‘බුද්ධිහ් සර්වත්‍ර භ්‍රාජතේ’

 ඡායාරූපය:

‘බුද්ධිහ් සර්වත්‍ර භ්‍රාජතේ’

බුද්ධිය සැම තැන බැබළේ - 2

 

බුද්ධිසම්පන්න

‘බුද්ධි’ යන ප්‍රකෘතියට පරව ‘සම්පන්න’ යන තද්ධිත ප්‍රත්‍යය යෙදීමෙන් ‘බුද්ධිසම්පන්න’ යන සංයුක්ත ප්‍රකෘතිය සැදේ. ‘සම්පන්න’ යන තද්ධිත ප්‍රත්‍යයේ අර්ථය ‘එය ඇති’‘එයින් යුක්ත’ යනු යි. එය ‘ගුණ පදයක්’ වශයෙන් ද යෙදේ. ‘ඉතා බුද්ධිසම්පන්න දරුවෝ’ යන වහරෙහි මෙනි.

‘බුද්ධි’ යන සංස්කෘත තත්සම පදය සහිත සමාස පද රාශියකි. එය සමාසයක පෙර පදය වශයෙන් මෙන් ම අපර පදය වශයෙන් ද යෙදේ. ‘බුද්ධි මහිමය’ යන්නෙහි පෙර පදය වශයෙන් ද ‘විවේක බුද්ධිය’ යන්නෙහි අපර පදය වශයෙන් ද ‘බුද්ධි’ යන පදය යෙදී ඇත.

බුද්ධිහීන

‘බුද්ධි’ යන ප්‍රකෘතියට පරව ‘හීන’ යන ප්‍රත්‍යය යෙදීමෙන් ‘බුද්ධිහීන’ යන ගුණ පදය සැදේ. ‘බුද්ධියෙන් අඩු’ යන අර්ථය ඉන් පළ කෙරේ. ‘බුද්ධිහීන ජනතාව’ එසේ පවත්වා ගැනීම කූට බුද්ධිය ඇත්තන්ට ප්‍රයෝජනවත් ය.

බුද්ධි ඉන්ද්‍රිය

බුද්ධිය නමැති ඉන්ද්‍රිය ‘බුද්ධි ඉන්ද්‍රිය’ යි. එය ‘දීර්ඝ ස්වරාදේශ සන්ධි විධිය’ අනුව ‘බුද්ධීන්ද්‍රිය’ යනුවෙන් සන්ධි වෙයි. මානවයා ‘භාෂාව’ නිපදවා ගත්තේ ඔහුගේ ‘බුද්ධීන්ද්‍රිය’ මෙහෙයවීමෙනි.

බුද්ධි ගලනය

බුද්ධිමතුන් විවිධ හේතූන් නිසා මව් රට හැර යෑම ‘බුද්ධි ගලනය’ නමින් හැදින්වේ. එය ඉංග්‍රීසියෙන් හැදින්වෙන්නේ 'brain drain' යනුවෙනි.

බුද්ධි පරීක්ෂණය

සාමාන්‍ය බුද්ධිය කොතෙක්දැයි මැන ගැනීම පිණිස පැවැත්වෙන පරීක්ෂණය ‘බුද්ධි පරීක්ෂණය’ යි. මෙය ඉංග්‍රිසියෙන් හැඳින්වෙන්නේ 'IQ TEST' යනුවෙනි. මෙහි ‘IQ‘ යනු 'Intelligence quotient' යන අර්ථය දෙයි. එනම් ‘බුද්ධි ඵලය’ යනු යි.

‍ඓතිහාසික සාක්ෂ්‍ය අනුව ලෝක ඉතිහාසයෙහි මුල් ම ‘බුද්ධි පරීක්ෂණය’ පවත්වන ලද්දේ මිහින්තලා පව්වෙහි දී ය. ප්‍රශ්න නැගුවේ මිහිඳු මහ රහතන් වහන්සේ ය. ප්‍රශ්නවලට පිළිතුරු දී බුද්ධි පරීක්ෂණයෙන් සමත් වූයේ දෙවනපෑතිස් රජතුමා ය. ‘මහරජ, මේ ගස කුමක් ද?’‘මහරජ ඔබට නෑයෝ සිටිත්ද?’ යන ප්‍රශ්න මෙහි දී ඇසිණ.

බුද්ධි ප්‍රභාව

බුද්ධිය නිසා ඇති වන තේජස ‘බුද්ධි ප්‍රභාව’ යි. බුද්ධිමතෙකු කෙරෙන් විහිදෙන්නේ ‘බුද්ධි ප්‍රභාව’ යි.

බුද්ධි මණ්ඩලය

බුද්ධිමතුන්ගෙන් සමන්විත මණ්ඩලය ‘බුද්ධි මණ්ඩලය’ වේ. ඒක්තරා අවධියක ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ එක් වැඩසටහනක් හැඳින්වුණේ ‘බුද්ධි මණ්ඩලය’ යනුවෙනි. විවිධ බුද්ධිමත්තු එක් රැස් ව මේ සාකච්ඡා වාර මෙහෙයවූහ.

බුද්ධි මහිමය

බුද්ධිය නිසා පැතිරෙන ආනුභාවය ‘බුද්ධි මහිමය’ යි. බුද්ධිමතෙකු සතු ‘බුද්ධි මහිමය’ ඔහුගේ කතා බහෙන් වැටහේ.

බුද්ධි වාදය

අන්‍ය සාධකවලට වඩා බුද්ධිය ප්‍රමුඛ කොට සැලකීම ‘බුද්ධි වාදය’ යි. මීට සමීපතම අර්ථය ඇති ඉංග්‍රිසි පදය ‘rationalism‘ යන්න යි.

බුද්ධියේ විවිධ පැතිකඩ ඇති බවක් පෙනේ. ඉන් සමහරක් පහත දැක්වෙන සමාස පදවලින් හෙළි වේ.

කුශාග්‍ර බුද්ධිය

ඉතා සියුම් හෝ තීක්ෂ්ණ බුද්ධිය ‘කුශාග්‍ර බුද්ධිය’ යනුවෙන් හැඳින්වේ. ‘කුශ’ යනු ‘කුස තණ’ නමින් හැඳින්වෙන තණ කොළ විශේෂය යි. ඒ තණ කොළයක අග හෙවත් තුඩ ඉතා සියුම් ය. එවැනි සියුම් බුද්ධිය ‘කුශාග්‍ර බුද්ධිය’ යි. ‘කුශාග්‍ර’ යනු ‘කුශ’ හා ‘අග්‍ර’ යන දෙපදය සන්ධි වීමෙන් සැදෙන්නකි.

කූට බුද්ධිය

කපටි හෙවත් වංචනික බුද්ධිය ‘කූට බුද්ධිය’ යි. මුදල් ගනුදෙනුවල දී දූෂණයෙහි යෙදී අසු නොවී සිටීමට වංචනිකයන් යොදා ගන්නේ ඔවුන් සතු කූට බුද්ධිය යි.

විචක්ෂණ බුද්ධිය

උචිත කරුණු අනුචිත කරුණුවලින් වෙන් කොට හඳුනා ගැනීමේ සියුම් නුවණ ‘විචක්ෂණ බුද්ධිය යි. ඊට ම ‘විවේක බුද්ධිය’ යන නම ද යෙදේ.

විචාර බුද්ධිය

යමක් හොඳ ද නරක දැයි විනිශ්චය කිරීමේ නුවණ ‘විචාර බුද්ධිය’ යි. සාහිත්‍යය පිළිබඳ විචාර බුද්ධිය ඇත්තෝ අවුරුදු පතා උසස් සාහිත්‍ය කෘති තෝරා සම්මාන දෙති. මේ සම්බන්ධයෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ සිය ‘කල්පනා ලෝකයෙහි’ මෙසේ කියති.

“කිසියම් නවකථාවක් හෝ නාට්‍යයක් හෝ හොඳ ය නැතහොත් නරක යැයි කියන්නේ වෙනත් නවකථා, කාව්‍ය හා නාටක සමග සන්සන්දනය කොට ය. එහෙයින් සාහිත්‍යයෙහි හොඳ නරක කියන්නා බෙහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු විය යුතු ය. ඔහු නොයෙක් වර්ගයේ නවකථා, නොයෙක් සම්ප්‍රදායේ කවි කියවා පුරුද්දක් ඇත්තෙකු විය යුතු ය. ඔහු නොයෙක් ශෛලියේ නාට්‍ය නරඹා ඇත්තෙකු විය යුතු ය. එක් බසකින් ලියවුණු නවකථා, කාව්‍ය, නාටකාදිය පමණක් නොව නොයෙක් බසින් ලියවී ඇති නානාවිධ කෘති හඳුනන්නේ නම් වඩාත් මැනවි. එවිට ය ඔහුට සන්සන්දනය කොට මිම්මක් සාදාගත හැකි වන්නේ. එවිට ය ඔහුට තුලනාත්මක දෘෂ්ටියක් ඇති වන්නේ” (3 පිට)

විවේක බුද්ධිය

උචිත කරුණු අනුචිත කරුණුවලින් වෙන් කොට හඳුනා ගැනීමේ තීක්ෂ්ණ බුද්ධිය ‘විවේක බුද්ධිය’ යි. ඊට ම ‘විචක්ෂණ බුද්ධිය’ යන නම ද යෙදේ. මෙහි ‘විවේක’ යන පදයේ අර්ථය ‘විවේක කාලය’ යන්නේ එන අර්ථය නොවේ.

වීමංසන බුද්ධිය

යමක් විමසා බැලීමේ බුද්ධිය ‘වීමංසන බුද්ධිය’ යි. වීමංසන බුද්ධිය ඇත්තා විවිධ ප්‍රශ්න නඟමින් වීමංසනයෙහි යෙදේ.

වීමංසන බුද්ධිය පිළිබඳ ප්‍රසිද්ධතම කථා ප්‍රවෘත්තිය අයිසැක් නිව්ටන් ( Isaac Newton) පිළිබඳ කතා පුවත යි. ඔහු ජීවත් වූයේ 1642 සිට 1727 දක්වා ය. වරක් ඔහු ඇපල් ගසක් යට සිටියදී ඇපල් ගෙඩියක් වැටිණ. මේ ඇපල් ගෙඩිය අහුලා ගත් අයිසැක් “ඇයි මේ ඇපල් ගෙඩිය බිමට වැටුණේ? ඇයි එය ඉහළට හෝ හරහට නොගියෙ?” යනුවෙන් ප්‍රශ්න කළේය. ඔහු ඊට හේතු විමසීය. අවසානයෙහි දී ඔහු ඊට හේතුව සොයා ගත්තේය. එනම් හැම දෙයක් ම පොළොවට ඇද ගැනීමේ ශක්තියක් පොළොවෙහි ඇති බව යි. මේ ශක්තිය ‘ගුරුත්වාකර්ෂණය’ ( gravity) යනුවෙන් හැඳින්විණ. ඔහු මේ නව භෞතික න්‍යාය සොයා ගත්තේ ‘ඇපලය බිමට වැටුණේ අැයි?’ යන ප්‍රශ්නය අසමින් වීමංසනයෙහි යෙදුණු නිසා ය.

සුනිශිත බුද්ධිය

මනා සේ සියුම් කළ බුද්ධිය ‘සුනිශිත බුද්ධිය’ යනුවෙන් වෙසෙසා දැක්වේ. ‘සුනිශිත’ යන පදය සැදෙන්නේ ‘සු’ යන උපසර්ගයට පරව ‘නිශිත’ යන පදය යොදා සන්ධි කිරීමෙනි. ‘සුනිශිත’ යන තත්සම පදය ‘සුනිසිත’ යනුවෙන් කවි ලැකියට නැ‍ඟේ.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?