෙ නෑ. ඒවගේම මම විශ්වාස කරනවා කෙනෙක් වාසනාවන්ත නම් ඔහුට ප්‍රබන්ධය හරහා ඔහුගේ අසිහියට, අවිඥානයට ඇතුල් වෙන්නත් පුළුවන් කියල. මං සැලකුවොත් මගේ ඉතා සංකීර්ණ අදහස් ප්‍රබන්ධයේදි ඉතා සංවිධිත ආකාරයකට මතු වෙනවා. මට ප්‍රබන්ධය කියන්නෙ, ග්‍රේස් පේලේ කියල තියෙන විධියට “දන්නා දේ ගැන නොදන්නා දේ ලියන” විධියක්.

නවකතාව හරියට ආදරයෙන් බැඳුණා වගේ

මම ලියන්න ගනිද්දි මම මේ ලියවෙන්නෙ කෙටිකතාවක්ද, නවකතාවක්ද කියල දන්නවා. ඒත් මගේ පළවෙනි නවකතාව Clara (“ක්ලාරා”) ලියවුණේ එහෙම නෙවෙයි. ඒ වෙන කොට මං කොහොමවත් හිතුවේ නෑ මට නවකතාවක් ලියන්න පුළුවන් වෙයි කියල. එහිදී කෙටිකතාවකට මගේ ඔළුවේ තිබුණු වස්තු බීජයට හදිසියේම දලු ලා වැඩෙන්න ඕන වුණා.

අනෙක් අතට නවකතාවක්ද, කෙටිකතාවක්ද යන්නෙහි පැහැදිලි වෙනසක් තියෙනවා. නවකතාවක් ලියද්දි ඔබ අවතීර්ණ වෙන්නේ වෙනත්ම රාජධානියකට. හරියට ආදරයෙන් බැඳුණා වගේ - ‘නවකතාවෙන්’ බැඳුණා වගේ. ඇතැම් වෙලාවට ලිවීමේ ඕනකම තවදුරටත් හිතේ දරාගෙන ඉන්න බැරි වෙනවා. ඒ කාලයේ මට කෙටිකතා ලියන්න ඕන නෑ. අනෙක් අතට මට කෙටිකතාවකට හදිසි ගිනි පුලිඟුවක් හෝ අදහසක් දැල්වෙන්න පුළුවන්. එතකොට නියම ආතතියෙන් නූල අදින්න මට කිසියම් ආත්ම ශක්තියකුත්, ඡායාවක් වශයෙන් පෙනෙන දේට පිටුපස ඇති දේ දැකගන්න ඉවසීමකුත් ඕන වෙනවා. (හූලියෝ) කොර්තාසා කිව්වෙ හරියටම වෙලාව ආවාම ටයිප් රයිටරය ළඟට ගිහින් කුරුමිණියෙක් ඇඟෙන් එළියට ඇදලා දානවා වගේ ඔහුට කතාව ඔහුගෙන් එළියට ඇදලා දාන්න වෙනවා කියල. ඇතැම් විට ඒක ඒ වගේ දැනෙනවා.

මාතෘකා