මගේ සිත් ගත්තේ දොස්තොයෙව්ස්කිගේ ‘කරමසෝ සහෝදරයෝ’ යි නාමෙල් වීරමුණි

 ඡායාරූපය:

මගේ සිත් ගත්තේ දොස්තොයෙව්ස්කිගේ ‘කරමසෝ සහෝදරයෝ’ යි නාමෙල් වීරමුණි

මා මෙතෙක් කියවූ පොත් අතරින් මගේ සිත්ගත්ම පොත දොස්තොයෙව්ස්කිගේ ‘කරමසෝ සහෝදරයෝ’ යි. වයස අවුරුදු හතේ ඉඳලම මම පොත් කියවනවා. මම මුලින්ම කියවූ පොත තමයි ඩබ්ලිව්.ඒ. සිල්වාගේ ‘ශ්‍රියාලතා හෙවත් නොනැසෙන රැජිණ’. එය මගේ තාත්තාගේ පොත් පෙට්ටියේ තිබුණු පොතක්. ක්‍රමයෙන් වයසින් වැඩෙනකොට මගේ පොත් කියවීමේ රුචිය වර්ධනය වුණා. නාලන්දා විදුහලේ පුස්තකාලය ඒ සඳහා මට තවත් අනුබලයක් වුණා.

මුලින්ම මට ‘කරමසෝ සහෝදරයෝ’ කියවන්න ලැබුණේ පාසලේ විශ්වවිද්‍යාල ප්‍රවේශ පංතියේ ඉගෙනගන්නා විටයි. ඒ 1956 දී. ඉන් පසුව එය මම හතර පස් වතාවක් කියවලා තියෙනවා. අන්තිමටම කියෙවුවේ දැනට වසරකට පමණ පෙරයි. අැත්තටම පාසල් අවධියේ සිටම මට රුසියානු නිර්මාණ රසවිඳීමේ පුරුද්ද තිබුණා. රුසියානු නවකතාකරුවන් වූ පියදෝර් දොස්තොයෙව්ස්කි, ඇන්ටන් චෙකෝෆ්, ලියෝ තෝල්ස්ටෝයි ආදීන්ගේ නිර්මාණ රසවිඳීමට මම හරිම කැමතියි.

‘කරමසෝ සහෝදරයෝ’ නවකතාවට මා වඩා කැමති වුණේ එහි පවතින නාට්‍යානුසාරී බව නිසයි. ජීවිතයේ සංකීර්ණත්වය මනාව විශද කරන නවකතාවක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. මෙහිදී පියාත් පුතාත් අතර දක්නට ලැබෙන ගැටුම මනාව ප්‍රකාශ කිරීමට දොස්තොයෙව්ස්කිට හැකි වෙනවා. පිය පුතු සබඳතාව තුළ අනුවේදනීය ස්වරූපයත් ඉන් විග්‍රහ කෙරෙනවා.

කරමසෝ සහෝදරයන්ගේ පියා කාමභෝගී ජීවිතයට ප්‍රමුඛත්වය දෙන කෙනෙක්. ඔහු විවාහ දෙකක් කරගත් අයෙක්. ඔහු තමන්ගේ පළමු විවාහයේ පුතාව තබාගන්නේ ගෙදර මෙහෙකරුවකු ලෙසයි. ඔහු ඒ පුතාට කිසිම ආදරයක්, කරුණාවක් දක්වන්නේ නැහැ. ඔහුට දෙවන විවාහයෙන් පුතුන් තිදෙනෙක් ඉන්නවා. පළමු පුතා පියා වගේම සල්ලාල සහ මුදල් පසුපස හඹායන පුද්ගලයෙක්. දෙවන පුතා පූජකවරයෙක්. තුන්වන පුතා නීතිගරුකව ජීවත් වීමට උත්සාහ දරන සත්‍යවාදී පුද්ගලයෙක්.

කතාවට අනුව පියා තරුණියන් දෙදෙනෙකු පසුපස යනවා. නවකතාවේ ප්‍රධාන චරිතය ඒ තරුණියන් දෙදෙනාගෙන් කෙනෙක්. පියා ඒ තරුණිය තමන්ගේ අනියම් බිරිය වශයෙන් තබාගන්නවා. ඒවගේම අර දෙවැනි විවාහයේ වැඩිමහල් පුතාත් ඇය අනියම් භාර්යාව විධියට තබා ගන්නවා. ඒ පුතාට තාත්තාගේ බූදලයත් අවශ්‍ය වෙනවා. මොවුන්ගේ සියලු සිදුවීම් නවකතාව තුළ නාට්‍යානුසාරීව ඉදිරිපත් කිරීමට දොස්තොයෙව්ස්කි සමත් වෙනවා.

අවසානයේ මේ කරමසෝ සහෝදරයන්ගේ පියා මරණයට පත් වන්නේ ඔහු මෙහෙකරුවකු ලෙස තබාගන්නා පුතා අතින්. මුදල් තණ්හාව නිසා ඔහු සිය පියා මරණයට පත් කරනවා. එ්ත් ඔහුගේ මරණයට වරදකරු වෙන්නේ ඔහුගේ වැඩිමහල් පුතායි. වැඩිමහල් පුතා තරුණියන් පසුපස යන අයෙකු නිසා මෙසේ වරදට හසුවීමේ ඉඩකඩ ඇති වෙනවා.

සමස්තයක් වශයෙන් විමසා බැලුවාම මින් ගම්‍ය වන්නේ පවුල් සංස්ථාවේ බිඳ වැටීම, ජිවිතයේ අමානුෂික බව අතරින් මානුෂිකත්වය දෙස බැලීම ආදියයි. මේ හේතුන් නිසා ‘කරමසෝ සහෝදරයෝ’ මගේ කැමතිම නවකතාව වෙනවා.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා