අන්ධ වීම!

 ඡායාරූපය:

අන්ධ වීම!

ෆේස්බුක් යනු කවරේද යන පැනයට මගේ මාධ්‍ය සගයකු දුන් අපූරු පිළිතුරක් විය. එනම් එය පුද්ගලයාගේ රෝග විනිශ්චය කරන එක්ස්රේ පිටපතක් බවයි. ඒ ඒ පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුමේ වගවිස්තර අනුව ඔහු කවරාකාර ‘රෝගවලින්’ පෙළේද කියා සොයාගත හැකි බැවිනි. සැබැවින්ම වර්තමානයේ ලේඛකයන් යැයි කියන පිරිස් ෆේස්බුක් භාවිත කරන අයුරු විමසීමේදී පෙනෙන්නේ ඔවුන් ලේඛකයන් වනවාට වඩා ‘රෝගීන්’ වන බවය. නිදසුනකට තමන් අලුත් කමිසයක් ඇන්දේ නම් එහි ඡායාරූපයක් දැමීමට, තමන් නිවසින් බැහැර යන විට තමන්ගේ සිනාමුසු ඡායාරූපය එක් කිරීමට, තමන්ට යම් කිසිවෙකු ‘පරිභව’ කළහොත් ඒ ‘පරිභවය’ පෙන්වීමට, තමන්ගේ විරුද්ධවාදියකුට හේතු විරහිතව පහර දීමට යනාදී නොයෙක් දේට ඔවුනට එය මාධ්‍යය වී තිබේ. ඇතැම් ලේඛකයනට ෆේස්බුක් යනු පෞද්ගලික වග විස්තර ලියන දිනපොතක් වෙද්දී තවත් අයට එය පොලිස් පැමිණිලි පොතක් වී ඇත. ඒ පැමිණිලි පොතේ ඔවුහු වින්දිතයෝද, පොලිස්පතිද, නඩුව විභාග කරන මහේස්ත්‍රාත්වරයාද වෙති.

මේ අමුතු ෆේස්බුක් ලේඛක චර්යාවේ තවත් හැඩරුවක් තිබේ. ඒ, ඔවුන් තනි තනිව නොව රංචු පිටින් සිටීමය. තමන් දැමූ සපත්තු ජෝඩුවේ හෝ කොණ්ඩා මෝස්තරයේ ඡායාරූපයටද ‘සුපිරි’, ‘මරු’, ‘ජයවේවා!’ ආදී වශයෙන් පැදුරක් මෙන් ‘කමෙන්ට්ස්’ දමන්නේද, සිය ගණනින් ‘ලයික්’ දමන්නේද බාහිරස්ථ ෆේස්බුක් ග්‍රාහකයන් නොව අර රංචුවේ පිරිස්ය. හදිසියේවත් ඒ රංචුවේ කෙනෙකුගේ පොතක් යමෙකු විවේචනය කළහොත් විවේචකයාට සිදු වන්නේ ආයෙත් විචාර නොකිරීමට තරම් රංචුවේ ‘ආශීර්වාදය’ ලැබීමය.

මට හැඟෙන ලෙස මෙරට ෆේස්බුක් වූකලී සමාජ මාධ්‍යයක් නොව මහා සමාජයෙන් විතැන් වූ, මහා සමාජ කතිකාවට බාධාකාරී වූ උපසංස්කෘතියකි. උපසංස්කෘතියට වෙනම බසක් තිබේ. වෙනම අනන්‍යතාවක් තිබේ. වෙනම චර්යා රටාවක් තිබේ. මේ නිසා උපසංස්කෘතියක කෙනෙකු මහා සමාජයේ තැනකට බද්ධ වීමට යෑමේදී ඒ මහා සමාජයේ පිරිස් දුෂ්කරතාවනට මුහුණ දෙති. ෆේස්බුක් ලේඛකයන් නිසා අද ඒ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්නේ ඉන් බැහැර ලේඛක සමාජයය.

එහෙත් ලේඛකයා ලිවීමේම නිරත විය යුතුද? ඔහුට විනෝදාංශ නැතිද? ලේඛකයාට දේශපාලනය කළ හැකිය. සමාජ ක්‍රියාකාරකම්වල නිරතව සිටිය හැකිය. එහෙත් ඒ කවරකින් වුව ලේඛකයා ඇස් අඳ නොවිය යුතුය. ඔහු කවර බාහිරස්ථ දේ කළත් ඔහු ප්‍රබන්ධකරණයේදී ලේඛකයෙකි. බාහිරස්ථ දේහි නිරත වන දෘෂ්ටිකෝණය නොවේ, ඔහුගේ ප්‍රබන්ධකරණයේ තිබෙන්නේ. ඔහුට දේශපාලනය එකකි. සාහිත්‍යය තවෙකකි. එහෙත් මොවුන්ගේ සාහිත්‍ය ලෝකයත්, ෆේස්බුක් ලෝකයත් දෙකක් නොව එකකි. ඔවුන් එහි අන්ධ වී ඇත.

ෆේස්බුක් ලේඛකයන්ගේ තවත් ආසාහිත්යික ලක්ෂණයක් තිබේ. ඒ, ඔවුන් බොහෝ විට ජනතාවාදයට නැඹුරු වීමයි. ඒ ජනතාවාදය ගුණසේන විතාන මහතාගේ කාලයේ දියත් වූ සමාජ සත්තා යථාර්ථවාදය නොවේ, එය වචනවලින් අර්ථ සැපයීමේ ජනතාවාදයයි. කිසිවකු චූදිතයකු කර පහර දෙන කතා කලාවයි. මේ ගණයේ ජනතාවාදයක නිරත නොවන කවර හෝ ෆේස්බුක් ලේඛකයකු සිටී නම් කියන්න. තමා එවැනි ජනතාවාදියකු නොවේ යැයි අත ඔසොවන්න. එහෙත් එවැනි අතත් එසවේද? මා සිතන්නේ නැත. ඇත්ත වශයෙන් යම් ලේඛකයකු ජනතාවාදියකුද, නැද්ද යනු මිනීමේ ලිට්මස් පරික්ෂාව ඔහුගේ ෆේස්බුක් ගිණුම වී තිබේ.

එහෙත් ෆේස්බුක් මාධ්‍යය ලේඛකයකුට සාධනීය ලෙසද භාවිත කළ හැකිය. වෙසෙසින් අඥාත ග්‍රාහකයකු හා සංවාදයේදී ඔහුට ඒ කතිකාව ඔවුන් දෙදෙනාම අපේක්ෂා නොකළ තැනකට ගෙන යා හැකිය. සාහිත්‍යකරණයේදීත් සිදු වන්නේ කතාකරුවා අඥාත පාඨකයා සමඟ සංවාදයෙන් ඔවුන් දෙදෙනාම අපේක්ෂා නොකළ තැනකට වියමන ගෙන යෑම නොවේද? එ‍හෙත් එවැන්නක් මෙහි සිදු වනු නොපෙනේ.

එක් අතකට ෆේස්බුක් යනු සත්වෝද්‍යානයක මින්මිදුරක කරන ගමනක් වැන්න. මේ මින්මැදුරේ සිටින්නේ මාළුන් නොවේ, මිනිසුන්ය. පොදු සමාජයය. අප එහි වීදුරු කවුළුවෙන් කවුළුව දකින්නේ වෙනස් වෙනස් මාළු වෙනුවට වෙනස් වෙනස් මිනිසුන්ය. ඔවුන්ගේ වෙනස් වෙනස් හැඩරුවය. වෙනස් වෙනස් අනන්‍යතාය. වෙනස් වෙනස් චර්යාය. මින් මැදුරකදී කිසිවෙකුට මාළු ටැංකි බිඳීමට අවසර නැතිවා සේ ෆේස්බුක් මාධ්‍යයේදී කිසිවෙකුට අනෙකාගේ අනන්‍යතාවට පහර දිය නොහැකිය. එහෙත් ෆේස්බුක්හි සිදු වන්නේ ඒ නොකළ යුතු දෙයයි. ලේඛකයන්ම එහිලා ඉදිරියෙන් සිටීම එහි උත්ප්‍රාසයයි. එහි අරුමයක් නැත. සමාජයට වඩාත් නරක දේ ඉදිරිපත් වන්නේ සමාජ ශෝධනයට කියා ලියන ලේඛකයන්ගෙනි.

ෆේස්බුක් ලේඛකයින්ගේ මෑත නැඟීම තුළ ඔවුන්ගෙන් සිදු වූ කාර්ය දෙකක් තිබේ. එකක් ඔවුන් විවිධ කතිකා ඇති කිරීමයි. අනෙක ඔවුන් නිර්මාණකරුවන් යැයි පිරිසක් අලුතින් හඳුන්වා දීමයි. ඒවා ධනාත්මක කාරණාය. එහෙත් ඒ ධනාත්මක පක්ෂය ඍණාත්මක වන්නේ ඒ කතිකා යථාර්ථයට අනුගත නොවීමත්, ඔවුන් මතු කළ ලේඛකයන් ඔවුන් සේම ජනතාවාදී දෘෂ්ටිවාදයේ සිටීමත් නිසාය. ඔවුන් මෑත කරළිගත කළ කවීන් වූකලී කවිකමට වඩා දිළිඳුකම සුදුසුකම කරගත් පිරිසකි. සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැඟිටියව්! ජනතාවාදයට මීටත් වඩා ළං වන්නේ කුමක්ද?

සාහිත්‍යකරණය වූකලී හුදකලාවේ කාර්ය පටිපාටියකි. එ් පටිපාටිය සාර්ථක වන්නේ තනිව නොව දෙනෝදාහක් දෙනා අතර තනි වීමෙනි. ෆේස්බුක් යනු දෙනෝදහක් දෙනා ගැවසෙන තැනකි. එහෙත් එතැන අප කරන්නේ තනි වීම නොව හඬ නැඟීමය. කල්ලි ගැසීමය. එවිට ඔවුන්ගෙන් සාහිත්‍යයක් බිහි වේද? ලිවීමට ඇති දේ කියන්න එපා, ලියන්න යැයි කියනු ලැබේ. මේ සිදු වන්නේ ලිවීමට පෙර කියා සිටීමය. කියූ දෙයක් ලිවීමේදී එහි අපූර්වත්වයක් නැත. ලියන දේ තමා දන්නා බැවිනි.

කෘතියට වඩා පුද්ගලයන් උසස් කොට තැකීම ෆේස්බුක් ලේඛකයන් අතර බහුලව සිදු වන දේකි. නිදසුනකට ‘තරුණ නවකතාකරුවකු වෙත’ යනු ලියනගේ අමරකීර්ති පරිවර්තනය කළ මාර්යෝ වර්ගාස් ලෝසාගේ (Letters to an Young Novelist) ශාස්ත්‍රීය කෘතියකි. එම කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය කියවා සිංහල පරිවර්තනය කියවන විට සැබැවින්ම දැනෙනුයේ මේ මොන අප්‍රභංසයක්දැයි කියාය. කොහෙත්ම එය කියවීමට නොහැක. එහෙත් එසේ තිබියදී එය ෆේස්බුක් මාධ්‍යයේ මහ ඉහළින් ඔසොවනු පෙනේ. එපමණක් නොව විශ්ව සාහිත්‍යකරුවකුගේ එවැනි වෙනත් කෘතියක් පෙන්වා එයද සිංහලට නඟන්නැයි පරිවර්තකයාට ඇණවුම් ලබාදෙනු ලැබේ.

මේ තත්ත්වය ෆේස්බුක්හි පමණක් නොව ඉන් පරිබාහිර මාධ්‍යයේද දක්නට ලැබෙන්නකි. ලිංගිකත්වය හා දේශපාලනය අමුවෙන් වණන, කිසි රසක් නැති නාට්‍ය, නවකතා ආදිය පශ්චාත් නූතනවාදී හෝ ස්ත්‍රීවාදී යැයි සලකා ඉහළින් අගයන ‘විචාර’ මෑත ඉතා සුලබව කලඑළි බසින්නේ එක්කෝ ඔවුනට ඒ කෘති එසේ දැකීමට තෙවැනි ඇසක් ඇති නිසාය. නැත්නම් අපට එහෙම ඇසක් නැති නිසාය. එහෙත් මේ විචාර ඝෝෂාව තුළ පෙනෙන්නේ ඔවුන් නොව අප ඇස් ඇන්ධ වී ඇති බවය.

කේ.කේ. සමන් කුමාරගේ නවකතා, නවකතා ලෙස පිළිගැනීමට, සමන් වික්‍රමාරච්චිගේ විචාර, විචාර ලෙස පිළිගැනීමට අප අන්ධයන් විය යුතු නැද්ද?

ලිවීම උගත යුත්තේ ලිවීමෙන්ය. සාහිත්‍යයද හැඳිනිය යුත්තේ රස වින්දනයෙන්ය. රස වින්දනයට තිබිය යුත්තේ රසඥතා ශක්තිය විනා අනෙකක් නොවේ. ඩෙරිඩා ගැන දැන සිටියත් රසඥතා ශක්තිය නැත්නම් ඒ පාඨකයා වැඩකට ඇති පාඨකයෙක් නොවේ. මේ සිදු වන්නේ ඒ වැඩකට නැති පාඨකයා වේදිකාගත කිරීමද? එසේ ලියන ලේඛකයා ලේඛකයකු ලෙස බෞතීෂ්ම කිරීමද?

මේ තුළ සිදු වන නරකම දේ ඇගයිය යුතු ලේඛකයන් ලේඛකයන් නොවේ යැයි බැහැර කිරීමය. ඔවුන්ගේ උසස් කෘති නොතකා හැරීමය. පසුගියදා ෆේස්බුක් මාධ්‍යයේ අභාවප්‍රාප්ත සෝමවීර සේනානායක මහතා පිළිබඳව මහත් ඉහළින් වණනු පෙනිණි. එහෙත් ඔහු ජීවත්ව සිටියදී කිසිදු ෆේස්බුක්කරුවෙක් වචනයක් ලීවේ නැත. එහි හාස්‍යජනක කරුණක් තිබේ. සෝමවීර සේනානායක මහතා ඔහු මෑත පුවත්පත්වලට දුන් බොහෝ සම්මුඛ සාකච්ඡාවලදී ෆේස්බුක් මාධ්‍යය පිරිහෙළා කථා කිරීමය. ඇත්ත කතාව මීටත් විසිළුසහගතය. සෝමවීර මහතා සාහිත්යික අතින් උසස් කෘති බිහි නොකිරීමය. ඔහු උසස් ටෙලිනාට්‍ය රචකකයෙක් විනා උසස් සාහිත්‍යකරුවෙක් නොවේ.

මට හැඟෙන ලෙස අපේ ෆේස්බුක්කරුවනට කියවනවා නම් කියවීමට හොඳම කෘති දෙක මහාචාර්ය හේමපාල විජයවර්ධනගේ ‘සංස්කෘත කාව්‍ය විචාරයේ මූලධර්ම’ හා ‘කාව්‍ය විචාර ගවේෂණ’ ය. එහෙත් ඔවුන් ඒ කියවනු ඇතැයි සිතිය නොහැක්කේ ඉන් ඔවුන් දැන් කුරුටු ගාන වචන එසේ ආවාට ගියාට කුරුටු ගෑ නොහැකි බව පෙන්වා දෙන නිසාය. එහෙත් සැබෑ සාහිත්‍යය පිරිහෙළෙන්නේ නැතිවා මෙන් ෆේස්බුක් ලේඛකයන්ගේ වැණීම්වලින් පිරිහෙළෙන්නේ ඔවුන්මය. ඇතැම් විට හෙට දිනයේ යම් කෘතියක බාල තත්ත්වය මැනීමේ මිනුම බවට ෆේස්බුක් ලේඛකයන්ගේ ඇගයීම පත් වනු ඇත. දැනටමත් එහි ඡායාව පෙනෙන බැවිනි.

මාතෘකා