වාරණය ගැන…

 ඡායාරූපය:

වාරණය ගැන…

කලා වාරණය යළිත් කරළියට පැමිණ තිබේ. අසංග සායක්කාරගේ

‘මං කෙළින් මිනිහෙක්’ වේදිකා නාට්‍යය රැඟුම් පාලක මණ්ඩලය ‘වැඩිහිටියන්ට පමණයි’ ලේබලය යටතේ ප්‍රදර්ශනයට නිකුත් කළ බලපත්‍රය ඔවුන් විසින් නැවත ලබාගෙන ඇත්තේ එහි ඇතුළත් දර්ශන සමාජ මාධ්‍යවල (‘වැඩිහිටියන්ට පමණයි’ නොවන තැනක) ප්‍රවර්ධනය කිරීම හේතුවෙනි. (මේ ලියන මොහොත වන විට එහි තහනම ඉවත් කර ඇති බව දැනගන්නට ලැබේ.) තවද කේ.කේ. ශ්‍රීනාත්ගේ

‘බුදුන්ගේ රස්තියාදුව’ නවකතාවේ ග්‍රන්ථ නාමයත්, මාලක දේවප්‍රියගේ ‘නිහොන් සැප ලැබේවා’ ගුවන්විදුලි නාට්‍යයේ නාට්‍ය නාමයත් බුදුදහමට හා බුදුන් වහන්සේට කළ අපහාසයන් යැයි කියමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිසියට පැමිණිලි කර තිබේ. මේ අතර උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ‘බුදුන්ගේ රස්තියාදුව’ අපහාසාත්මක වදනක් යැයි සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

සාමාන්‍යයෙන් කලා කෘති වාරණය වන සාධක තුනක් තිබේ. ඒ, දේශපාලන සාධක, ආගමික සාධක හා සංස්කෘතික සාධක වශයෙනි. ඉහත කෘතිවලට වාරණ බලපෑම් එල්ල වන්නේ ආගමික හා සංස්කෘතික සාධක නිසාය. එනම් ආගමට කළ අපහාසයක් සහ ලිංගිකත්වය ඔජ වැඩීම ඔස්සේ සංස්කෘතියට කළ අපචාරයක් ලෙස සලකාය. එහෙත් මෙහි ගැටලුව වාරණ බලධාරීන් කිසිවෙක් කලාවේ අරමුණ - ජීවිතාවබෝධය ලබාදීම- නිවැරදිව අවබෝධ කර නොගැනීමයි. කලාවෙන් කෙරෙන්නේ ජීවිතාවබෝධය නම් ඒ අරමුණ ඉටු කරගැනීම සඳහා ඒ ඒ කලාකරුවන් අනුගමනය කරන උපක්‍රම වෙනම ගෙන ඒවා අපහාසයන්, අපචාරයන් යැයි සැලකිය නොහැකිය.

ඉහත කෘති වාරණය පිළිබඳව ඊයේ (23) ‘රැස’ කළ මත විමසුමකදී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශාධිපති පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ අපූරු කරුණක් දක්වති:

“කලාකරුවන්ගේ ඔළුවට විවිධ අදහස් එන්න පුළුවන්. නමුත් ඒ එන හැම දෙයක්ම සමාජයට මුදා හරින්න බැහැ. සමාජය කියන්නේ සංස්කෘතියක්. ඒ සංස්කෘතියට අදාළ දේවල් විතරයි දෙන්න ඕන. ඒ නිසා නිර්මාණවලට වාරණ අවශ්‍යයි කියල මම හිතනවා. මොකද නැත්නම් සමාජ යහපැවැත්මට එයින් හානියක් වෙනවා.”

මෙහිදී අගලකඩ හිමියන් වරදවාගෙන ඇත්තේ කලාවේ ඇත්තේ රස බවත්, එහි

සභ්‍ය - අසභ්‍ය භාවය තීරණය වන්නේ බාහිර සමාජ සංස්කෘතිය මත නොව ඉන් රස නිපයේද, රස නොනිපයේද යන්න මත බවය. (කියවන්න: ‘සාහිත්‍ය විද්‍යාව’, එදිරිවීර සරච්චන්ද්‍ර). සමාජය යනු සංස්කෘතියක් නම්, දිය යුත්තේ ඒ සංස්කෘතියට අදාළ දේ පමණක් නම් වාරණය විය යුතු කොපමණ දේ කලාවෙන් බැහැර පවතීද? ‘බුදුන්ගේ රස්තියාදුව’ අපහාසාත්මක වදනක් යැයි කියන උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමතිවරයා පාර්ලිමේන්තුවේ භාවිත වන වචන ගැන කියන්නේ කුමක්ද? මෙනිසා ගැටලුව කලාවේ නොව රසඥතා ශක්තියෙන් තොර පිරිස් කලා කෘති පිළිබඳව තීරණය ගැනීමේය.

කලාකරුවකුට මේ ලෝකයේ නොසිදු වන දෙයක් ඉදිරිපත් කළ නොහැකිය. ඔහුට සෙසු මිනිසුන් නොකරන දෙයක් කලා කෘතියකින් කියාපෑ නොහැකිය. ඔහු අත්දැකීම් ලබන්නේ පොදු මිනිස් සමාජයෙනි. ඔහු ඒ තුළ කරන්නේ ප්‍රතිනිර්මාණයකි. එනයින් කලා කෘතීනට පමණක් වෙනම නීති රීති කිසිවකුට පැනවිය නොහැකිය. එහෙත් මෙහිදී කලාකරුවාටද වගකීමක් පැවරී තිබේ. ඔහුට සමාජය පිරිහෙළිය නොහැකිය. මනුෂ්‍යයා නොසන්සුන් කළ නොහැකිය. ඇත්ත වශයෙන් එසේ කළහොත් එය කලා කෘතියක්ද නොවේ. ඉතිහාසය පුරා කලා කෘති නාමයෙන් ජේසූස් වහන්සේට, මහම්මත් තුමාට, බුදුන් වහන්සේට අපහාස වන දේ බිහි වී තිබේ. එහෙත් එසේ කිරීමෙන් පිරිහෙළී ඇත්තේ ඒ ඒ කලාකරුවන්මය. සල්මන් රුෂ්ඩිගේ Satanic Verses නවකතාව මහම්මත් තුමාගේ බිරියන්ද සමච්චලයට ලක් කර ඇත. ආගමික ශාස්ත්‍රෑවරයකු කලා කෘතියකින් විවේචනය කළ හැකිය. එහෙත් එහි පදනමක් තිබිය යුතුය. තමන් අන් ආගමක කෙනෙකු නිසා හෝ ඒ ආගමේ දේශනා කළ දේ තමන් නොපිළිගන්නා නිසා ශාස්ත්‍රෑවරයකු විවේචනය කළ නොහැකිය. ඇත්ත වශයෙන් කලාවෙන් සිදු වන්නේ තෙවැනි ඇසක් ලබාදීමය. ප්‍රස්තුතය වෙනස් ලෙස දැකීමට අන්තර්දෘෂ්ටියක් (Insight) ලබාදීමය. එසේ අන්තර්දෘෂ්ටියක් ලබා නොදී දර්ශනයකට, ශාස්ත්‍රෑවරයකුට පහර ගැසීමෙන් පිරිහෙළෙන්නේ ඒ පහර ගසන්නාමය. අනෙක් අතට එබඳු ප්‍රහාරයක් කළ අයකු කලාකරුවකු වුවත්, නොවූවත් ඔහු තමන් කළ දේට - විවේචනයට - පෙරළා සමාජයෙන් ලැබෙන දේද පිළිගැනීමට සූදානම් විය යුතුය. එවිට ඔහු මම කලාකරුවෙක්ය, මෙන්න කලාවට ගහනවෝ! කියා කෑගැසිය නොහැකිය. එහෙත් ශ්‍රී ලංකාවේ කලා වාරණය වෙද්දී කලාකරුවන්ගේ හැසිරීම ඒ ආකාරය.

ශ්‍රී ලාංකික කලාකරුවන් ඉල්ලන්නේ කලාවේ නිදහසය. එය දිය යුතුය. එහෙත් පෙරළා ලැබෙන විවේචනවලටද ඔවුන් සූදානම් විය යුතුය. අශෝක හඳගමගේ

‘තනි තටුවෙන් පියාඹන්න’, විමුක්ති ජයසුන්දරගේ ‘සුළඟ එනු පිණිස’ ආදී සිනමාපටවලට සමාජ හා ආගමික සංස්ථාවලින් විවේචන එල්ල වෙද්දී එම සිනමාකරුවනට එය දරාගත නොහැකි විය. ඔවුන් ඒ විවේචන සැලකුවේ ආගමික අන්තවාදයක් ලෙසය. සිංහල බෞද්ධ ජාතිවාදයක් ලෙසය. මෙරට විකල්ප යැයි කියන සියලු දේහි ගැටලුව මෙයය. ඔවුන් විවේචන දැරීමට සූදානම් නැත. මට හැඟෙන ලෙස විවේචන දරාගත් අපේ එකම පිරිස පේරාදෙණි සාහිත්‍යකරුවන්ය. මාර්ටින් වික්‍රමසිංහගේ ‘බවතරණය’ නවකතාවට ඇතැම් භික්ෂූන් වහන්සේලා අවි එසවූ විට වික්‍රමසිංහ එය මෙන්න සිංහල බෞද්ධ ජාතිවාදයක් හෝ ආගමික අන්තවාදයක් ලෙස සැලකුවේ නැත. ඔහු ඒ ගැන එදා පැවති කිසිදු පුවත්පතකට කරුණු පැහැදිලි කරමින් සම්මුඛ සාකච්ඡා ලබාදුන්නේ නැත. සරච්චන්ද්‍රද එසේමය. මා සිතන ලෙස සරච්චන්ද්‍ර තරම් විවේචන දරාගත් එකදු කලාකරුවෙක් අපේ නැත. සරච්චන්ද්‍රගේ ‘කල්පනා ලෝකය’ විචාර ග්‍රන්ථය විවේචනය කරමින් සුචරිත ගම්ලත් ‘කල්පනා ලෝකවාදය සහ මාක්ස්වාදී විචාරය’ නමින් කෘතියක්ද ලීවේය. එහෙත් සරච්චන්ද්‍ර ඊට පිළිතුරු දීමට ගියේ නැත. වර්තමාන කලාකරුවන් තුළ මේ විනය නැත්තේ මට හැඟෙන ලෙස ඔවුන් කලාව නොකරන නිසාය. ඔවුනට කලාකරුවකුට හිමි විදග්ධභාවය නැත.

අද සියලු කලා මාධ්‍යවල, පුවත්පත්වල, විශ්වවිද්‍යාලවල දක්නට ලැබෙන්නේ කිසියම් නස්තිකවාදයකි. ඒ නස්තිකවාදයේ ප්‍රතිඵලය කලාව ලෙස නස්තික ලක්ෂණ දරන දේ කලඑළි බැසීමය. ‘බුදුන්ගේ රස්තියාදුව’, ‘නිහොන් සැප ලැබේවා’ ආදී නම්වල පෙනෙන්නේ ප්‍රතිභාහීනභාවය මෙන්ම යම්තාක් දුරකට නස්තිකවාදයේ ලක්ෂණය. නොඑසේව එහි ඇති ආගමකට හෝ ආගමික ශාස්ත්‍රෑවරයකුට කළ අපහසායක් නැත. එහෙත් එය වුව වාරණයට කිසිවෙකුට නොහැකිය. ඒවා කවුරුවත් වාරණය කළ යුතු නොවේ, රසිකයාම ඒවා වාරණය කරනු ඇත.

කලාව ඇත්ත වශයෙන් ස්වයංවාරණයෙන් එළිදකින්නකි. එය කලාකරුවාගේම වාරණයකි. කලාකරුවකු ජීවත් වන්නේ මේ සමාජය තුළය. එහිදී ඔහු හිතෙන හිතෙන දේ කරන්නේ නැත. එය සංස්කෘතික ස්වයංවාරණයකි. කලා කෘතිය තුළද කලාකරුවා තුළ පවතින මේ සංස්කෘතික ස්වයංවාරණය තිබේ. ජපන් නවකතාකරු හරුකි මුරකාමි සංස්කෘතික ස්වයංවාරණය මඟහරින කෙනෙකි. ඔහු එය කරන්නේ ප්‍රබන්ධය ෆැන්ටසිය කරා ගෙනයෑමෙනි. මාර්කේස්ගේ නවකතා තුළද මේ දේ දක්නට ලැබේ. එහෙත් ඔහු කියන්නේ තමා කොලොම්බියාවේ නොඇසූ, නොදුටූ කිසිවක් නොලියූ බවයි. එම අත්දැකීම් ඇත්තටම ඒ සමාජයේ සිදු වූ ඒවා බවයි. එහෙත් එහිද මා දකින්නේ සංස්කෘතික ස්වයංවාරණයකි. ස්වයංවාරණය නැත්තේ විපරීත අයකුටය. එවැන්නෙකුට කලාව බිහි කළ නොහැකිය.

2013 වසරේ නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි වූයේ චීන ලේඛක මෝ යෑංටය. ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල ලේඛකයාය. එවැනි කෙනෙකුට නොබෙල් ත්‍යාගය දීම පිළිබඳව ඒ සමයේ ජාත්‍යන්තර සාහිත්‍ය කරළියේ විශාල කතාබහක් ඇති විය. එහෙත් ඔහුට නොබෙල් ත්‍යාගය පිරිනමද්දී නොබෙල් කමිටුව හේතු පාඨය වශයෙන් සඳහන් කළේ “ජනකතා, ඉතිහාසය හා සමකාලීන යථාර්ථය මායාකාරී යථාර්ථවාදයෙන් එකට බැඳ දැමූ ලේඛකයා” ("who with hallucinatory realism merges folk tales, history and the contemporary") යනුවෙනි. ටයිම් සඟරාවේ ඩොනල්ඩ් මොරිසන් ඔහු හැඳින්වූයේ අතිශය සුප්‍රකට, නිතර වාරණයට ලක් වූ, චීනයේ වඩාත්ම ව්‍යාජ පිටපත් මුද්‍රණය වූ ලේඛකයා වශයෙනි. ජිම් ලීච් නම් විචාරකයා ඔහු හැඳින්වූයේ ෆ්‍රාන්ස් කෆ්කාගේ හෝ ජෝසෆ් හෙලර්ගේ චීන ආදර්ශය වශයෙනි. මින් පැහැදිලි වන්නේ ඔහු එක් පසෙකින් චීන කොමියුනිස්ට් රජයේ නිල ලේඛකයා වෙද්දී අනෙක් පසින් ඔහු කොමියුනිස්ට් වාරණ හස්තයෙන්ද ගැලවී ඇති බවයි. ඇත්ත වශයෙන් ඔහු කිසි තැනක තමාට වාරණය ප්‍රශ්නයක් වී යැයි කියා නැත.

මා කල්පනා කරන ලෙස ලේඛකයාට, කලාකරුවාට මේ ආකාරයේ වාරණයක්වත් වුවමනා නැත. එහෙත් වාරණය තිබීමත් ඔහුට මහා ප්‍රශ්නයක් නැත. ඇත්ත වශයෙන් ඔහුට එය ආත්ම ප්‍රකාශනයට වෙනත් රාමුවක් සොයාගැනීමටද උපකාරී විය හැකිය. ආජෙන්ටිනා ලේඛිකා ලුයිසා වැලන්සුවේලා වාරණය තුළ පර්යේෂණවාදී ප්‍රබන්ධ ආකෘතියක් සොයාගත් ආකාරය ඇය පැරිස් රිවීව් සාහිත්‍ය සඟරාව හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී විස්තර කරයි.

එහෙත් කලා කෘති වාරණය කලාකරුවකුගේ නිදහසට, ස්වාධීනත්වයට බාධාවක්ය. කලාවේ නාමයෙන් බිහි වන කලාව නොවන දෑට එල්ල වන අතමය, සැබෑ කලාවටද එල්ල වන්නේ. එනිසා කිසිදු කලාකරුවකුට, කලා විචාරකයකුට, කලා රසිකයකුට කලා කෘති වාරණයට එකඟ විය නොහැකිය. රාජ්‍ය, ආගමික, සංස්කෘතික යන කවරාකාර වාරණයක් වුව අප එකහෙළා බැහැර ලිය යුතුය.

[රවින්ද්‍ර විජේවර්ධන]

මාතෘකා