මගේ පරිවර්තන ක්‍රමයේ ආදර්ශය ඒ. පී. ගුණරත්නයි

 ඡායාරූපය:

මගේ පරිවර්තන ක්‍රමයේ ආදර්ශය ඒ. පී. ගුණරත්නයි

දිලීප ජයකොඩි

සාහිත්‍ය පරිවර්තකයෙකු මෙන්ම කෙටිකතා සහ නවකතා රචකයෙකුද වන දිලීප ජයකොඩි විසින් රචිත කෘති මෙරට පාඨක ප්‍රජාව අතර ජනප්‍රිය වී ඇත්තේ ඒවායේ ඇති සරල බස්වහරක්, මෙරට ජන සමාජයට සමීප යෙදුම් සහිත වීමත් නිසාය. විවිධ රටවල පළ වූ කෘති ඇසුරින් ඔහු කළ පරිවර්තන සියල්ලම පාහේ මෙරට පාඨකයින්ගේ අතිමහත් ප්‍රසාදයට ලක් වී ඇත. විශේෂයෙන්ම ඉන්දියානු ලේඛක චේතන් භගත් විසින් රචිත කෘති ඇසුරින් දිලීප කළ සිංහල පරිවර්තන මෙරට පාඨකයින්ගේ නොමඳ පැසැසුමට ලක් විය. වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ නියැලී සිටිමින් ලබාගන්නා අත්දැකීම්ද ඉහවල් කරගෙන පරිවර්තන කටයුත්තෙහි යෙදෙන දිලීප යොදාගන්නා භාෂා උපක්‍රම මෙන්ම ග්‍රන්ථ නාමද විශේෂයෙන් කැපී පෙනෙයි. මේ, ඔහු සමඟ අප පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඔබේ පරිවර්තන කෘතිවලට වෙනස් ආකාරයේ නම් යොදාගන්නවා?

පොත් පළ කිරීම කියන්නේ ප්‍රකාශකයාට ව්‍යාපාරයක්.

ඒ නිසා අපි පොතකට දාන නම සමහර වෙලාවට ව්‍යාපාරික හේතු මත ප්‍රකාශකයා විසින් වෙනස් කරනු ලබන අවස්ථා තියෙනවා. හැබැයි මෙතෙක් කල් මගේ පොත්වලට මම දාලා තියෙන නම් වෙනස් කරන්න ඕන කියලා කවුරුවත් යෝජනා කළේ නැහැ. මගේ පොත් අතරින් මගේ නොවන නමක් සහිතව පළ වුණේ එක පොතක් පමණ්‍යි. එය විදර්ශන ප්‍රකාශකයින් විසින් පළ කරන ලද ‘හද දොර යතුරු’ නමැති පරිවර්තන කෘතියයි. එය යුනිචිරෝ නගචි කියන ලේඛකයාගේ ‘ද කී’

(The Key) නමැති කෘතියේ පරිවර්තනයක්. විදර්ශන ප්‍රකාශන අධිපති ජනක ඉණිමංකඩ තමයි ඊට ඒ නම යෝජනා කළේ. ඒක අත්‍යන්තයෙන්ම ගැළපෙන නිසා මම ඒකට එක පයින් කැමති වුණා. ඒ ඇරෙන්න අනෙක් ඔක්කොම පොත්වල තියෙන නම් මම දාපුවා. මම වෘත්තියෙන් වෙළෙඳ ප්‍රචාරණයේ යෙදිලා ඉන්න නිසා මිනිසුන්ට බඩු විකිණීම එක සිත්ගන්නා විදියට කරන්නෙ කොහොමද කියන එක ගැන මට යම් අවබෝධයක් තියෙනවා.

මගේ වෘත්තියේදි විවිධාකාර ශීර්ෂ පාඨ සහ උද්ධෘත ලියන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම තේමා පාඨ වගේ දේවල් ලියනකොට මිනිසුන්ට අහපු ගමන් මතක හිටින වැකි ලියන්න වෙනවා. වෙළෙඳ දැන්වීම් ශිල්පියෙකුට අනෙක් අයට වැඩිය ඒ සඳහා යම් හැකියාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ නම් දැමීමේදී මට ඒ වෘත්තීය පළපුරුද්ද ලොකු වාසියක් වුණා. මම පොත්වලට දාපු නම්වලට, විශේෂයෙන් චේතන් භගත්ගේ පොත්වලට දාපු නම්වලට බොහෝ අය හොඳ ප්‍රතිචාර දැක්වුවා. පොත්වලට අමුතු නම් දාන්න මම කැමතියි. මේ පොත් හරහා අපි ඉලක්ක කරන ග්‍රාහක කණ්ඩායමක් තියෙනවානෙ. ඒ අයටත් අල්ලලා යන විදිය ගැනත් පොඩ්ඩක් හිතලා බලලා එහෙම තමයි මම පොත්වලට නම් දාන්නෙ. මගෙන් බොහෝ වෙලාවට ඉංග්‍රීසි නම පරිවර්තනය වීමක් වෙන්නෙ නැහැ. ඉංග්‍රීසි පොතේ අන්තර්ගතය අරගෙන ඒ අන්තර්ගතයට හරියන විදියේ නමක් දැමීම තමයි සියලුම දේවල්වලදි කෙරුණෙ.

ඔබ පරිවර්තනය සඳහා පොත් තෝරාගන්නේ කෙසේද?

මම පොතක් කියෙව්වාට පස්සෙ ඒක මට හොඳ රසට දැනුණොත් මම ලබපු රසය අනෙක් අයටත් දෙන්න තියෙනවා නම් හොඳයි කියන අදහස මට ඇති වෙනවා. එහෙම රසය ඇති වෙච්ච පොත් තමයි මම පරිවර්තනය කරලා තියෙන්නෙ. ප්‍රකාශකයො පරිවර්තනය සඳහා ලේඛකයන්ට පොත් භාරදෙන අවස්ථාත් තියෙනවා. එක් අවස්ථාවකදි, ඒ කිව්වෙ ප්‍රේම් දිසානායක මහතා මට එහෙම පොතක් දුන්නු අවස්ථාවක හැර මට එහෙම කවුරුවත් පරිවර්තනයට පොත් භාරදීලා නැහැ.

පරිවර්තනය සඳහා පොත් තෝරාගැනීමේදී

ඔබ සැලකිලිමත් වන විශේෂ කරුණු මොනවාද?

බොහෝ අයගෙන් මට ලැබුණු ප්‍රතිචාරයක් තමයි මගේ පරිවර්තන කියවද්දි ඒවා පරිවර්තන කියලා දැනෙන්නෙ නැහැ කියන එක. අපේ සිංහල භාෂාව සෑහෙන පොහොසත් භාෂාවක්. මේ භාෂාවෙන් ඕනම අදහසක් ඉතාම නිරවුල්ව සරලව ඉදිරිපත් කරන්න අපි ළඟ බඩු තියෙනවා. සිංහල භාෂාවේ වචන, උපමා රූපක සහ යෙදුම් ඕන තරම් තියෙනවා. ඒ මෙවලම් ටික හරියට පරිහරණය කරන්න දන්නවා නම් ඔය ගොඩක් දේවල් අපේ කරගත්ත හැකි. විශේෂයෙන්ම චේතන්ගේ පොත් පරිවර්තනයේදී තරුණ පිරිස අද කතා කරන්නෙ මොන වගේ වචනද, අද සමාජයේ භාවිත වෙන්නෙ මොන වගේ යෙදුම්ද කියන එක ගැන අවබෝධයක් අවශ්‍ය වෙනවා.

දැන් ෆේස්බුක් ඇවිල්ලා තියෙනවා. ස්මාර්ට් ෆෝන් ඇවිල්ලා තියෙනවා. ඕවා හරහා විවිධ උපසංස්කෘතීන් ගොඩනැගිලත් තියෙනවා. දැන් කෙටි පණිවුඩ යවනකොට, එහෙමත් නැත්නම් ‘ටෙක්ස්ට්’ කරනකොට වචන ගහන්නෙ වෙන විදියකටයි. වචන කොට කරලා ගහන විදියක් තියෙනවා. ෆේස්බුක් එකේ වචන දාන වෙන ක්‍රමයක් තියෙනවා. ඕවා තමයි අද සමාජයේ පාවිච්චි කරන්නෙ. ඒ වගේ වචන යොදා ගත්තාම පාඨකයාට හිතෙන්නෙ නැහැ මේක පරිවර්තනයක් කියලා. ඒ කියන්නෙ එහෙම නොහිතෙන තරමටම පරිවර්තනය පාඨකයාට සමීප කරගන්න පුළුවන්. සංස්කෘතිය කියන දේ ගත්තොත් භාෂාව හැම තිස්සෙම පෝෂණය වන දෙයක් කියලනෙ කියන්නෙ. ඇත්තටම එය විය යුත්තක්. ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ෆේස්බුක් වැනි මාධ්‍ය හරහා ආපු වචන අපේ භාෂාවට දැන් ඇතුළත් වෙලා තියෙනවා. අපට ඒවායෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. මම හිතන්නෙ

ඒ දේවල් හරහා තමයි ගොඩක් වෙලාවට අපේ පරිවර්තන පාඨකයාට සමීප කරගන්න හැකි වෙන්නෙ. පරිවර්තනයේදී මගේ අතින් පදානුගත පරිවර්තනයක් වෙන්නෙ නැහැ. මම කරන්නෙ මුල් අදහස අරගෙන මගේ භාෂාවෙන් ඒ අදහස ඉදිරිපත් කිරීමයි. ඒ වගේම කෘතිය තෝරාගැනීමේදී කොච්චර දුරට මේක අපේ ජීවිතවලට සමීප කරන්න පුළුවන්ද කියන කාරණය ගැනත් මම සැලකිලිමත් වෙනවා.

ඒ අයුරින් කෙරෙන පරිවර්තනයේදී මුල් කෘතියට අසාධාරණයක් වෙන්නෙ නැද්ද?

මම හිතන්නෙ නැහැ එහෙම වෙනවයි කියලා. මොකද අපි කිසි දෙයක් වෙනස් කරන්නෙ නැහැ. වචනයෙන් වචනය පරිවර්තනය නොකළාට අදහස ඒ විදියටම දෙනවා නම් මුල් කෘතියට හානියක් වෙන්නෙ නැහැනෙ. මුල් කෘතියේ කතුවරයා කියන දේ ඒ විදියටම නොවුණට අපේ වචනවලින් අපි ඒ අදහස තමයි පරිවර්තනය කරලා දෙන්නෙ. අපේ පැරණි පරිවර්තකයින් පවා බොහෝ විට පරිවර්තන කළේ ඒ ක්‍රමයට කියලයි මම හිතන්නෙ. උදාහරණයක් වශයෙන් ඒ. පී. ගුණරත්න වගේ පරිවර්තකයෙක් අනුගමනය කරලා තියෙන්නෙ ඒ ක්‍රමය කියලා හිතන්න පුළුවන්. එතුමා මම ඉතාම ප්‍රිය කරන ලේඛකයෙක්. එතුමා ඒ කාලයේ කරපු පරිවර්තනවල ඒ ලක්ෂණය පේනවා. ‘මැකී ගිය දඩමං’, ‘වානරයා’ වගේ පොත් ගත්තොත් ඒවායේ තියෙන්නෙ අපට හුරුපුරුදු භාෂාව සහ යෙදුම්. මට මතකයි ‘වානරයා’ කියන පොත මම වාර ගණනාවක් බොහොම ආසාවෙන් කියෙව්වා. එහි කතා කරන භාෂාව යොදාගෙන තියෙනවා. අපේ සිංහල සමාජයේ කතාබහ කරන යෙදුම් තමයි එතුමා යොදාගෙන තිබුණෙ. ඒ නිසා මගේ පරිවර්තන ක්‍රමය සඳහා මට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි

ඒ. පී. ගුණරත්නගේ භාෂා ශෛලිය. මගේ ආදර්ශය ඔහුයි.

පරිවර්තනය කළ නොහැකි දේවල් ඔබට හමු වී තිබෙනවාද?

නෑ. තවම එහෙම දේවල් හමු වෙලා නැහැ. මම හිතන්නෙ කෘතිය තෝරාගැනීමේදීම වර්ගීකරණයක් කෙරෙනවා.

ඒ නිසා එතැනින්ම ගොඩක් පෙරිලා අහකට යනවා. මෙතෙක් කල් මට හමු වූ කෘතිවල එහෙම මට දැනෙන විදියේ භාරදූර අවස්ථාවලට ආවේ නැහැ. පරිවර්තනය සම්බන්ධ සීමා බාධක හෝ අභියෝග එන්නේ අපි තෝරගන්න කෘතිය අනුවයි. බංග්ලාදේශ, ඉන්දියානු හෝ පකිස්තාන් වගේ ආසියානු කෘති තෝරාගත්තාම ඒවායේ තියෙන බොහෝ දේවල් අපට සමීපයි. එතකොට ඒවා අනෙක් අයත් එක්ක බෙදාහදා ගැනීමේදී අපට ලොකු ප්‍රශ්න එන්නෙ නැහැ.

ඒ රටවල සංස්කෘතිය, සිරිත්විරිත් සහ සීමාවන් ඇතුළු හැම දේකම අපට පොඩි හරි සමානකමක් තියෙනවනෙ. ඒ නිසා ඒවා අපට ලේසියෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. ඊට පරිබාහිර ලෝකයේ අප්‍රිකානු හෝ ලතින් ඇමෙරිකානු වගේ රටවල්වල කෘති ගත්තොත් අපට සමීප නැති කාරණා තියෙන්න පුළුවන්. ඒවා අපේ පාඨකයා නොදන්න දේවල් වෙන්න පුළුවන්. එවැනි කෘති පරිවර්තනය කරනවා නම් ඒ සංස්කෘතීන්වල දේශපාලනය, සිරිත්විරිත් සහ සමාජ පසුබිම ගැන සෑහෙන දැනුවත් වීමක් පරිවර්තකයාට තියෙන්න ඕන. එහෙම නැතුව ඒ පරිවර්තන කරන්න ගියොත් ටිකක් අවුල් සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්!

පරිවර්තන ඔස්සේ වැරදි කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් දැන් කිසිම පරිවර්තකයෙකුට සමාවක් ලැබෙන්නෙ නැහැ. මීට දශකයකට දෙකකට වගේ කලින් නම් එහෙම සමාවක් තිබුණත් දැන් එහෙම නැහැ. මොකද ඇඟිලි තුඩක දුරින් අන්තර්ජාලය තියෙන්නෙ. ඒකෙන් දැන් ලෝකයේ ඕනෑම රටක තොරතුරක් හොයාගන්න පුළුවන්. සමහර පාඨකයො අපි ලියන වචන ගැන පවා සැලකිලිමත් වෙනවා. සමහර අය අපි ලියන පරිවර්තනවල තියෙන වචන ගැන අන්තර්ජාලය හරහා හොයලා බලනවා. ඒ නිසා අද පාඨකයාට කිසි දෙයක් හංගන්න බැහැ.

ඒ නිසාම නිසි වගකීමකින් තොරව පරිවර්තන කරන අයට පරිවර්තන ක්ෂේත්‍රයේ වැඩි කල් රැඳෙන්න බැහැ කියලයි මම හිතන්නෙ.

සමාජ මාධ්‍ය හරහා ගිහිල්ලා බැලුවොත් ඇතැම් පරිවර්තනවලට එල්ල වන විවේචන දකින්න පුළුවන්.

ඒ පාඨකයො පරිවර්තකයා පරිවර්තනය කරන කොටසයි ඊට අදාළ මුල් පොතේ කොටසයි දෙක සංසන්දනය කරලා ෆේස්බුක් එකේ දානවා. එතකොට ෆේස්බුක් එකේ ඒක දකින අයට තේරෙනවා ඒ පරිවර්තනයේ තියෙන විපර්යාසය. ඉන් පසුව ඒ පරිවර්තකයාගේ පොතක් ගන්න සමහර අය පෙළැඹෙන්නේ නැහැ. ඒක තාවකාලික වශයෙන් අභියෝගයක් හැටියට පෙනුණාට දීර්ඝ කාලීන වශයෙන් එහෙම අය පාඨකයා විසින්ම ප්‍රතික්ෂේප කරන නිසා එවැනි අයට පැවැත්මක් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ.

දැන් පළ වන බොහෝ පරිවර්තන නීරස බව පාඨකයින් කියනවා?

ඒ කතාවෙ ඇත්තක් තියෙනවා. මම ලේඛකයෙක් වෙන්න කලින් පාඨකයෙක්. දීර්ඝ කාලයක් තිස්සෙ සහ දැනටත් දවසට දෙකකට පොතක් කියවලා ඉවර කරන තත්ත්වයේ තමයි මම ඉන්නෙ. පරිවර්තකයෙක් විදියට මම මෙහෙම කියන එක කොච්චර සාධාරණද මම දන්නෙ නැහැ. සමහර පරිවර්තන කියවගෙන යන්න බැරුව නවත්තපු අවස්ථා මටත් තියෙනවා. පරිච්ඡේද දෙක තුනක් කියවද්දි අතහැරලා දාන්න වෙනවා. පොතක් ආයාසයෙන් කියවන දෙයක් නොවිය යුතුයි. ආසාවෙන් කියවාගෙන යා නොහැකි ආකාරයේ පරිවර්තන මටත් හම්බ වෙලා තියෙනවා. ඒකට හේතුව පදානුගත පරිවර්තනයට හුරුවීම කියායි මා නම් හිතන්නේ. ඒ වගේම සමහර අවස්ථාවලදි කරුණු වැරදි විදියට පරිවර්තනය කරන අවස්ථා හමු වුණාමත් පරිවර්තන එපා වෙනවා. එක පරිවර්තනයක ‘ඕල්රවුන්ඩර්’ කියන වචනයට සිංහලෙන් දාලා තිබුණේ ‘ඔහු රවුම් මිනිසෙකි’ කියලයි. මෙවැනි හාස්‍යජනක තත්වයන් ඇතිවීමට හේතුව පදානුගත පරිවර්තන කරන්නට යෑම සහ උනන්දුවක් නැතිකම. ඒකට නම් සමාවක් දෙන්න බැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් සියලුම දේවල් දන්නෙ නැහැ. ඉස්සර නම් නොදන්න දේවල් දන්න කෙනෙක්ගෙන් අහගත්තා. දැන් අන්තර්ජාලය තියෙන නිසා ඕනම දෙයක් හරිද වැරදිද කියලා හොයාගන්න පුළුවන්. ලේඛකයින්ගේ නොසැලකිලිමත් බව සහ භාෂාව පිළිබඳ දැනුම මඳකම වැනි දේවල් නිසාත් නීරස පරිවර්තන බිහි වෙනවා.

 

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා