දවසකට මෙච්චර ලියන්න ඕන කියල මම ලියන්නෙ නෑ

 ඡායාරූපය:

දවසකට මෙච්චර ලියන්න ඕන කියල මම ලියන්නෙ නෑ

නයිජීරියානු ලේඛක චිනුවා අචිබෙ Chinua Achebe

ලියන හැටි මට කවුරුවත් කියාදෙන්න ඕන නෑ

මම කවදාවත් සාහිත්‍යකරණය උගන්වා නෑ. මොකද මං ඒක උගන්වන හැටි දන්නෙ නෑ. මම ඇත්තටම එය උගන්වන හැටි දන්නෙ නෑ. ඒ ගැන මට කියන්න පු`එවන් එකම දේ ඒ ඉගැන්වීම ලේඛකයින්ට කරන්න වැඩ පවරනවා කියලයි. සිනාවෙන්න එපා! ඒකත් හරි වැදගත්. මං හිතන්නෙ ජීවත් වෙන්න මොනවා හරි කළ යුතු ලේඛකයින්ට, විශේෂයෙන් මේ අසාමාන්‍ය කාල වකවානුවේ ඒක හරි වටිනවා. අද හුඟක් ලේඛකයින්ට ජීවත් වෙන්න මඟක් නෑ. ඉතින් ලියන හැටි උගන්වන්න පුළුවන් වීම ඔවුන්ට වටිනවා. ඒත් මං දන්නෙ නෑ ඒක ශිෂ්‍යයින්ට කොච්චර වටිනවාද කියල. මං කියන්නෙ නෑ ඒක ඔවුන්ට ප්‍රයෝජනයක් නෑ කියල. ඒත් මට නම් කවුරුවත් ලියන හැටි උගන්වන්න ඕන නෑ. ඒ, මං කැමැති විධියයි. මං කැමතියි ලිවීම එක්ක තනියම ගැටෙන්න. මං කැමතියි කවුරුවත් මට “මෙන්න මෙහෙමයි ලියන්නෙ” කියල කියාදෙන්නෙ නැතිව මමම හැම දෙයක්ම අත්හදාබලන්න. මෙහිදී නම අඥාතව තබන අද බොහොම පිළිගත් ලේඛකයකු ගැන මං කැමති කතාවක් තියෙනවා. ඔහුගේ බාල කාලයේ ඔහුට සාහිත්‍යකරණය ගැන උගන්වා තියෙනවා. ඔහුට ඉගැන්වූ මහලු පුද්ගලයා දවසක් ඔහු ගැන මතක් කරමින් කියල තියෙන්නෙ මෙහෙම: “ඔහුගේ නිර්මාණ කොච්චර හොඳ වුණාද කිව්වොත් මම ඔහුට ‘නවත්වන්න එපා! දිගටම ලියන්න’ කියල කිව්වා මතකයි. ඒත් දැන් මං හිතනවා මම ඔහුට එහෙම නොකිව්වා නම් හොඳයි කියල.” ඉතින් මම දන්නෙ නෑ. මම සාහිත්‍යය උගන්වනවා. එහෙම ඉගැන්වීම මට පහසු දෙයක්. වෙන කෙනෙකුගේ කෘතියක් අරගෙන කථා කරන එක හරි පහසුයි.

බැරෑරුම් කලාව චෝදනාමුඛ නැහැ

ලේඛකයා සමාජ ගැටලුවලට කොච්චර මැදිහත් විය යුතුද? මම කාටවත් නීති පනවන්නෙ නෑ. ඒත් මං හිතනවා ලේඛකයො ලේඛකයින් විතරක් නෙවෙයි, පුරවැසියනුත් වෙනවා කියල. ඔවුන් සාමාන්‍යයෙන් වැඩිහිටියන්. මගේ ආස්ථානය වෙන්නෙ බැරෑරුම් සහ උසස් කලාව හැම විටම මිනිසාට උදව් කරන්න, සේවය කරන්න පැවතිය යුතුයි කියල. එය කාටවත් චෝදනා කරන්න නෙවෙයි පැවතිය යුත්තේ. කලාවේ අරමුණ මිනිසා නොසන්සුන් කිරීම නම් එයට කලාව කියන්නෙ කොහොමද කියල මට හිතාගන්න භෑ. මිනිසා අපහසුතාවට පත් කිරීම කලාවේ අරමුණ නම් එයට කලාව කියන්නෙ කොහොමද? ස්වභාවයෙන්ම මිනිසාට එරෙහිව යෑම මට කරන්න බෑ. ඒ නිසා තමයි වර්ගවාදය, ජාතිවාදය පවත්වාගෙන යන්න බෑ කියල මම හිතන්නෙ. මොකද එය මනුෂ්‍යත්වයට එරෙහි දෙයක්. සමහරු හිතනවා මම කියන්නෙ අපි අපේ මිනිසුන් (අපේ ජාතිය) වර්ණනා කළ යුතුයි කියල. දෙයියනේ! ගිහින් මගේ පොත් කියවන්න. මම අපේ ජාතිය උස්සන්නෙ නෑ. මම ඔවුන්ගේ ලොකුම විවේචකයායි. සමහර කට්ටිය හිතනවා මගේ The Trouble with Nigeria (“නයිජීරියා අර්බුදය”) පුස්තිකාවෙන් මම ඕනවට වඩා විවේචනය කරනවා කියල. මගේ ලිවීම් නිසා ඇත්ත වශයෙන් මම නැති ප්‍රශ්නවලත් පැටලිලා තියෙනවා. මං කියන්නෙ කලාව තිබිය යුත්තේ මනුෂ්‍යත්වය පැත්තෙයි කියල. ඉතියෝපියාවට ගිහින් හැම ලෙඩක්ම බෝ කරගෙන ආපහු ආපු ප්‍රංශ ජාතිකයකු වූ රිම්බවුඞ් ගැන කියල තියෙන්නෙ මං හිතන්නෙ යෙව්ටුෂෙන්කෝයි. කවියකුට වහල් වෙළෙන්දෙකු වෙන්න බෑ කියලයි යෙව්ටුෂෙන්කෝ රිම්බවුඞ් ගැන කිව්වෙ. රිම්බවුඞ් වහල් වෙළෙන්දෙකු වුණාම ඔහු කවි ලිවීම නැවැත්තුවා. කවිය සහ වහල් වෙළෙඳාම එකට යන්නෙ නෑ. මම ඉන්නෙ එතැනයි.

අදහසක් චරිතයක් එක්ක සම්බන්ධ වූ ගමන් ස්ටාර්ට් කළ එංජිමක් වගේ වෙනවා

කතාවක මුලින්ම එන්නේ කතාව ගැන අදහසද? නිශ්චිත අවස්ථාවක්ද? කතා වස්තුවද? චරිතයක්ද? හැම පොතකටම එය එකක් වෙන්නෙ නෑ. සාමාන්‍යයෙන් මං හිතන්නෙ කතාව ගැන අදහසයි (General idea) මුලින් එන්නෙ කියල. ඉන් පසු ඒ එක්කම ප්‍රධාන චරිත එනවා. අද අපි ජීවත් වෙන්නෙ අදහස් සාගරයකයි. ඒත් නවකතාව ඒක නෙවෙයි. මොකද ඕන තරම් අදහස් තියෙනවා. ඒත් කිසියම් අදහසක් චරිතයක් එක්ක සම්බන්ධ වූ ගමන් එය ස්ටාර්ට් කළ ඇන්ජිමක් වගේ වෙනවා. එවිට ඔබට ලියන්න නවකතාවක් ඇවිත්. Arrow of God (“දෙව් හීසරය”) හි එන එසවුළු වැනි පැහැදිලි සහ මර්දනකාරී චරිත තියෙන නවකතාවලදි එය විශේෂයෙන් එහෙමයි සිද්ධ වෙන්නෙ. ප්‍රතාපවත් පෞරුෂ නැති චරිත තියෙන A Man of the People (“ජන පුරිසෙක්”), වඩා නිවැරදිව කීවොත් No Longer at Ease (“නොහැක ඉන්නට පහසුවෙන්”) වැනි නවකතාවලදි මං හිතන්නෙ කතාවේ අදහස කතාව ආරම්භක අවස්ථාවේ ප්‍රබල භූමිකාවක් ඉටු කරනවා. ඒත් ඒ ආරම්භක අවස්ථාව පහු කළාට පස්සෙ කතාවේ අදහසත්, චරිතයත් අතර වෙනස නැතිව යනවා. දෙකම එක වගේ ක්‍රියා කරනවා.

කතාව ආරම්භ වුණාම මම කතා වස්තුව හෝ තේමා ගැන හිතන්නෙ නෑ

ලියාගෙන යද්දි මම කතා වස්තුව ගැන හිතනවාද? කතාව වැඩෙන්නේ චරිතයකින්ද? නැත්නම් කතාවේ අදහසින්ද? නවකතාවක් ආරම්භ වුණාට පස්සෙ මං දන්නවා එය ස්වාධීන වෙනවා කියල. එතකොට මම කතා වස්තුව ගැන හෝ තේමා ගැන හෝ කරදර වෙන්නෙ නෑ. ඒවා බොහෝ විට ඉබේම කතාවට එනවා. මොකද දැන් කතාව ගෙනියන්නේ චරිත විසිනුයි. එක් අවස්ථාවක, ඔබ හිතන තරමට ඔබට කතාවේ සිදුවීම් පාලනය කරන්න බෑ කියල පෙනේවි. කතාව අසම්පූර්ණ වන, එහෙම නැත්නම් අසම්පූර්ණ ලෙස පෙනෙන දේවල් තියේවි. ඒවා ඉදිරිපත් වෙන්නෙ බොහෝ විට ඉබේටම වගේ. ඒත් ඒවා ඉදිරිපත් නොවුණොත් ඔබ අවුලකට වැටෙනවා. නවකතාව නවතිනවා.

ලිවීම කියන්නෙ කිසියම් කාලයකට බන්ධනාගාරගත වීම වගේ දෙයක්

ලිවීම අවංකවම කියනවා නම් අමාරු දෙයක්. ඒත් අමාරුයි කියන වචනයෙන් මම අදහස් කරන දේ ප්‍රකාශ වෙන්නෙ නෑ. ඒක හරියට මල්ලවපොර තරගයක් වගේ. ඔබ මල්ලවපොර තරග වදින්නේ අදහස් හා කතාව එක්කයි. එහිදී විශාල ශක්තියක් ඕන වෙනවා. ඒත් එක්කම එය හරි ආසා හිතෙන දෙයක්. ඉතින් ලිවීම අමාරු වගේම පහසුයි. මෙහිදී ඔබ පිළිගත යුතු දේ තමයි ලියන කාලය පුරා ඔබේ ජීවිතය එක විධියට පවතින්නේ නෑ කියන එක. ලේඛකයින් හා අනාගතය දකින්නන් සතු අතිශයෝක්තිමය ආකාරයකින් මම කියලා තියෙනවා මට ලිවීම කියන්නෙ කිසියම් කාලයකට බන්ධනාගාරගත වීම වගේ දෙයක් කියල - ඇත්තටම ලිවීමට කොච්චර කාලයක් ගියත් ඒ කාලයේ කෙනෙක් ඉන්නෙ එවැනි තැනකයි. (සිරගත වීමකයි.) ඉතින් එය සතුට ගෙන දෙන සහ දුෂ්කර ක්‍රියාවක්.

මගේ ලිවීමේ ශික්ෂණය වෙන්නෙ හුඟක් ලිව්වත්, හුඟක් නොලිව්වත් ලිවීමයි

මට ලියන්න කැමති වෙලාවක් හෝ තැනක් තියෙනවාද? ඒ කිව්වෙ දවසේ නිශ්චිත වෙලාවක්? නැත්නම් ගෙදර හෝ කාර්යාලයේ තැනක්? නයිජීරියාවේ මගේ ගෙදර ඉඳිද්දි මගෙන් හොඳට ලියවෙනවා මට දැනිලා තියෙනවා. ඒත් මම අනෙක් තැන්වලත් ලියන්න පුරුදු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මං ලියන දේට සම්බන්ධ පරිසරයක ලියද්දි මට ලියන්න ලොකු පහසුවක් දැනෙනවා. (එනම් ගැමි පරිසරයක් ගැන කතාවක් ගැමි පරිසරයේම සිට ලියද්දි පහසුවක් දැනෙනවා.) දවසේ කුමන වෙලාවක ලියනවාද කියන එක මට ප්‍රශ්නයක් නෑ. මම පාන්දර නැඟිටින කෙනෙක් නෙවෙයි. මං ඇඳෙන් බහින්න අකමැතියි. ඒ නිසා සමහරු පාන්දර පහට ලියනවා කියල මං අහලා තිබුණත් මම එච්චර උදෙන් ලියන්න ගන්නෙ නෑ. මම ලියන්නෙ මගේ දවසේ කටයුතු ආරම්භ වුණාමයි. ඒවගේම හුඟක් රෑ වෙනකන් මට ලියන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් දවසකට මෙච්චර වචන ගාණක් ලියන්න ඕන කියල මම ලියන්නෙ නෑ. මගේ ලිවීමේ ශික්ෂණය වෙන්නෙ හුඟක් ලිව්වත්, හුඟක් නොලිව්වත් ලිවීමයි. මොකද හුඟක් ලියූ දවසින් කියවෙන්නෙ නෑ මගෙන් හොඳම දේ ලියවුණේ එදායි කියල. ඒ නිසා කළ යුත්තේ ලියන දේ කොච්චරද කියල නොසිතා - තමන්ට ඕනවට වඩා දැඩි කාල රාමු පනවා නොගෙන - පුඑවන් තරම් නිතිපතා ලිවීමයි. මගේ ලිවීමේ ක්‍රමය ඒකයි.

මම ලියන්නෙ පෑනෙන්

මම හුඟක් ප්‍රාථමික ලේඛකයෙක්. මම ලියන්නෙ පෑනෙන්. කඩදාසියේ පෑනෙන් ලියන එකයි මගේ හොඳම ලිවීමේ ක්‍රමය. යන්ත්‍ර එක්ක වැඩ කරන එක මට එච්චර පහසු නෑ. හොඳට ටයිප් කරන්න මම කවදාවත් පුරුදු වෙලා නෑ. ටයිප් රයිටරයක මම මොනවා හරි ලියද්දි මට දැනෙන්නෙ මාත්, වචනත් අතරට මේ යන්ත්‍රය ඇවිල්ලා වගෙයි. එතකොට මගෙන් එළියට එන්නෙ මම පෑනෙන් ලියද්දි එළියට එන දේ නෙවෙයි. එක හේතුවක් ටයිප් රයිටරයෙන් වැරදි වෙනවාට මම කැමති නෑ. වැරදි තියෙන පිටපත් බලන්න මම කැමති නෑ. මම කැමති වැරදි කිසිවක් නැති නිවැරදි අත්පිටපත් කියවන්නයි. අනෙක ටයිප් රයිටරයේදි මම සමහර වෙලාවට මට ඕන නොකරන, වැරදි වැකි කොටස් ලියනවා. ඒ, අත්පිටපතේ ඇති දේ වෙනස් කරලා ටයිප් කරන්න ගියාම එය මගේ අතින් එකම අවුලකට ලියැවෙන නිසයි. එහෙම බැලුවාම මම පූර්ව කාර්මික යුගයේ මිනිසෙක්.

කතාවක් කියන්නෙ පණිවුඩය විතරක් නෙවෙයි

සෞන්දර්යවාදී වීම සහ දේශපාලන අරමුණකින් ලිවීම අතර මම කිසි ගැටුමක් දකින්නෙ නෑ. මට හොඳටම පැහැදිලි දෙයක් තමයි වැදගත් කතාවක් අපට යම් වටිනාකමින් යුත් දෙයක් නොකියා ඉන්නෙ නෑ කියන එක. ඒත් එක්කම මම දන්නවා ඒ වැදගත් පණිවුඩය නවකතාව නෙවෙයි කියලත්. අපි අපේ අසල්වාසීන්ට කාරුණික විය යුතුයි කීම වැදගත් පණිවුඩයක්. ඒත් ඒක නවකතාවක් නෙවෙයි. වැදගත් කතාවක වෙනසක් තියෙනවා. එය පණිවුඩය විතරක් නෙවෙයි, එය පණිවුඩය කියන ආකාරයත් වෙනවා. වචන පෙළගස්වන ආකාරයත් වෙනවා. භාෂා භාවිතයේ අපූර්වත්වයත් වෙනවා. ඒ අනුව එය, දේශපාලන හෝ ආර්ථික හෝ වෙන කවර හෝ අරමුණක් වෙනුවෙන් ඔබේ කැපවීමත්, කලාකරුවකු ලෙස ඔබේ නිර්මාණාත්මක කුසලතාවත් අතර සමබරතාව වෙනවා.

කට බසේ ශක්තිය ලිඛිත කතාවට ගෙන ඒම වැදගත්

කතාවක් කීම සහ කතාවක් ලිවීම අතර වෙනසක් තිබෙනවාද? ඔව්. තිබිය යුතුයි. මට මතකයි අපේ ළමයි පුංචි කාලෙ රෑට නිදාගන්න යද්දි අපි ඔවුන්ට කතාන්දර කියනවා. එහිදී ඉඳහිට මම ඔවුන්ට කියනවා “මට ඔයගොල්ලන්ට කතාවක් කියන්න තියෙනවා” කියල. එතකොට ඔවුන්ගේ ඇස් ආලෝකමත් වන විධිය බැලුවාම එය, ලියූ කතාවක් කෙනෙකු කියවනවා අසද්දි ඔවුන් දක්වන ප්‍රතිචාරයට වඩා වෙනස්. ඔවුන් කියවන කතාවට වඩා අසන කතාවට කැමති බවට කිසි සැකයක් නෑ. අද අපි ජීවත් වෙන්නේ සමාජය කට වහරින් ලිඛිත වහරට පරිවර්තනය වන යුගයකයි. මුලින් තිබූ අලංකාරයෙන්ම නොතිබුණත් තවමත් ලිඛිත කතාවෙන් ප්‍රබල ලෙස වෙනස් වූ කට වහරේ කතාන්දර අපට තියෙනවා. මේ හැම කතාන්දර විධියකම ඊට අනන්‍ය රටාවක්, ක්‍රමයක්, රීතියක් තියෙන බව ඇත්ත. ඒත් ඒවාට පු`එවන් ඒ එක් එක් කතා විධිය පෝෂණය කරලා ශක්තිමත් කරන්න. මේක තමයි මගේ පරම්පරාවට ලැබුණු වාසිය - අපට කට වචනයෙන් කියන කතාවේ ශක්තියෙන් යමක් ලිඛිත කතාවට ගේන්න පු`එවන් වුණා. ඇත්ත වශයෙන් අපේ සාහිත්‍යය තත් කාලීන සාහිත්‍යයට දැක්වූ දායකත්වයන්ගෙන් එකක් තමයි මේ.

ලියද්දි මට ඕන කරන්නෙ මාව සතුටු කරන්නයි

ලියද්දි මගේ හිතේ නයිජීරියානු පාඨකයාත්, ඉග්බෝ පාඨකයාත්, ඇමෙරිකානු පාඨකයාත් යන හැම දෙනාම ඉන්නවා. මං කේන්ද්‍රයේ ඉඳගෙන ඉන් ඈතට විහිදෙන වෘත්තවලින් මගේ අදහස කියන්නයි මම උත්සාහ ගන්නෙ. එහිදී ඒ වෘත්තවල ඉන්නේ මගේ කතාව අසන පාඨකයායි. එහි මට ළඟම වෘත්තය වෙන්නෙ ඉග්බෝ භූමියේ මගේ ගෙදරට සමීප පාඨකයායි. මොකද මම පාවිච්චි කරන අමුද්‍රව්‍ය ඔවුන්ගේ අමුද්‍රව්‍යයි. ඒත් මම ඉග්බෝ භාෂාවෙන් ලියන්නෙ නැත්නම් මම පාවිච්චි කරන්නෙ වෙන තැනක භාෂාවකුයි. ඒ කියන්නෙ ඉංග්‍රීසි භාෂාවයි. ඒ වෙනත් බස මං කතාව ලියන විලාසයට බලපානවා. එය මම ලියන කෙටිකතාවලටත් යම් ආකාරයකට බලපානවා. ඒ අනුව එහි කිසියම් විරුද්ධාභාසයක් තියෙනවා කියන්න පුළුවන්. ඒත් ලියද්දි, නිරන්තරව පළල් වන වෘත්ත විශාල සංඛ්‍යාවක් විසුරුවන්න පුළුවන් නම්, ඩබ්ලිව්. බී. යේට්ස් කියන කේතුද ඇතුළත් සියලු ආකාර වෘත්ත විසුරුවන්න පුළුවන් නම් මේ ප්‍රශ්නය විසඳෙනවා. ඒ කියන්නෙ මේ පරිපථයට හැකි තරම් පාඨකයා ඇතුළත් වෙද්දි ඔවුන්ට කතාවේ වෙනස් වෙනස් අරුත් තල ග්‍රහණය කරගන්න පු`එවන්. ඔවුන් එහිදී ග්‍රහණය කරගන්නා අරුත් තල තීරණය වෙන්නේ ඔවුන් දැනටමත් දන්නා හෝ අනුමාන කරන දේ අනුවයි. ඇත්ත වශයෙන් මේ වෘත්තවලට අවසානයේ මුළු ලෝකයේම පාඨකයා ඇතුළත් වන පරිදි අවිනිශ්චිත අයුරින් ඈතට යන්න පුළුවන්. මගේ කෘති වඩා වඩා ප්‍රසිද්ධ වෙද්දි (ලෝකය පුරා පළ වෙද්දි) මේ කියන දේ මට වඩා හොඳින් අවබෝධ වෙලා තියෙනවා. දැන් මේ නිශ්චිත මොහොතේ මං වැඩියෙන්ම අසන ප්‍රවෘත්තිය මගේ පොත්වල පරිවර්තන ගැනයි. විශේෂයෙන් Things Fall Apart (“කඩාවැටීම”) හි පරිවර්තනය ගැනයි. එය ඉන්දුනීසියානු බසට පරිවර්තනය වෙලා තියෙනවා. තායිලන්ත බසට පරිවර්තනය වෙලා තියෙනවා. කොරියානු බසට පරිවර්තනය වෙලා තියෙනවා. ජපන් බසට පරිවර්තනය වෙලා තියෙනවා. චීන බසට පරිවර්තනය වෙලා තියෙනවා. තව නොයෙක් භාෂාවලට පරිවර්තනය වෙලා තියෙනවා. හොඳ වෙලාවට කෙනෙක් ලියද්දි ඒ සියලු පාඨකයින් ගැන හිතන්නෙ නෑ. අඩු තරමින් මම හිතන්නෙ නෑ. මං ලියද්දි මට ඕන කරන්නෙ මාව සතුටු කරන්නයි. මට කතාවක් කියන්නෙ මං එය ලියන, ඒ එක්ක අරගල කරන සහ මට හොඳටම ලියන්න ඕන කරන දෙයක් යන්නයි. ලියද්දි මං අරගල කරන්නෙ එවැනි දෙයක් ලියන්නයි. එහිදී කවුද ඒක කියවන්නෙ කියන සිතුවිල්ල සමහර විට මගේ හිතේ කොනක ඇති - එහෙම සිතුවිල්ලක් නෑ කියල මම කියන්නෙ නෑ. මොකද එහෙම එකක් නෑ කියල මං හරියටම දන්නෙ නෑ. ඒත් ලියද්දි මං හිතන්නෙ මගේ පාඨකයා කවුද කියල නෙවෙයි. සමහරු මං ගැන කියනවා “ඇයි එයා මෙච්චර නයිජීරියානු - ඉංග්‍රීසි වචන මේවාට දාලා තියෙන්නෙ?” කියල. සමහර විචාරකයින් ඒක කියන්නෙ තරහෙන්. මට හිතෙනවා ඔවුන්ට කියන්න: “නුඹලා අපායට ගියාවේ! ඒ විධියට තමයි මට කතාව ආවේ. නුඹලාට කතාව කියවන්න කිසි උත්සාහයක් දරන්න ඕන නැත්නම්, යුරෝපය සහ සෙසු ලෝකය අවබෝධ කරගන්න අපේ මිනිස්සු දැරූ විධියේ උත්සාහයක් දරන්න ඕන නැත්නම්, ඒ පුංචි පියවරවත් තියන්න ඕන නැත්නම් කමක් නෑ, ඒක අතහැරපල්ලා!” කියල.

මගේ සුදුවල වගේම කළු චරිතවලත් මගේ හැඟීම් තියෙනවා

ඇත්ත වශයෙන් මගේ සියලු චරිතවල හැඟීම් එක්ක, සුදු වගේම කළු චරිතවලත් හැඟීම් එක්ක මගේ හැඟීම් යනවා. ඒ චරිත අව්‍යාජ කිරීම සඳහා මට ඒ දේ කරන්න සිදු වෙනවා. ඔවුන් කරන දේ මං අනුමත කරන්නෙ නැති වුණත් මම ඔවුන් අවබෝධ කරගත යුතුයි. සියයට සියයක් නෙවෙයි - සම්පූර්ණයෙන් අවබෝධ කරන්න බෑ. චරිත සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීම ඇත්තටම කරන්න බැරි දෙයක්. චරිතයක ඔබ නියෝජනය නොකරන තැන් තියෙනවා. ඒත් ඇතැම් වෙලාවට - බියටි්‍රස් වැනි - චරිතවල මං හිතන්නෙ මගේම ගතිලක්ෂණ සහ මගේම විශ්වාස, බලපොරොත්තු, අපේක්ෂා තියෙනවා.

හොඳ ලේඛකයකුට කියන්න තියෙන්නෙ මහන්සි වෙන්න කියා විතරයි

අංකුර කතාකරුවකුට ඕන කරන්නෙ දිරිගැන්වීමක්. ඒ නිසා ඔවුන් මාව (මගේ උපදෙස්) සොයාගෙන ඒම තේරුම්ගන්න පුළුවන්. ඒත් මම හිතනවා දිගටම මහන්සි වෙන්න කියනවා හැරෙන්න හොඳ ලේඛකයකුට කියන්න දෙයක් නෑ කියල. ඔබ ලියන්න ගත් දේට පමණක් අවධානය යොමු කරන්න. පුළුවන් තරම් එය හොඳට ලියන්න. පුළුවන් තරම් හොඳට ලිව්වාට පස්සෙ ඔබට පුළුවන් එය වෙන අයට පෙන්වන්න. ඒත් තරුණ පරම්පරාවට මේ දේ හරියන්නෙ නෑ කියල මට දැනෙනවා. ඔවුන් කරන්නෙ පළවෙනි පිටපත ලියලා තමන්ට හොඳ උපදෙසකුත් ලැබීමේ බලාපෙරොත්තුවෙන් ඉතිරිය සම්පූර්ණ කරන්න කාටහරි බාර දෙන එක. ඉතින් මම මේවායෙන් ඈත් වෙලායි ලියන්නෙ. මම කියන්නෙ දිගටම මහන්සි වෙන්න කියලයි. මම හැදී වැඩුණෙ මට උපදෙස් දෙන්න පුළුවන් කෙනෙක් නැහැ, ඔබට හැකි දේ ඔබ කරන්න. යම් හෙයකින් ලියූ දේ හොඳ නැත්නම් ඒක දවසක ඔබටම තේරේවි කියල අවබෝධ කරගෙන. ඒවගේම “ඔයාට ලියන්න බෑ” කියල කාටවත් කියන ජාතියෙ කෙනෙක් වෙන්නත් මට ඕන නෑ. ඒත් අත්පිටපත් අරගෙන මාව හම්බවෙන්න එන හුඟ දෙනෙකුට හොඳට ලියන්න බෑ කියල මම දන්නවා. “ඔයාට ලියන්න බෑ”, එහෙම නැත්නම් “ඔයා ලියන්න හොඳ නෑ” කියල කවදාවත් තරුණයකුට කියන්න එපා. සමහරුන්ට එහෙම කියන්න පු`එවන් ඇති. ඒත් මං සාහිත්‍ය පොලිස්කාරයෙක් කියල මම හිතන්නෙ නෑ. මම ඔවුන්ට කියන්නෙ “මහන්සි වෙන්න. ඔබට පුළුවන් උපරිමයෙන් ලියන්න. ලියූ දේ ඔබම පළ කරන්න එපා” කියල - නයිජීරියාවේ අද වඩ වඩා සුලබ වීගෙන එන ප්‍රවණතාවක් මේ. ඒ කියන්නෙ තමන්ම ගිහින් පොත පළ කරන්න කෙනෙක් - යාළුවෙක් - සොයාගෙන එනවා.

ඒ ආකාර මුද්‍රණයේ - Vanity Press (“සිල්ලර මුද්‍රණය”) - බරපතල ඌනතා තියෙනවා. මම හිතන්නෙ අත්පිටපතකට ඔබට කළ හැකි උපරිමය කළාට පස්සෙ ඒකට හිමි තැන හිමිවෙන්න ඉඩ දෙන්න කියලයි.

පරිවර්තනය - එස්. පල්ලියගුරුගේ

පරිවර්තනය [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා