නිදහස් භාෂා රටාවකට අපට උත්තේජනයක් වූයේ ‘සෙ‍්‍දෝනා’ නවකතාවයි

 ඡායාරූපය:

නිදහස් භාෂා රටාවකට අපට උත්තේජනයක් වූයේ ‘සෙ‍්‍දෝනා’ නවකතාවයි

අනුරසිරි හෙට්ටිගේ

ස්ත්‍රී වාචික ප්‍රබන්ධ සාහිත්‍යය පුරුෂ මූලික සාහිත්‍යයෙන් වෙනස් කාර්යක් බවට සංඥාවක් නොතිබුණ සමයක සිය ප්‍රථම නිර්මාණය ලෙසින් ඊවා රණවීර ලේඛිකාව අප හමුවේ ඉදිරිපත් කරන ‘සෙදෝනා’ නවකතාව, සිංහල පාඨකයාට නවමු අත්දැකීමක් එක් කිරීමට සමත් වුණා. මහා පවුල තුළ ස්ත්‍රිය වෙනුවට මිනිස් සමාජය තුළ ස්ත්‍රියයි ඇය විෂය කර ගන්නේ. අසරණභාවයට පත් වන ගැමි ගැහැනියකගේ ජීවනය කුමක්දැයි ප්‍රශ්න කරන මේ කෘතිය සිංහල නවකතාවේ අගනා ස්ථම්භයක් බව නොකිවමනායි. ස්ත්‍රියකගේ බාල කාලයේ සිට මරණය දක්වා ගෙවන කෙටිකාලය (මහා කාලයක්) තුළ ඇය අත්විඳින ගැටලු ස්ත්‍රියක වීම නිසාම හිමි වන්නක් බව ඉදිරිපත් කෙරෙන සිදුවීම් ඇසුරේ පාඨකයාට දැනෙන්නට ගන්නවා. අනුකම්පාව නොව ප්‍රේමයම සෙදෝනාට හිමි වන්නේ එහෙයිනුයි. මට මේ නිර්මාණය වැදගත් වන්නේ එතෙක් සිංහල නවකතාව තුළ අධිපතිවාදයකට නතුව තිබූ භාෂාත්මක යොමුව, නවමු නිදහස් මාර්ගයකට ඇද ගැනීමට එහි උපයුක්ත භාෂාව සමත් වී ඇති නිසයි. පසුකාලීනව අපට පවා නිදහස් භාෂා රටාවක් සකස් කර ගැනීමට උත්තේජනයක් කැඳවූයේ ‘සෙදෝනා’ යි. ආධුනික ලේඛකයින් නොවරදවාම කියවිය යුතු පොතක් ලෙස මා ‘සෙදෝනා’ යෝජනා කරන්නේ එහි ඇති මේ භාෂාත්මක විප්ලවය ඔවුන් හඳුනාගත යුතුම නිසයි.

 

සටහන [සිසිර ගමගේ]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?