මගේ හැම පොතකම ඉන්නේ මමයි

 ඡායාරූපය:

මගේ හැම පොතකම ඉන්නේ මමයි

රුමේනියානු ජාතික ඊශ්‍රයාල් ලේඛක අරෝන් ඇපල්ෆෙල්ඩ්

දිනචර්යාව වැදගත් දෙයක්

මම ලියන සැටි කීවොත් මම (ජෙරුසලම් නගරයේ) ටිචෝ හවුස් ආපනශාලාවට සතියට දෙවරක් උදේ දහය හෝ එකොළහ අතර කාලයේ එනවා. ඇවිත් පැය දෙක තුනක් ඉඳලා ගෙදර යනවා. ඒක මගේ දිනචර්යාවක්. සාමාන්‍යයෙන් දිනචර්යාවක් කිව්වාම හෑල්ලුවටනෙ ගණන් ගන්නෙ. ඒත් දිනචර්යාව වැදගත් දෙයක්.

මම ලියන්නෙ පෑනෙන්. දැන් (ජීවිතයේ පශ්චිම යාමයේ) දවසකට එක පිටුවක් වගේ ලියන්නෙ. සමහර විට ලියන්නෙ පිටු භාගයයි. සමහර විට පිටු එකහමාරයි. මහන්සි දැනුණාම ලිවීම නවත්වනවා - තවදුරටත් මට ලියන්න කිසිවක් පේන්නෙ නැති වුණාම, කිසිවක් ඇහෙන්නෙ නැති වුණාම ලිවීම නවත්වනවා. (ලිවීමේදී ලේඛකයාට රූප පෙනේ. ශබ්ද ඇසේ.)

ටයිප් කළාට පසු එක් වරම කඩදාසිවල අලුත් දෙයක් පේන්න ගන්නවා

අවන්හලෙන් නික්මිලා ගෙදර ගියාට පස්සෙ හුඟක් හවස් වෙලා, දවල් කෑම ගත්තාට පස්සෙ පැය දෙකක් මම එදා දවසේ ලියූ පිටු කීපය කියවමින් සකස් කරනවා. ඊට පස්සෙ ඒ කඩදාසි ටික පැත්තකට දානවා. ඒවා මම ටයිප් කරන්නත් පුරුදු වෙලා ඉන්නවා. ලියූ කඩදාසි ටයිප් කරන්න මම හරි කැමතියි. ටයිප් කළාට පස්සෙ එක පාරටම කඩදාසිවල අලුත් දෙයක් පේන්න ගන්නවා. ඒක හරි සතුටක්.

ලිවීම කියන්නෙ ඉන්ද්‍රියන්ට දැනෙන කලාවක්

මම පරිගණකයේ වැඩ කරන්නෙ නෑ. මම කඩදාසියේ ලියන්න කැමති කෙනෙක්. ලිවීම කියන්නෙ අනෙක් හැම කලාවක්ම වගේ ඉන්ද්‍රියන්ට දැනෙන කලාවක්. ඒක ඔබට ස්පර්ෂ වෙන්න ඕන. ඒක ඔබට දැනෙන්න ඕන. හරියටම හරි යනකන් නැවත නැවත හරිගස්සන්න ඕන.

මම සෙනසුරාදා හැරෙන්න හැමදාමත් ලියනවා.

 

මම කඩදාසියක මගේ පවුලක් ඇති කළා

මම ලියන්න පටන්ගත්තේ කොහොමද? (මම අවුෂ්විටිස් කඳවුරෙන් දිවි ගැලවුණු කෙනෙක්. කඳවුරෙන් එළියට ආවාට පස්සෙ) මම සිටියෙ හොඳටම හුදකලා වෙලා. මට දෙමාපියන් සිටියෙ නෑ. යහළුවන් සිටියෙ නෑ. මම මගෙන්ම ඇහුවා ‘මට ඕන මොනවාද?’, ‘ඇයි මම ගොවිපොළේ වැඩ කරන්නෙ?’, ‘මට මොකක් වෙයිද?’, ‘මගේ ජීවිතය කොහේට යයිද?’ කියල. මට ඒ කිසිවකට පිළිතුරු තිබුණෙ නෑ. මට ඒ කිසිවක් නෑ. ඉතින් දවසක් මම මට ඇති දේ ලැයිස්තුවක් හැදුවා. මගේ තාත්තා, ඔහුගේ නම, මයිකල් - මම ඒ ගැන ලියුවා. මගේ අම්මා බුනියා, මගේ සීයා මයර් ජෝසෆ්. මම ඉපදුණේ සර්නෝවිට්ස්වල, මගේ අම්මා මරා දැමුවා වශයෙන් මම ලිව්වා. මේ වචන ලැයිස්තුව මට කිසියම් තේරුමක් දෙන පසුබිමක් ඇති කළා. ඒ කියන්නෙ මම තවදුරටත් තනි වෙලා නෑ. මට තවමත් මගේ කියූ පවුලක් ඉන්නවා. ඔවුන් මා තුළ ඉන්නවා. මම කඩදාසියක මගේ පවුලක් ඇති කළා. මම ඒ ගැන ලිව්වා. පසුව ඇත්තටම ජීවමානව ඔවුන් එහි මතු වුණා.

ලිවීම කියන්නෙ ආශ්චර්යයක්

මට කවදාවත් ලිවීමේ හැකියාවක් තිබුණෙ නෑ. ලිවීම කියන්නෙ ආශ්චර්යයක්. අර්ථවත් වාක්‍යයක්, අර්ථවත් පරිච්ඡේදයක් ලියවීම ආශ්චර්යයකින් සිදු වන දෙයක්. මම ලිවීම පටන්ගනිද්දි ඒ ආශ්චර්යය සිදු වුණා. දැනුත් ඒ ආශ්චර්යය සිදු වෙනවා.

ලියන්න පටන්ගනිද්දි මම සිටියෙ තනි වෙලා. කඩදාසිය මගේ පළමු මිතුරා වුණා. කඩදාසියට මට කථා කරන්න පුළුවන් වුණා. කඩදාසියට මට වචනයක් කියන්න පුළුවන් වුණා.

ලිවීම මට අරගලයක්

මම ලිව්වෙ මටමද? නෑ. මටම නෙවෙයි. ඒක ඇත්තටම යමකට කිසියම් අරුතක් ලබාදෙන්නයි. අදහසකට කිසියම් හැඩයක් ලබාදෙන්නයි. වචනවලින් වාක්‍යයක් ලබාගන්නයි. ලියද්දි එය මගේ නිරන්තර අරගලයක් වුණා. ඇත්ත වශයෙන් එය මගේ අරගලයක් වුණා.

මම සීමාසහිත පුද්ගලයෙක්

අප වටා සිද්ධ වෙන හැම දේම මට ලියන්න බැහැ. මට දකින්න පුළුවන් මා තදින්ම අවශෝෂණය කරගත්, මට ඉතා සමීප දේ විතරයි. මම සීමාසහිත පුද්ගලයෙක්. මාව අතිශයෝක්තියෙන් පෙන්වන්න මට බෑ. යම්තාක් දුරකට මං ගිලන් පුද්ගලයෙක්. මට සැන් ෆ්‍රැන්සිස්කෝ ගැන ලියන්න බෑ - මම කිහිප සැරයක් සැන් ෆ්‍රැන්සිස්කෝ ගිහින් තියෙනවා. ඒත් මට ඒ ගැන ලියන්න බෑ. මම නිව්යෝක් නුවරට බොහොම සැරයක් ගිහින් තියෙනවා. ඒත් මම නිව්යෝක් නුවර ගැන ලියනවා නම් මං ඉස්සෙල්ලා එහි ජීවත් වන හෝලොකොස්තයෙන් දිවි ගැලවුණු දෙදෙනෙක් සොයාගෙනයි ඒ දේ ලියන්නෙ. ඇතැම් විට ඔවුන්ගේ ඇසින් මට නිව්යෝක් නුවර යමක් දකින්න පුළුවන් වේවි.

 

ලිවීම කියන්නෙ මගේ ෆැන්ටසියයි

මම මගේ බිරිඳ සහ දරුවන් ගැන එච්චර ලියලා නෑ. මොකද මගේ ලිවීම කියන්නෙ මගේ ෆැන්ටසියයි. එය මගේ ඇත්ත ජීවිතය නෙවෙයි. සැබෑ ජීවිතය හා ෆැන්ටසිය අතර සීමාවක් තියෙනවා.

ලියද්දි මම හැම විටම කොහේ හරි යනවා

මම පොතක් ලියන්න පටන්ගනිද්දි සංගීතය මගෙ ඔළුවේ තියෙනවා. පොතට එන රිද්මය මා තුළ තියෙනවා. පොතකට රිද්මය ආව ගමන් මට ලියන්න වචනත් තියෙනවා. සංගීතයයි මට කතාව ලියන්න ශක්තිය දෙන්නෙ. ඊළඟට සෙමෙන් සෙමෙන් සංගීතය එක්ක මම කොහෙටද යන්නෙ කියල අදහසක් මට එනවා. ලියද්දි මම හැම විටම කොහේ හරි යනවා. මගේ සීයලාගේ ගෙදරින් මගේ මහගෙදරට... විධියට.

මගේ හැම චරිතයක්ම මමයි

මගේ හැම පොතකම ඉන්නේ මමයි. මගේ හැම චරිතයක්ම මමයි. ‘සිලි‘ නවකතාවේදී මට මගේ ජීවිතය කැලෑවට ගෙනියන්න ඕන වුණා. ඒ සඳහා මට මගේ ජීවිතය ගැහැනු ළමයකු කිරීම උදව් වුණා.

මං පාවිච්චි කරන්නෙ කතා කලා තාක්ෂණයක් නෙවෙයි

මම මගේ ජීවිතය නවකතාවකට හරවන්නේ කොහොමද? එහිදී මම පාවිච්චි කරන තාක්ෂණය කුමක්ද? මං පාවිච්චි කරන්නෙ තාක්ෂණයක් නෙවෙයි. උදාහරණයකට අපි ඒ දවස්වල හැම අවුරුද්දකම නිවාඩු නිකේතනයකට යනවා. මම යන්නෙ මගේ දෙමව්පියන් එක්ක. එතකොට මට අවුරුදු පහක් හෝ හයක් විතර ඇති. ඉතින් මගේ මතකය ළමයකුගේ මතකයක් විතරයි. ඒ අනුව මම ඒ මිනිස්සු ගැන ලියනවා නම් මට ඔවුන් ප්‍රතිනිර්මාණය කරන්න වෙනවා. මොකද මට ඔවුන් හරියටම මතක නෑ. ඉතින් මම ඔවුන් කොච්චර ප්‍රතිනිර්මාණය කරනවාද කීවොත් නිවාඩු නිකේතනය මගේ ඇස් දෙකට පේන්න පටන්ගන්නවා. එහි මිනිසුන්ට මට නම් දෙන්නත් පුළුවන් වෙනවා. ඒ නම් මට කතාවට තවත් උදව් කරනවා.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?