මගේ රට ගැන කියාදෙන්න මම පොත් ලියන්නෙ නෑ : 2006 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී තුර්කි ලේඛක ඔර්හාන් පාමුක්

 ඡායාරූපය:

මගේ රට ගැන කියාදෙන්න මම පොත් ලියන්නෙ නෑ : 2006 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගලාභී තුර්කි ලේඛක ඔර්හාන් පාමුක්

2006 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබුවේ තුර්කි ලේඛක ඔර්හාන් පාමුක්ය. My Name is Red  හා Snow යන නවකතාවලින් ලොවම ආකර්ෂණය කරගත් ඔහු පසුගියදා සිය අලුත්ම නවකතාව එළිදැක්වීය. ඒ, The Red ‐ Haired Woman ය. මේ, ඉසාක් චෝටිනර් SLATE වෙබ් අඩවියේ I Have to Ask විශේෂාංගය සඳහා පාමුක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි. 

ඔර්හාන් පාමුක්: හරි, හෙලෝ! මම දැන් ඉන්නේ (තුර්කියේ) ඉස්තාන්බූල් නුවර සිට පැයක දුරින් දූපතක. උදේ වරුවට මම පිහිනනවා. ඉන් පස්සේ දවස පුරාම මම රෑ බෝ වෙනකන් වැඩ කරනවා. එය ග්‍රීෂ්ම නිවස්නයක් (ග්‍රීෂ්ම කාලයේ මං ඉන්නෙ එහි.) මේ සම්මුඛ සාකච්ඡාවෙන් පස්සෙ, දවසේ වැදගත්ම දේ හැටියට මං ආපහු පිහිනන්න යනවා. ඒ, තමයි අන්තිමේ වැදගත්ම දේ.  

ඉසාක් චෝටිනර්: මම ඔබ සමඟ කළ සම්මුඛ සාකච්ඡාවක කියෙව්වා ඔබ දවසකට පැය 10 ක් වැඩ කරනවා කියල. ඒ කතාව තවමත් එහෙමමද?  

ඔව්. මම සතුටින් වැඩ කරනවා. ඒත් මං ප්‍රබන්ධ ලිවීම වැඩක් හැටියට දකින්නෙ නෑ. මොකද මට මාව දැනෙන්නෙ තමන්ගේ සෙල්ලම් බඩු එක්ක නිතර සෙල්ලම් කරන පුංචි ළමයෙක් වගේ.  

ප්‍රබන්ධ නොවන කෘති (Non Fiction) ලිවීම ඔබට දැනෙන්නෙ වැඩක් ලෙසද?  

නෑ. මම දැන් කරන්නේ ප්‍රබන්ධ ලියන එක. දැන් මගේ මනස වැඩි වේලාවක් නිරත වෙලා ඉන්නෙ ප්‍රබන්ධ නොවන යථාර්ථය විස්තර කරනවාට වඩා පරිකල්පනාත්මක දේ ලිවීමටයි. (ඒ නිසා මට ප්‍රබන්ධ නොවන දේ ලියන්න වෙලාවකුත් නෑ.)  
ඒත් ප්‍රබන්ධ නොවන කෘති ලියද්දි ඔබ වැඩ කරනවා යැයි ඔබට හැඟෙනවාද?  

එතකොට මට හුඟක් දැනෙන්නෙ මං පුවත්පත් කලාවේ නිරත වෙනවා වගේ. ඒත් මේ වයසෙදි මම දැන් ලියන්නෙ මට ලියන්න වුවමනා දේ විතරයි. එහිදී නිතරම මට දැනෙන්නෙ මං ක්‍රීඩාවක, අලුත් දෙයක් සොයාගැනීමක, විනෝදයක නියුතු වෙලා ඉන්නවා වගේ. මං ඇත්ත වශයෙන් සතුටට ලියන ලේඛකයෙක්.  

ඔබ මුලින්ම ලියන්න ගත් නවකතාවලට වඩා මේ දහවෙනි නවකතාව ලියද්දි ඇති වෙනස කුමක්ද?  

ආසන්න වශයෙන් මීට අවුරුදු 40 කට උඩදි මං ලියන්න ගනිද්දි මම ලිව්වෙ හුඟක් දුරට දිගු කාලයක් පුරා නොයෙක් ගැටුම්, අවස්ථා හා බාධකවලට මුහුණ දෙමින් විහිදෙන, කතාවේ හැම පැත්තක්ම විවරණය කරන කතායි (එපික් කතායි). ඒවගේම ඇතැම් විට හුඟක් පර්යේෂණාත්මක දේයි. ඒත් මේ වතාවේ මට ඕන වුණේ මනුෂ්‍ය පැවැත්ම පිළිබඳව සහ දර්ශනවාදය ඇතුළත් කෙටි නවකතාවක් ලියන්න. මෙහිදී මට හුඟක්ම ඕන වුණේ වැඩිමහල් ළිං හාරන්නෙකුත්, ඔහු එක්ක වැඩ කරන ආධුනික ළිං හාරන කොලුවකුත් ගැන යථාර්ථවාදී කතාවක් ලියන්නයි. මම 1988 වසරේ ග්‍රීෂ්ම ඍතුව ගත කරද්දි මං සිටි ඉඩමට යාබද ඉඩමේයි මේ අය සිටියේ. එ් නිසා මම ඔවුන් හොඳින් නිරීක්ෂණය කළා. (දැන් වගේම) එවරත් මං සිටියේ දූපතක. මගේ පොත්වලින් එකක් මම එහි ලියමින් සිටියා. ඇත්තටම ඔවුන් තමයි සම්ප්‍රදායික ක්‍රමයට ළිං හාරන (තුර්කියේ) අන්තිම පිරිස. ඉස්තාන්බූල් නගරයට බැහැර කලාපයේ ඔවුන් ඒ වන විටත් ළිං හෑරීමේ නිරතව සිටියා. විශේෂයෙන් ‘70, ‘80 දශකවලත් රජයෙන් දුන් ජල සම්පාදන ක්‍රමයක් නැති නිසා එහි හැම කෙනෙක්ම වගේ තමන්ගේ වත්තේ ළිඳක් හාරාගෙන ගෙදරදිම වතුර සොයාගත්තා. මොවුන් ළිඳක් හාරද්දි වැඩිමහල් ප්‍රධාන ළිං හාරන්නායි, ඔහුගේ ගැටවර ගෝලයායි අතර තිබුණේ පියෙක් සහ පුතෙක් අතර ඇති වන විධියේ සබඳතාවක්. වැඩිමහල් ළිං කපන්නා ගෝල කොලුවාට අරවා මේවා කියාදෙමින් කෑගහනවා. ඒත් ඔහු බොහොම මුදු මොළොක් විධියට ඔහු ආරක්ෂා කරමින් ඔහු ගැන සොයා බැලුවා. මං රෑට නගර මධ්‍යයට යද්දිත් මං දැක්කෙ ඔවුන් අතර මේ සබඳතාවයි. ඔවුන්ගේ අන්‍යෝන්‍ය සබඳතාව මාව චංචල කළා. ඇතැම් විට එහෙම වුණේ මං ඇතිදැඩි වුණේ මා ළඟ වැඩිපුර නොසිටි, කවදාවත් මාව පාලනය කරන්න උත්සාහ නොකළ තාත්තා කෙනෙකුගෙන් නිසයි. ඇත්තටම මගේ තාත්තා ඒ විධියයි ‐ මං ගැන ඔහු වැඩි යමක් දන්නෙ නෑ.

ඔබේ පියා තවම ජීවතුන් අතර සිටිනවාද?

නෑ. ඔහු මියගියා.  

කවදාද මියගියේ?  

අවුරුදු දොළහකට කලින්.  

ඔහු ඔබ ලියූ ප්‍රබන්ධ කියවා තිබෙනවාද?  

ඔව්. ඔහු මට හුඟක් සහාය දුන්නා. මං මගේ නොබෙල් සාහිත්‍ය දේශනය ලිව්වෙ මගේ තාත්තාගේ සූට්කේස් එක ගැනයි. ඔහුටත් කවියෙක් වෙන්න ඕන වුණා. ඔහු කවි ලිව්වා. ඔහු සාර්ථක වුණේ නෑ. ඒත් ඔහු සාර්ථකත්වය හඹා ගියෙත් නෑ. ඔහු මියයන්න කලින් ඔහුගේ ලේඛන එකතුවක් මට දුන්නා. පසුව මම ඒවා ගැන රචනාවක් ලිව්වා. එයත් කාව්‍යමය රචනාවක්.  

ඔහු මුලින්ම ඔබ ලියූ දෙයක් කියවද්දී ඔබට දැනුණු හැඟීම මතකද?  

ඔහු හරිම කාරුණිකයි. හැම කෙනෙකුටම ඔහු හුඟක් ගෞරව කළා. ඔහු මාව විවේචනය නොකිරීම තමයි මාව චංචල කළේ. ඔහු මාව, මගේ සහෝදරයින්ව පවා සැලකුවේ ‘ජීනියස්ලා’ (මහා දක්ෂයින්) හැටියට. තාත්තා එක්ක මගේ තිබුණු සබඳතාව අවසානයේ මේ පොතේ ස්වරය වුණා. මෙයට ‐ The Red ‐ Haired Woman නවකතාවට ‐ භාවාත්මක සහ පෞද්ගලික මූලයන් තියෙනවාට අමතරව එහි සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රෙක්ස්’ (Oedipus Rex) සහ පර්සියානු කිවි ෆෙර්දෝව්සිගේ සම්භාව්‍ය කතාවක් වූ ‘ශාහ්නාමේහ්’ (Shahnameh) සමඟ, එසේ නැත්නම් Book of Kings (‘රජවරු පිළිබඳ පොත’) සමඟ ප්‍රබන්ධමය සන්සන්දනයකුත් ඇතුළත් වෙනවා. ‘ඊඩිපස් රෙක්ස්’ වල එන්නේ එක්තරා යැපෙන්නෙකු විධියට පුතා විසින් පියා මරා දැමීමයි. රොස්ටම් සහ සෝරාබ් අතර කතාව කියන ‘ශෙහ්නාමේහ්’ ‘ඊඩිපස්ට’ ප්‍රතිපාර්ශ්ව (ප්‍රතිවිරුද්ධ) කෘතියක්. මොකද එහිදී පියා පුතා මරනවා. මේවා බටහිර සහ ඉස්ලාම් ශිෂ්ටාචාරයන්හි උත්තම සාහිත්‍යයේලා ගිණිය හැකි කෘතියි.  

ඔබ දන්නවා ඇති හැම වසරකම එක් සෙමෙස්තරයක් මම කොලුම්බියා විශ්වවිද්‍යාලයේ උගන්වනවා. කොලුම්බියා විශ්වවිද්‍යාලයේ බට්ලර් ලයිබ්‍රරියේ සොෆොක්ලීස්, ඇරිස්ටෝටල්, ප්ලේටෝ, ශේක්ස්පියර් ආදීන් ගැන උගන්වනවා. කොලුම්බියා විශ්වවිද්‍යාලය සම්භාව්‍ය සාහිත්‍යය ඉතා හොඳට උගන්වනවා. ඒත් එතකොට මං මගෙන් අහන ප්‍රශ්නයක් තමයි “පෙරදිග සම්භාව්‍ය සාහිත්‍යය මේ එක්ක බැලුවොත් කොහොමද? ඊඩිපස් රෙක්ස් එක්ක පෙරදිග සම්භාව්‍ය කෘතියක් සැසඳුවොත් කොහොමද?” කියල.  

අපි ඊඩිපස් කියවන්නේ පෞද්ගලිකත්වය (Indivindualism) සමඟයි. මොකද ඔහු පියා මරනවා. ඒත් ඔහු තවමත් පියාට ගෞරව කරනවා. අපි පියා පුතා මරන රොස්ටම් කියවන්නේ ඒකාධිපතිවාදය (Authoritarianism) සමඟයි. මොකද ෆෙර්දෝව්සිගේ රොස්ටම් සහ සෝරාබ් පිළිබඳ ‘ශෙහ්නාමේහ්’හි සම්පූර්ණ වියමනම පියා පුතා මැරීම සාධාරණීකරණය කරනවා. මං හිතන්නෙ අපි නූතනවාදීන් විධියට සොෆොක්ලීස්ගේ ‘ඊඩිපස් රෙක්ස්’ කියවන්නේත් එක්තරා දුරකට පුතා පියා මැරීම සාධාරණීකරණය කරමිනුයි. අපි ඊඩිපස්ට ගෞරව කරනවා. අපගේ අනුකම්පාව සමඟ අපට ඔහුගේ වේදනාව තේරෙනවා. අපි ඔහුව තේරුම් ගන්නා විට අපි ඔහු සදාචාර සීමා අතික්‍රමණය කරනවාට ගෞරව කරනවා. ඉතින් මේ දේවල් ගැන මට ලියන්න ඕන වුණා ‐ පියවරු, පුත්තු, පිය සෙනෙහස අහිමිවීම්, පුතෙකුගේ පෞද්ගලිකත්වය ආදිය ගැන ලියන්න ඕන වුණා.  

ඔබේ කෘතිය කෙතරම් දුරට සවිඥානිකව.... මං කියන්නෙ නෑ එය පෙරදිග සහ බටහිර යා කරනවාම කියල.  

ඔව්. මට ඔබේ ප්‍රශ්නය තේරෙනවා.  

හරි.  

මට එහිදී සවිඥානිකව කිසිවක් ලියන්න ඕන වුණේ නෑ. 1990 ගණන්වල මැද හරියෙන් පස්සෙ, විශේෂයෙන් 2000 ගණන්වල මුල් භාගයේදි මගේ පොත් ජාත්‍යන්තරයට පරිවර්තනය වෙන්න ගනිද්දි ඔය දේම සිදු වුණා. හැම කෙනෙක්ම මට කියන්න ගත්තා “ඕ... ඔයා පෙරදිගයි, බටහිරයි යා කරනවානෙ” කියල. මම ඒ ප්‍රතිචාරයට කැමති වුණේ නෑ. මොකද මම මගේ රට ලෝකයාට පැහැදිලි කරන්න පොත් ලියන්නෙ නෑ. මම ලියන්නෙ ‐ සමහර වෙලාවට මම මෝඩ විධියට මාවම රවටා ගන්නවා ‐ ඊට වඩා ගැඹුරු හේතු මතයි. මං ඉස්තාන්බූල් ගැන ලියන ලේඛකයකු වීම නිසාත් ඔය කතාවම ඇසුවා. ඔව්. මම ඉස්තාන්බූල් ගැන ලියනවා. මොකද මගේ මුළු ජීවිත කාලයේම මම ජීවත් වුණේ ඉස්තාන්බූල්වල. මට දැන් අවුරුදු 65 ක්. මං මේ නගරයේ අවුරුදු 65 කට කිට්ටු කාලයක් ජීවත් වෙලා තියෙනවා. එතකොට මං ලියන දේ ඉස්තාන්බූල් ගැන වීම වළක්වන්න බෑ. ඒත් එහෙම ලියවුණේ “මං ඉස්තාන්බූල් ගැන ලියන ලේඛකයෙක් වෙනවා” කියල හිතාගෙන ලියලා නෙවෙයි. මං ලිව්වේ අනෙක් හැම ලේඛකයෙක්ම වගේ මං දන්නා හඳුනන මිනිසුන් ගැනයි. ඔව්. ඇත්ත. මං ලියන්නෙ මිනිසුන් ගැනයි. ඒ මිනිස්සු මට ඉස්තාන්බූල්වලදි හමු වුණා. එතකොට වක්‍රාකාරයෙන් මම ඉස්තාන්බූල් ගැන ලියන ලේඛකයෙක් වෙනවා. මං පෙරදිග ‐ බටහිර අතර පාලම් තනන්නෙක් කියල මුලින්ම කියූ සැබෑම ජාත්‍යන්තර විචාරකයින් මට 2000 ගණන්වලදි විතර හමු වෙනවා. ඒත් ඒක අපි අමතක කරමු. ඉතින් මම ඉස්තාන්බූල් ලේඛකයෙක්. ඒත් මං ඒ ගැන ලියන්න හිතාගෙන ලියන ලේඛකයෙක් නෙවෙයි. ඒත් ඒ කතාවලින් මම යමක් ඉගෙනගන්නවා. පාලමක් තනනවා කියන්නෙ ලෝකයේ මං ජීවත් වන ප්‍රදේශය සෙසු ලෝකයට විස්තර කරනවා කීමයි. එතකොට මං කතා ලියන කෙනෙක්. අවසානයේ ඒ කතා සාර්ථක වෙද්දි ඒවා යම් කිසිවක් විස්තර කරනවා. ඒත් මං කතා ලියන්නෙ ඒ නිසා නෙවෙයි. මට කතා ලියන්න හේතු වෙන්නෙ පාලම් තැනීම නෙවෙයි.  

ඔබ ඔබව යුරෝපියානුවෙක් විධියට සලකනවාද?  

ඔව්. සියලු තුර්කිවරුන් වගේ මං යුරෝපියානුවෙක් වගේම තුර්කියට අයත් කෙනෙක්. මං අනාගමික පුද්ගලයෙක්. ඒත් මං ඉස්ලාම් සංස්කෘතියේ නූතන අදියරේ පුද්ගලයෙක්. මං ආගමික පුද්ගලයෙක් නෙවෙයි. ඔව්. මං අනාගමික කෙනෙක්. ඒත් මං අයිති වෙන්නෙ ඒ සංස්කෘතියට (ඉස්ලාම් සංස්කෘතියට). ඒවගේම තුර්කිය යුරෝපා සංගමයට ඇතුල් වීමට මම දේශපාලනිකව පෙනී සිටියා. මං ඊට වර්ෂ 2000 ගණන්වල කාලය කැප කළ ‐ සමහර විට කාලය නාස්ති කළ ‐ අයෙක් කියල සැලකුවාම මම ආඩම්ර යුරෝපීයෙක් වෙනවා. ඒ කාලය අපට යුරෝපා සංගමයට ඇතුල් වෙන්න තිබුණු හොඳ කාලයයි. ඒත් අන්තිමේ සියලු දේ නරක අතට හැරුණා. අද වෙද්දි තුර්කිය යුරෝපා සංගමයට බැඳීමට සිටින ප්‍රබල අපේක්ෂකයෙක් නෙවෙයි. අද තුර්කිය යුරෝපා සංගමය එක්ක ගැටුම්වල පැටලෙනවා. මට ඒ ගැන හරිම කනගාටුයි.  

තුර්කි රජය පෙරළීමට හදිසි කුමන්ත්‍රණයක් (2016 වසරේ) දියත් වූ බව ආරංචි වුණාම, නොඑසේ නම් පවතින රජයට එරෙහිව කැරැල්ලක් සිදු වන බව ආරංචි වුණාම ඔබට දැනුණු පළමු හැඟීම කුමක්ද?  

මට ඒ ගැන ආරංචි වුණේ නෑ. කැරැල්ල සිදු වෙනවා මං ඇත්තටම දැක්කා. උදේ 9.30 ට එය ආරම්භ වෙන කොට මං ඒ ගැන මාධ්‍යවලිනුත්, අන්තර්ජාලයෙනුත්, වැඩියම රූපවාහිනියෙනුත් ප්‍රවෘත්ති අරගෙන තිබුණා. මං විස්මයෙන්, භීතියෙන් මුසපත් වෙලා බලාගෙන සිටියා. හමුදා කැරලිකරුවන් කැරැල්ලෙන් සාර්ථක නොවන බව මං දැනගත්තා. ඒ අවබෝධයෙන් මං පාන්දර තුන වෙනකන් ඇහැරිලා බලාගෙන සිටියා. ඉන් පස්සෙ මම නිදි පෙත්තක් අරගත්තා. ඒත් මං කොච්චර පිස්සු වැටිලා, ආතතියට පත් වෙලා සිටියාද කීවොත් මට නින්ද යන්නෙ නෑ කියල මට තේරුණා. අන්තිමේ කැරැල්ල පරාජය වෙලා කියල දැනගත්තාම මම පුදුම විධියට සතුටු වුණා. ඒවගේම පාරට බැහැලා කැරැලිකරුවන්ගේ යුද ටැංකි නතර කළ අභීත මිනිසුන්ටත් මම කෘතඥ වුණා. මේ මිනිස්සු ඔබයි, මමයි වගේ බටහිර යුරෝපීය අර්ථයෙන් ලිබරල් මිනිස්සු නෙවෙයි. ඒත් ඔවුන් (තුර්කි ජනාධිපති රිසෙප් ටයිප්) එර්ඩෝගන් වෙනුවෙන්, නැත්නම් ඔවුන්ගේ පක්ෂය හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි මිනිස්සුයි. ඔවුන් මගේ ලිබරල් පුරුෂාර්ථ වෙනුවෙන් පෙනී සිටි අය නෙවෙයි. ඒත් වක්‍රාකාරයෙන් ඔවුන් තුර්කියේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියා.  

කැරැල්ලෙන් වසරකට පස්සෙ දැන් ඔබට එහෙම හිතෙනවාද?

නෑ. දැන් මට ඒ විධියට හිතෙන්නෙ නෑ. මම ඔවුන්ට කෘතඥ වෙනවා. ඒත් රජය හුඟක් ලිබරල්වාදීන් පලවා හරින්න හමුදා කැරැල්ල පාවිච්චි කළා. රජය විවේචනය කළ හුඟක් දෙනා රජයේ කාර්යාලවලින් පලවා හැරුණා. ඔවුන් 40,000 ක් දැන් ඉන්නෙ බන්ධනාගාරවල. මාධ්‍යවේදීන් 140 ක් සිරගත කරලා. තුර්කියේ ප්‍රබන්ධ පොත් ලිවීම ප්‍රශ්නයක් නෑ. ඒත් මාධ්‍යවේදීන් වගේ, දේශපාලන විස්තර විචාරකයින් වගේ දේශපාලනයට අත තිබ්බොත් ඔබ කරදරවල පැටලෙනවා.  

දේශපාලනය ගැන, ඉතිහාසය ගැන කථා කරන්න ගිහින් ඔබත් කරදරවල පැටලුණේ ඒ විධියට?  

ඔව්. මම රජයත් එක්ක හුඟක් කරදරවල පැටලුණා. ඒ, මං ලියූ නවකතා නිසා නෙවෙයි, මං දුන් සම්මුඛ සාකච්ඡා, මං කියූ දේවල් නිසයි. ඔවුන් නිතරම විමසුවේ මගේ දේශපාලන විස්තර කථනයි. ඔබ දන්නවා ඇති මර්දනකාරී ප්‍රශ්නවලට නතු වී ඉන්න ලේඛකයින් ගැන කියන පැරණි තාලේ උපහැරණයක් තියෙනවා. ඒ තමයි කෆ්කාගේ විධියට ලියන්න බැරි ලේඛකයින් බොහෝ විට පදනම් වෙලා ඉන්නෙ 1930 ගණන්වල සෝවියට් සංගමයේ හෝ ජර්මනියේයි කියල. ඇත්තටම ඔබට කෆ්කා වගේ නවකතාවක් ලියන්න පුළුවන්. ඒ විධියට රජය විවේචනය නොකරන තාක් කවුරුවත් ඔබට ප්‍රශ්න ඇති කරන්නෙ නෑ. ඒත් ඔබ රජය විවේචනය කළොත් ‐ රජය විවේචනය කළ නිසාම බන්ධනාගාර ගත වෙලා ඉන්න මගේ යාළුවො ඉන්නවා. තුර්කියේ හුඟක් නිර්භීත මිනිස්සු ඉන්නවා. තුර්කිය කියන්නෙ පාලන පක්ෂය හෝ එර්ඩෝගන් හෝ ඒ.කේ.පී. ය හෝ නෙවෙයි. එහි පෙරළා සටන් කරන නිර්භීත ලිබරල්වාදීන් ඉන්නවා. පසුගිය මැතිවරණයේදී රජයේ පාර්ශ්වය සියයට 51ක ඡන්ද ගත්තා. විරුද්ධ පක්ෂය සියයට 49ක ඡන්ද ගත්තා. ඒ අනුව ඡන්ද බෙදීයෑම සමානයි. ඒක හරිම ආකර්ෂණීයයි. ඉතින් එහෙම ඡන්ද ලබාගත් නිසයි මං මෙහි ඉන්නෙ. ඇත්ත වශයෙන් ඒ මගේ රට.  

ඔබ නවකතාකාරයකුගේ චරිතයක් වීම නිසා එර්ඩෝගන් ඔබට කැමැතිද? එහෙම නැත්නම් වෙන ආකාරයක චරිතයක් නිසා...  

නෑ. නෑ. නෑ. එහෙම දිහාවකට මට යන්න ඕන නෑ. අපි පොත් ගැන කථා කරමු.  

හොඳයි. මම ඔබේ මීට පෙර පළ වූ පොතක් ගැන ඇසුවොත්. ඒ කිව්වෙ....  

ඔව්. ඔබට ඕන ප්‍රශ්නයක් අහන්න.  

ඔබේ Snow නවකතාවේ ඔබ ලියූ කියමනක් මම කියවන්නම්. එහිදී එක් චරිතයක් මෙහෙම කියනවා: “අනාගාමික හමුදාවක් තමන් ආරක්ෂා කරන්නේ නැත්නම් තරමක් බටහිරකරණය වූ කිසිවෙකුට මේ රටේ නිදහසේ හුස්ම ගන්න බෑ. ඒවගේම තමන් අනික් හැම දෙනාටම වඩා උසස්ය කියල හිතන, සෙස්සන් හෙළා දකින බුද්ධිමතුන්ට තරම් මේ ආරක්ෂාව වෙන කාටවත් ඕන වෙන්නෙත් නෑ.”  

(සිනා!) ඔව්.  

“හමුදාව නොසිටියා නම් මේ උන්මත්තකයින් හුඟක් දෙනෙක්ව සහ ඔවුන්ගේ බිරින්දන්ව සිය මළ කාපු පිහි අමෝරාගෙන ඇවිත් කෑලිවලට කපා දමාවි.” මෙය දැන් නැවත අසද්දි ඔබ කුමක්ද හිතන්නෙ?  

මුලින්ම කියන්න ඕන පොතේ ඔය කොටස කියන්නේ එෆ්.බී.අයි. ඒජන්තයකු ජාතියේ කෙනෙක්.  

ඔව්. එය චරිතයක්.  

“රජය විවේචනය කරන්න එපා. ඔවුන් දේශපාලන ඉස්ලාම් භක්තිකයන්ට හරිම දරුණු විධියට සලකනවා” කියල තරුණ වාමාංශිකයන්ට කියන්නෙ ඔය පුද්ගලයායි. ඔහු කියන්නෙ ඔවුන් ඒක කරන්නෙ ආණ්ඩුව තුළ ඉරානයට කැමත්තක් ඇති නොවෙන්නයි කියල. ඒත් අමතක කරන්න එපා ඒ පුද්ගලයා එෆ්.බී.අයි. ජාතියේ දක්ෂිණාංශිකයෙක්. ඔහු විරුද්ධ පක්ෂයේ හැම කෙනෙක්ම ලුහුබැඳලා කියනවා ආණ්ඩුවට විරුද්ධ වෙන්න එපා කියල.  

ඔබට පේනවා ඇති මේ කිසිවක් සරල නෑ කියල. ඒවා හරිම සංකීර්ණයි. මොන පැත්තද නිවැරදි කියල දැනගන්න එක ලේසි නෑ. මගේ ඉවෙන් කියන්නෙ “ඔබ ඔබේ පොත් ලියන්න. ඔබේ පොත් වෙත අවධානය යොමු කරන්න. පොත්වලම නිරත වෙලා ඉන්න. ඔබේත්, ඔබේ මිතුරන්ගේත් ‐ එහෙම නැත්නම් හැම දෙනාගේත් ‐ කථා කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී ඉන්න” කියලයි. ඉතින් මේ, මගේ උතෝපියාවයි. මේ, මගේ ජීවන විලාසයයි. මීට වඩා දෙයක් මං ඉල්ලන්නෙ නෑ. මගෙන් දේශපාලන විචාරයක් අහන්න එපා. මගේ විචාරය වෙන්නෙ දිගටම මගේ පොත් ලියන්න, නිදහස් අදහස් ප්‍රකාශනය වෙනුවෙන් පෙනී ඉන්න. මගේ මිතුරාගේ ප්‍රකාශන නිදහස වෙනුවෙන්, අනෙකාගේ ප්‍රකාශන නිදහස වෙනුවෙන්, ඒවගේම මගේ නිදහස් අදහස් වෙනුවෙන් පෙනී ඉන්න කියලයි. 

මාතෘකා