නවකතාවක් ලිවීම සටන් කරනවාට වඩා නටනවා වගේ දෙයක් : අරුන්දතී රෝයි | ඇස පාදන රැස


නවකතාවක් ලිවීම සටන් කරනවාට වඩා නටනවා වගේ දෙයක් : අරුන්දතී රෝයි

 ඡායාරූපය:

නවකතාවක් ලිවීම සටන් කරනවාට වඩා නටනවා වගේ දෙයක් : අරුන්දතී රෝයි

අරුන්දතී රෝයිගේ අලුත්ම නවකතාව The Ministry of Utmost Happiness (‘පරම සන්තුෂ්ටියේ අමාත්‍යංශය’) ය. බුකර් සම්මාන දිනූ
The God of Small Things (‘සිල්ලර දෙවියෝ’) නවකතාවෙන් විසි වසරකට පසු ඈ ලියූ මෙම නවකතාව දැනටමත් පාඨක, විචාරක අවධානයට නතුව තිබේ. මේ, එම කෘතිය පිළිබඳව Goodreads වෙබ් අඩවියේ ඇන්ඩි ටෙපර් අරුන්දතී සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනයකි.

ඔබේ The God of Small Things නවකතාව පුදුමාකාර ලෙස පාඨක අවධානයට නතු වුණා. ඒත් අනතුරුව ඔබ ඔබේ ශක්තිය නිර්දය විවේචන ලියන්නයි, සමාජ ක්‍රියාකාරකම්වලටයි යොමු කළා. The Ministry of Utmost Happiness නම් මෙම නවකතාව පැහැදිලිවම ඔබේ දේශපාලන රුචිකත්වයත්, ප්‍රබන්ධාත්මක පරිකල්පනයත් එකතු කරනවා. ඔබ මා කියූ කතාවට එකඟද?
ම්... ම්... ඔබේ කතාව මං හිතන්නෙ මගේ කලින් නවකතාවටත් වලංගුයි. ඇත්ත වශයෙන් The God of Small Things දොරට වැඩි කාලයේ මට විරුද්ධව උසාවියේ අපරාද නඩු ගොනු කරලා තිබුණා. කුලවාදයත්, වාමාංශික දේශපාලනයත්, ඊට එරෙහි මගේ විවේචනත් නිසා වම මා එක්ක එදා දැඩි වෛරයක සිටියා. මට හොඳටම විශ්වාසයි, මේ දේවල් පිළිබඳ සාකච්ඡාවක් මගේ මේ අලුත් නවකතාවෙත් එනවා ‐ ඒ කිව්වෙ වර්ගවාදය ගැන, වමට ඒ දෙස බලන්න බැරි වීම ගැන ආදිය එනවා. ඉතින් ඒ ජාතියේ ලේඛකයෙක් මම. The God of Small Things නවකතාව හෝ වේවා මේ අලුත් නවකතාව හෝ වේවා එහිදී මා අත්දුටු සමාජ, දේශපාලනය මා අතින් පරිකල්පනට එකතු වෙනවා. නවකතාවක් ලියද්දි ඊට මේ දේවලුත් ඇතුල් කරන්න මං හිතන්නෙ සංකීර්ණ යෝග ඉරියව් ඕන වෙනවා. ඒ කිව්වෙ ඒ දේවල් නවකතාවට හිතාමතා ඇතුල් නොවෙන්න එවැනි යෝග ඉරියව් ඕන වෙනවා. ඒක හරියට වර්ණභේදවාදය ගැන අකුරක් සඳහන් නොකර වර්ණභේදවාදී දකුණු අප්‍රිකාවේ සිට නවකතාවක් ලිවීම වගේ!   

ඔබේ The Ministry of Utmost Happiness නවකතාව මූලිකවම සාකච්ඡා කරන්නේ පසුගිය කාලයේ ඉන්දියාවේ උද්ගත වූ දරුණුම කාරණා දෙකක්. ඒ කිව්වෙ හින්දු අන්තවාදය සහ කාෂ්මීරයේ ඇවිලෙන යුදගිනි ගැනයි?
ඔව්. ඒවගේම මධ්‍යම ඉන්දියාවේ කැලෑබිම්වල මාවෝවාදී ගරිල්ලන් සමඟ සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා ගැනත් සාකච්ඡා කරනවා. ඒවගේම කුලවාදය, කුලවාදය එච්චර නරුම ලෙස දිගහැරෙන හැටි ගැනත් සාකච්ඡා කරනවා.   

ඔබ එහිදී නවදිල්ලියේ හිජ්රාවරුන්ගේ කතා සමඟ ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පිළිබඳවත්, ලිංගිකත්වය පිළිබඳවත් සාකච්ඡාවකට මුල පුරනවා. ඔවුන්ගේ ඇතුළත තිබෙන ‘ඉන්දු ‐ පාකිස්ථාන’ විරසක අනන්‍යතාව ඔබ විස්තර කරන ආකාරයට මම කැමතියි.
ඒ ‘ඉන්දු ‐ පාකිස්ථාන’ විභේදන අදහස නවකතාවේ හැම චරිතයකම තියෙනවා. කුලවාදය හිස දරාගත්, ආගම මාරු කළ ‘සදාම්’ නම් චරිතයක් එහි එනවා. ජාතික චින්තනය ඇඟේ දුවන මූසා නම් චරිතයකුත්, තව නොයෙක් ලක්ෂණ සහිත චරිතත් එනවා. ‘ඉන්දු ‐ පාකිස්ථාන’ විභේදනය එහි බොහෝ චරිතවල නොයෙක් ආකාරයෙන් දක්නට ලැබෙනවා.   

අපේ වෙබ් අඩවියේ රසිකයින් කීප දෙනෙක් ඔබේ කෘතියේ සරලව ගලන ආකෘතිය ගැන විමසනවා. නවකතාවට විවිධ කතා ඇතුළත් කර ගොතන්න ඔබ හිතුවේ කොහොමද? ඒ දේ ඔබ අතින් නිසගයෙන් සිදු වූවක්ද? නැත්නම් හිතාමතා ගෙතූ එකක්ද?
ඒක මම සැලසුම් කරලා කළ දෙයක් කියල මං හිතන්නෙ නෑ. ඒවගේම එය මුළුමනින් නිසගව සිදු වූ දේකුත් නෙවෙයි. මම මේ නවකතාව එක්ක අවුරුදු දහයක් ජීවත් වුණා. ඒ අනුව ඒක හරියට තිත් (Dots) දෙස එකදිගට බලාගෙන ඉඳලා කාලයකට පස්සෙ ඒ තිත්වලින් ඡායාරූපයක් හැදෙනවා වගේ දෙයක්. ඒක ඇත්තටම මට ලියන්න දිගු කාලයක් වැයවූ කතාවක්. ඒවගේම ඒක කියවන්නත් පාඨකයාට හුඟ කාලයක් ගත වේවි. ඒ කියන්නෙ එය කියවන වාරයක් පාසා නවකතාවේ පාඨකයාට තවත් තල හසුකරගන්න පුළුවන්. ඒක මට ඉතා වැදගත් දෙයක්. එනම් කතාවක් කියන්නෙ එකවර කියවා තමන් ඒ ගැන දන්නවා කියල හිතන එක නෙවෙයි. ඔබේ ප්‍රශ්නය ගැන කියනවා නම් මගේ The God of Small Things නවකතාවේ වගේම මේ නවකතාවේත් පළමු පරිච්ඡේදය මම නවකතාව ලියන්න ආරම්භ කළ තැන නෙවෙයි. කතාවක් ලියන්න ගත්තාට පස්සෙ ඒක ඊළඟට දුවන තැන් මට පේනවා. ඉතින් මං කළේ ඒ පොට අල්ලාගෙන යෑම විතරයි. එහිදී මම විටෙක කතාවේ ඉස්සරහට දුවනවා. විටෙක පස්සට දුවනවා.   

අපේ තවත් පාඨකයෙක් අසනවා මේ නවකතාව ලියන්න ඔබට බලපෑ විශේෂ සිද්ධියක් තිබුණාද, නැත්නම් එය නොයෙක් සිදුවීම් එකතු වෙලා ලියවුණාද කියල.
මං හිතන්නෙ පසුගිය අවුරුදු විස්සෙදි ‐ මං හිතන විධියට මිනිස්සු මගේ ප්‍රබන්ධ නොවන කෘතිවලින් මාව දන්නා ආකාරයට ‐ මට කෙනෙක් සාමාන්‍යයෙන් නොයන ඉන්දියාවේ ප්‍රදේශවලට යන්න අවස්ථාව ලැබුණා. නිසැකවම ඒ සියලු අත්දැකීම් මගේ ඇතුළේ වර්ධනය වුණා. ඒත් ඒ අත්දැකීම් ප්‍රබන්ධයකට ගොනු වෙන්න ගත්තෙ මීට අවුරුදු දහයකට විතර ඉහතදී. එහිදී එක දෙයක් සිදු වෙලා ඒකෙන් එක් වරම නවකතාවක් පහළ වුණේ නෑ. ඇත්තටම වුණේ යමක් වුණාට පස්සෙ ඒ ගැන මගේ මනස වද වීමයි. මං හිතන්නෙ මම මුලින්ම ලියූ සංකල්ප රූපය වුණේ මේ බිළිඳාගේ රුව එක් වරම මතු වෙද්දි පාන්දර දෙකට විතර විරෝධතාකරුවන් එක්ක අපි නවදිල්ලියේ වීදිවල සිටි දර්ශනයයි ‐ ඒ අවස්ථාවේ මොනවාද කරන්නෙ කියල කවුරුවත් දැනගෙන සිටියේ නෑ!

නවදිල්ලි නගරය නවකතාවේ ප්‍රබල ප්‍රතිරූපයක් මවනවා. එය “ලෝකයේ නව සුපිරි බලවතා වීමට සිටින රාජ්‍යයේ සුපිරි අගනගරය” ය කියල කියන දේ බව අවධාරණය වෙනවා පේනවා?
ඔව්. බොහෝ දුරට නවදිල්ලිය නවකතාවේ චරිතයක්. ඒක ඇත්තටම ප්‍රබන්ධයේදී මං විවරණය කරන්න හුඟක් කැමති වුණු දර්ශනයක්. පරිසරය චරිතයක් වුණු සහ චරිතය පරිසරය වුණු කතාවක් මට ලියන්න ඕන වුණේ. නැතුව චරිත කීපයක් සහ ඒ යටින් දේශපාලන කතාන්දරය දුවන නවකතාවක් නෙවෙයි ලියන්න ඕන වුණේ.   

ඔබේ The God of Small Things නවකතාව ලියවුණු තැන් සිට ගත වූ වසර 20 ක කාලයේ ඉන්දියාවේ ඉතා වැදගත් වෙනස්වීම් සිදු වෙලා තියෙනවා. ඒ පිළිබඳව ඔබ දරන ආකල්පය අපට දැන ගැනීමට අවශ්‍යයි. ඒවගේම එදා සිට ඔබ ලේඛකයකු ලෙස වෙනස් වී ඇද්ද කියාත් දැනගන්න කැමතියි. මං හිතන්නෙ ඉන්දියාවේ සිදු වූ මහා වෙනස්වීම් ගැන මේ නවකතාවේත් එනවා. ලේඛකයකු ලෙස ඔබේ ආකල්ප මේ වන විට වෙනස් වී තිබේද?
පසුගිය අවුරුදු විස්සෙදි සිදු වූ ප්‍රධානම දේ මං ප්‍රබන්ධයක් ලියද්දිත්, ප්‍රබන්ධ නොවන දෙයක් ලියද්දිත් මගේ ලිවීමේ ‐ මගේ පෙනුමේ පවා ‐ විශාල වෙනසක් තිබීමයි. මං ලියන ලිපි සැලකුවොත් ඒවා හැම විටම ඉන්දියාවේ යම්කිසි (සමාජ, දේශපාලන) අවස්ථාවක් ගැන හදිසි මැදිහත්වීමක් කරනවා. ඒ වෙලාවට මට වාඩි වෙන්න ඉස්පාසුවක් නෑ. නැඟිටලා එහාට මෙහාට ඇවිදිනවා. එවිට හුඟක් උණුසුම් වාද විවාද ඇති වෙනවා. ඒත් ප්‍රබන්ධය කියන්නෙ ඊට සපුරා වෙනස් දෙයක් ‐ ප්‍රබන්ධයක් ලියවෙන්නෙ එකලා හුදකලාවක සහ කිසිම හදිසියක් නැතුව තැන්පත් වෙලා. එහිදී ලියන දේ ගැන සම්පූර්ණ ගවේෂණයක් සිදු වෙනවා. ඒවගේම විනෝදයට වගේ හිතට එන් දේත් ලියාගෙන යනවා. ඒක හරියට යමක් එක්ක සටන් වදිනවාට වඩා නටනවා වගේ දෙයක්! ඔව්. ඇත්තටම මං වෙනස් වෙලා. මට The God of Small Things නවකතාවට ඈඳුතු කතාවක් ලියන්න ඕන වුණේ නෑ. මං හිතන්නෙ මගේ අලුත් නවකතාව කියවන ඕන කෙනෙකුට හිතේවි ඒක කොන්ත්‍රාත්තුවක් හෝ අත්තිකාරමක් අරගෙන ලියන්න බෑ කියල. මට ලියද්දි සතුටක් නොදැනුණා නම් “ඒක හරියට ලියවුණේ නෑ” කියල නිදහසේ කියන්න මට ඕන වුණා. ඒක ලියන්න මට අවදානමක් දරන්න සිදු වුණා.   

අවුරුදු ගණනක් (අවුරුදු දහයක්) නවකතාව ලියාගෙන යද්දි එහි මුල් ආකෘතිය පසුව වෙනස් වුණේ නැද්ද? නැත්නම් මුලදිම ඔබ ඔබට ලියන්න ඕන දේ දැනසිටියාද?
නෑ. කතාවක් ලියාගෙන යද්දියි එය යන දිශාව ඔබට දැනෙන්නෙ. ඒක කතාවක් මුලදිම තිබිලා, පසුව එය කියන්න විධියක් සොයනවා වගේ දෙයක් නෙවෙයි. කොහෙත්ම ඒ විධියේ දෙයක් නෙවෙයි! භාෂාව, ආකෘතිය, කතාව යන සියල්ල ප්‍රතිභාවෙනුයි මතුවෙන්නෙ. ඇත්ත වශයෙන් නවකතාව ලියූ කාලය පුරා මම ලියවෙන දෙයින් මවිත වුණා.   

ඔබේ ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති සමාජයට ඇති කරන්නේ එකිනෙකට වෙනස් බලපෑමක් කියා ඔබ සිතනවාද?
මම ලියන්නෙ ප්‍රබන්ධයක් නම් ඉන් ඇති කරන බලපෑම ගැන මම හිතන්නෙ නෑ. ඒත් මං ලියන්නෙ ප්‍රබන්ධ නොවන කෘතියක් නම් අනිවාර්යෙන් බලපෑම ගැන හිතනවා. ඒක හරියට බ්ලේඞ් එකකින් යමක් කපනවා වගේ. ප්‍රබන්ධය ගත්තාම එය තොරතුරුවත්, බලපෑමවත් නෙවෙයි. එහිදී මම ක්ෂණික තෘප්තියක් ලබන්න හරි කාගේවත් අදහසක් වෙනස් කරන්න හරි තැත් කරන්නෙ නෑ. ඒත් ප්‍රබන්ධය කියන්නෙ ප්‍රබන්ධයයි. ඒක හරියට යාඥාවක් වගේ. හරියට ලෝකයක් නිර්මාණය කරනවා වගේ ‐ ඉන් ඇති කරන බලපෑම යන්න වෙනත් දෙයක්. ඒක මං කියන්න ඕනත් නෑ.

ලියද්දි ඔබ වැඩ කරන රටාවක් තියෙනවාද? මේ නවකතාව ලියන්න ඔබ කාලය හා අවකාශය සොයාගත්තේ කෙසේද?
මට ඒකට අමුතුවෙන් කාලය, අවකාශය ඕන වුණේ නෑ. මොකද ඒක මගේ ජීවිතය! මුලදි ඒක හරියට කතාවට එන්න ඉඩ දීම වගේ. ඊට හුස්ම ගන්න ඉඩ දෙනවා වගේ. ඊළඟට අවසානයට එද්දි ඒක කෘතියට හැඩයක්, ආකෘතියක් දෙනවා වගේ දෙයක් වෙනවා. එහිදී කතාව ඉක්මන් හරි මන්දගාමී හරි කරන්න බෑ. එහි තියෙන්නෙ ඊටම අනන්‍ය රිද්මයක්. අවසාන හරියට එද්දි ඒක දිවා රෑ මනස තෙරපන දෙයක් වෙනවා ‐ ඒ වෙලාවට මුළු ගේම වුණත් අළු වෙන්න පුළුවන්. මොකද ලිපේ මොනවාද තියෙන්නෙ කියල ඔබට අමතක වෙනවා. ලිවීම කියන්නෙ මේසය ළඟ ඉඳගෙන ඉන්න එක විතරක් කියල මං හිතන්නෙ නෑ. මට නම් මං ඉන්නෙ කොතැනද ඉතන ඉඳන් ලියනවා. ඒක හැම මොහොතකම මා තුළ වැඩිදියුණු වෙනවා. මට හිතෙන්නෙ මම අවුරුදු දහයක් මේ පොතේ ඉඳලා තියෙනවා. මං ලියන ප්‍රබන්ධ නොවන දේට මං කොච්චර වතාවක් වනගත වුණත් ඒ හැම විටම මං සිටියේ මගේ ප්‍රබන්ධය තුළයි කියල මට දැනුණා. ඒක තමයි මට වැදගත්ම දේ. ඒ කියන්නෙ හැම දෙයක්ම ප්‍රබන්ධ අල්තාරය මත තියන්නයි මට ඕන.   

මේ කෘතිය ලියන්න ඔබට බලපෑ ලේඛකයින් කවුද? ඔබ ජේම්ස් බෝල්ඩ්වින්, පැබ්ලෝ නෙරුඩා ආදී ලේඛකයින් පොත්වලට ලියූ හැඳින්වීමේ සටහන් මෙහිදී උපයෝගී කරගෙන තියෙනවා.
ඔව්. ෂෝන් ගෙනේගේත් හැඳින්වීමේ සටහන් අරගෙන තියෙනවා. මට මතකයි මං මේ පොත ලියද්දි ඔසිප් මැන්ඩෙල්ස්ටම්ගේ කෘතියක් කියෙව්වා. ඔහුගේ බිරිඳ නඩෙෂ්ඩා මැන්ඩල්ස්ටම්ගේ Hope Against Hope කෘතිය හරි අපූරු පොතක්. ඒත් මං ප්‍රබන්ධ ලියද්දි මම කරන්නෙ පර්යේෂණයක්. The God of Small Things ලියද්දි පවා මට නිර්මාණ උත්තේජනය ආවේ පොත්වලින් විතරක් නෙවෙයි. හැම දෙයක්ම මට ආනුභාව වුණා ‐ මට මතකයි මං කතකලී නැටුම් නැරඹුවා. එහිදී වීර කාව්‍ය ඉදිරිපත් කරන ආකාරය නැරඹුවා. නරඹලා අපි කොහොමද මුදු බවත්, ප්‍රචණ්ඩත්වයත් අතර පහසුවෙන් එහා මෙහා යන්නෙ, කොහොමද මානසික කැලඹුමත්, උමතුභාවයත් අතර එහා මෙහා වෙන්නේ කියල කල්පනා කළා. ඔබ දන්නවා ඇති හුඟක් දෙනා කියනවා The God of Small Things නවකතාවේත්, මේ පොතේත් දෙකේම මායා යථාර්ථවාදය තියෙනවා කියල. ඒත් ඒක වැරදියි! එහි තියෙන්නෙ මායාවක් ලෙස පෙනෙන වෙනස් ආකාරයක යථාර්ථයක්. ඒත් ඇත්ත වශයෙන් අමුතු දේවල් පරිකල්පනය කරල තියෙන්නෙ චරිතයනුයි, කතුවරයා නෙවෙයි.   

කාෂ්මීරය ගැන විස්තර කථා කරන්න මං කැමතියි. “හොඳ සාහිත්‍ය කෘතියකට නොසෑහෙන්න ලේ වගුරන්න සිද්ධ වෙනවා” කියල ඔබේ කෘතියේ තැනක කාෂ්මීරය ගැන කෙනෙක් කියනවා. ප්‍රචණ්ඩත්වය සහ වදබන්ධන ගැන එච්චර සජීවී දර්ශන ලියන්න ඔබට අමාරු වුණාද?
මං හිතන්නෙ අමාරු වෙන්නෙ එවැනි දර්ශන නොලියා ඉන්නයි. ඒවා නොලිව්වා නම් ඒක හුඟක් මිනිස්සු රවටන ව්‍යාජ දෙයක් වෙන්න තිබුණා. ඒත් එය වදබන්ධන සහ මරණය පිළිබඳ දේකුත් නෙවෙයි. මං නිතරම මගේ ඉවෙන් දැනසිටියා කාෂ්මීරයේ සිදු වූ දේවල් කියන්න පුළුවන් ප්‍රබන්ධයෙන් විතරක් කියල. ඒක එච්චරටම සංකීර්ණයි. එය සාක්ෂිවලින් සිදු වූ දේ ඔප්පු කිරීම හෝ මානව හිමිකම් වාර්තා හෝ විතරක් නෙවෙයි. දැන් අවුරුදු 20 ක හෝ ඊට වැඩි කාලයක ඉඳලා එහි අහිමි වීම්, අහිමි වන අය වෙනුවට වෙනත් අය පැමිණීම් වගේ දේ චක්‍රාකාරයෙන් සිදු වෙනවා. එයින් කාෂ්මීරයේ මහා ක්‍රෑරත්වයක, මහා භීෂණයක හැඟීමක් රෝපණය වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන ලිවීම කියන එක අභියෝගයක්. එය ඇත්තටම ප්‍රබන්ධයට විතරක් ග්‍රහණය කරගත හැකි දේ අතර එකක්.   

අප අතර නැවත නැවත සිදු වන දේත් ඔබ ප්‍රබන්ධයෙන් විවරණය කරනවා. එසේ විවරණය කරන එකක් තමයි අන්ජුම්ට සහ සමාජ පිටස්තර වූ ඇගේ ප්‍රජාවට රැකවරණය දෙන සොහොන් බිමත් ඇතුළත් සුසාන භූමි පිළිබඳ කතාව.
ඔව්. ඇත්තටම ඒ දේවල් කොහොම නවකතාවට ඇවිල්ලා ඒකම යම් විධියකින් පොත බවට පත් වුණාද කියල මං දන්නෙ නෑ. ඒවගේම කාෂ්මීරය වගේ තැනක, ජීවත් වන මිනිස්සු අතර මැරුණු මිනිස්සු ඇවිදින බව ඔබ හොඳටම දන්නවා. එහිදී එක් වරම ඒ දේවල් අපට පෙරිලා පේන්න ගන්නවා. මං හිතන්නෙ මේ සිදු වන දේවල්වල අනිවාර්ය ප්‍රතිඵලයක් තමයි අපි බොහෝ දෙනෙක් හුඟක් ආකාරවලින් සමාජයෙන් පිටමං වීම. ඒ වුණත් සියලු දේ ඉවසා දරාගෙන මියයන්න අපි විරුද්ධයි!   

ඔබ හින්දු ජාතිකවාදීන්ගෙන් එල්ල විය හැකි අනතුර අනාවරණය කරනවා වගේම ඔවුන්ගේ ‘සිවුරුපාට ගිරාපෝතක කතාවත්’ සමච්චලයට ලක් කරනවා. මේ නවකතාවේ කතාවස්තුවලින් එකකට ප්‍රධාන වන්නේ 2002 වසරේ ගුජරාටයේ ඇති වූ කලකෝලාහලයි.
ඉන්දියාව සමූලඝාතනවල භූමියක් වීම ඇත්ත වශයෙන් හරිම උත්ප්‍රාසජනකයි. අද නිතරම වගේ මහා නගරවල ඔබේ ඇස්පනාපිට මේ සමූලඝාතන සිදු වෙනවා ඔබට පේනවා. ඒත් ඝාතනවලින් පස්සෙ නැවත ජීවිතය ගලාගෙන යනවා. ලේ වැකීම දේශපාලනඥයින්ගේ ජීව දත්ත වාර්තාවලට හොඳ සුදුසුකමක් වෙලා තියෙන බව හොඳටම පේනවා. ඇත්ත වශයෙන් මැතිවරණවලට කලින් සමූලඝාතන අපේක්ෂා කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. මොකද ප්‍රතිවිරුද්ධ අදහස්වලින් මිනිස්සු දෙකට බෙදන්න ඉන්දන සපයන්නේ සමූලඝාතනයි.

 පරිවර්තනය [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා