“හිරේ හිටියත් නිරේ හිටියත් දක්ෂයා දක්ෂයාමයි” කියල එතුමා කිව්වා ආචාර්ය ලීල් ගුණසේකර

 ඡායාරූපය:

“හිරේ හිටියත් නිරේ හිටියත් දක්ෂයා දක්ෂයාමයි” කියල එතුමා කිව්වා ආචාර්ය ලීල් ගුණසේකර

1966 වසරේ පැවති සාහිත්‍ය උත්සවයේදී එක්තරා සිද්ධියක් වුණා. ඒ කියන්නෙ හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවෝ දුටුගැමුණු කියන්නේ දුට්ඨ ගාමිණී නෙවෙයි, ජෙට්ඨ ගාමිණීය කියල පාලියෙන් පොතක් ලිව්වා. පොතේ නම ‘ජෙට්ටා ගාමිණී’. එය ඒ වසරේ සාහිත්‍ය සම්මානයට තේරුණා. එවෙලාවේ සාහිත්‍ය මණ්ඩලයේ සිටි හාමුදුරුවරු කිව්වා ඒකට සම්මාන දෙන්න බෑ කියල. මොකද එක් පැත්තකින් උන් වහන්සේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කළා කියල සිරගත වෙලා සිටියෙ.

අනෙක් පැත්තෙන් උන් වහන්සේ වැඩ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. තිබුණෙ යූ. ඇන්. පී. ආණ්ඩුවක්නෙ. මේ වෙද්දි මම සංස්කෘතික අධ්‍යක්ෂක සහ සාහිත්‍ය මණ්ඩලයේ උපසභාපති නිසා සාහිත්‍ය මණ්ඩලයේ සිටි හාමුදුරුවරු මට කිව්වා මේක ඔබතුමාම ඇමතිතුමා - සංස්කෘතික ඇමති ඊරියගොල්ල - හමු වෙලා නිරාකරණය කරගන්න කියල.

සාහිත්‍ය මණ්ඩලයේ සභාපතිව සිටියේ කළුකොඳයායේ පඤ්ඤාසේකර හාමුදුරුවෝ. ආචාර්ය ආනන්ද පී. ගුරුගේ මහතාත් එහි සාමාජිකයෙක්. අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාත් මමයි. ඉතින් මම සංස්කෘතික ඇමති ඊරියගොල්ල මහතා හමු වෙලා සිද්ධිය කිව්වා. මෙහි තියෙන්නේ සම්මානලාභියාගේ දේශපාලනය පිළිබඳ ප්‍රශ්නයක් බවත්, කෘතිය දිහා දේශපාලන දෘෂ්ටිකෝණයෙන් බලන්න බැරි බවත් ඊරියගොල්ල ඇමතිතුමාට තේරුණා.

ඔහු කිව්වා “හිරේ හිටියත් නිරේ හිටියත් දක්ෂයා දක්ෂයාමයි” කියල. පසුව මම එතුමාත් කැටුව මේ ගැන විමසන්න ඩඩ්ලි සේනානායක අගමැතිතුමා හමු වුණා. මම සිද්ධිය විස්තර කළාම එතුමා මගෙන් ඇහුවේ “මොකක්ද මේ ගැන ඔබ ගත්ත තීරණය?” කියල. මම කිව්වා “මං කැමතියි අපේ ඇමතිතුමා මේ ගැන කී දේ කියන්න” කියල. එතුමා ඒ කතාව අහලා කිව්වා “ඔව් ඒක හරි. ඒක කරන්න” කියල අන්න ඒ වගේ දේශපාලන ගැටලු එදා සාහිත්‍ය සම්මාන පිදීමේදී ඇති වෙලා තියෙනවා.

 [එස්. පල්ලියගුරුගේ]

මාතෘකා