අද ළමා සාහිත්‍යයට නිසි මඟපෙන්වීමක් නැහැ

 ඡායාරූපය:

අද ළමා සාහිත්‍යයට නිසි මඟපෙන්වීමක් නැහැ

ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ විසින් රචිත ‘රන් තැටියට ගී සින්දු’ නවතම ළමා ගී සරණිය සමඟ ඔහුගේ දෙටු දියණිය වන සම්මානි විජේසිංහ විසින් රචිත ‘නඩු ගාස්තුව’, ‘හොල්මන් ගෙදර’, ‘දුවකගේ මතක’, ‘වීනක’ සහ ‘රෝස කුමාරි’ යන කෘති එළිදැක්වීමේ උලෙළ ඊයේ (13) කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සම්මානි ප්‍රකාශන සහ සරසවි ප්‍රකාශන ලෙස ඒවා එළිදුටු අතර මේ, එම අවස්ථාව නිමිති කර ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ සහ සම්මානි විජේසිංහ සමඟ අප කළ පිළිසඳරකි.

ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහ

ඔබේ නවතම ළමා සාහිත්‍ය කෘතියේ අන්තර්ගතය කෙබඳුද?

මේක මගේ දාහතර වැනි ළමා පොත. මෙයට පෙර ප්‍රකාශයට පත් වූ මගේ ළමා පොත් අතරින් ‘සිංදු කියන උණ පඳුර’ සහ ‘පොල්පිති හරකා’ කියන පොත් දෙකට රාජ්‍ය සම්මාන හිමි වුණා. මේ අලුත් කෘතියේ තියෙන්නෙ එක එක මාතෘකා යටතේ වරින් වර ලියැවුණු ළමා ගීත එකතුවක්. මේ පොතේ ළමා ගීත දහසයක් විතර තියෙනවා. ඒ අතර ළමා චිත්‍රපටයකට ලියැවුණු ගීත දෙකකුත් තියෙනවා. නිහාල් ප්‍රනාන්දුගේ ළමා චිත්‍රපටයක් වෙනුවෙන් ‘එදා ළමයි’ සහ ‘අද ළමයි’ නමින් රචනා කළ ඒ ගීත දෙකෙන් කියැවෙන්නේ එදා දරුවො ඉස්කෝලෙ ගියේ කොහොමද, අද දරුවො ඉස්කෝලෙ යන්නෙ කොහොමද කියන කාරණයයි.

ළමා සාහිත්‍යය සඳහා කවිය සහ ගීතය වැදගත් වන්නේ කුමන ආකාරයටද?

ළමා සාහිත්‍යයේදී ළමා ගීත සහ ළමා කවි කියලා නිර්මාණ වෙන් කරන්න අමාරුයි. ළමයින්ගේ සාහිත්‍යය තුළ කවිම තමයි ගීත වෙන්නෙත්, ගීතම තමයි කවි වෙන්නෙත්. ළමා කවිවල ආවේණික අංගයක් තමයි ඒවා ගායනා කරන්න පුළුවන් වීම. හැම ළමා කවියක්ම සුගේයතාවයෙන් යුක්තයි, ඒ කියන්නේ ඒවා ගයන්න පුළුවන්. ඒවා ගීත හැටියට හැඳින්වීමේ කිසි වැරැද්දක් නැහැ. අපට හොඳ ළමා ගීත සාහිත්‍යයක් තියෙනවා. ඒ සාහිත්‍යය ඉස්සර ඉඳලම මේ රටේ තිබුණා. කුමාරතුංග මුනිදාස, ආනන්ද රාජකරුණා සහ එස්. මහින්ද හාමුදුරුවෝ වැනි අය ලියපු හොඳ ළමා ගීත අපට තිබුණා. ඊට පස්සෙ මානවසිංහයන් රචනා කළ හොඳ ළමා ගීත සාහිත්‍යයක් තිබුණා. ඒ වගේම ළමා ගීත නාටකත් තිබුණා. අද වෙනකොට ඒ සාහිත්‍යය තරමක් දුරට බිඳවැටිලා තියෙනවා. ඇත්තටම අදත් ළමා ගීත තියෙනවා. හැබැයි ඒවා නිර්මාණාත්මක වශයෙන් ළමයින්ට කොච්චර ගැළපෙනවාද කියන එක ගැන නැවතත් හිතන්න වෙනවා. රජයේ ගුවන්විදුලිය හැරුණාම තවත් නාළිකා එකක් හෝ දෙකක් තවමත් හොඳ ළමා ගීත ප්‍රචාරය කරනවා. අනෙක් බොහෝ නාළිකාවල නම් ළමා ගීත කියලා දෙයක් ප්‍රචාරය වෙන්නෙම නැහැ. ඒක ලොකු අඩුවක්. ඉස්සර හැම ගායක ගායිකාවක්ම හැම රචකයෙක්ම ළමයින් වෙනුවෙන් ගීත ලියලා තමයි වඩාත්ම ඉදිරියට ආවෙ. අද ඉන්න ගායක ගායිකාවො බැලුවත් ඔවුන් හැම කෙනෙක්ම වගේ ළමාපිටියෙ නැත්නම් සරස්වතී මණ්ඩපයේ සිංදු කියපු අය. නමුත් අද එවැනි පිරිසක් බිහි වෙන බවක් පෙනෙන්නේ නැහැ. ඉස්සර ගායක ගායිකාවන්ට ළමා ගීත හරහා ලොකු අභ්‍යාසයක් ලැබුණා. ඒ වගේම ඔවුන්ට ඒ තුළ අභ්‍යාස කාලයක් තිබුණා. එදා ඔවුන්ට වැඩිහිටි ගායක ගායිකාවන්ගෙන් ගුරුහරුකම් ලබාගන්න පුළුවන්කම තිබුණා. අද එහෙම එකක් නැහැ. අද ළමයින්ට ගීත කියන ගායක ගායිකාවො ඇත්තෙම නැති තරම්. ඒකත් ලොකු අඩුවක්.

අද පළ වන ළමා සාහිත්‍ය කෘති ගැන ඔබේ අදහස කුමක්ද?

ළමයින්ට ලියන එක හරි පහසුයි කියලා ඇතැම් අය හිතන බව පේනවා. ලොකු ප්‍රමාණයට පොතක් සකස් කරලා, පාට ටිකක් දාලා, පළ කරන ඕන දෙයක් අද ළමා සාහිත්‍යය කියලා හඳුන්වන බවකුත් පෙනෙනවා. නමුත් ළමයින්ට ලියන එක වැඩිහිටියන්ට ලියනවාට වඩා අමාරුයි සහ ඒ වගේම වගකීම් සහිතයි. වැඩිහිටි සාහිත්‍යයේදී අපි අධ්‍යාපනික, උපදේශාත්මක සහ සදාචාරාත්මක අරමුණු වැඩිය අපේක්ෂා කරන්නෙ නැහැනෙ. නමුත් ළමා සාහිත්‍යයේදී මේවා අවශ්‍යයි. ඊට අමතරව ළමයින්ට ලියනකොට ළමයින්ගේ වාග්කෝෂය ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. අධ්‍යාපන මනෝවිද්‍යාවේ උගන්වන දෙයක් තමයි අවුරුදු දොළහට අඩු ළමයින්ට වියුක්ත සංකල්ප උගන්වන්න එපා කියන එක. යුක්තිය, සාධාරණය වගේ සංකල්ප වියුක්තයිනෙ. ඒ වගේ දේවල් ළමයින්ට උගන්වනවා නම් ඒක හරි පරෙස්සමෙන් සහ ඔවුන්ට ගැළපෙන මට්ටමෙන් කරන්න ඕන කියන එකයි අධ්‍යාපන මනෝවිද්‍යාවේදි කියන්නෙ. හැබැයි මේ වෙනකොට අවුරුදු දොළහ කියන වයස් මටට්ම අවුරුදු දහය බවට පත් වෙලා ඇති. මොකද දැන් ලෝකය සීඝ්‍රයෙන් හැකිළිලා තියෙනවා. අන්තර්ජාලය පැතිරිලා තියෙනවා. ඒ ඔස්සේ දැනුම බොහෝ සේ පැතිරිලා තියෙනවා. ඒ නිසා අවුරුදු දොළහ කියන වයස් මට්ටම අවුරුදු දහය මට්ටමට ඇවිල්ලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ළමා සාහිත්‍ය නිර්මාණ සඳහා යොදාගන්නා වාග්කෝෂය ළමයින්ගේ මට්ටම ඉක්මවා නොයන තත්ත්වයේ පවත්වා ගත යුතුයි.

අද වන විට ළමා සාහිත්‍යයේ ප්‍රමිතිය බිඳ වැටී ඇති බවක් දැකගත හැකියි?

ඒක ඇත්තටම හරි කනගාටුදායක තත්ත්වයක්. ඉස්සර අපට ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ළමා සාහිත්‍යයක් ඇසුරු කරන්න හැකියාව ලැබුණා. කාලයකට ඉහතදී හොඳ චීන සහ සෝවියට් ළමා සාහිත්‍ය කෘති අපට කියවන්න ලැබුණා. ඒ කාලයේ ඉතාම හරවත් කතා තියෙන චීන සහ සෝවියට් ළමා පොත් පෙළක් ලංකාවට ආවා. තමන් ගැන අවධානය යොමු කරනවාට වඩා පොදුවේ සමූහයා ගැන, රට ගැන ක්‍රියා කළ යුතු බව කියැවෙන අදහස් සහිත කතා ඒ අතර තිබුණා. ඒත් අද දරුවන්ට ඒ වගේ කතා කියවන්න ලැබෙන්නේ නැහැ. දැන් ළමා පොත් ලියන බොහෝ අය මොනවා හරි කතන්දරයක් ලියලා පළ කරනවා. ඒවා ළමයින්ට ගැළපෙනවාද නැද්ද කියලා කිසි කෙනෙක් හොයන්නෙ නැහැ. ඒ පොත්වල කිසි ප්‍රමිතියකුත් නැහැ. ඒවා පරීක්ෂා කරන්න කෙනෙකුත් නැහැ. දැන් පාසල් පුස්තකාල පොත් හැටියට අනුමත කරලා තියෙන සමහර පොත් ළමයින්ට නෙවෙයි, වැඩිහිටියන්ටවත් සුදුසු නැහැ. මෙලෝ රහක් නැති විකාර, නිස්සාර පොත් ඒ අතර තියෙනවා. අද ළමා සාහිත්‍යයට කිසිවෙකුගෙන් නිසි මඟපෙන්වීමක් ලැබෙන්නේ නැහැ. බොහෝ අය බස්වලට නැගලා අඩු මිලට විකුණන පොත් මිලට ගන්නවා. ඒවායේ භාෂාව, ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාසය හරියට නැහැ. මේ පොත්වල තියෙන චිත්‍ර වුණත් ළමයින්ට ගැළපෙන්නෙ නැහැ. අද ළමා පොත් පළ කරන බොහෝ අය පොතක නිෂ්පාදන මට්ටම ගැනවත් සැලකිලිමත් වෙන්නෙ නැහැ.

ඔබේ දියණිය සම්මානි විජේසිංහත් ළමා සාහිත්‍යකරණයට යොමු වෙලා?

මම හරි කැමතියි ඒ වැඩේට. හැබැයි, ඒක හරි පරෙස්සෙමන් කරන්න ඕන කටයුත්තක්. පොත් ගාන වැඩි කරගන්න නෙවෙයි, ගුණාත්මකභාවය ගැන අවධානය යොමු කරමින් ළමා සාහිත්‍යය ගැන තව හොඳට හදාරලා ඇය මේ වැඬේ හොඳට කරගෙන යනවා දකින එක තමයි මගේ බලාපොරොත්තුව. අඩපාඩු හදාගෙන ළමා සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ ඇය ඉදිරියට යන එක මට සතුටක්.

----------------------

දැන් ප්‍රමිතියකින් තොර ළමා කෘති බිහි වෙනවා

ලේඛිකා සම්මානී විජේසිංහ

ඔබ එළිදැක්වූ ‘දුවකගේ මතක’ කුමන ආකාරයේ කෘතියක්ද?

‘දුවකගේ මතක’ කියන්නේ කුඩා කාලයේ ඉඳලාම තාත්තා ඇසුරේ සිටිද්දී තාත්තගේ නිර්මාණවලට පාදක වූ ඇතැම් සංසිද්ධි, මා හරහා ගොඩ නැගුණු දේවල් සහ මගේ සිතිවිලි පරාසයන් පැවතගෙන ආපු විදිය ගැන මතක ටිකක්. ඒක කොටස් විසිපහකින් සමන්විත වන තීරුලිපි මාලාවක්. ඒවා මම මුලින්ම ලිව්වේ මුහුණු පොතටයි. මේ කෘතිය ඇත්තටම අයත් වෙන්නේ යොවුන් සාහිත්‍යයටයි.

ඔබ ළමා සාහිත්‍ය කෘති රචනා කිරීමට පෙළඹෙන්නේ කෙසේද?

තාත්තා අපි චූටිම කාලයේ අපව ළඟට අරගෙන කතන්දර කියලා දෙනවා. මට අකුරු කියවන්න, ලියන්න බැරි තරම් පුංචි කාලෙදිත් තාත්තා මට ගොඩක් කතන්දර කියලා දුන්නා. පසු කාලයක අකුරු කියවන්න ලියන්න හැකි වයසට එනකොට අපි රුසියානු සාහිත්‍යය කියවන්න පටන් ගත්තා. එක්තරා අවස්ථාවකදි තාත්තා මට මානවසිංහගේ ‘සේපාලිකා’ ගීත නාටකය ගැන කියලා දෙනවා. එදා ඉඳලා මානවසිංහ ගැන මට ආදරයක් ඇති වුණා. ඒ භාෂාවට මම ගොඩක් ආදරය කළා. ඒ නිසාම සිංහල භාෂාව ගැන විශේෂ ඇල්මක් මා තුළ ඇති වුණා. මගේ බස ගැනත් මම නිතරම සැලකිලිමත් වෙන්න පටන් ගත්තා. ඇත්තටම අපට තියෙන්නෙ බොහොම මනෝරම්‍ය බසක්. ඒ බසට ආදරය කරන්න තාත්තා මට කියලා දුන්නා. තාත්තා මට බොහෝ දේවල් කියලා දෙන්නෙ ආලවට්ටම් දාලා, රස කරලා. තාත්තාට ප්‍රබල හඬ පෞරෂයක් තියෙනවනෙ. ඒ හඬට චිත්ත රූප මැවෙනවා. ඉතින් තාත්තා කියලා දුන්නු ඒ දේවල් හරහා පුංචි මට අමුතු ලෝකයක් විවර වුණා. ඒ ඔස්සේ මම හිතුවා මමත් කවදා හරි ගීත නාටකයක් ලියනවා කියලා. පසු කාලයකදී තාත්තා ලියනවා ‘ගල්අරඹේ ඇතින්නියා’ කියලා හරිම ලස්සන ගීත නාටකයක්. අර මානවසිංහගෙ ගීත නාටකයට වගේම මම තාත්තාගෙ ගීත නාටකයටත් ආදරය කරන්න පටන් ගන්නවා. ඒ පෙළඹීමත් එක්කම මම ක්‍රමයෙන් ළමා සාහිත්‍යය කෘති රචනා කරන්න යොමු වුණා.

සම්මානි ප්‍රකාශන ඔස්සේ කෘති පළ කිරීමට ඔබ තීරණය කළේ ඇයි?

මම සම්මානි ප්‍රකාශන නමින් කෘති පළ කරන්න හිතුවේ තාත්තාගේ කෘති සංරක්ෂණය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීම සඳහායි. තාත්තා මේ සාහිත්‍යය තුළ යම්කිසි ලකුණක් සටහන් කළ කෙනෙක්. මං දන්නවා මේ රටේ සහ ලෝකයේ විශිෂ්ට නිර්මාණකරුවන්ගේ පොතපත සහ නිර්මාණ ඔවුන් ජීවත්ව සිටින කාලයේ හෝ ඔවුන් නැති කාලයක හෝ වෙන වෙන අය අතින් නැති වෙලා, අස්ථානගත වෙලා, ඔවුන්ට නොයෙකුත් අකටයුතුකම් සිදු වෙනවා. ඒ පසුබිම තුළ අර නිර්මාණකරුවන්ගේ කෘතිවලට වටිනාකමක් නැති වෙලා යනවා. සමහර වෙලාවට ඒ නිර්මාණ ගැන හොයලා බලන්නවත් ක්‍රමයක් නැති වෙනවා. මම දන්න තරමින් මාර්ටින් වික්‍රමසිංහ පදනමෙන් දැන් වික්‍රමසිංහ මහතාගේ පොත් සියල්ලම ගන්න පුළුවන්. ඒවා හැමදාම සංරක්ෂණය වෙලා තියෙනවා. මටත් අවශ්‍ය වුණේ තාත්තාගේ නිර්මාණ සියල්ල ක්‍රමවත් ආකාරයකට සංරක්ෂණය කළ හැකි ක්‍රමයක් සකස් කරගන්නයි.‍

 

මාතෘකා