‘බුද්ධිහ් සර්වත්‍ර භ්‍රාජතේ’ බුද්ධිය සැම තැන බැබළේ - 3

 ඡායාරූපය:

‘බුද්ධිහ් සර්වත්‍ර භ්‍රාජතේ’ බුද්ධිය සැම තැන බැබළේ - 3

බුද්ධි වාදය

අන්‍ය සාධකවලට වඩා බුද්ධිය ප්‍රමුඛ කොට සැලකීම ‘බුද්ධි වාදය’ යි. මීට සමීපතම අර්ථය ඇති ඉංග්‍රිසි පදය 'rationalism' යන්න යි.

බුද්ධියේ විවිධ පැතිකඩ ඇති බවක් පෙනේ. ඉන් සමහරක් පහත දැක්වෙන සමාස පදවලින් හෙළි වේ.

කුශාග්‍ර බුද්ධිය

ඉතා සියුම් හෝ තීක්ෂ්ණ බුද්ධිය ‘කුශාග්‍ර බුද්ධිය’ යනුවෙන් හැඳින්වේ. ‘කුශ’ යනු ‘කුස තණ’ නමින් හැඳින්වෙන තණ කොළ විශේෂය යි. ඒ තණ කොළයක අග හෙවත් තුඩ ඉතා සියුම් ය. එවැනි සියුම් බුද්ධිය ‘කුශාග්‍ර බුද්ධිය’ යි. ‘කුශාග්‍ර’ යනු ‘කුශ’ හා ‘අග්‍ර’ යන දෙපදය සන්ධි වීමෙන් සැදෙන්නකි.

කූට බුද්ධිය

කපටි හෙවත් වංචනික බුද්ධිය ‘කූට බුද්ධිය’ යි. මුදල් ගනුදෙනුවල දී දූෂණයෙහි යෙදී අසු නොවී සිටීමට වංචනිකයන් යොදා ගන්නේ ඔවුන් සතු කූට බුද්ධිය යි.

විචක්ෂණ බුද්ධිය

උචිත කරුණු අනුචිත කරුණුවලින් වෙන් කොට හඳුනා ගැනීමේ සියුම් නුවණ ‘විචක්ෂණ බුද්ධිය යි. ඊට ම ‘විවේක බුද්ධිය’ යන නම ද යෙදේ.

විචාර බුද්ධිය

යමක් හොඳ ද නරක දැයි විනිශ්චය කිරීමේ නුවණ ‘විචාර බුද්ධිය’ යි. සාහිත්‍යය පිළිබඳ විචාර බුද්ධිය ඇත්තෝ අවුරුදු පතා උසස් සාහිත්‍ය කෘති තෝරා සම්මාන දෙති. මේ සම්බන්ධයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ සිය ‘කල්පනා ලෝකයෙහි’ මෙසේ කියති.

“කිසියම් නවකථාවක් හෝ නාට්‍යයක් හෝ හොඳ ය නැතහොත් නරක යැයි කියන්නේ වෙනත් නවකථා, කාව්‍ය හා නාටක සමග සන්සන්දනය කොට ය. එහෙයින් සාහිත්‍යයෙහි හොඳ නරක කියන්නා බෙහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු විය යුතු ය. ඔහු නොයෙක් වර්ගයේ නවකථා, නොයෙක් සම්ප්‍රදායේ කවි කියවා පුරුද්දක් ඇත්තෙකු විය යුතු ය. ඔහු නොයෙක් ශෛලියේ නාට්‍ය නරඹා ඇත්තෙකු විය යුතු ය. එක් බසකින් ලියවුණු නවකථා, කාව්‍ය, නාටකාදිය පමණක් නොව නොයෙක් බසින් ලියවී ඇති නානාවිධ කෘති හඳුනන්නේ නම් වඩාත් මැනවි. එවිට ය ඔහුට සන්සන්දනය කොට මිම්මක් සාදාගත හැකි වන්නේ. එවිට ය ඔහුට තුලනාත්මක දෘෂ්ටියක් ඇති වන්නේ” (3 පිට)

විවේක බුද්ධිය

උචිත කරුණු අනුචිත කරුණුවලින් වෙන් කොට හඳුනා ගැනීමේ තීක්ෂ්ණ බුද්ධිය ‘විවේක බුද්ධිය’ යි. ඊට ම ‘විචක්ෂණ බුද්ධිය’ යන නම ද යෙදේ. මෙහි ‘විවේක’ යන පදයේ අර්ථය ‘විවේක කාලය’ යන්නේ එන අර්ථය නොවේ.

වීමංසන බුද්ධිය

යමක් විමසා බැලීමේ බුද්ධිය ‘වීමංසන බුද්ධිය’ යි. වීමංසන බුද්ධිය ඇත්තා විවිධ ප්‍රශ්න නඟමින් වීමංසනයෙහි යෙදේ.

වීමංසන බුද්ධිය පිළිබඳ ප්‍රසිද්ධතම කථා ප්‍රවෘත්තිය අයිසැක් නිව්ටන් (Isaac Newton) පිළිබඳ කතා පුවත යි. ඔහු ජීවත් වූයේ 1642 සිට 1727 දක්වා ය. වරක් ඔහු ඇපල් ගසක් යට සිටියදී ඇපල් ගෙඩියක් වැටිණ. මේ ඇපල් ගෙඩිය අහුලා ගත් අයිසැක් “ඇයි මේ ඇපල් ගෙඩිය බිමට වැටුණේ? ඇයි එය ඉහළට හෝ හරහට නොගියෙ?” යනුවෙන් ප්‍රශ්න කළේය. ඔහු ඊට හේතු විමසීය. අවසානයෙහි දී ඔහු ඊට හේතුව සොයා ගත්තේය. එනම් හැම දෙයක් ම පොළොවට ඇද ගැනීමේ ශක්තියක් පොළොවෙහි ඇති බව යි. මේ ශක්තිය ‘ගුරුත්වාකර්ෂණය’ (gravity) යනුවෙන් හැඳින්විණ. ඔහු මේ නව භෞතික න්‍යාය සොයා ගත්තේ ‘ඇපලය බිමට වැටුණේ අැයි?’ යන ප්‍රශ්නය අසමින් වීමංසනයෙහි යෙදුණු නිසා ය.

සුනිශිත බුද්ධිය

මනා සේ සියුම් කළ බුද්ධිය ‘සුනිශිත බුද්ධිය’ යනුවෙන් වෙසෙසා දැක්වේ. ‘සුනිශිත’ යන පදය සැදෙන්නේ ‘සු’ යන උපසර්ගයට පරව ‘නිශිත’ යන පදය යොදා සන්ධි කිරීමෙනි. ‘සුනිශිත’ යන තත්සම පදය ‘සුනිසිත’ යනුවෙන් කවි ලැකියට නැ‍ඟේ.

මාතෘකා