ජීවිතය සරල කළ කතා එකතුවක්

 ඡායාරූපය:

ජීවිතය සරල කළ කතා එකතුවක්

ප්‍රභාකරන් ඉන්නවා

කර්තෘ - ආරියරත්න විතාන

‘ප්‍රභාකරන් ඉන්නවා’ කෙටිකතා සංග්‍රහයේ අඩංගු කෙටිකතා ප්‍රමාණය හයකි. රචකයා පසුගිය දශක හතරක පමණ කාලය තුළ ලැබූ අත්දැකීම් ඇසුරෙන් මෙම කෙටිකතා රචනය කර ඇත. ලාංකික ජනතාවගේ විශ්වාස, චර්යාවන් මෙන්ම දේශපාලකයන් තමන් නොයෙක් අයුරින් පුම්බා ගැනීමට දරන ප්‍රයත්නයන් කතුවරයා විෂය කොට ගන්නේ ඔවුන්ගේ ක්‍රියාවන් පාඨකයාගේ හාස්‍යයට ලක් කරමිනි. ‘සඳුන් සුවඳ’ කෙටිකතාවේ එසේ හාස්‍යයට ලක් කරනු ලබන්නේ වෙනත් අය ලවා සාහිත්‍ය නිර්මාණ කරවා ප්‍රසිද්ධිය ලබා ගැනීමට දේශපාලකයෙකු විසින් දරනු ලබන ප්‍රයත්නයකි.

‘ඉඩම’ කෙටිකතාවේ විෂය වී ඇත්තේ වංචනික ලෙස මුදල් උපයන පුද්ගලයෙකුගේ කපටි ක්‍රියාවකට හසු වී ජීවිතයෙන් වන්දි ගෙවන පුද්ගලයෙකුගේ චරිතයකි. ප්‍රභාකරන් මෙරට ජනයාට භීතිය ගෙන දුන් දුෂ්ට පුද්ගලයෙක් යැයි බොහෝ දෙන සිතා සිටිති. එසේ වුවද ප්‍රභාකරන් මරා දැමීම උත්සව පැවැත්වීමට පමණක් නොව මුදල් ගැරීමටද උපායක් කොට ගන්නා සිංහල දුෂ්ටයින්ද අප අතරම සිටිනා ආකාරය ‘ප්‍රභාකරන් ඉන්නවා’ කෙටිකතාවෙන් හෙළි කරයි.

මෙරට සමාජය නොයෙතුත් මිථ්‍යා විශ්වාසයන් වැළඳගත් මිනිසුන්ගෙන් පිරුණු එකකි. මැද පෙරදිග ගිය සිය ඥාතියකු සොයා ගැනීමට ගොස් එවැනි විශ්වාස පතුරුවන හා ඒවායින් ජීවත් වන කාන්තාවකගේ උගුලකට හසු වන අහිංසක මෙන්ම අමන කාන්තාවකගේ පුවතක් ‘එලොවින් මෙලොවට’ කෙටිකතාවෙන් කියැවෙන්නේ අපේ රටේ ජනයාගේ විශ්වාසයන් කෙරෙහි කලකිරීමක් පමණක් නොව කෝපයක්ද ජනිත කරවමිනි.

‘අවතාර’ කෙටිකතාව සාමාන්‍යයෙන් පිළිගනු ලබන භව්‍යතා සංකල්පය ඉක්මවූ අද්භූත නිර්මාණයකි. ජාතිවාදී පහර දීමකින් මියගිය මුස්ලිම් තරුණයකුගේ අවතාරය සැබවින්ම තමාට විපත් පැමිණ වූ පුද්ගලයන් මරා දැමීමේ සිද්ධියකි. මෙම පුවතින් දැන හෝ නොදැන කතුවරයා එක්තරා මිථ්‍යා විශ්වාසයකටද අනුබල දෙන සෙයක් පෙනේ. කෙටිකතාකරුවාගේ අරමුණ කුමක් වුවද එය මෙම කෙටිකතාවෙන් ඉටුවේද යන්න ප්‍රශ්නයකි.

මෙම ග්‍රන්ථයේ එන ‘මුනිදාස, නූටාන් සහ විල්බට් බාසුන්නැහේ’ කෙටිකතාව මනුෂ්‍ය සම්බන්ධතාවල සංකීර්ණත්වය මොනවට හෙළි කරන්නකි. මිනිසුන් උපන් දා සිට එක්රැස් කොට ගන්නා අත්දැකීම් ඔවුන්ගේ සිත්වල තැන්පත්ව තිබී අනපේක්ෂිත ආකාරයෙන් ඔවුන් කෙරෙහි බලපෑම් කරන ආකාරය මෙයින් හෙළි වේ.

කෙටිකතාවක් යනු මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණත්වය සරල ආකාරයකින් හෙළි දක්වන ප්‍රබන්ධයක් ලෙස සලකන විට ආරියරත්න විතානගේ ප්‍රයත්නය සාර්ථක වී ඇතැයි කිව හැකිය.

ආචාර්ය [මයිකල් ප්‍රනාන්දු]

මාතෘකා