තස්ලිමාගේ තහනම් වූ චරිතාපදානය ඉංග්‍රීසි බසින් එයි

 ඡායාරූපය:

තස්ලිමාගේ තහනම් වූ චරිතාපදානය ඉංග්‍රීසි බසින් එයි

බංග්ලාදේශ ලේඛිකා තස්ලිමා නස්රින් 2003 වසරේදී බෙංගාලි බසින් රචනා කළ ‘ද්විඛන්දිතෝ’ නමැති චරිතාපදාන කෘතිය මඟින් මුස්ලිම් ජනතාවගේ සිතුම්පැතුම්වලට හානියක් සිදු වන්නේ යැයි එය තහනම් කරනු ලැබ වසර ගණනාවකට පසු එහි ඉංග්‍රීසි පරිවර්තනයක් පසුගියදා ප්‍රකාශයට පත් වුණා. ඉන්දියාවේ පෙන්ගුයින් රැන්ඩම් හවුස් ප්‍රකාශන සමාගම විසින් ‘ස්ප්ලිට් :

එ ලයිෆ්’ (Split: A Life) නමින් පළ වී ඇති මේ කෘතිය මඟින් තස්ලිමාගේ අත්දැකීම් සහ වැඩ කටයුතු, ඇය වෛද්‍යවරියක ලෙස කළ සේවය, ඇය මූලධර්මවාදීන්ගේ ඉලක්කයක් බවට පත් වූ ආකාරය, ඇය රචනා කළ ‘ලැජ්ජා’ (Lajja) කෘතිය තහනමට ලක් වීම සහ ඇගේ පිටුවහල් ජීවිතය ඇතුළු විස්තර රැසක් අනාවරණය කෙරෙනවා.

 

ඇමරිකානු විද්‍යා ප්‍රබන්ධ රචක හාර්ලන් එලිසන් මෙලොවින් සමුගනී

සම්මානලාභී ඇමෙරිකානු විද්‍යා ප්‍රබන්ධ රචකයකු සහ විචාරකයකු ලෙස ජගත් කීර්තියට පත්ව සිටි ලේඛක හාර්ලන් එලිසන් පසුගියදා මෙලොවින් සමුගත්තා. මියයන විට 84 හැවිරිදි වියේ පසු වූ ඔහු කෙටිකතා, සිනමා හා රූපවාහිනී තිරපිටපත්, කෙටි නවකතා, විචාර සහ ශාස්ත්‍රීය ලිපි විශාල ප්‍රමාණයක් රචනා කර තිබෙනවා. ඔහු ලියූ කෙටිකතා අතර විශේෂයෙන් කැපීපෙනෙන නිර්මාණයක් ලෙස 1969 වසරේදී පළ වූ ‘ඒ බෝයි ඇන්ඞ් හිස් ඩෝග්’ (A Boy and His Dog) නමැති කෙටිකතාව පසුව සිනමා කෘතියක් ලෙසත් නිර්මාණය වුණා. ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ ‘ස්ටාර් ටේ‍රෙක්’ (Star Trek) රූපවාහිනී මාලා නාටක පෙළේ ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ‘ද සිටි ඔන් දි එජ් ඔෆ් ෆෝඑවර්’ (The City on the Edge of Forever) නමැති කථාංගයේ රචකයාද වූ ඔහු විද්‍යා ප්‍රබන්ධ සඟරා කිහිපයක සංස්කාරකවරයා ලෙසද කටයුතු කළා.

 

‘ද රීඩර්’ රචකයාගේ අලුත්ම නවකතාව පළ වෙයි

ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක් වෙමින් සිනමාපටයකට පවා නැගුණු ‘ද රීඩර්’ (The Reader) කෘතියේ රචකයා වන ජර්මන් ලේඛක බර්නහාඞ් ෂ්ලින්ක් රචනා කළ අලුත්ම නවකතාව ‘ඔල්ගා’ (Olga) යන නමින් මේ වන විට ප්‍රකාශයට පත්ව තිබෙනවා. වැඩිහිටි කාන්තාවක හා තරුණයකු අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාවක් ඔස්සේ ජර්මනියේ ඉතිහාසය ඉදිරිපත් කෙරෙන අයුරින් රචනා කර ඇති මේ නවකතාවත් මෙයට වසර 22කට පෙර පළ වූ ‘ද රීඩර්’ නවකතාවේ කතා පුවතත් අතර කිසියම් සමීපත්වයක් උසුලන බව දැකිය හැකියි. විවිධ භාෂා 50කට පමණ පරිවර්ත්නය වූ ‘ද රීඩර්’ නවකතාවේ කතා නායිකාව වූ හැනා ෂ්මිට්ස් නමැති වැඩිහිටි කාන්තාව ඇයට වඩා බෙහෙවින් වයසින් අඩු තරුණයකු හා ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගන්නා අයුරින්ම ‘ඔල්ගා’ නවකතාවේ කතා නායිකාවද තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගන්නවා. එකිනෙකට බොහෝ වෙනස් වයස් පරාසයන් දෙකක් නියෝජනය කරන මෙවැනි චරිත ඔස්සේ සිය කෘතියට පාදක කරගන්නා ඉතිහාස තොරතුරු වඩාත් රසවත්ව සහ විශ්වාසදායී අයුරින් ඉදිරිපත් කිරීමට ෂ්ලින්ක් සමත්ව තිබෙනවා.

2018 වසර සඳහා විකල්ප නොබෙල් සාහිත්‍ය ත්‍යාගයක්

ස්විඩිෂ් ඇකඩමිය විසින් මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය අවලංගු කිරීමෙන් පසුව ස්වීඩනයේ සාහිත්‍ය කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ ප්‍රබලයින් පිරිසක් එක්ව පිහිටුවා ගත් නව ඇකඩමියකින් මේ වසරේ ඔක්තෝබර් මාසයේදී විකල්ප නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමමට කටයුතු සැලසුම් කරමින් සිටින බව වාර්තා වෙනවා. නොබෙල් ත්‍යාග කමිටුවේ සාමාජිකවක වූ කැටරිනා ෆොස්ටෙන්සන් නමැති ලේඛිකාවගේ සැමියා වන ජීන්-ක්ලෝඞ් ආර්නෝල්ට් වෙත ලිංගික අපචාර චෝදනා එල්ල වීම මුල් කරගනිමින් ඇති වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙවර නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමීම කළ නොහැකි බව ප්‍රකාශයට පත්වීමත් සමඟම එයට විරෝධය පෑම සඳහා මෙවැනි විකල්ප නොබෙල් ත්‍යාගයක් පිරිනැමීමට නව ඇකඩමිය තීරණය කර තිබෙනවා. ස්වීඩනයේ ලේඛක ලේඛිකාවන්, විචාරකයින් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහයෝගය පළ කර තිබෙන බව සඳහන්.

මාතෘකා