සුසර ප්‍රකාශන කෘති හතරක් 30 දා පාඨක අතට

 ඡායාරූපය:

සුසර ප්‍රකාශන කෘති හතරක් 30 දා පාඨක අතට

එළඹෙන සාහිත්‍ය මාසය නිමිතිකර සුසර ප්‍රකාශකයන්ගේ නවතම කෘති හතරක් අගෝස්තු 30 දා සවස 3.00ට කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී ජනගත වේ.

එදින සේනානි ධර්මරත්න පරිවර්තනය කළ ඇබෝර්ජියානු දැරියන් තිදෙනෙකුගේ දුෂ්කර, සත්‍ය ඓතිහාසික පාගමන වාර්තාකරණය වන ‘හා වැට දිගේ ගෙදර බලා’ කෘතිය පිළිබඳව මනෝරම වීරසිංහ අදහස් දක්වන අතර එඩ්නා මල්කාන්ති පරිවර්තනය කළ නේපාල ජනකතා එකතුව ‘අලස රැවටිලිකාරයා’ කෘතිය පිළිබඳව ගුණසේකර ගුණසෝම අදහස් දක්වයි. මොහාන් ශ්‍රියන්ත ආරියවංශ වෛද්‍ය නන්දන අතපත්තු සමඟ පැවැත්වූ සංවාද ඇසුරෙන් සංස්කරණය කළ ‘අවසන් කුංචනාදය’ කෘතිය පිළිබඳව

වෛද්‍ය නන්දන අතපත්තුද, රුසියානු විප්ලවයට සියවසක් සපිරීම නිමිත්තෙන් පළ වූ විචාරාත්මක සංවාදශීලී කෘතියකින් උපාලි රත්නායක පරිවර්තනය කළ ‘ඔක්තෝබර්’ කෘතිය පිළිබඳව ධම්ම දිසානායක අදහස් දක්වයි.


ශෂී දිල්හාන් පරිවර්තනය කළ ‘එතෙර දනව්ව’ 29 වැනිදා එයි

ශෂී දිල්හාන් නානායක්කාර විසින් දෙමළ බසින් සිංහලට පරිවර්තනය කරන ලද තෝරාගත් දකුණු ඉන්දියානු දෙමළ කෙටිකතා එකතුව ‘එතෙර දනව්ව’ මෙම මස 29 වැනි බදාදා ප.ව. 3.00ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ.

එහි ප්‍රධාන දේශනය ‘එතෙර දනව්ව’ භාෂාව, කලාව හා සාහිත්‍යය තුළින් නිර්මාණය වන ජාතික, සංස්කෘතික සංහිඳියාව’ යන මැයෙන් ප්‍රවීණ ලේඛක සම්පත් බණ්ඩාර විසින් පවත්වනු ලබන අතර, අනෙකුත් දේශන මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ සහ ප්‍රවීණ ලේඛක කලෛ චෙල්වම් විසින් පවත්වනු ලබයි.

‘එතෙර දනව්ව’ සරසවි ප්‍රකාශනයකි.


රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනය 28 වෙනිදා

2018 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයට පූර්වගාමීව සංවිධානය කෙරෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනය අගෝස්තු 28 වැනි අඟහරුවාදා ප.ව. 3.00 ට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙම දේශනය මෙවර සම්භාව්‍ය සිංහල සාහිත්‍යය සඳහා වෙන් වෙයි. ‘කව්සිළුමිණ සිංහලයේ අග්‍රගණ්‍ය පද්‍ය කාව්‍යයද? ප්‍රතිසේවනය හා විමර්ශනය’ යන මැයෙන් දේශනය පවත්වනු ලබන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි.

1957 ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී සම්මාන ලැබූ පණ්ඩිත අශෝක කරුණාරත්න සූරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනයට පරිවාර වශයෙන් ප්‍රාසංගික නිර්මාණාවලියක්ද මෙදින ඉදිරිපත් කරනු ලැබේ. කව්සිළුමිණි මහා කාව්‍යයේ මූලාශ්‍රය වූ කුස ජාතකය ඇතුළත් කුස පබාවතී වෘත්තාන්තය වර්ණිත සංගීතාංග හා නර්තනාංග ඊට ඇතුළත් වෙයි. එම නිර්මාණාවලිය සඳහා රවිබන්ධු විද්‍යාපති, නිශ්ශංක දිද්දෙණිය, මහානාම වික්‍රමසිංහ, ඉන්දිකා උපමාලි, අනුෂ්කා ඒකනායක, රවීන්ද්‍ර අලගියවන්න යන ශිල්පි පර්ෂදය ප්‍රමුඛ සංගීත හා නර්තන ශිල්පි ශිල්පිනීහු දායක වෙති.

රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශනයෙහි ග්‍රන්ථගත මුද්‍රිත පිටපත මෙදින නොමිලයේ ලබාදීමට ද කටයුතු යොදා තිබේ. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය සමග එක්ව මෙම රාජ්‍ය සාහිත්‍ය උත්සව දේශන සංවිධානය කරයි.

මාතෘකා