දියුණු ක්‍රිස්තියානි සාහිත්‍යයක් අද මේ රටට අවශ්‍යයි

 ඡායාරූපය:

දියුණු ක්‍රිස්තියානි සාහිත්‍යයක් අද මේ රටට අවශ්‍යයි

ගරු බෙනඩික්ට් ජෝශප්

මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ක්‍රිස්තියානි සාහිත්‍යය සහ සංස්කෘතිය එතරම් පුළුල් අවධානයකට ලක්ව ඇති බවක් නොපෙනෙයි. විශේෂයෙන්ම නත්තල් සමයේදී පමණක් බහුල වශයෙන් ප්‍රචාරය වන නත්තල් ගීත කිහිපය හැර ක්‍රිස්තියානි සාහිත්‍යය ලෙස වෙන් කර හඳුනාගත හැකි ඉසව්වක් නැති තරම්ය. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැනගැනීම සඳහා සිංහල බසින් සාහිත්‍යකරණයේ නියැළෙන, මාධ්‍ය ක්ෂේත්‍රයේද ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටු කරන බෙනඩික්ට් ජෝශප් පියතුමා සමඟ අප පසුගිය දිනෙක පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

මෙරට ක්‍රිස්තියානි සාහිත්‍යයේ ආරම්භය සිදුව ඇත්තේ කුමනාකාරයටද?

ශ්‍රී ලංකාවේ සාහිත්‍යය සම්බන්ධයෙන් කතා කරන විට ක්‍රිස්තියානි සාහිත්‍යයේ පියා ලෙස සැලකිය හැක්කේ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමායි. එයට පෙර ජෝශප් වාස් පියතුමා ඉතා විශාල වැඩ කොටසක් ඉටු කරමින් එවැනි සාහිත්‍යයක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට දායක වුණා. එතුමා ජනතාව අතර ජීවත් වෙමින්, සමාජයට විශිෂ්ට මෙහෙයක් ඉටු කිරීම සඳහා කැප වූ පියතුමෙක්. සාහිත්‍යය සහ භාෂා පිළිබඳ හොඳ දැනුමක් තියෙන ජන සමාජයක් නිර්මාණය විය යුතු බව එතුමා සැම විටම විශ්වාස කළා. ඒ වගේම එවැනි යහපත් සමාජයක් නිර්මාණය කිරීමට සාහිත්‍ය සහ භාෂා දැනුම සහිත උගතුන් මෙරටට අවශ්‍ය වන බවත් එතුමා දැන සිටියා. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ලංකාවට පැමිණියේ ඒ අනුවයි.

ඒ වන විට එතුමා මෙරට සාහිත්‍යය ගැන අවබෝධයක් ලබා තිබුණාද?

ලංකාවට එනකොට එතුමා සිංහල වචනයක්වත් දැනගෙන හිටියේ නැහැ. එතුමා ලංකාවට ඇවිල්ලා මේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාව හමු වුණා. උන්වහන්සේලාගේ ඇසුර ඔස්සේ සිංහල සාහිත්‍යය සහ භාෂාව පිළිබඳ දැනුම ලබාගන්න උත්සාහ ගත්තා. ඒ වගේම භාෂාව ගැන අවබෝධයක් ලබාගැනීමට වැදගත් යැයි සිතුණු තවත් බොහෝ අයවත් එතුමා ඇසුරු කළා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ අනෙකුත් අය ඉතාම කැමැත්තෙන් ගොන්සාල්වේස් පියතුමාට සිංහල ඉගැන්නුවා. එතුමා ඉතාම විශිෂ්ට විදියට සිංහල භාෂාව ඉගෙනගත්තා. එතුමා පසුව සිංහලෙන් පොත් විසි ගණනක් රචනා කළා. ඉතාම උසස් භාෂා භාවිතයකින් යුතුව ඒ පොත් රචනා කරලා තිබුණා. එතුමා දෙමළ භාෂාවත් ඉගෙන ගත්තා. පසුව දෙමළ - සිංහල ශබ්දකෝෂයකුත් සම්පාදනය කළා.

මුල් කාලීනව මෙරට ක්‍රිස්තියානි සාහිත්‍යය පෝෂණය කළ තවත් පිරිසක් සිටියාද?

විශේෂයෙන්ම බිෂොප් එඩ්මන් පීරිස් පියතුමා වැනි අයත් මෙරට ක්‍රිස්තියානි සාහිත්‍යයට විශාල දායකත්වයක් ලබා දුන්නා. තවත් එවැනි පැවිදි උතුමන් කිහිප දෙනෙක්ම ලංකාවේ ක්‍රිස්තියානි සාහිත්‍යයේ වර්ධනයට දායක වෙලා තියෙනවා. ඔවුන් ගොන්සාල්වේස් පියතුමාගෙන් ආභාෂය ලැබුවා කියලා හිතන්න පුළුවන්. ඒ ඔස්සේ මේ සාහිත්‍යය ඉදිරියට ගෙන යෑමට ඔවුන් දායක වුණා. මෑත කාලීනව මෙරට ක්‍රිස්තියානි සාහිත්‍යය තුළ සුවිශේෂී චරිතයක් හැටියට මර්සලීන් ජයකොඩි පියතුමා සලකන්න පුළුවන්. බෞද්ධ ජනතාව අතර පවා එතුමාට ඉතා ඉහළ පිළිගැනීමක් තිබුණා. දොන් පීටර් පිල්ලෙ පියතුමා සහ බිෂොප් ඔස්වල්ඩ් ගෝමස් පියතුමා ඇතුළු තවත් අය මෑත කාලීනව මෙරට ක්‍රිස්තියානි සාහිත්‍යයට සුවිශේෂී දායකත්වයන් සපයලා තියෙනවා. ක්‍රිස්තියානි සාහිත්‍යය ප්‍රචලිත කරමින් ජනතාව දැනුවත් කිරීමට ‘මෙසෙන්ජර්’ සහ ‘ප්‍රදීපය’ වැනි සඟරාත් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කරලා තියෙනවා. ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගෙන් ආරම්භ වෙලා මර්සලින් ජයකොඩි පියතුමා, මෝසස් පෙරේරා පියතුමා වැනි පැවිදි පිරිස මේ සඳහා මූලිකත්වය ගත්තා.

මර්සලීන් ජයකොඩි පියතුමා බෞද්ධ සාහිත්‍යයටත් දායක වුණා?

එතුමා විශේෂ චරිතයක් විදියට අප හඳුනාගන්නේත් ඒ නිසාමයි. කතෝලිකයින් වන අප මෙරට සුළුතරයක් බව එතුමා දැනගෙන සිටියා. මේ රටේ බහුතර ජනගහනය වුණේ සිංහල බෞද්ධයින්. මහා සංස්කෘතියෙන් සහ සාමාන්‍ය සමාජයෙන් දුරස් වී සිටියොත් අපට අනාගතයක් නැති බව එතුමා දැනගෙන හිටියා. ඒ නිසා එතුමාගේ මූලික අරමුණක් වුණේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ බෞද්ධ උගතුන්ගේ ප්‍රසාදය දිනාගැනීමයි. කතෝලික පූජකවරයෙක් වීම එතුමාගේ නිර්මාණ කටයුතුවලට ගැටලුවක් වුණේ නැහැ. බෞද්ධ ජනතාවත් සමඟ එක්ව කටයුතු කිරීමට එතුමා කැමැත්තක් දැක්වුවා. රටේ සාහිත්‍ය සහ සංස්කෘතික ක්‍රියාකාරකම් සමඟ මුසු වන තරමට ඒ හැම දෙයක්ම ක්‍රිස්තියානි පල්ලියට හිතකර වන බව එතුමා දැනගෙන හිටියා. එතුමා නිසා ක්‍රිස්තියානි පල්ලිය කිසියම් දුරකට ජනතාවට සමීප වුණා. රටේ බහුතර ජනතාවගේ භාෂාව සහ සංස්කෘතිය පිළිගැනීමට එතුමා තුළ තිබුණු කැමැත්ත ඒ සඳහා විශාල වශයෙන් වැදගත් වුණා. මේ රටේ ජනතාව අතර මොන ආකාරයේ ආගම් හෝ ජාති භේද තිබුණත් අපි සියලු දෙනාම ශ්‍රී ලාංකිකයින් බව අප අමතක නොකළ යුතුයි. ක්‍රිස්තියානි ආගම අදහන අප වැනි අයත් බහුතර බෞද්ධ ජනතාවකට අයත් වන පිරිසක්. ඒවා අපට නොසලකා හැරිය හැකි කාරණා නෙවෙයි. අද වන විට ඇතැම් අය ඒ විදියට නොහිතනවා වෙන්න පුළුවන්. එහෙත් මර්සලින් ජයකොඩි පියතුමා මෙවැනි කාරණා ගැන අවබෝධයෙන් යුතුව ඉතාම නිවැරදි ආකාරයට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදියට අපි අද පවා එකිනෙකා අතර සුහදතාව පවත්වා ගනිමින් ජීවත් වෙනවා.

ජයකොඩි පියතුමාගේ නිර්මාණ ගැන ඔබ කෘතියකුත් රචනා කළා?

මේ වන විට මම පොත් හතරක් ලියලා තියෙනවා. මර්සලින් ජයකොඩි පියතුමාගේ නිර්මාණ ගැන ලියැවුණු පොතකුත් ඒ අතර තියෙනවා. ‘දේශීය නත්තල් ගීතාවලියෙන් මතු වන ජයකොඩි පිය ලකුණ’ නමින් පළ වී ඇති එය මා රචනා කළ සුවිශේෂී කෘතියක් හැටියට සලකන්න පුළුවන්. එයට අමතරව මම මෝසස් පෙරේරා පියතුමා ගැනත් පොතක් ලියලා තියෙනවා. එයින් පසුව බිෂොප් එඩ්මන්ඩ් පීරිස් පියතුමා ගැනත් පොතක් ලියන්න මම සැලසුම් කළා. එහෙත් එය කරගන්න බැරි වුණා. මා ලියූ තවත් පොතක් ‘එදා මෙදා තුර’ නමින් පළ වෙලා තියෙනවා. ඒ කෘතියෙන් මම ක්‍රිස්තියානි පල්ලියේ ඉතිහාසය ගැන යම් තාක් දුරකට කරුණු ඉදිරිපත් කළා. ක්‍රිස්තියානි පල්ලිය සම්බන්ධයෙන් මෙරට දැනට පවතින තත්ත්වය ගැනත් මම ඒ කෘතියෙන් සාකච්ඡා කළා.

සාහිත්‍ය සේවය සඳහා කැපවීමට ඔබ පෙළඹවූ පසුබිම කුමක්ද?

මගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙක්. ආයුර්වේද වෛද්‍යවරයෙක් කියන්නේ ගමේ සෑහෙන තැනක් තිබුණු කෙනෙක්. ඒ වගේම ක්‍රිස්තියානි සභාවේත් මගේ පියාට සෑහෙන තැනක් තිබිලා තියෙනවා. මම සෙමනේරියට යන්න ඕන කියලා කිව්වාම තාත්තා මට නිරන්තරයෙන්ම කියපු දේ තමයි, “පුතේ සෙමනේරියට යනවා නම් ආයෙත් පස්ස හැරිලා බලන්නෙ නැතුව ස්ථිරසාරවම ජීවිතය ගොඩනඟාගන්න පුළුවන් වෙන විදියට හිත හදාගන්න ඕන” කියන එක. මර්සලින් ජයකොඩි පියතුමා වගේ පියතුමෙක් ගැන අඩු තරමේ ජනතාව කතාබහ කරලා දැනුවත් වීමම ස්වාමි කෙනෙක්ගේ ජීවිතයේ ලබාගත හැකි කිසියම් ජයග්‍රහණයක්ය කියන එකත් මම පොඩි කාලයේ තාත්තා මගේ ඔළුවට දැම්මා. සෙමනේරියට ආවට පස්සෙ මර්සලින් ජයකොඩි පියතුමා හමු වෙලා කතාබහ කරන්න අපට අවස්ථාව ලැබුණා. ස්වාමි වුණාට පස්සෙ මම එතුමාත් සමඟ ඉතාම කුළුපග වුණා. මේ ක්ෂේත්‍රයේ සෑහෙන දුරකට ගෙනියන්න එතුමා මාව හරියට ධෛර්යමත් කළා. ඥානාර්ථ ප්‍රදීපයේ කර්තෘ හැටියට මට තානාන්තරය ලැබුණු හැටියෙ මම එතුමාව හම්බ වෙන්න ගියා. ඒ අවස්ථාවේ එතුමා මට ඉතාම වැදගත් උපදෙසකුත් දුන්නා. “මමත් ප්‍රදීපයේ කර්තෘ හැටියට මාස කිහිපයක් කටයුතු කළා. ඔබවහන්සේට ඔය සඟරාව හරහා බොහෝ දේවල් කරන්න පුළුවන් වෙයි. වැඩ කරන විට හැම වෙලාවෙම තමන්ගෙ නිදහස රැකගන්න. කරන හැමදෙයකින්ම කතෝලිකයින්ව හොඳ කතෝලිකයො කරන්නත්, බෞද්ධයින්ව හොඳ බෞද්ධයින් කරන්නත් උත්සාහ ගන්න. කොයි වෙලාවකවත් අනවශ්‍ය වාදභේදවලට යන්න එපා. හොඳ හිත, සහෝදරත්වය මතු කරන්න පුළුවන් වෙන විදියට ඥානාර්ථ ප්‍රදීපය වැඩ කටයුතු කරගෙන යන්න” කියලා එතුමා මට කිව්වා. ඉතින් මම ඒ ඔස්සේ අවුරුදු දොළහක් ප්‍රදීපයේ වැඩ කටයුතු කරගෙන ගියා. ඒ කාලය තුළදී අපි ජාතික මට්ටමෙන් වැදගත් වැඩ කොටසක් ඉටු කළා.

මෙරට ක්‍රිස්තියානි සාහිත්‍යයේ ප්‍රවර්ධනයට දැනට කෙරෙන වැඩසටහන් මොනවාද?

මේ වන විට කොළඹ මුද්‍රාංකන සතිය නමින් කිසියම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. සාහිත්‍ය මාසය තුළ ක්‍රිස්තියානි සාහිත්‍යය සඳහා වෙන් වූ සතියක් ලෙස එය සැලකෙනවා. එයට අමතරව ක්‍රිස්තියානි සාහිත්‍යය සහ සංස්කෘතිය ප්‍රචලිත කිරීම අරමුණු කරගත් විශේෂ සඟරාවක් මාසිකව පළ කෙරෙනවා. එමඟින් සාහිත්‍යය සහ සංස්කෘතිය සම්බන්ධ විවිධ කරුණු පිළිබඳව සාකච්ඡා කෙරෙනවා. ඒ වගේම ඥානාර්ථ ප්‍රදීපය සඟරාවත් අඛණ්ඩව පවත්වාගෙන යනවා. ඒ සඟරාව ඔස්සේත් ක්‍රිස්තියානි සාහිත්‍යය සහ සංස්කෘතිය ප්‍රවර්ධනය සඳහා විශාල වැඩ කොටසක් ඉටු කෙරෙනවා. දෙමළ පුවත්පත් හරහාත් මෙවැනි කරුණු කෙරෙහි ජනතා අවධානය යොමු කිරීමට කටයුතු ක්‍රියාත්මක වෙනවා. දියුණු ක්‍රිස්තියානි සාහිත්‍යයක් අද මේ රටට අවශ්‍යයි. අද වන විට සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය වැනි දේවල් කොතරම් ප්‍රචලිත වෙලා තිබුණත් මුද්‍රිත මාධ්‍යවලින් කෙරෙන සාහිත්‍ය සේවය ඉන් වෙන්නෙ නෑ.

මෙරටට ක්‍රිස්තියානි සාහිත්‍යය වැදගත් වන්නේ කෙසේද?

ශ්‍රී ලංකාව ගැන කතා කරද්දි බොහෝ දෙනෙකු කියන්නේ මේක සිංහල බෞද්ධ රටක් කියලයි. ඒක හරි. එ්ත් මහ ජාතිය ගොඩනැඟෙන විට අපේ ජාතික සාහිත්‍යය සහ කලාවන් පෝෂණය කිරීමට ක්‍රිස්තියානි සභාවේ දායකත්වයත්, අනෙකුත් ආගම්වල දායකත්වයත් විශාල වශයෙන් ලැබිලා තියෙනවා. වෙන එකක් තියා ඒ ඇසුරින් සමහර වචන පවා අද මේ රටේ ශබ්දකෝෂයට එකතු වෙලා තියෙනවා. එයින් වෙන්නේ මහ ජාතිය පෝෂණය වීමක්. රටේ සාහිත්‍යය පෝෂණය වීමක්.

මෙවැනි සාහිත්‍යයක් ඔස්සේ සමාජයට කිසියම් බලපෑමක් කළ හැකිද?

අනිවාර්යයෙන්ම සාහිත්‍යයෙන් සමාජයට බලපෑමක් කරන්න පුළුවන්. සාහිත්‍ය කලාව කියන්නේ කෙනෙකුව කලබලකාරී හෝ ප්‍රකෝපකාරී තත්ත්වයකට තල්ලු කරන දෙයක් නෙවෙයි. සාහිත්‍යයෙන් සිදු වන්නේ එක්තරා ආකාරයකට නිවි සැනසිල්ලේ මිනිස් සන්තානයට යම් ආකාරයක එබිකම් කිරීමක් කර බලලා එය ගොඩනඟා ගැනීම සඳහා සම්මාදම් වීමයි. අපි පාසල් යන කාලේ සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තා. එමගින් බොහෝ දේවල් අපේ ජීවිතයට එකතු වුණා. මට මතකයි ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කාලයෙදි සාහිත්‍යය විෂය නිර්දේශවලින් ඉවත් වුණා. එහි අතුරුඵල මොනවාද කියන එක දකින්න පුළුවන් වෙන්නෙ අද හෝ හෙට නෙවෙයි, අනාගතයේදියි. අද වන විට අපේ පාසල් දරුවන්ගේ විෂය නිර්දේශවලට ඉතිහාසය සහ සාහිත්‍යය ඉස්සර තිබුණු විදියට ඇතුළත් වෙලා නැහැ. එය බරපතළ අපරාධයක්. එවැනි විෂයවලින් තමයි යම්කිසි ආකාරයක හැඩගැස්මක් අපට ලැබෙන්නේ.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා