ජපන් සිනමාව තරම් ජපන් පොත් මට බලපෑමක් කළේ නෑ : 2017 වසරේ නොබෙල් සාහිත්‍යධර කසුවෝ ඉෂිගුරෝ

 ඡායාරූපය:

ජපන් සිනමාව තරම් ජපන් පොත් මට බලපෑමක් කළේ නෑ : 2017 වසරේ නොබෙල් සාහිත්‍යධර කසුවෝ ඉෂිගුරෝ

පසුගිය වසරේ නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ කසුවෝ ඉෂිගුරෝය. ඔහු ජපානයේ උපත ලැබූවත් මේ වන විට ඉංග්‍රීසියෙන් ලියන බ්‍රිතාන්‍ය ලේඛකයෙකි. 1954 වසරේ නොවැම්බර් 8 වෙනිදා ජපානයේ නාගසාකිහි උපත ලද ඔහු 1960 වසරේ එංගලන්තයට පැමිණෙනුයේ පියාගේ රුකියා අවස්ථා කරණ කොටය.

ඒ අනුව 1978 වසරේ කෙන්ට් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි හා දර්ශනය යන විෂයන් අළලා ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නා ඔහු 1980 වසරේ සිය ශාස්‍ත්‍රපති උපාධිය ලබන්නේ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ නිර්මාණ සාහිත්‍යය පාඨමාලාව හදාරමිනි.

ඉෂිගුරෝ නිර්මාණ සාහිත්‍යයට එළඹෙන්නේ 1982 වසරේය. ඒ, A Pale View of Hills නවකතාවෙනි. අනතුරුව 1986 වසරේ ඔහු An Artist of the Floating World නවකතාව රචනා කරන අතර පසුව ඔහුගේ තෙවන නවකතාව ලෙස 1989 වසරේ The Remains of the Day රචනා කරයි. එය එම වසරේ බුකර් සාහිත්‍ය සම්මානය හිමි කරගන්නේ ඉෂිගුරෝ වෙත ලෝක අවධානය දිනා ගනිමිනි. 2005 වසරේ ඔහු රචනා කරන Never Let Me Go නවකතාව ‘ටයිම්’ සඟරාවේ වෙසෙස් ඇගයීමට ලක් විය. එ්, ‘ටයිම්’ සඟරාව ඇරඹුණු 1923 වසරේ සිට 2005 වසර දක්වා පළ වූ හොඳම නවකතා 100 අතරට ඇතුළත් කරමිනි.

ඉදින් මේ, ජර්මනියේ ප්‍රධානම ප්‍රවෘත්ති සඟරාව වන ස්පීගල් (DER SPIEGEL) සඟරාව ඉෂිගුරෝ සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි. සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මයිකල් ස්කොට් සහ මයිකල් සොන්තීමර් විසිනි.   

Never Let Me Go විසිතුන් වසක් වන ඔබේ සාහිත්‍ය ජීවිතයේ හය වැනි නවකතාවයි.
මින් පැවසෙන්නේ ඔබ බොහෝ සෙමෙන් ලියන කෙනෙකු බවයි. ඇයි ඒ? 
 

ඉක්මනින් ලියන්න ඕන කියල මට කවදාවත් හිතිලා නෑ. මං මෙච්චර පොත් ගාණක් ලියන්න ඕන කියල මං කවදාවත් හිතලා නෑ. මට වැදගත් වෙන්නෙ පොතක්, යම්තාක් වෙනස් පොතක් ලිවීමයි.   

ඔබේ පොත්වල ඉංග්‍රීසි පිටපත් මිලියනයක් පමණ දැනටම විකිණී අවසන්. ඒවගේම ඔබේ පොත් ලොව භාෂා 28 කට පරිවර්තනය වී තිබෙනවා?   

මං ඒ සංඛ්‍යා වාර්තා තියාගන්නෙ නෑ. ඒත් මේ කාලෙ මහා අලෙවියක් තියෙන ලේඛකයනුයි, කුඩා අලෙවියක් තියෙන ලේඛකයනුයි අතර විශාල වෙනසක් තියෙනවා. ඉතා හොඳ, නම් තියෙන ලේඛකයින්ගේ පොත් පවා, නොබෙල් සාහිත්‍යලාභී ලේඛකයින්ගේ පොත් පවා බොහෝ විට අද විකිණෙන්නේ ඉතා අඩුවෙන්. ඉතින් ලේඛකයෙකු ගෙවිය යුත්තේ කවරාකාර ජීවිතයක්ද යන්න තේරුම් ගැනීම මං හිතන්නෙ හරි අමාරු දෙයක්. ඔවුන් කෝටිපතියො වෙන්න පුළුවන්.

නැත්නම් බඩගින්නෙ දඟලන මිනිස්සු වෙන්න පුළුවන්. කොහොම වුණත් පසුගිය අවුරුදු දහයේ, පහළොවේ විශේෂයෙන් ඉංග්‍රීසියෙන් ලියන ලේඛකයින්ට ගෝලීය වෙ‍ළඳපොළ අල්ලාගන්න පුළුවන් වෙලා තියෙනවා.   

අද ජර්මනිය තුළ ලේඛකයකුට නමක් හදාගන්න තිබෙන හොඳම මාර්ගය ඔහු සාර්ථක ඇමෙරිකානු ලේඛකයකු වීමයි කියල තරුණ ජර්මානු ලේඛකයින් කියනවා.   

මං හිතන්නෙ ජර්මානුවන් ඇමෙරිකානු ලේඛකයින් දෙසට, නැත්නම් ඇත්තටම බ්‍රිතාන්‍ය ලේඛකයින් දෙසට අවධානය යොමු කරන්න තරම් බාහිරාවර්තී වීම ඇගයිය යුතු දෙයක්. ඒත් අනෙක් අතට මේ ප්‍රවණතාව මාව කැලඹීමට පත් කරනවා. සෑම රටකම කේන්ද්‍රයේ ප්‍රබල සාහිත්‍ය සම්ප්‍රදායක් තිබිය යුතු වගේම අනෙක් අතට ඔවුන් තුළ සෙසු රටවල්වල සාහිත්‍යයට උනන්දුවකුත් තිබිය යුතුයි.   

ජාත්‍යන්තර ලේඛකයකු වීම යන්නෙහි අර්ථය කුමක්ද?   

ජාත්‍යන්තර ලේඛකයකු වීමේ එක් වැදගත් කරුණක් මේකයි. මම දැන් ජර්මනියේ හෝ වෙන තැනක ඉඳගෙන මගේ පොත්වල ඇතැම් පරිච්ඡේද ලිව්වෙ ඇයි කියල ඔබට පැහැදිලි කරනවා කියල හිතමු. එහෙම වුණාම මං ආපසු මගේ රටට ගිහින් මගේ ඊළඟ කෘතිය ලියද්දි මගේ ඔළුවේ තැනක මේ කෘතිය තවත් භාෂාවකට පරිවර්තනය වෙනවා කියන හැඟීම තියෙනවා. ඇත්තටම ඉංග්‍රීසියේ ඉතා අපූරු ලෙස පෙනෙන දෙයක් වෙන භාෂාවකදි අපූර්වත්වයක් ඇති කරන්නෙ නෑ. හේතුව ලියන දේ එම භාෂාවේ ඇණුම් පද, වෙළෙඳනාම, සංස්කෘතික අර්ථ සමඟ ඕනවටත් වඩා බැඳෙනවා. (එතකොට මං ඒ වචන වියමනට ඇතුළත් කරනවාද, නැද්ද කියල තවදුරටත් හිතනවා.) ඒත් ඒ වචන මං ලියන දෙයින් අයින් කරන්න මට අමාරුකමක් දැනෙනවා. ඇත්තටම ඒවා ඉවත් කිරීම හරිම අවදානම් දෙයක්.   

ඔබ විශ්ව ලේඛකයකු (Global Writer) වෙන්න සුදුසුද? ඔබ ඉපදුණේ ජපානයේ. ඔබේ පවුල ඔබට අවුරුදු පහේදි එංගලන්තයට සංක්‍රමණය වෙනවා. ඔබ තවමත් ජපන් සංස්කෘතියේ මුල්බැසගෙන ඉන්නවාද?   

නෑ. එංගලන්තය මගේ ගෙදරයි. තවමත් මගේ දෙමවුපියන් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ජීවත් වෙනවා. ඔවුන්ට දැන් මම දුරකථනයෙන් කථා කරද්දි මං කථා කරන්නෙ පුංචි ළමයි කථා කරනවා වගේ හරිම නරක ජපන් බසක්. මට ජපන් කියන්නෙ මගේ මවුපියන්ට කථා කරන භාෂාව විතරයි. ඒ කාලෙ අපි සැලසුම් කළේ ආපසු ජපානයට ගිහින් පදිංචි වෙන්න. මගේ තාත්තා බ්‍රිතාන්‍ය රජයට සේවය කළ විද්‍යාඥයෙක් - අපි හිතුවේ ඒ තාවකාලික පදනම මතයි කියල. ඒත් අන්තිමේ බැලුවාම අවුරුදු 45 කට පස්සෙත් ඔහු තවම එතැන වැඩ කරනවා. ඒ වුණත් මං නිතරම සූදානම් වුණේ ආපසු ජපානයට ගිහින් ජපන් සමාජයට අනුගත වෙන්න.   

එංගලන්ත නගර පර්යන්තයේ ආසියානු පිරිමි දරුවකු වශයෙන් ඇතිදැඩි වූ ඔබ එම සමාජයට පිටස්තරයකු වුණේ නැද්ද?   

ඒකෙ අනෙක් පැත්තයි සිදු වුණේ. මම අපේ ප්‍රදේශයේ හරිම ජනප්‍රිය චරිතයක් වුණා. මම පල්ලියේ ගීතිකා කණ්ඩායමේ ප්‍රධාන ශිෂ්‍යයා වුණා. හැම කෙනෙකුම වගේ මම දැනගෙන සිටියා. ඒ අතින් බ්‍රිතාන්‍ය ජාතිකයින් හරිම අපූරුයි. එක් පැත්තකින් ඔවුන් ඉතා වර්ගවාදීයි කියල චෝදනා කරන්න පුළුවන් තමයි. ඒත් පුද්ගලික මට්ටමින් ඔවුන් හරිම විවෘතයි. මම බ්‍රිතාන්‍යයේ ඇතිදැඩි වුණේ එය බහුසංස්කෘතික රටක් වෙන්න කලිනුයි. ඒ නිසා ඒ නැති වෙලා තියෙන එංගලන්තයට - මගේ ළමා වියේ එංගලන්තය දැන් අතුරුදන් වෙලා - මගේ බොහෝ සෙයින් සාංකාවක් තියෙනවා. ‘60 ගණන්වල මැද භාගයේ ඉඳලා හුඟක් බ්‍රිතාන්‍ය ජාතිකයින් තුළ ඉන්දියානු අර්ධද්වීපයෙන් පැමිණිය අය කෙරෙහි වර්ගවාදී සහ අනෙකුත් ගෝත්‍රවාදී හැඟීම් වර්ධනය වුණා. ඒත් මං පුංචි කාලෙ එහෙම හැඟීමක් කාගෙවත් තිබුණෙ නෑ.   

ඔබේ අලුත්ම නවකතාවට පසුබිම වන්නේ එංගලන්තයයි. ඒත් නවකතාව කියවද්දී එහි ඉංග්‍රීසි හැඩරුව ඒ තරම් දකින්න නැහැ?   

එංගලන්තය ගැන කියන පොත් ලියන්න මට කවදාවත් ඕන වුණේ නෑ. බ්‍රිතාන්‍ය සමාජ හදගැස්ම හසුකරගන්න වෙහෙසෙන ඉතා හොඳ බ්‍රිතාන්‍ය ලේඛකයින් හුඟ දෙනෙකු මම දන්නවා. ඒත් මට ඒක කරන්න බැහැ - මං (මගේ පොත්වල එන එංගලන්තයට) කියන්නෙ ‘එංගලන්තය’ කියල. ඒ එංගලන්තය හුදු මනඃකල්පිත එංගලන්තයක්. දැන් මගේ The Remains of the day කෘතිය බොහෝ දුරට එංගලන්ත පරිසරයේ මුල්බැසගත් නවකතාවක් කියල හුඟ දෙනෙක් හිතනවා. ඒත් එහි එන එංගලන්තයත් මං හුඟක් පරිකල්පනයෙන් ගොඩනැඟූ එංගලන්තයක්.   

එංගලන්ත ජාතිකයකු තමන් එංගලන්ත යැයි සිතන ආකාරය සහ ඒ පිළිබඳ ආකල්ප ඔබ එම කෘතියෙන් ඉදිරිපත් කරනවා? හුඟක් ජර්මානුවනුත් තමන් ජර්මනිය කියල සිතන දෙයක් තියෙනවා.   

ඔව්. මං හිතන්නෙ ලෝකයේ කා තුළත් තමන් කවුද කියල හිතන දෙයක් තියෙනවා. ඒ අනුව එය ජාත්‍යන්තරයටම පොදු තත්ත්වයක්. එංගලන්ත මිනිස්සු තුළ තමන්ගේ රට කොයි වගේද කියල හිතන මිථ්‍යාවක් තියෙනවා. දැන් මගේ අලුත් නවකතාවේ (Never Let me Go) ඇති එංගලන්තය The Remains of the day නවකතාවේ එන එංගලන්තයට වඩා හුඟක් වෙනස්. එය ලියවිලා තියෙන්නෙ ඇත්ත රටට වඩා වෙනස් විධියට.   

එහි එන්නෙ ගැමි එංගලන්තයක්. නෝෆෝල්ක්හි එන පිටිසර එංගලන්තයක්....

ඒත් එය ලස්සන ඉංග්‍රීසි ගැමි පරිසරයක් නෙවෙයි. එය මූසල, අඳුරු, ඇඟෑලුම් නැති, උණුහුමක් නැති පිටිසර එංගලන්තයක්.   

සමස්තයක් විධියට ඔබේ අලුත් නවකතාව දොම්නස්බර එකක්. එහි එන තරුණ ජීවිත, පුද්ගල පිටපත් අවාසනාවන්ත ඉරණම් සහිත ඉතා දරුණු අවස්ථාවන්ට මුහුණ දෙනවා.
ඒත් පුදුමය ඒ තත්ත්වයන්ගෙන් ගැලවෙන්න ඒ චරිත කිසිවක් කරන්නෙ නෑ. (ඔවුන් ඉරණමට තමන් බිලිගන්න ඉඩ දීලා බලා ඉන්නවා.) මනුෂ්‍යයාගේ ඉරණම පිළිබඳවත් ඔබ හිතන්නේ ඒ විධියටද?

මගේ සියලු නවකතාවල තියෙන්නේ මේ ගුණය කියල මං හිතනවා. The Remains of the day නවකතාවේ එන ප්‍රධාන සේවකයාගේ චරිතයට යමු. ඔහු දන්නෙ නෑ තමන් යන්න හදන තැන - එංගලන්තයේ සහ නට්සි ජර්මනියේ ඉතිහාසය - මොකක්ද කියල. ඔහු තමන්ට නියම වන දේ බාරගෙන ඒ තුළ අභිමානයකින් ඉන්න බලනවා. එච්චරයි. දැන් Never Let me Go නවකතාව බැලුවොත් එහි මුල ඉඳලාම මට තේරුණා මට පසුව කැරලි ගහන්න වෙන වහල්ගත හෝ සූරාකෑමට නතු වන පන්තිය ගැන කතාවක් ලියන්න ඕන නෑ කියල. මගේ කිසිම කතාවක් අවසානයේ ආත්ම ශක්තිය ජයගන්නා කතාවක් නෙවෙයි. එහෙම වස්තු විෂයක් මට නෑ. මගේ උනන්දුව තියෙන්නෙ සීමිත සහ ක්‍රෑර දෛවයක් වගේ දෙයක් පිළිගන්න තරම් මනුෂ්‍යයාට ඇති ශක්තිය ගැනයි.   

එක් ඇමෙරිකානු විචාරකයෙක් ඔබේ Never Let me Go නවකතාව බෙකට්ගේ සහ කෆ්කාගේ කෘතීන් එක්ක සසඳනවා?   

මං හිතන්නෙ බෙකට්ගේ හෝ කෆ්කාගේ ප්‍රබන්ධ දිහා බලනවා වගේ මගේ කෘති දෙසත් වඩා අමූර්ත ලෙස බැලීම වටිනවා කියලයි ඔහු කියන්නෙ. ඔහු එහිදී නිවැරදියි. මගේ ලේඛන දිවිය පුරාම මගේ ප්‍රබන්ධ වඩා පාරභෞතික තලයෙන් කියවන්න කියල පාඨකයා උනන්දු කරවීම මට කරන්න බැරි වුණා. උදාහරණයකට සෝල් බෙලෝ වගේ මමත් මගේ පසුබිම් පරිසරයට වහල් වෙන්නෙ නෑ. (ලියන දේ එහි සැබෑ පරිසරය නිරූපණය වෙන්න ඉදිරිපත් කරන්නෙ නෑ.) මට නවකතාවක පසුබිම් පරිසරය කතාවේ තාක්ෂණයේ කොටසක්. මම එය තෝරන්නේ අවසානයේයි.

ඔබ කතාවක් ලියන්න ගන්නේ කතාවේ චරිත එක්කද?   

මං බොහෝ වෙලාවට පටන්ගන්නේ කතාවේ සබඳතා (Relationships), එහෙම නැත්නම් කතාවෙන් මතු වන ප්‍රශ්න එක්ක (Questions). කතාවේ තේමා එක්ක (Themes). මට පසුබිම් තලය එන්නේ සියල්ල අවසානයේයි. නවකතාවක් ලියන්න ගනිද්දි එය නිරන්තරයෙන් මං මුහුණ දෙන ලොකු ප්‍රශ්නයක්. මට නිතරම සම්පූර්ණ කතාවම එනවා. ඒ ආවාට පස්සෙයි මම “මේක කියුබානු විප්ලව සමයට ගෙනිච්චොත් අපූරු වේවි නේද?” කියල හිත හිතා ඉතිහාස පොත් පෙරළමින් කතාවට පසුබිම සොයන්නෙ. ඒ අනුව මගේ පළවෙනි නවකතාවට පසුබිම වුණේ දෙවන ලෝක යුද්ධය අවසානයේ නාගසාකි නගරයයි. ඒත් කතාව අරඹද්දි එහි පසුබිම වුණේ කෝන්වේල් නගරයයි.   

මේ කෘතිය කියවන විට මතකයට නැඟෙන සෙසු නවකතාකරුවන් අතර කෙනෙක් තමයි ඩබ්ලිව්.ජී. සේබෝල්ඩ් (W.G. Sebald). මොකද ඔහුට මේ නිරවද්‍යතාව වගේම මේ නොපැහැදිලිතාවත් (නිශ්චිත පසුබිම් පරිසරයක් නැතිකම) තිබෙනවා. ඒවගේම ඔහුටත් මේ විධියේ තම ජීවිත සහ ඉතිහාසය සිහිපත් කරන කථකයින් ඉන්නවා.   

ඇත්ත වශයෙන් මම සේබෝල්ඩ්ගේ කෘති කියවා තියෙනවා. ඔහු මියයන්න කලින් මට දෙතුන් පාරක් හමු වෙලාත් තියෙනවා. ඒත් මං ඔහුගෙන් ආභාසය ලැබුවා කියල කියන්න මට බෑ. මං මුලින්ම ඔහුගේ කෘති කියෙව්වෙ මීට අවුරුදු කීපයකට උඩදියි. ඔහු අවුරුදු ගණනාවක් බ්‍රිතාන්‍යයේ උගන්වලා තියෙනවා. ඒත් අපි ඔහුගේ පොත් දැක්කේ අවුරුදු කිහිපයකට කලින් ඔහුගේ The Emigrants නවකතාව ඉංග්‍රීසියට පරිවර්තනය වුණාමයි. ඊට පස්සෙ හැම කෙනෙක්ම ඔහු කෙරේ ආකර්ෂණය වුණා. ඒත් 2001 අවුරුද්දෙ අවාසනාවන්ත ලෙස ඔහු මෝටර් රථ අනතුරකින් මියගියා. ඔහු ඉගැන්වූ ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයට මම ගිහින් තියෙනවා. එතකොට කවුරුවත් ඔහුව දැක්කෙ නෑ. අපූරු ලේඛකයින් විශාල වශයෙන් බඳවාගෙන ඊස්ට් ඇන්ග්ලියා විශ්වවිද්‍යාලයේ ඒ සංස්කෘතිය ඇති කරන්න ඔවුන් (පරිපාලනය) හුඟක් මහන්සි වුණා. බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලයකින් බිහි වෙන්න පුළුවන් හොඳම ලේඛකයා එහි නිහඬව සන්සන්දනාත්මක සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයා වශයෙන් සේවය කරලා තිබුණා. මං හිතන්නෙ ඒක හරිම විසිළුසහගතයි.   

ඔබට ලිවීමට බලපෑ සාහිත්‍යකරුවන් කවුද?   

දොස්තොයෙව්ස්කි, තෝල්ස්තෝයි සහ චෙකොෆ් මට බලපෑවා - මං පුංචි කාලෙ කියෙව්වේ ඔවුන්ගේ කෘතියි. ඒවගේම සමහර ඉංග්‍රීසි ලේඛකයින්ගේ කෘතිත් කියෙව්වා. ඒත් ජපන් ලේඛකයින්ගේ කෘති මම කියෙව්වෙ නෑ. යසුජිරෝ ඕසු, අකිර කුරොසාවා වැනි 1950 ගණන්වල ජපන් සිනමාකරුවෝ මට විශාල බලපෑමක් කළා. ඒත් ජපන් පොත් මට බලපෑමක් කළේ නෑ. ජපන් පොත් මම පරිවර්තනවලින් කියවද්දි මට ඒවා තේරුම්ගන්න බැරි වුණා. දැන් මේ හරුකි මුරකාමිගේ කෘති කියවද්දියි ජපන් නවකතා මට තේරුම්ගන්න සහ ඉන් කියන දේ බෙදාහදාගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මුරකාමි හුඟක් ජාත්‍යන්තර වූ ලේඛකයෙක්.   

මුරකාමි ජපානයේ ඇතැම් නිශ්චිත අංග ලක්ෂණ සමඟ ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය පොප් සංස්කෘතිය එකතු කරනවා.

ඔව්. ඒත් මමත් හිතනවා ජපානය එහෙම තමයි කියල. මීට අවුරුදු 20 කට විතර කලින් මම කුරොසාවාගේ දේශනයක් අහන්න ගියා. එහිදී ඔහු ඒ කියූ කරුණම අපට සඳහන් කළා. එහිදී කෙනෙක් ඔහුගෙන් ඇහුවා “ඇයි ඔබ (ඔබේ සිනමාපටවලින්) ශේක්ස්පියර්ගේ කෘති අපට අනුවාද කරන්නේ? ඒක හරිම ජාත්‍යන්තර දෙයක්නෙ (ආගන්තුක දෙයක්නෙ)” කියල. එහිදී ඔහු කිව්වෙ “නෑ. ඒක හරිම ස්වභාවික දෙයක්” කියල. මොකද කුරොසාවා ඇතිදැඩි වෙලා තියෙන්නෙ ශේක්ස්පියර්ගේ, ප්‍රංශ ලේඛකයින්ගේ සහ රුසියානු ලේඛකයින්ගේ කෘති කියවමින්. ඉතින් ඔහු කිව්වෙ “අපේ සම්මත ජපන් පුරවැසියා මෙහි (ශේක්ස්පියර්ගේ කෘතිවල) එන විධියමයි” කියල. ඔබ ටෝකියෝවට ගියොත් මං හිතන්නෙ ඔබට මේ පොප් සංස්කෘතියත්, ජපන් සම්ප්‍රදායික සංස්කෘතියත් වෙන් කරන මූට්ටුවක් නැති තරම් වූ මිශ්‍රණයක් පේන්න ගනීවි.

ඔබේ බොහෝ නවකතාවල එන්නේ පුද්ගලයකු තමාගේ ජීවිතය ගැන ආපසු හැරී බැලීමකුයි. කාව්‍ය, නවකතා වැනි මීට සපුරා වෙනස් දෙයක් ලියන්න ඔබට කවදා හෝ සිතී නැද්ද?   

මම තිරපිටපත් එහෙම ලියනවා. ඒත් ඒක මගේ සම්පූර්ණ වෙනස් වැඩ රටාවක්. මොකද එහිදී මම තවත් අය එක්ක එකතු වෙලා වැඩ කරන්නෙ. මං හිතන්නෙ තිර රචනා ලියවෙන්නෙ මා තුළ ඇති වෙනස් කොටසකින්. ඒවගේම ඒ දේ හරිම අලුත්. කොහොම වුණත් මතකය ලියන්න මම හැම විටම කැමැත්තක් දක්වනවා. දැන් ඊළඟට මම ලියන්න කැමති දේ තමයි මුළු මහත් සමාජය හෝ මුළු මහත් ජාතිය දේවල් මතක් කරන්නේ හෝ අමතක කරන්නේ මොන ආකාරයටද කියලයි. ඒ කිව්වෙ යමක් මතකයට නංවන්න හොඳ කොයි වෙලාවටද, යමක් අමතක කරන්න හොඳ කොයි වෙලාවටද කියලයි.   

නට්සි අතීතය නිසා ජර්මනියේ ඒ දේ (මතක් කිරීම හෝ අමතක කිරීම) හැට ගණන්වල සිට ඉතා බරපතල ගැටලුවක් වෙලා තියෙනවා?   

ඔව්. ජර්මනිය කියන්නෙ ඉතා සවිඥානිකව ඒ දේ (අපරාද) කළ තැනක්. මං හිතන්නෙ ජර්මානුවන් එය (ඝාතනය) වඩා සම්පූර්ණ ලෙස සහ ඇතැම් විට අනෙක් සියලු ජාතීන්ට වඩා සාර්ථක ලෙස කළා.   

විශේෂයෙන් ඒ, ජපනුන් සමඟ සැසඳුවාම?   

ඔව්. ජපනුන් සමඟ සැසඳුවාම. ඒත් මං හිතනවා ඇමෙරිකානුවන්ට වහල් වෙළෙඳාම ගැන අඳුරු මතකයක් තියෙනවා කියල. ඇතැමුන් කියනවා ඒ අතීතය වළ දාලා ඔවුන්ට ඉදිරියට යන්න කියල. ඒවගේම කියනවා අතීතයේ දේවල් නැවත මතු කිරීම කළු ජාතිකයින්ටවත්, සුදු ජාතිකයින්ටවත් හොඳ දෙයක් නෙවෙයි කියල. ඒත් අනෙක් අය කියන්නෙ එහෙම නොකළොත් සමාජය ඉදිරියට යන්නෙ නෑ කියල. මේ දේ නට්සීන්, ප්‍රංශය සහ ස්කැන්ඩිනේවියානු රටවල් යටත් කරගත් සෙසු හැම රටවල් සම්බන්ධයෙනුත් කියන්න පුළුවන්. ඒ කිව්වෙ ආක්‍රමණිකයින්ට උදව් කළ හැම දෙනාම මතක් කිරීම හොඳ අදහසක්ද, නැත්නම් (එය අමතක කරලා) ඉදිරියට යෑම හොඳ දෙයක්ද කියල කියන්න පුළුවන්. ඉතින් සෑම රටකටම මෙවැනි ප්‍රශ්න තියෙනවා.   

නීට්ෂේ වරක් කියනවා “අමතක කිරීම ඔබ නිදහස් කරයි” කියල.

ම්ම්ම්… ඒක ඉතා විශාල විෂයක්. මං හිතන්නෙ මගේ ප්‍රබන්ධ එක් පසෙකින් විශාල සමාජ විපර්යාස සිදු වූ රටවල් වෙත අවධානය යොමු කරන අතරේ අනෙක් පසින් පුද්ගල මතකයන් වෙත අවධානය යොමු කරනවා. ඒත් මට කවදාවත් මේ දෙක එකතු කරන්න ලැබිලා නෑ. එය එකතු කිරීම හරිම අභියෝගයක්.

මාතෘකා