මයිකල් ඔන්ඩච්චි නම් ශ්‍රී ලාංකික ලේඛකයා!

 ඡායාරූපය:

මයිකල් ඔන්ඩච්චි නම් ශ්‍රී ලාංකික ලේඛකයා!

ලොව පුරාම කතාබහට ලක් වූ ‘ද ඉන්ග්ලිෂ් පේෂන්ට්’ (The English Patient) නමැති නවකතාව රචනා කළ ලෝ ප්‍රකට ශ්‍රී ලාංකික කැනේඩියානු ලේඛක මයිකල් ඔන්ඩච්චි මේ වන විට දෙවැනි ලෝක යුද්ධය පාදක කරගත් අලුත් නවකතාවක් රචනා කර තිබේ. ‘වෝර්ලයිට්’ (Warlight) නමැති ඒ කෘතිය ඉතා මෑතකදී, එනම් 2018 වසරේ මැයි 08 වැනිදා මුද්‍රණයෙන් පළ විය.

දෙවැනි ලෝක යුද්ධයත් සමඟ 1945 වසර ආශ්‍රිත ලන්ඩනය පසුබිම් කරගනිමින් රචනා කර ඇති මෙම නවකතාවෙන් කියැවෙන්නේ නට්සි බෝම්බ ප්‍රහාරයන්ගෙන් පසු සිය දෙමාපියන්ගෙන් වෙන්ව ජීවත් වීමට සිදු වන දරුවන් දෙදෙනෙකු ගැන කතා පුවතකි. භීෂණය, සන්ත්‍රාසය, ප්‍රේමය, ව්‍යාකූලතාව සහ ලාලසාව වැනි විවිධ භාවමය තේමාවන් ඔස්සේ ඉදිරිපත් වන ප්‍රබන්ධයක් වන එය, ඇතැම් අහිමිවීම් හමුවේ මිනිස් ජීවිතය අහඹු ආකාරයෙන් වුවද නිශ්චිත ඉලක්කයන් සොයා ගමන් කරන ආකාරය ඉතා සියුම්ව විවරණය කිරීමට සමත්ව ඇති බවක් දැකගත හැකිය.

යුද්ධයෙන් පසුව දෙමාපියන් අහිමි දරුවන් දෙදෙනෙකු බවට පත් වන දහ හතර හැවිරිදි නතානියල් සහ ඔහුගේ සොහොයුරිය වන රැෂෙල් ගුප්ත චරිත ස්වභාවයක් ඇති පුද්ගලයෙකුගේ භාරයට පත් වෙයි. ඔහු අපරාධකරුවකු විය හැකි යැයි මේ දරුවන්ට සැක සිතෙයි. එම පුද්ගලයා සමඟ සබඳතා පවත්වන ගැහැනුන් සහ පිරිමින් කණ්ඩායම ගැන දැනගන්නට ලැබීමත් සමඟ ඔවුන්ගේ සැකය තවත් වැඩි වෙයි.

එකම ආකාරයේ අතීත ජීවිත සහිත ඒ පිරිස නතානියල් සහ රැෂෙල් රැකගැනීමටත්, ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමටත් කැප වන බවක් පෙන්වති. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන්නේ ද අසාමාන්‍ය ආකාරයේ ක්‍රියාමාර්ගයන්ය. ඔවුන් සැබැවින්ම කටයුතු කරන්නේ වෙනත් අරමුණු ඇතිවද, ඔවුන් කරන්නේ රඟපෑමක්ද වැනි ප්‍රශ්න ගැන නිසි අවබෝධයක් දරුවන් දෙදෙනාට නැත. වසර ගණනාවකට පසු ඔවුන් ගැන සැබෑ තොරතුරු රැසක් හෙළිදරව් කරගැනීමට නතානියල්ට හැකි වෙයි.

ප්‍රධාන කතා පුවත හා බැඳූණු තවත් අතුරු කතා කිහිපයක් ද සමඟ කුතුහලය දැනවෙන පරිදි රචනා කර ඇති මෙම නවකතාව අවසාන පිටුව දක්වාම ආසාවෙන් කියවාගෙන යා හැකි සුපාඨනීය (Readable) නවකතාවකි. ඔන්ඩච්චිගේ නවකතා සියල්ලෙහිම පාහේ මේ සුපාඨනීය බව දැකගත හැකිය. ඔහුගේ ප්‍රබන්ධ කෘති ලොව බොහෝ රටවල ඉංග්‍රීසියෙන් කියවන පාඨක පිරිස් අතර ජනප්‍රිය වීමට එක් හේතුවක් වන්නේ ද එයමය. එසේම පාඨකයාගේ කුතුහලය රඳවාගනිමින් ආයාසකර බවකින් තොරව කියැවිය හැකි සරල බස් වහරකින් ඒ නවකතා රචනා වී තිබීම නිසාද ඒවා වැඩි පාඨක පිරිසක් අතර ජනප්‍රිය වී ඇති බව සිතිය හැකිය.

ඔන්ඩච්චිගේ මේ අලුත්ම නවකතාව පළ වූයේ ඔහු මෙයට පෙර රචනා කළ ‘ද කැට්ස් ටේබල්’ (The Cat’s Table) නමැති නවකතාව පළ වී වසර හතකට පසුවය. ‘පූසාගේ මේසය යන අදහස සහිත ග්‍රන්ථ නාමයකින් යුතුව පළ වූ එය බොහෝ සෙයින් ස්වයංලිඛිත චරිත කතා ලක්ෂණ විදහාපායි.

වර්ෂ 1950 ගණන් පසුබිම් කරගනිමින් ලියැවී ඇති මේ නවකතාවෙන් කියැවෙන්නේ ශ්‍රී ලංකාවෙන් එංගලන්තය බලායන ‘ඔරෙන්සෙ’ (Orense) නමැති නැවක ගමන් කරන මයිකල් නමැති 11 හැවිරිදි දරුවකු පිළිබඳ කතාවකි ඔන්ඩච්චි ද කුඩා කාලයේ දී මෙවැනිම මුහුදු ගමනක යෙදී ඇතැයි කියැවේ. මුහුදු ගමන අතරතුරදී මේ කුඩා දරුවා සම වයසේ පසු වන තවත් පිරිමි ළමයින් දෙදෙනෙකු සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගනියි. ඔවුන්ගෙන් එක් අයෙකු වන කැසියස් බොහෝ සෙයින් දැඩි ගති ඇති ළමයකු වන අතර, අනෙකා අහිංසක ගති පැවතුම් සහිත, දාර්ශනිකයකුගේ ස්වභාවය පළ කරන රාමධීන්ය.

මේ කුඩා දරුවන් වැඩිවිියට පත් වන විට ඔවුන්ගේ සිතුම් පැතුම් සහ ගති පැවතුම් වෙනස් වන ආකාරය විිදහාපාමින් කතාව ගොඩ නැගෙන්නේ කවියකු සතු වන අති සංවේදීබවත්, අපූරු කවි බසත් මුසු කරගත්, ඔන්ඩච්චිටම අනන්‍ය වූ සුවිශේෂී ගද්‍ය රචනා ශෛලියෙනි. එසේම ඔහුගේ චරිත කතාව ලෙස පෙනී යන තරමටම චරිතාපදාන කෘතියක ස්වරූපය ගෙන ඇති ඒ කෘතිය නවකතාවක් ලෙස ලොව පුරා ඉංග්‍රීසි පාඨකයන් අතර ඉතා ජනප්‍රිය විය.

වර්ෂ 1943 දී ශ්‍රී ලංකාවේ උපත ලැබූ මයිකල් ඔන්ඩච්චි වර්ෂ 1954 දී එංගලන්තයට සංක්‍රමණය විය. එයින් පසුව වයස අවුරුදු 18 දී කැනඩාවට ගිය ඔහු එරට පුරවැසියකු බවට පත් විය. වසර පණහක කාලයක් පුරා විවිධ ලේඛන කාර්යයන්හි යෙදුණු ඔහු නවකතා, කෙටිකතා සහ කාව්‍ය නිර්මාණ රැසක් මෙන්ම මතක සටහන් කෘතියක්ද රචනා කළේය.

මයිකල් ඔන්ඩච්චි ලේඛන දිවිය ඇරැඹුවේ කවිියකු ලෙසය. සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘ද ඬේන්ටි මොන්ස්ටර්ස්’ (The Dainty Monsters) යන නමින් වර්ෂ 1967 දී පළ කළ ඔහු එයින් දශකයකට ආසන්න කාලයකට පසු, වර්ෂ 1976 දී සිය ප්‍රථම නවකතාව වූ ‘කමිං ත්රූ ස්ලෝටර්’ (Coming Through Slaughter) පළ කළේය. ඔහු ලියූ ‘ද ඉංග්ලිෂ් පේෂන්ට්’ (The English Patient) නවකතාව සඳහා වර්ෂ 1992 දී බුකර් ත්‍යාගය හිමි වූ අතර, ඒ කෘතිය ඇසුරින් සාර්ථක හොලිවුඞ් චිත්‍රපටයක් ද නිර්මාණය කෙරිණි. අතිශයින් ජනප්‍රිය වූ එවැනි නවකතා ඔස්සේ ප්‍රබන්ධ කෘති රචකයකු ලෙස වඩාත් ප්‍රකට වුවද, ඔහු නවකතාවලට වඩා වැඩියෙන් ලියා පළ කොට ඇත්තේ කාව්‍ය සංග්‍රහයන්ය. මේ බොහෝ නිර්මාණ සඳහා විවිධ සම්මාන සහ ඇගයීම් රැසකින් ද ඔහු පිදුම් ලබා ඇත.

එක් තනි රූපයකින් නවකතාවක් ගොඩනැගීමට බොහෝවිට උත්සාහ ගන්නා ප්‍රබන්ධ රචකයකු වන මයිකල් ඔන්ඩච්චි ප්‍රබන්ධ රචනය සැබැවින්ම සත්‍යය මත පදනම්ව පරිකල්පනය ඔස්සේ විහිදී වර්ධනය වන ක්‍රියාවලියක් යැයි විශ්වාස කරන්නෙකි. නවකතා රචනයේදී තමන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය පැහැදිලි කරමින් නවකතාවක් රචනා වන ආකාරය ඔහු විස්තර කර තිබුණේ මෙසේය:

“සාමාන්‍යයෙන් මම නවකතාවක් ලියන්න පටන් ගන්නෙ එක රූපයකින්. සමහර වෙලාවට ඒක ඇඳක ඉන්න ලෙඩෙක් හෙදියකට කතා කරන අවස්ථාවක්, එහෙමත් නැත්නම් සලාද කොළ කෑල්ලක් හප හපා කුඹුරු යායක් මැදින් යන පොඩි පිරිමි ළමයෙකුගේ රූපයක් වගේ ඉතාම සරල දෙයක් වෙන්න පුළුවන්. ඊළඟට කතාව ගලා යා යුතු කාල පරාසය ගැන අදහසක් හිතට එනවා.

ඒකයි මගේ හිතේ ඇඳුණු අර තනි රූපයයි එක්ක තමයි මම කතාව ලියන්න පටන්ගන්නෙ. ඒ අවස්ථාවේදි නවකතාවකට කියලා සැලසුම් කරපු මහා දැවැන්ත වස්තුබීජයක් හෝ කිසියම් විදිහක කතා සංකල්පයක් මා ළඟ නැහැ. අර තනි රූපය යතුරු හිලක් වගේ දෙයක් කියලා හිතාගෙන මම ඒ ඔස්සේ කිසියම් ආකාරයක ගවේෂණයක් කරනවා. ඒකෙන් තමයි කතාව ගොඩනැගෙන්නෙ.”

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවෙන් බැහැරව, කැනඩාවේ ජීවත් වෙමින් සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදෙන මේ ජාත්‍යන්තර ලේඛකයාගේ ඇතැම් නිර්මාණ සඳහා ශ්‍රී ලංකාව යොදාගත් අවස්ථා ද තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආශ්‍රිත ඔහුගේ නිර්මාණ හමු වන්නේ ඔහු රචනා කළ කාව්‍ය නිර්මාණ තුළය. පසුගිය වසර කිහිපය ඇතුළත කවියට වඩා නවකතාවට සමීප වූ තමන් අතින් ඉදිරි කාලයේදී වැඩි වශයෙන් කවි නිර්මාණ ද රචනා වනු ඇතැයි ඔහු පසුගියදා පවසා තිබිණි.

තමන් කවියට වඩා නවකතාවට වැඩි කැමැත්තක් දක්වන්නේ නවකතාවකදී නිර්මාණකරණය සඳහා විිශාල ඉඩ අවකාශයක් ලැබෙන නිසා යැයිද ඔහු පවසයි. නවකතා ප්‍රබන්ධකරණය යනු “ලොකු කාමරයක් හදනවා වෙනුවට ලොකු ගෙයක්ම හදනවා වගේ වැඩක්” යැයි ඔහු පවසයි.

[අජිත් නිශාන්ත]

මාතෘකා