මා සසල කළේ ජැක් ලන්ඩන්ගේ Call of the Wild නවකතාවයි

 ඡායාරූපය:

මා සසල කළේ ජැක් ලන්ඩන්ගේ Call of the Wild නවකතාවයි

ආරියවංශ රණවීර

මෙතෙක් මා කියවූ පොත්වලින් මගේ සිත සසලම කළ කෘතිය ජැක් ලන්ඩන්ගේ Call of the Wild නවකතාවයි. ලන්ඩන් ඇමෙරිකානු ජාතික නවකතාකරුවෙක්. ඔහු විසිවෙනි සියවසේ ඇමෙරිකානු මහා නවකතාකරුවන් දෙතුන් දෙනාගෙන් කෙනෙකු ලෙස සැලකෙනවා. මේ කෘතිය ජැක් ලන්ඩන් පළ කරන්නේ 1903 වසරේ. මෙහිදී ඔහු කථා කරන්නේ සත්ත්වයකුගේ චිත්ත සන්තානය ගැනයි. ඒවගේම එය බටහිර කාර්මීකරණයට එරෙහි ප්‍රතික්‍රියාවත්, සත්ත්වයා ස්වභාවධර්මයට අනුගත වීමත් පෙන්වනවා. මේ කෘතිය කෙතරම් නම් මා ඇද බැඳ ගත්තාද කීවොත් මම එය සිංහලට පරිවර්තනය කරන්නත් පෙළ‍ෙඹනවා. ඒ ‘වන පෙත අඬගසයි’ යනුවෙන්. සත්ත්ව ලෝකය හා සම්බන්ධ වෙමින් නව මානයන් නිර්මාණය කිරීමට මෙහිදී කතුවරයාට හැකි වෙනවා.

Call of the Wild හි කතානායකයා බල්ලෙක්. උගේ නම බක්. ඌ සාමාන්‍ය ශරිර ප්‍රමාණයට වඩා යම් විශාලත්වයක් සහිත සතෙක්. මේ යුගය ඇමෙරිකා එක්සත් ජනපදයේ රත්රන් හමු වූ කාලයයි. මේ කාලයේ මිනිසුන් ආයාසයකින් තොරව ප්‍රවාහන කටයුතු කර ගැනීමට සුනඛයන් යොදා ගන්නවා. බල්ලන් බැඳි කරත්ත විශේෂයක් එහිදී යොදා ගත්තේ. එසේම බඩුවලින් පිරවූ කරත්ත හිම මත ඇදීමට යොදා ගත්තෙත් සුනඛයින්. කතාව තුළ කියවෙන බක් සුනඛයා තම ස්වාමියා ළඟ හොඳින් හැදී වැඩෙන, සුවපහසු ජීවිතයක් ගෙවන සතෙක්. ඌ මුලින් ඉන්නේ වත්පොහොසත් පවුලක සුරතල් බල්ලෙකු විධියට. ඒත් අනතුරුව ඌ සොරුන් පිරිසකගේ ග්‍රහණයට නතු වෙනවා. හොරු ඌ හිමේ භාණ්ඩ ප්‍රවාහනයට සතුන් යොදා ගන්නා පිරිසකට විකුණනවා. පසුව බක්ට හිමි වන ජීවිතය ඉතා කර්කෂ එකක්. එය කලින් මෙන් සුවපහසු වෙන්නේ නැහැ. ඒත් කාලයත් එක්ක ඌ දුෂ්කර දිවියට හුරු වෙනවා. මේ සුනඛයා වෘකයන්ගේ ගති ගුණ සහිත සතෙක් බවත් කියන්න ඕන. අතින් අතට යන බක් අවසානයේ බලාකියාගන්නා ස්වාමියා දිනක් ආදි වාසී රතු ඉන්දියන්වරුන් හා ඇති වූ ගැටුමකින් මියයනවා. මෙහිදී බක්ට මිනිස් සමාජය අතහැර යෑමටත්, නැවත තමාගේ පූර්ජව වෘක සමාජයට වැටීමටත් සිදු වෙනවා. එහිදී ඌ වෘකයන්ගේ සමාජයේ නායකත්වයටත් පත් වෙනවා. මේ සියල්ල කතාකරුවා අපූරු චිත්ත රූප මවමින් නිරූපණය කරනවා. නවකතාකරුවා ඉන් පෙන්වා දෙන්නේ මිනිසුන් මෙන්ම සත්ත්වයන්ටත් හැඟීම් ඇති බවත්, ඔවුනුත් මිනිසුන් මෙන් දුෂ්කර අවස්ථා ජය ගන්නා බවත්. ඇත්තටම ලන්ඩන් එහිදී බල්ලෙකුට මිනිස් ගතිගුණ ආරෝපණය කරනවා.

කෑගලු දිස්ත්‍රික්කයේ සියඹලාපිටිය ගමේ උපන් මම පාසල් වියේ සිටම පොතපත කියවීමට හුරු වූ කෙනෙක්. මගේ පියා ලිපිකරුවෙක්. මවත් රැකියාවක් කළ කෙනෙක්. අපේ පවුලේ දරුවන් පස්දෙනෙක් සිටියා. ඒ අතර මම වැඩිමල් දරුවා වුණා. මගේ සිත පොතපතට යොමු වෙන්නේ මා කුඩා අවධියේමයි. මා පාසැල් යන්නේ කෑගල්ල මාවතගොඩ රිවිසඳ මධ්‍ය මහා විද්‍යාලයට. පසුව මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. රිවිසඳ විද්‍යාලයේ පුස්තකාලය වගේම විශ්වවිද්‍යාල පුස්තකාලයත් මගේ කියවීමේ රුචිය වර්ධනය කරනවා. හයිකු කවි, බටහිර කවි, බටහිර ප්‍රබන්ධ සාහිත්‍යය ආදිය මම හඳුනාගන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාලයෙන්. මේ පුස්තකාලය තුළින් මා ලද දැනුම අපමණයි.

Call of the Wild හි බස් වහර රූපකීය බස්වහරක්. කතාව තුළ වීරයා බොහෝ දුක් කම්කටොලු විඳ අනතුරුව උට්ඨානය ලබනවා. මේ කෘතිය එක් පසෙකින් පාඨකයා ප්‍රඥාවට පත් කරනවා. අනෙක් පසින් සතුන් විෂයෙහි අපූරු කල්පනා ලොවක් මවමින් පාඨකයා පුළුල් රස වින්දන පරාසයකට නතු කරනවා.

ඒ සියල්ල බැලුවාම Call of the Wild මා සසලම කළ කෘතිය වෙනවා.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

 

මාතෘකා