රත්න ශ්‍රී වි‍ජේසිංහ ලියූ ‘විමලරත්න කුමාරගම’ නිකුත් වේ

 ඡායාරූපය:

රත්න ශ්‍රී වි‍ජේසිංහ ලියූ ‘විමලරත්න කුමාරගම’ නිකුත් වේ

කොළඹ යුගයේ දෙවන පරම්පරාවේ කවීන් අතර ප්‍රමුඛයා වන ‘විමලරත්න කුමාරගම කවියාගේ කාව්‍ය භාවිතය පිළිබඳව රත්න ශ්‍රී විජේසිංහ විසින් ලියන ලද ‘විමලරත්න කුමාරගම: කොළඹ යුගයේ දාර්ශනික කවියා’ කෘතිය සන්ථව ප්‍රකාශනයක් ලෙස එළිදකී. කුමාරගම ජීවිත තතු මෙන්ම ඔහුගේ කාව්‍ය භාවිතය, ඔහුගේ කවිය නෙක සමාජ සංස්කෘතීන් හමුවේ පෝෂණය වූ ආකාරය ඔහුගේ කවිද, ලිපිද ඇසුරෙන් නැවත කියවීමට ගත් වෑයමක් ලෙස මෙය හැඳින්විය හැකිය. මෙහි කුමාරගමගේ කවි 54ක් ඇතුළත් වන අතර මිල රු. 400 කි. මෙය සන්ථව ප්‍රකාශකයින්ගේ කාව්‍ය රත්නාවලි කෘති මාලාවේ තෙවැන්නයි.


‘වෙනසක අරුමැසිය සොඳුරු කියවීම’

22 වෙනිදා පුංචි තියටර්හිදී

දරුවන් උසස් කියවීමකට යොමු කරවනු වස් ග්‍රැෆිකෙයා ප්‍රකාශන ආයතනය විසින් පවත්වනු ලබන ‘වෙනසක අරුමැසිය - සොඳුරු කියවීම’ නම් වැඩසටහන මෙම ජුනි 22 වෙනිදා සවස 3.00ට බොරැල්ල පුංචි තියටර් ශාලාවේදී පැවැත්වේ. එහිදී සාහිත්‍යකාමී දයානන්ද බෝම්ඹුවල ‘මා ආ මඟ’ මැයෙන්ද, මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ‘සොඳුරු කියවීම’ මැයෙන්ද, චූලානන්ද සමරනායක ‘වෙනසක අරුමැසිය’ නමින්ද දෙසුම් තුනක් පවත්වනු ලැබේ. ඊට සියලු පාසල් දරුවනට සහභාගි විය හැකි අතර සහභාගි වන්නන්ට පොතක් බැගින් තිළිණ කරනු ලැබේ. ආසන සීමාසහිත බැවින් පැමිණෙන අය 0114007193 දුරකථන අංකයට දැනුම් දිය යුතු බව ග්‍රැෆිකෙයා ආයතනය දන්වා සිටී.


කුමුදු කුසුම් කුමාරගේ නිව්ටන් ගුණසිංහ අනුස්මරණ දේශනය පුස්තිකාවක් ලෙස

ලාංකේය වාම බුද්ධිමය කතිකාවේ පුරෝගාමියෙකු වූ ආචාර්ය නිව්ටන් ගුණසිංහගේ 30 වැනි ගුණානුස්මරණ නිමිත්තෙන් ආචාර්ය කුමුදු කුසුම් කුමාර කළ අනුස්මරණ දේශනය වූ “නවලිබරල්වාදයට එරෙහිව ‘සභ්‍යත්ව රාජ්‍යය’” දැන් පුස්තිකාවක් ලෙස ප්‍රකාශයට පත්ව ඇත. ලේඛකයා මෙමගින් බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ ‘සංවර්ධනය’ නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම පිළිබඳ සාකච්ඡා ගොඩනැගීමට උත්සාහ දරා ඇත. මෙම පුස්තිකාව පිටු 52 කින් යුක්තය. එහි පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ පුස්තකාලයෙන් නොමිලේ ලබාගත හැකිය. කොළඹින් බැහැර පිට පළාත්වල පදිංචිකරුවන්ට [email protected] ලිපිනයට දැන්වීමෙන් මුද්‍රිත පිටපතක් තැපෑලෙන් ගෙන්වාගත හැකිය.

මාතෘකා