පරිවර්තනයේදී මුල් ලේඛකයාට වගේම පාඨකයාටත් සාධාරණය ඉටු විය යුතුයි

 ඡායාරූපය:

පරිවර්තනයේදී මුල් ලේඛකයාට වගේම පාඨකයාටත් සාධාරණය ඉටු විය යුතුයි

ප්‍රවීණ ලේඛක ආචාර්ය ඩබ්ලියු. ඒ. අබේසිංහ

කවි, ගීත, ළමා සහ පරිවර්තන සාහිත්‍යයේ මෙන්ම විචාරයේද නියැලී සිටින ප්‍රවීණ ලේඛකයින් අතර කෙනෙකි, ආචාර්ය ඩබ්ලියු. ඒ අබේසිංහ. ඔහුගේ අඩසියවසක සමාජ හා සාහිත්‍ය මෙහෙවර ඇගයුම නිමිත්තෙන් දැන් කෘති දෙකක් රචනා වී තිබේ. එකක් චන්ද්‍රසිරි සෙනෙවිරත්න හා උදේනි සරත්චන්ද්‍ර විසින් සංස්කරණය ලද ‘අබය මුද්‍රාව’ කෘතියයි. අනෙක දීපචන්දි අබේසිංහ හා සුමුදු චතුරාණි ජයවර්ධන විසින් සංස්කරණය කරන ලද ‘ආනන්දයෙන් ප්‍රඥාවට - ඩබ්ලිව්. ඒ. අබේසිංහ සාර සංග්‍රහය’ කෘතියයි.

මෙම කෘති දෙකත්, අබේසිංහයන්ගේම ලිපි ඇතුළත් කෘතියකුත් මෙම 12 වැනි අඟහරුවාදා සවස 3.00ට කොළඹ 07, නිදහස් චතුරශ්‍රයේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ පැවැත්වෙන්නේ අබේසිංහ උපහාර උළෙලක්ද සමඟිනි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වන අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ ලේඛක නීතිඥ එස්. ජී. පුංචිහේවා විසිනි. මේ, ඒ නිමිති කර අබේසිංහ මහතා සමඟ අප පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඔබේ වර්තමාන සාහිත්‍ය නිර්මාණකරණය කෙබඳුද?

මෑතකදීම මා කළ සාහිත්‍ය ලේඛන කටයුත්ත වුණේ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවන්ගේ බුද්ධ චරිතය කෘතිය ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමයි. එය තරමක් ලොකු පොතක්. එය පුළුල් දැනුමක් ඇතිව, විවෘත අදහස් සහිතව රචනා කරලා තියෙන පොතක් හැටියට වැදගත් වෙනවා. මම ඒ පොත කාලයක් තිස්සේ පරිවර්තනය කරලා මෑතකදී ප්‍රකාශනය සඳහා භාරදුන්නා. ඒ අතරේ පසුගිය කාලය තුළ සාහිත්‍ය ලිපි පෙළක් වශයෙන් පුවත්පත්වල පළ වූ තීරුලිපි එකතු දෙකකුත් මෑතකදී ප්‍රකාශයට පත් වුණා. එයට අමතරව මගේ පරණ පොත් රාශියක් නැවත මුද්‍රණය වෙනවා. ඒ සමඟම මගේ කවි අතරින් තෝරාගත් නිර්මාණ ඇතුළත් පොතකුත් පළ වෙනවා.

පසුගිය කාලයේ ඔබ මාර්ටින් වික්‍රමසිංහ කෘති එකතුවක් කළා?

ඔව්, ඒ කටයුත්ත ඉවර කරලා ප්‍රකාශනය සඳහා භාරදුන්නා. ඒ කෘති එකතුවට වෙළුම් දාහතක් ඇතුළත් වෙනවා. පොත් වශයෙන් ගත්තාම පොත් විසි පහකට වැඩියි. ඒ සමහර වෙළුම්වල කාණ්ඩ දෙකක් තියෙනවා. වික්‍රමසිංහ මහතා ලියූ පොත්පත්වල විවිධ විෂයන් රාශියක් තියෙනවා. සංස්කෘතිය, සාහිත්‍යය සහ දේශපාලනය ඇතුළු හැමදේම ඒ අතර තියෙනවා. මේ අලුත් කෘති එකතුව සකස් කිරීමේදී එතුමාගේ සියලුම පොත්වල තියෙන එක එක ලේඛන අපි විෂයානුකූලව එකතු කළා. එය ආරම්භ කළේ මානවවිද්‍යාවෙන්. එතුමා රචනා කළ, මෙයට පෙර පොත් හැටියට පළ නොවුණු ලේඛනත් තිබුණා. ඒ අතර පත්තරවල පළ වුණු ලිපිත් තිබුණා. ඒ වගේම අත්පිටපත් කිහිපයකුත් තිබුණා. මේ කෘති එකතුව සකස් කිරීමේදී ඒ සියල්ල යොදාගත්තා. මේ කෘති පළ කරන්නේ වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයෙන්. ඔවුන්ගේ ඉල්ලීමක් අනුවයි මම ඒ කටයුත්තට දායක වුණේ.

වික්‍රමසිංහ කෘති එකතුවට එකතු කළ නොහැකි වූ තවත් ලිපි ලේඛන තිබෙනවාද?

නවකතා ඇතුළත් කළේ නැහැ. ඒවා එකතු කරන්න වුවමනා නැහැනෙ. ඒවා වෙනම පළ වෙලා තියෙනවනෙ. ඒ ටික ඇරෙන්න අනෙක් සියල්ල එකතු කළා. ඒක ටිකක් ලොකු කාරියක්. ඒ විදියට වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන විට තමයි එතුමාගේ තියෙන විශාල පෞරුෂය පේන්නෙ. විෂයන් රාශියක් ගැන එතුමාට තිබුණු දැනුම, එතුමාගේ පර්යේෂණ හැකියාව සහ නිර්මාණශීලීව කල්පනා කිරීම කියන මේ සියලු සුවිශේෂතා ගැන අවබෝධයක් ඒ ඔස්සේ අපට ලැබෙනවා. එහෙම ලේඛකයෙක් ලංකාවේ ඉඳලා නැහැ. මේ කෘති එකතුව හරහා කෙරෙන්නේ වික්‍රමසිංහ මහතා ආපසු පාඨක ලෝකයට ඉදිරිපත් කිරීමක්. ඒ කටයුත්තෙදි ඉංග්‍රීසි සිංහල දෙකම අපි එකතු කළා. ඉංග්‍රීසි වෙළුම් තුනකුත් වෙනම පළ වෙනවා. ‘මාර්ටින් වික්‍රමසිංහ ඔන් ලිටරෙචර්’, ‘මාර්ටින් වික්‍රමසිංහ ඔන් කල්චර් ඇන්ඞ් සිවිලිසේෂන්, ‘මාර්ටින් වික්‍රමසිංහ ඔන් රිලිජන්, පොලිටික්ස් ඇන්ඩ් සොසයිටි’ කියන නම් යටතේ ඒ පොත් තුන වෙනම සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම පර්යේෂණ කරන අයට මේ පොත් පෙළ ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. මේ පොත් පෙළේ මූලාශ්‍ර ග්‍රන්ථ සේරම දක්වලා තියෙනවා. ඒ ඔස්සේ පර්යේෂණ කරන අයට එතුමා පිළිබඳ තොරතුරු හොයාගන්න පුළුවන්.

වික්‍රමසිංහ අත්පිටපත් ගැන යමක් කියනවා නම්?

එතුමා ලියලා පළ නොවුණු ලිපි කිහිපයක් අත්පිටපත් වශයෙන් තිබුණා. මේ අලුත් කෘති එකතුව සඳහා කෙටිකතා එකතු කරන කාලයේදී පොත්වල පළ වෙලා තිබුණු සංඛ්‍යාවට වඩා කෙටිකතා සංඛ්‍යාවක් පුවත්පත්වලින් සහ සඟරාවලින් හොයාගත්තා. ඒ අතරේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ ‘අරුණෝදය’ නමැති කෙටිකතාවක අත්පිටපතකුත් හම්බ වුණා. ඒක කියවගත්තේ හරිම අමාරුවෙන්. එතුමා ඒ අත්පිටපත කිහිප වරක් සංස්කරණය කරලා තිබුණා. ඒ කෙටිකතාවත් ඇතුළත්ව සියල්ල ගත්තාම වික්‍රමසිංහ මහතාගේ කෙටිකතා එකසිය දොළහක් තියෙනවා. මම හිතන්නෙ වෙන නැතිව ඇති කියලා. හැබැයි මේ කටයුත්ත ඉවර කළාට පස්සෙ තවත් අත්පිටපත් ටිකක් හම්බ වෙලා තියෙනවා.

‘තුන්වැනි ලෝකයේ කවි’ සහ ‘ආසියාවේ කවි’ වැනි පරිවර්තිත කාව්‍ය කෘති ඔබ කර තිබෙනවා. කවි පරිවර්තනය දුෂ්කරද?

අතිශයින්ම දුෂ්කරයි. දැනට අවුරුදු විසි පහකට තිහකට විතර කලින් ඉන්දියාවේ සාහිත්‍ය ඇකඩමියේ ලේකම් වෙලා හිටපු ඉන්ද්‍රනාත් චෞද්රි ලංකාවට ඇවිල්ලා හරි ලස්සන කතාවක් කිව්වා. එතුමා කිව්වේ සාහිත්‍ය පරිවර්තනයේදී මුල් කෘතියේ සාරය සියයට හැටක් ස්ථිරවම නැති වෙනවා කියලයි. කවිවලදි එටත් වැඩිය නැති වෙන්න පුළුවන් කියල එතුමා කිව්වා. ඉන්දියාවේ කණ්ණඩ භාෂාවෙන් කවියක් ලියැවනවා කියලා හිතමුකො. මම ඒ භාෂාව දන්නෙ නැහැනෙ. මම දන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඒ කවිය කියවලා සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට කවියෙන් විශාල කොටසක් නැති වෙනවා. ඒක ස්වභාවිකයි. හැබැයි එහෙම නැති වෙනකොට කවියේ හරයත් නැති වුණොත් වැඩක් නැහැ. නවකතාවක් හෝ කෙටිකතාවක් පරිවර්තනය කරනකොට ඔය කරම් ප්‍රමාණයක් නැති වෙන එකක් නැහැ. නමුත් කවිය පරිවර්තනය කරනකොට නැති වෙන ප්‍රමාණය වැඩියි. ඒ නිසා කවි පරිවර්තනය කරන්න ඕන කවියොමයි. පරිවර්තනයේදී කවියෙ ආත්මය නැති කරගත්තොත් නම් එතැනදි විශාල වරදක් වෙනවා

ඔබ පරිවර්තනය කළ නවකතා ගැන කීවොත්?

අවුරුදු හතරකට විතර කලින් මම හර්මන් හෙසගේ ‘සිද්ධාර්ථ’ කෘතිය සිංහල භාෂාවට පරිවර්තනය කළා. ඒ වගේම අවුරුදු තුන හතරකට කලින් අයිත්මාතව්ගේ පොතකුත්, තෝල්ස්තෝයිගේ පොතකුත් සිංහල භාෂාවට පරිවර්තනය කළා. එසේ නවකතා සිංහල භාෂාවට පරිවර්තනය කරනකොට මම ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක් ඇසුරු කරනවා. හර්මන් හෙසගේ පොත ගත්තත්, අයිත්මාතව්ගේ පොත ගත්තත්, තෝල්ස්තෝයිගේ පොත ගත්තත් ඒ තුනම මම පරිවර්තනය කළේ මුල් කෘතීන්වලින් නෙවෙයිනෙ. මම රුසියන් භාෂාව දන්නෙත් නැහැ, ජර්මන් භෂාව දන්නෙත් නැහැ. ඒ හින්දා එවැනි භාෂාවලින් ලියැවිලා තියෙන පොත් පරිවර්තනයෙදි ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක් ඇසුරු කිරීම වැදගත්. ඒ හරහා පුළුවන් තරම් මුල් කෘතියට සමීප වෙන්න මම වෑයම් කළා. පරිවර්තන කිරීමේදී මුල් ලේඛකයාට සමීප වීම ඉතාම වැදගත්. පරිවර්තනය හරහා ඒ කෘතිය අපේ සාහිත්‍ය කෘතියක් බවට පත් වෙනකොට අපේ සාහිත්‍ය පාඨකයාට සාධාරණයක් ඉෂ්ට වෙන්නත් ඕන. ඒ කියන්නේ එය අපේ සාහිත්‍ය කෘතියක් බවට පත් වෙන්න ඕන. කෘතියට වගේම අපේ පාඨකයාටත් ගැළපෙන වාග් රීතියක් ඒ පරිවර්තනයේ තියෙන්න ඕන. එයින් අදහස් වෙන්නේ අපේ නම් ගම් දාලා අනුවර්තනය කරන්න ඕන කියන එක නෙවෙයි. මුල් කෘතිය ඒ අයුරින්ම පරිවර්තනයෙත් තියෙන්න ඕන. ඒ කෘතිය ග්‍රහණය කරගන්න පාඨකයාට ලේසි වෙන්නෙ එතකොටයි. අවාසනාවකට වගේ අද බොහෝ සිංහල පරිවර්තනවල අපේ වාග් රීති දකින්නට ලැබෙනවා අඩුයි. කිසියම් කෘතියක් පරිවර්තනය කරන ලේඛකයාට ඒ මුල් කෘතියේ සාහිත්‍ය සම්ප්‍රදාය ගැන, අදාළ රට සහ සමාජය ගැන වගේම ඒ කෘතියේ ලේඛකයාගේ අනෙක් පොතපත ගැනත් අවබෝධයක් තියෙන්න ඕන. නිකම්ම පරිවර්තනය කරලා හරියන්නෙ නැහැ. පරිවර්තන කටයුත්ත අමාරු වැඩක්. ඒක භාෂා දැනුම තියෙන කාටත් කරන්න පුළුවන් දෙයක් කියලා සමහරු හිතනවා. එහෙත් එය ඉතා සීරුවෙන් කළ යුතු දෙයක්.

පරිවර්තනයේදී මුල් කෘතියේ ඇතැම් කොටස් ඉවත් කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?

මුල් කෘතියේ කොටස් ඉවත් නොකර පරිවර්තනය කරන්න බැරි නම් එවැනි පොත් පරිවර්තනය නොකර ඉන්න ඕන. පොතක් පරිවර්තනය කිරීමේදී මුල් කතුවරයාට සාධාරණයක් ඉෂ්ට විය යුතුයි. කොටස් අත හැරලා කරන පරිවර්තනය හොඳ පරිවර්තනයක් නෙවෙයි. උදාහරණයක් විදියට ‘ලේඩි චැටර්ලීස් ලවර්’ වගේ පොතක් පරිවර්තනය කරනවා නම් එහි කොටස් ඉවත් නොකර හරියට පරිවර්තනය කරන්න ඕන. එහෙම පරිවර්තනය කරන්න බැරි නම් ඒක නොකර ඉන්න එක වඩා හොඳයි.

සාකච්ඡාව සහ සේයාරුව [අජිත් නිශාන්ත]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?