සේන තෝරදෙනියගේ ‘විචාර විලෝචන’ 17 වෙනිදා එයි

 ඡායාරූපය:

සේන තෝරදෙනියගේ ‘විචාර විලෝචන’ 17 වෙනිදා එයි

ප්‍රවීණ ලේඛක සේන තෝරදෙනියගේ අලුත්ම විචාර ග්‍රන්ථය ‘විචාර විලෝචන’ මෙම ජූලි මස 17 වෙනිදා අඟහරුවාදා උදේ 10ට මරදාන පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේදී දොරට වඩී.

සාහිත්යික උපභාෂා, සම්භාව්‍ය යුගයේ සිට වර්තමානය දක්වා චීන සාහිත්‍යය, අද්‍යතන සිංහල සාහිත්‍ය විචාරයේ ගැටලු හා සාහිත්‍ය විචාරයේ දුර්භාවිත ආදී වශයෙන් සේන තෝරදෙනිය විසින් ශාස්ත්‍රීය හා උපහාර ග්‍රන්ථ කීපයකට ලියන ලද ලිපි එකොළහක්ද, මීට පෙර පළ නොවූ එක් ලිපියක්ද මෙම කෘතියට ඇතුළත් වේ. මෙය දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයක් වන අතර මිල රු. 600කි.


මේ රහස් කවුළුවෙන් එබෙන්න මකර තොරණ තාරා මගේ දෙව්දුව දෙමළ බසින්

දොරට වැඩුම ජූලි 18 යාපනය විශ්වවිද්‍යාලයේදී

පසුගිය සමයේ සාහිත්‍ය සම්මානෝත්සව රැසක අවධානයට සහ සම්මානයට පාත්‍ර වූ කෞශල්‍ය කුමාරසිංහගේ ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාවේත්, ප්‍රභාත් ජයසිංහගේ ‘මකර තොරණ’ කෙටිකතා සංග්‍රහයේත්, නිශ්ශංක විජයමාන්නගේ ‘තාරා මගේ දෙව්දුව’ නවකතාවේත් දෙමළ පරිවර්තන මෙම ජූලි මස 18 වෙනි බදාදා ප.ව 2.00ට යාපනය විශ්වවිද්‍යාලීය අංක 408 ශාලාවේදී දොරට වඩී.

එහිදී ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ නවකතාවත්, ප්‍රභාත් ජයසිංහගේ ‘මකර තොරණ’ කෙටිකතා සංග්‍රහයත් සාමිනාදන් විමල් විසින් පරිවර්තනය කරන ලැබ ඇති අතර ‘තාරා මගේ දෙව්දුව’ සිවලිංගම් අනුෂා විසින් පරිවර්තනය කරනු ලැබ ඇත. මෙම දොරට වැඩීමේ උළෙලේ දේශකයන් වන්නේ ආචාර්ය සුමති සිවමෝහන්, ආචාර්ය අතුළසිරි සමරකෝන්, කථිකාචාර්ය මහේන්ද්‍රන් තිරුවරන්ගන් ආදීන්ය.


මහාචාර්ය කුසුමා කරුණාරත්නගේ ‘සියොතුනේ’ 16 දා එයි

මහාචාර්ය කුසුමා කරුණාරත්නගේ පළමු කාව්‍ය සංග්‍රහය ‘සියොතුනේ’ ගොඩගේ ප්‍රකාශනයක් ලෙස මෙම ජූලි 16 වෙනිදා සවස 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ ඇම්.බී. ආරියපාල ශ්‍රවණාගාරයේදී ජනගත වේ. එම උත්සවයේදී මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමි සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල දෙසුම් පවත්වති.

 

මාතෘකා