නිල්වලාවේ ජනයා බෝග දෙස බලන්නේ ආගමික හා ජ්‍යෝතිෂ්‍යමය දෘෂ්ටියකින් | ඇස පාදන රැස


නිල්වලාවේ ජනයා බෝග දෙස බලන්නේ ආගමික හා ජ්‍යෝතිෂ්‍යමය දෘෂ්ටියකින්

 ඡායාරූපය:

නිල්වලාවේ ජනයා බෝග දෙස බලන්නේ ආගමික හා ජ්‍යෝතිෂ්‍යමය දෘෂ්ටියකින්

- තිහගොඩ කැලුම් බෝධිමාන

මාධ්‍යවේදියකු ලෙස ප්‍රකටව සිටින තිහගොඩ කැලුම් බෝධිමාන ඔහුගේ කුළුදුල් කෘතිය එළිදක්වා තිබේ. ‘නිල්වලාව හැඩ කළ මා වී’ වශයෙන් නම් කළ එය නිල්වලා ගඟ ආශ්‍රිත මිනිසුන් වගා කරන මා වී ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථයකි. එය ගොඩගේ ප්‍රකාශනයකි. මේ එම කෘතිය අලළා අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඔබේ වටපිටාවෙන්ම මේ කෘතියට වස්තු බීජ සොයාගත් බවක් පෙනෙනවා?

ඔව්. මට කිට්ටු අත්දැකීම් සහිත නිල්වලා නිම්නයෙන්ම සාහිත්‍යකරණයට පිවිසීමට ලැබීම භාග්‍යයක්. මට එතැනට මඟ පෑදුණේ මගේ පශ්චාත් උපාධි නිබන්ධනයට කළ පර්යේෂණයයි. ඇත්තටම නිල්වලාව දකුණේ ඒ අවට ජීවත්වන ජනතාවට සුන්දර වස්තුවක්. පුද්ගලිකව මටත් එය එසේමයි. අවුරුද්දකට හත් වතාවක් පමණ පිටාර ගලන ගඟ ජන ජීවිතය තෙතබරියං කළත් ගම්මු නිල්වලාවට හරි ආදරෙයි.

ඔබට ඒ වගට ඉදිරිපත් කළ හැකි සාධක මොනවාද?

එකක් දෙකක් නෙවෙයි, ඔවුන්ගේ මුළු ජීවිතයම ඊට ජීවමාන සාක්ෂි වෙනවා. ඒ සියල්ලම පාහේ මං හඳුනාගත්තේ ඔවුන් සොයා ගොස් ඒ අයත් සමඟ ඇසුරු කිරීමෙන්මයි. ආගමානුකූල වගේම ජ්‍යෝතිෂානුකූල පෙළඹුමකින් ඔවුන් නිල්වලාවත් ඒ ආශ්‍රිත බෝග වගාවත් දෙස බැලීමට වඩා රුචිකත්වයක් දක්වන බව එවිට මට පෙනුණා. ඊට දෙවැනි නොවන ආඩම්බරයක් සහ ආත්මාභිමානයක් මේ ගැමියන් තුළ පවතිනවා. ඔවුන් අතර මට සමහර රැඩිකල් චරිත මුණ පවා මුණ ගැසුණා. එහෙත් ඔවුන් බොහොම උපේක්ෂාවකින් යුතුවයි ඒ සමාජ විවේචන පවා එල්ල කළේ.

ඒ මතක අලුත් කළොත්?

මට අත්තුඩාව ගම්මානයේදී අනූහය හැවිරිදි මවක් හමු වුණා. ඇයට තිබුණේ එක්තරා සමාජ විවේචනයක්. එහෙත් එයත් හරිම රසවත්ව කවියකින්මයි ඇය ඉදිරිපත් කළේ. අව්කූටකේ සිටි ගැමියන් පිරිසක් මැදට පැමිණි කුඩ ඉහළාගත් ටයිකෝට්කාර ධනවත් මහතුන් පිරිසක් ඉලක්ක කරගෙනයි ඇය මෙහෙම ගයන්නේ.

 

“දුප්පත් අයටත් පොහොසත් අයටත්

වෙන වෙන අව්වද පායන්නේ

මෙච්චර සෙනගක් අව්වෙ ඉඳිද්දී

මන්දැයි මහතුනි කුඩ ඉහළන්නේ”

ඒ හැරෙන්නට නිල්වලා නිම්නයේ පහළ නිම්නයේ පදිංචිකරුවන් අතීතයේදී විවාහ සබඳතා ඇතිකරගෙන ඇත්තේද මා වී පවුල් සමඟම බවත් මා පසක් කරගත් තවත් කරුණක්. ඔවුන් සතුව පවතින කෙම්ක්‍රම භාවිතය පිළිබඳ දැනුම, සතුන්ගේ උවදුරුවලින් වගාව බේරා ගැනීමට ඔවුන් යෙදූ ධාර්මික උපක්‍රම ආදිය මා පුදුමයට පත්කරවූ අවස්ථා වුණා.

මේ මා වී වගාව ගැන කථා කළොත්?

එය මමත් මෙහිදී මුහුණ දුන් අභියෝගයක්. පර්යේෂණය අතරතුර අසන්නට දකින්නට ලැබුණු සමාජ, සංස්කෘතික සහ කලාත්මක කරුණු නිසා මට තව පර්යේෂණ රැසකට දොරටු විවර වුණා. අන්තිමේදී වෙනත් දැනුම් සම්භාරයක් සමඟම මට කුඩා සහ මා වී ප්‍රභේද වටා ගෙතුණු තුන්දහසකට අධික මා වී වර්ග මැදින් මේ චාරිකාවේ යෙදෙන්නට ඉඩ ලැබුණා.

මින් ඉදිරියට ඔබේ ප්‍රවේශය ගැන කීවොත්?

මේ දිනවල මම තවත් ශාස්ත්‍රීය අධ්‍යයනයක නිරතව සිටිනවා. ඒ මිරිස්සේ කෝලම් සම්ප්‍රදාය සම්බන්ධවයි. ඉදිරියේදී දර්ශනපති උපාධියට සූදානම් වන නිසා ඒ ඇසුරේත් එතරම් කතාබහට ලක් නොවන, එතරම් ඉස්මතු නොවුණු තැන් සම්බන්ධව පර්යේෂණවල යෙදෙන්නට මං බොහොම කැමතියි.

සටහන [නුවන් මහේෂ් ජයවික්‍රම] සේයා [මධුක තක්සල]

මාතෘකා