අත්දැකීම සහ පලායෑම

 ඡායාරූපය:

අත්දැකීම සහ පලායෑම

 

සමීප අත්දැකීම් නොලිය යුතු යැයි පවතින අදහසට ලියනගේ අමරකීර්ති දුන් පිළිතුරක් පසුගිය දිනෙක පුවත්පතක පළ විය. එහිදී අමරකීර්ති පවසන්නේ කතාකරුවකු යම් අත්දැකීමක් ලියන්නේ පරිකල්පනයෙන් බවත්, පරිකල්පනයේදී අත්දැකීම ඈත වුව, සමීප වුව එය ඒ ආකාරයෙන්ම නොලියවෙන බවත්, කතාකරුවා කරන්නේ අත්දැකීම රැගෙන පරිකල්පනයේ ජලාශයකට පැනීම බවත්ය. මා සිතන්නේ ඔහුගේ එම නිරීක්ෂණය හරියටම හරි බවය.

එක් අතකට ලේඛකයකුට අත්දැකීම කියා භෞතික දෙයක් නැත. එය ඔහුගේ කල්පනා ලෝකයෙන් ගොඩනැඟෙන දෙයකි. අත්දැකීම ලේඛකයකුට ඉවහල් වන්නේ කල්පනා ලෝකයේ කිමිදීම සඳහා තල්ලුවක් වශයෙන් පමණි. යමෙක් ඒ ලෝකයේ නොකිමිදී අත්දැකීම මතම යැපේ නම් ඔහු කරන්නේ වාර්තා කිරීමකි. එවිට එය ප්‍රබන්ධයක් නොවේ. මේ පිළිබඳව ආජෙන්ටිනා ලේඛිකා ලුයිසා වැලන්සුවෙලා අපූරු අදහසක් ඉදිරිපත් කරයි. ඇය කියන්නේ ලේඛකයකු අත්දැකීම වඩ වඩා ලියන එය වඩ වඩා ප්‍රබන්ධය දෙසට යන බවත්, ප්‍රබන්ධාත්මක දේ වඩ වඩා ලියන විට එය අත්දැකීම දෙසට යන බවත්ය. එනම් එය ස්වයංචරිතාපදානමය වන බවය. ඒ අනුව ලේඛකයකුට දුෂ්කරම දේ අත්දැකීමට ගැති නොවී ප්‍රබන්ධය වෙත යෑම යැයි ඇය සඳහන් කරයි.

වරක් මගේ ලේඛක මිතුරෙක් පහන් කණුවක් යට සිටි වෙසඟනක පෙන්වා මෙසේ කීවේය. “මං ඊයේ රෑ ඔය ගෑනි එක්ක සවාරියක් ගියා.” විස්මයට පත් මම ඒ ගැන කරුණු විමසුවෙමි. එවිට ඔහු කීවේ “නෑ. මං ඊයේ ඇය ගැන කෙටිකතාවක් ලිව්වා” කියාය. සැබැවින්ම ප්‍රබන්ධය යනු ෆැන්ටසි සවාරියකි. අත්දැකීම හෝ අත්දැකීමේ ශේෂ මාත්‍රය ඒ සවාරිය යෑමට කවුළු දොරක් පමණි. තෝල්ස්තෝයි ‘ඇනා කැරනිනා’ ලියනුයේ තමාට අසන්නට ලැබුණු පුවතක් ඇසුරිනි. ‘ක්‍රොයිට්සර් සොනාටා’ නවකතාවද ඔහු ලියනුයේ එසේය. තෝල්ස්තෝයිට ඔහු ඇසූ කරුණ කල්පනා ලෝකයේ සැරිසැරීමට උත්ප්‍රේරකයක් විය. ඇතැම් විට තෝල්ස්තෝයි අනෙකාගෙන් ඇසූ කරුණ ඔහු සැබැවින්ම අත්දුටුවේ නම් ඔහුගෙන් එම ප්‍රබන්ධ නොලියවීමටත් ඉඩ තිබුණි. එසේ බැලූ විට අත්දැකීම ලේඛකයකුගේ ක්ෂණ මාත්‍රයකි.

මහාචාර්ය සෝමරත්න බාලසූරියගෙන් ඔහුගේ ‘වප්මඟුල’ නවකතාව බඳු නවකතා දැන් නොලියවෙන්නේ ඇයිදැයි ඇසූ පැනයට ඔහු දුන් පිළිතුර මෙවැන්නකි: “දැන් මට එහෙම ප්‍රබල අත්දැකීම් ලැබෙන්නෙ නෑ.” ඔහුගේ පිළිතුරේ වලංගුභාවය කෙසේ වෙතත් ඉන් පැහැදිලි වන දෙයක් තිබේ. ලේඛකයකුට ලියවීමට අත්දැකීම ඔහු අවදි කළ යුතු බවය. අත්දැකීම ඔහු අවදි කරවන්නේ නම් ඔහුට එය සමීපද, දුරස්ථද යන්න වැදගත් නොවේ. ඇතැම් විට එය දුරස්ථ වන විට ඔහු එය අවදි නොකිරීමටද ඉඩ තිබේ. එහෙත් දුරස්ථ වන විට වෙනත් දෙයක් සිදු වීමට ඉඩ තිබේ. එනම් එම අත්දැකීම මත තව අත්දැකීමක් අතිපිහිත වීමයි. මාර්ටින් වික්‍රමසිංහ ‘ගම්පෙරළියේ’ නන්දා චරිතය නිමවනුයේ ඔහුගේ සහෝරියන් සහ නෑනලා කීප දෙනෙකුගේ චරිත ඇසුරිනි. ඒ එසේ වූයේ ඔහුට එක් අත්දැකීමක් ඇසුරෙන් තවත් අත්දැකීමක් වෙත යෑමට හැකි වූ නිසාය. බොහෝ ලේඛකයනට ජීවිතයේ පසුකාලයේ ලබන අත්දැකීමකින් අතීත අත්දැකීම් සම්භාරයක් වෙත යා හැකිය.

කාන්තා දිනයට හෝ වෙනත් සැමරුම් දිනවලට කෙටිකතා ලියන අය අපේ බොහෝ වෙති. වෙසෙසින් කැත්ලින් ජයවර්ධන කාන්තා දිනයට කෙටිකතා ලියනු මා දැක ඇත. එහෙත් දිනයක් වෙනුවෙන් කෙනෙකු කෙටිකතාවක් ලියන්නේ කෙසේද? දිනය වෙනුවෙන් ඔහුට හෝ ඇයට වෙනම අත්දැකීමක් ලැබිය නොහැකිය. මට හැඟෙන ලෙස ඔවුන් එහිදී කරන්නේ සැමරුම් දිනය හිතේ තබාගෙන තම පරණ අත්දැකීමක් ලිවීමය. නැත්නම් අනෙකෙකු කියූ අත්දැකීමක් ඉදිරිපත් කිරීමය. එහෙත් ගැටලුව එසේ ලියද්දී ඒ අත්දැකීම ඔහු/ ඇය ඊට අවදි කරයිද යන්නය. ඇත්ත වශයෙන් සැමරුම් දිනවලට ලියූ එකදු සාර්ථක කෙටිකතාවක් නැත. සැමරුමක් වෙනුවෙන් වූ කෙටිකතාවක් සාර්ථක වන්නේ එය සැමරුම් දිනය එල්ල කර ලියමින් නොව පෙර ලියූ කතාවක් (ගැළපේ නම්) සැමරුම් දිනයට සමපාත කර පළ කිරීමෙනි.

අත්දැකීම යනු කවරේදැයි පැහැදිලි කරගනු වටී, අත්දැකීම යනු අනුභූතියද? නැත. අත්දැකීම් විස්තෘතය. අනුභූතිය කතාවට පාදක වන අත්දැකීමේ කොටසය. කාව්‍යානුභූතිය යනු කාව්‍යයට පාදක කරගත් අත්දැකීම් කොටසය. ඇතැම් විට මුළු අත්දැකීමම අනුභූතිය විය හැකිය. භෞතිකව අත්නොදුටු, මනසින් අත්දුටු අත්දැකීම්ද තිබේ. ඒවා ක්ෂතිමය අත්දැකීම්ය. කෆ්කාට ඔහුගේ පියා සමඟ තිබුණේ ක්ෂතිමය අත්දැකීමකි. පියා හා ඔහු අතර ආරෝවක් තිබුණේ නැත. එහෙත් පියාට එඩිතරව මුහුණ දීමට ඔහු අපහොසත් විය. පියා නිසා ඔහු පරාරෝපණයට පත් විය. අවසන එය ඔහුට ක්ෂතිමය අත්දැකීමක් විය.

එහෙත් අත්දැකීම ක්ෂතිමය වුවද, ක්ෂතිමය නොවූවද වැදගත් වනුයේ එය ඇසුරෙන් අපූරු කල්පනා ලෝකයක් බිහි වීමය. ඒ අපූරු කල්පනා ලොව බිහි වන්නේ අත්දැකීම ලිවීමෙන් නොව අත්දැකීම ඇසුරෙන් ලිවීමෙනි. සාමාන්‍යයෙන් කියනුයේ පිටු පන්හයසීයක නවකතාවක් වුව ලියවෙන්නේ කතාව ඇරඹෙන පළමු වැකියෙන් බවය. ඒ පිළිගැනීමට අනුව පොත්ගෙඩියක් වුව ලියවෙනුයේ මුළු අත්දැකීමෙන් නොව අත්දැකීමේ ඡායා මාත්‍රයෙන් විය හැකිය. සෝවියට් සමාජ සත්තා සාහිත්‍යය අසාර්ථක වන්නේ කතාකරුවනට කල්පිතය වෙත යෑමට නොව අත්දැකීම වෙත යෑමට බල කරන නිසාය. බල කිරීමෙන් කොහොමටත් සාහිත්‍යයක් බිහි වන්නේ නැත.

ප්‍රබන්ධයේදී සිදු වන්නේ කතාකරුවා අත්දැකීම ලිවීම නොවේ, අත්දැකීම විසින් කතාකරුවා මෙහෙයවීමය. විලියම් ෆෝක්නර් ලේඛකයකුට ලිවීමට සුදුසුම තැන ලෙස හඳුන්වනුයේ ගණිකා මඩමය. ගණිකා මඩමක කාර්යබහුලම වේලාව රාත්‍රියය. රාත්‍රියේ සිදු වන දෑ කෙතරම්ද කියතොත් ලේඛකයාට පසුදා ඇහැරුණු විට නොලියා සිටීමට නොහැකි වේ. අත්දැකීම ඔහු මෙහෙයවයි.

අත්දැකීම ගැන කියද්දී සිංහල ලේඛකයයෝ අත්දැකීමෙන් මතු නොව අත්දැකීම ලැබූ පරිසරයෙන්ද ඈත් විය යුතු යැයි සඳහන් කරති. නිදසුනකට වික්‍රමසිංහ ‘ගම්පෙරළිය’ ලියනුයේ කොග්ගල සිට නොව කොළඹ නගරයේ සිටය. එනිසා ගම ගැන ලිවිය යුත්තේ ගමෙන් පිටවී යැයි කියනු ලැබේ. මා සිතන්නේ මෙයද අමරකීර්ති විස්තර කළ ලෙස විග්‍රහ කළ හැකි බවය. නිසැකවම වැදගත් වන්නේ ලියන ලද තැන, කාලය හෝ ලිවීමට දරන ලද ප්‍රයත්නය නොව එය ඉන් ස්වායත්තව ලියවීමය.

මට හැඟෙන ලෙස අත්දැකීම යනු ලේඛකයාට අත්දැකීම වෙත නොව ඉන් පිටතට පැනීමට ආධාර වන දේකි. හරියටම කීවොත් අපූරු කල්පනා ලෝකයකට අවතීර්ණ වීමට දොර හැර දෙන දේකි. එසේ බැලූ විට ලිවීමට වැදගත් වන්නේ අත්දැකීම නොවේ, එහි ශේෂ මාත්‍රයකි. නොහොත් අර කල්පනා ලොවේ දොර කවුළුව හරින අත්දැකීම් කොටසය. ඉතිහාසයට වඩා ප්‍රබන්ධය සුන්දරය. එහෙත් පාඨකයාට ඒ සුන්දර ඉතිහාසය භෞතිකව අත්දැකිය නොහැකිය. ඒ, භෞතික ලෝකයේ එවැනි යථාර්ථයක් නැති නිසාය. භෞතික ලෝකයේ යථාර්ථය ඉදිරිපත් කරනුයේ ජනතාවාදී සාහිත්‍යයේදීය. එනිසාම ජනතාවාදී සාහිත්‍යය සුන්දර නැත. රුසියානු සාහිත්‍යය සුන්දරය. එහෙත් සෝවියට් සාහිත්‍යය සුන්දර නැත. හේතුව එය අත්දැකීමෙන් පොළා පැනීමට නොව අත්දැකීම වෙතටම යෑමට තැත් කිරීමය.

අද ඇතැම් සිංහල නවකතා කියවද්දී හැඟී යන්නේ එම අත්දැකීම් ප්‍රබන්ධ ගෝචර නොවන බවය. ප්‍රබන්ධ ගෝචර නොවීම යනු ඒවා ප්‍රබන්ධය වෙත නොව අත්දැකීම වෙත වඩ වඩා සේන්දු වීමට තැතනීමය. සිංහල නවකතා පවුලේ කතාවකට ලඝු වී ඇතැයි තවමත් කියති. මා දකින ලෙස එහි කාරණය පවුලේ කතාවේ නොව ඒවා පවුලේ අත්දැකීමෙන් ඉවත්ව නොයෑමය. අත්දැකීමෙන් පලායෑමට ලේඛකයකු නියම ප්‍රතිභාවක් ඇත්තෙකු විය යුතුය. මතුපිට තලයේ ප්‍රතිභාවක් ඇති අයෙකුට කිසි විට ලියන දෙයින් පලායා නොහැකිය. එවැන්නෙකුගෙන් පලායෑම වෙනුවට සිදු වන්නේ ඇතුල් වීමය. අත්දැකීමේ ගිලීමය. පසුගිය කාලයේ වැසි වැස්සාක් මෙන් බිහි වූ සාහිත්‍ය සම්මානවලින් බොහෝ විට කෙරුණේ පලායන්නන් නොව ඇතුල් වන්නන් බිහි කිරීමය. දැන් ඒ ඇතුල් වූවෝ සාහිත්‍ය විශාරදයෝ වී සෙස්සන්ට සාහිත්‍ය දේශන පවත්වති. එහෙත් එවැනි අය බිහි වීමත් අපූරු නැත. දැන් ලේඛකයන් බිහි වනවා නොව බිහි කරනවාය. ඒ බිහි කරන්නේද පොත් ප්‍රකාශකයන්ය. වෙළෙන්දන් ලේඛකයන් බිහි කරන තැන පලායන්නන් ඇති වන්නේ නැත.

ඒ තුළ ප්‍රබන්ධය අත්දැකීමටම ලඝු වුවද අරුමයක් නැත.

මාතෘකා