පාඨකයා

 ඡායාරූපය:

පාඨකයා

 

පාඨකයන් වර්ග දෙකක් ගැන සංස්කෘත විචාරවේදයේ දැක්වේ. ඒ, රසිකත්වය සහිත පාඨකයන් සහ රසිකත්වය නොමැති පාඨකයන්ය. රසිකත්වය නොමැති පිරිස් සංස්කෘත විචාරවේදීන් හඳුන්වන්නේ ගර්හිත ලෙසය. එනම් ඔවුන් තණකොළ නොකන්නේ හරකුන්ගේ වාසනාවට කියාය. තණකොළ කෑවා නම් හරකුන්ට කෑමට තණකොළ ඉතිරි නොවන නිසා විය හැකිය. මහාචාර්ය සරච්චන්ද්‍ර රස හීන නාට්‍ය ප්‍රේක්ෂකයන් හඳුන්වන්නේ ප්‍රේක්ෂකාගාරයේ බිත්ති සහ කනු ලෙසය. බිත්ති, කනු ආදියට වේදිකාවේ සිදු වන දෑ පෙනේ. එහෙත් නාට්‍ය

රස වින්දනය නොවේ. රස වින්දනය නොවී කලා කෘතියකින් කවර අරුතක් ගත්තද ඵලක් නැත. ඉන් කලා කෘතියෙන් අභිප්‍රේත කාර්යය ‐ ආනන්දයෙන් ප්‍රඥාව ‐

ඉටු නොවන නිසාය.

රස වින්දන ශක්තිය ඇති පාඨකයා කෙතරම් උසස් වුව පොදු සමාජය තුළ ඔහුට තැනක් නොවේ. අද ඕනෑම තැනක මහ පුටුව වෙන් වී ඇත්තේ රස විහීනයන්ටය. එහි ගැටලු තැන් බොහෝ අැත. ලොකුම ගැටලුව ඔවුන් කලා විනිශ්චය මඬුලුවලට පත් වී කලා කෘති විනිශ්චයය. මෙවර රජත පුස්තක සම්මාන උළෙලේ කෘති විනිශ්චය මණ්ඩලය පිළිබඳව බොහෝ චෝදනා නැඟේ. ඇයි? ඔවුන් තෝරා ඇති කෘති රසික සමාජය අනුමත නොකරන නිසාය. ඇත්ත වශයෙන් වචන ආශ්‍රිත කවර හෝ තැනකට ‐ පොත, පුවත්පත, සමාජ ජාල, වෙබ් අඩවි ‐ රස හීනයන් පත් නොවිය යුතුය. රස හීනයන් පෙරමුණ නොගත යුතුය. ඔවුනට වචනවල වාච්‍යාර්ථ මිස ධ්වනිථාර්ථ හඳුනාගත නොහැකි බැවිනි.

සමාජයක දියුණුව මනින මූලික සාධකයක් නම් සාක්ෂරතාවය. එහෙත් එහි සැබෑ දියුණුව මිනීමට හැකි වන්නේ සාක්ෂරතාවෙන් යුතු පිරිසෙන් කොපමණ පිරිසක් රසිකත්වයෙන් යුතුද යන්න මතය. රසික පාඨකයා කෘතියක වාච්‍යාර්ථය ගන්නේ නොවේ. ඔහු කියවන්නේ වචනයෙන් මතු කරන රසය. ඔහු කියවනවාද නොවේ. ඔහු කරන්නේ වින්දනයකි. තුර්කි ලේඛක ඔර්හාන් පාමුක් දවසට පැය පහළොවක් ලියන ලේඛකයෙකි. එය ඔහුට වෙහෙසකර නොවේදැයි වරක් මාධ්‍යකරුවෙක් ඔහුගෙන් විමසීය. ඔහු කීවේ වෙහෙසකර වන්නේ වැඩක් කරන විට බවත්, තමා කරන්නේ වැඩක් නොවන බවත්ය. ඇත්තටම ලිවීම ලේඛකයකුට වෙහෙස නිවෙන මඟකි. කියවීමද එබඳුය. කියවීම වින්දනයකි. සරච්චන්ද්‍ර ‘කල්පනා ලෝකයේදී’ පවසන්නේ කෙනෙකු කියවන්නේ මේ ලෝකයේ සරතැසින් ඉසිඹුවක් ලනු පිණිස බවය. එහි ඒකාකාරීත්වයෙන් මිදෙනු පිණිස බවය.

එහෙත් රසිකත්වයෙන් තොර පාඨකයාට කියවීම වැඩකි. කියවා අවසන් වන විට රසිකයාට දැනෙන සුවය නොවේ, ඔහුට දැනෙන්නේ. ඔහුට එය වෙහෙසකි.

ඒ වෙහෙස නිසාම ඔවුන් ලියන දේද වෙහෙස ගෙන දෙන්නේ වේ. ඔවුනට රස නිපයිය නොහැකි නිසාය.

මේ පාඨක දෙපිරිසට ලෝකය පෙනෙන්නේද දෙවිධියකටය. රසික පාඨකයා ලොව බලන්නේ හැඟීම් තුළිනි. හැඟීම් යනු ජීවිතයේ කොටසක් නිසා එම ලෝක දෘෂ්ටිය හැම විටම මානුෂවාදී වේ. එහෙත් රස හීන පාඨකයා ලොව බලන්නේ දර්ශක, න්‍යාය, සම්මත, සමීකරණ ආදිය තුළිනි. හැඟීම්වලින් ලොව බලන්නා ඔහුට මූඪයෙකි. ඔවුන් යම් ලේඛකයකුට කැමති නම් ඔහු හැඟීම්වලින් ලොව බලන්නෙක් නොවේ. නිදසුනකට ගුණදාස අමරසේකරගේ වර්තමාන නවකතාවලට ඔවුන් කැමතිය.

ඒ, එම නවකතා හැඟීම් විරහිත වාර්තා නිසාය. වාර්තාකරණය ඔවුනට ඉතා සූකර වේ. අමරසේකරගේ ‘ගමනක මුල’ සිට එන නවකතාවලිය කියවූ එක් රස හීන පැරණි චින්තන පර්ෂද සාමාජිකයකු වරක් ප්‍රශ්න කළේ අමරසේකර එහිදී මෙත්තානන්ද මහතාගේ ජාතික ව්‍යාපාරය නොලීවේ කුමක් නිසාද කියාය. ඔහුට ඉන් කේන්ති ගොස් තිබිණි.

රස හීන පාඨකයාට ප්‍රබන්ධය සමාජ අරමුණකින් කෙළවර වීමද අවශ්‍යම වේ. ඔහුට කතාවක අන්තය ඉතා වැදගත්ය. එහෙත් රසික පාඨකයාට එය එසේ නොවේ. ඇයි? රසිකයා කරන්නේ කියවීමක් නොව වින්දනයක් නිසාය. රස වින්දනයට කතාව අගම ඕනෑ නැත. කතාව මැද වුව ඔහුට තෘප්තිමත් විය හැකිය. එංගලන්ත ලේඛක ඇන්ඩ්‍රෑ හෝම්ස් බොහෝ විට ප්‍රබන්ධයක අවසානය තෙක් කියවන්නෙක් නොවේ. ඔහු වරක් සම්මුඛ සාකච්ඡාවකදී අපූරු කතාවක් කියා තිබුණි. ජේ.ආර්.ආර්. ටෝල්කින්ගේ The Lord of the Rings නවකතාවෙන් කළ හොලිවුඩ් සිනමාපටය නරඹද්දී එය හොඳින්ම විඳි පුද්ගලයා තමා බව ඔහු කිවේය. ඔහු එහි නවකතාව අවසානය තෙක් කියවා නොතිබූ බැවිනි.

ප්‍රබන්ධය පශ්චාත් නූතනවාදී රීතිය තෙක් ඉදිරියට පැමිණ ඇත්තේ ප්‍රබන්ධකරුවා රසික පාඨකයා සමඟ කළ ගනුදෙනුවේ ප්‍රතිඵල වශයෙනි. පෙර සඳහන් කළ පරිදි රස හීන පාඨකයාට වචන මිස රස වැදගත් නොවේ. ඔහුට වචනවල මතුපිට අරුතින් එහා කිසිවක් සිතිය හැකි නොවේ. එහෙත් රසඥතාවෙන් යුත් පාඨකයා කියවීමේදී කරන්නේ වචනවලින් නිපයුණු රස වින්දනයය. අනතුරුව ඉන් ධ්වනිත වන දේ සෙවීමය. පශ්චාත් නූතන කතාකරුවා කරනුයේ ඔවුන්ගේ මේ ආශාව ඇමතීමය. එහි ප්‍රතිඵලය කඩදාසියේ ඇති වචනවලට වඩා විශාල කොටසක් ඔවුන්ගේ කඩදාසියෙන් පිට තිබීමය.

කියවීම එක් අතකින් අරුත් ග්‍රහණයකි. එම අරුත් ග්‍රහණය කරගන්නේ පාඨකයාගේ රසිකත්වය හා රස විහීනභාවය මත පමණක් නොවේ, ඔහුගේ ජීවන අත්දැකීම්, ඔහුගේ කියවීමේ වපසරිය, ඔහු කියවන කාලය ආදියද තුළය. ජපන් පශ්චාත් නූතන ලේඛක හරුකි මුරකාමිගේ ‘කෆ්කා මුහුදු වෙරළේ’ නම් නවකතාව පළමු වර කියවද්දී යම්කිසි අරුත් සම්භාරයක් ග්‍රහණය වේද, දෙවන වර කියවද්දී ග්‍රහණය වන්නේ ඊට වෙනස් අරුත් සම්භාරයකි. තෙවන වර තවත් අරුත් සම්භාරයකි. ඒ අනුව එවැනි ප්‍රබන්ධයක් කියවීම පාඨකයාට අභ්‍යාසයකි. ඒ අභ්‍යාසයේ වැදගත්ම දේ අරුත් ග්‍රහණය නොවේ, කතුවරයා අභිභවා පාඨකයා මතු වීමය. නැතහොත් කතුවරයා මියයෑමය. රෝලන්ඩ් බාත්ගේ Death of the Author සිද්ධාන්තයේ මූලික හරය මෙයය.

ඔර්හාන් පාමුක්, ලේඛකයා සහ පාඨකයා පිළිබඳව ලියූ අපූරු කෘතියක් ඇත.

එ්, The Naive and the Sentimental Novelist ය. එහිදී ඔහු කියවීමේදී පාඨකයා කරන්නේ කුමක්දැයි, ඔහු සිතන්නේ කුමක්දැයි ඉතා අපූරු ලෙස විග්‍රහ කරයි. සැබැවින්ම පාඨකයාට ප්‍රබන්ධ චරිත මියැදුණු චරිත නොවේ. ඔහුට ඒ ජීවමානය.

ඒ ජීවමාන බව නිසාම ඔහු ප්‍රබන්ධ කතාවකින් ලබන්නේ වින්දනයක් මෙන්ම ජීවන අත්දැකීම් සම්භාරයකුත්ය. මාර්ටින් වික්‍රමසිංහ මහතාද මේ බව විස්තර කර තිබේ. ඔහු පවසන්නේ ඇතැම් නවකතාවක් සුන්දර ළඳක වැනි බවත්, ඇතැම් නවකතාවක් රළුපරලු ගැහැනියක වැනි බවත්ය. ප්‍රබන්ධ කතා කියවීමෙන් තමා අවුරුදු දෙසීයක් කල් ජීවත් වූවාක් වැනි හැඟීමක් ඇති වන්නේ යැයිද ඔහු කියයි.

එහෙත් මේ සියල්ල ලැබෙනුයේ රසික පාඨකයාට පමණය. රස හීන පාඨකයාට කියවීමෙන් කිසිවක් ලැබෙන්නේ නැද්ද? ආචාර්ය සිරි ගුනසිංහ කියනුයේ ප්‍රබන්ධ කියවීමෙන් පොදුවේ මිනිසා සියුම් වින්දනයට හුරු වන බවය. ලෝකය සියුම් ලෙස දැකීමට නැඹුරු වන බවය. එසේ විය යුතුය. ප්‍රබන්ධකරුවකු ගනුදෙනු කරන්නේ මානුෂික හැඟීම් සමඟ නිසාය. එහෙත් මා කල්පනා කරන ලෙස රස හීන පාඨකයාට ප්‍රබන්ධයේ ශක්‍යතාවෙන් ප්‍රතිඵල ලබාගත නොහේ. හේතුව ප්‍රබන්ධයේ මූලික අරමුණ ආනන්දය වීමය. කලා කෘතියකින් ලබන ආනන්දය සංස්කෘත විචාරවේදීන් හඳුන්වනුයේ බ්‍රහ්මාස්වාදයක් ලෙසය. එය මේ ලොව සියලු ක්ලේෂයන්ගෙන් මිදුණු විට ලබන සමහන් සුවය වැන්නකි. මේ සුවය රස හීන අයෙකුට ලැබිය නොහේ.

වරක් මගේ මිතුරෙකු කීවේ ප්‍රබන්ධ ගැන විචාර ඉදිරිපත් නොකළ යුතු බවය. විචාර ඉදිරිපත් කළහොත් පාඨකයා ඉන් ලබන ආස්වාදයට බාධා පැමිණෙන බැවිනි. එය යම්තාක් දුරකට ඇත්තය. ප්‍රබන්ධයකින් ලබන ආස්වාදය වචනයෙන් විස්තර කළ නොහැකිවා මෙන්ම වචනවලින් විස්තර කර ඉන් ලබන ආස්වාදයට බාධා කිරීමද නොකළ යුතුය. එහෙත් විචාරකයා වූකලී සාමාන්‍ය පාඨකයෙක් නොවේ. ඔහු උත්තර රසිකයෙකි. ඔහු දක්වන දේ කෘතියට සාධාරණ වේ. ඇත්ත වශයෙන් විචාරය නිර්මාණාත්මක ව්‍යායාමයකි. හැරල්ඩ් බ්ලූම් පවසන්නේ උසස් විචාරය මිනිය යුත්තේ කලා කෘතියක් මනින නිර්ණායක මත බවය. ප්‍රබන්ධකරුවා කතාවක් ලියද්දී යථාර්ථය මතින් කල්පනා ලෝකයකට යන්නේ ඔහුට යථාර්ථය ඒ වූ පරිදිදෙන්ම විස්තර කර යථාර්ථයේ නියම ස්වරූපය විවරණය කළ නොහැකි නිසාය. විචාරකයාද විචාරය නිර්මාණාත්මක සන්දර්භයකින් තොරව ඉදිරිපත් කළහොත් කෘතියෙන් කෙරෙන ජීවිත විවරණය, රස නිෂ්පත්තිය, රසාස්වාදනය නිවැරදිව විස්තර කළ නොහේ.

එසේ නම් රසික පාඨකයා හා රස හීන පාඨකයා අතර ඇත්තේ නිර්මාණාත්මකභාවය පිළිබඳ වෙනසකි. නිර්මාණාත්මක මිනිසාට ලෝකය අත්ලට ගත හැකිය. නිර්මාණාත්මක නොවන මිනිසාට කළ හැක්කේ ඔහු කරන ඒ හාස්කමට වැට බැඳීම පමණය. සැබැවින්ම ඉතිහාසය පුරා රස හීන පාඨකයා කර ඇත්තේ එයය. මා දකින ලෙස මේ පාඨක දෙපිරිසේ මූලික වෙනස රස හීන පාඨකයා කොදෙව් මිනිසකු වෙද්දී රසික පාඨකයා විශ්වීය මිනිසකු වීමය.

මාතෘකා