ප්‍රඥා දශකයේදි ලබන ස්ථානෝචිත ප්‍රඥාව

 ඡායාරූපය:

ප්‍රඥා දශකයේදි ලබන ස්ථානෝචිත ප්‍රඥාව

බුදු දහම ඔස්සේ නිර්වාණ මාර්ගයට එළඹෙන්නාට නැතිවම බැරි කුසලතාවක් නම් ප්‍රඥාව යි. නිර්වාණ මාර්ගයට කල එළි වැටී තිබෙන්නේ 'ශීල' 'සමාධි' හා 'ප්‍රඥා' යන ත්‍රිවිධ ගුණාංගවලිනි. ඒ ත්‍රිවිධ ගුණාංග අතරින් ඉහළින් ම ඇත්තේ ප්‍රඥාව යි.

අනුන්ගේ යහපත ප්‍රාර්ථනා කරන බෞද්ධයා නිතරම කියන්නේ ඔවුන්ට 'ආයු වර්ණ සැප බල ප්‍රඥා' යන පංච ගුණාංග ලැබේවා කියා යි.

'ප්‍රඥා' යන්න සංස්කෘත භාෂාවෙන් සිංහලයට එක් වුණු තත්සම පදයකි. එය බෞද්ධ සාහිත්‍යයෙහි එන්නේ 'පඤ්ඤා' යනුවෙනි. එය සිංහල කව් ලැකියට පිවිසුණේ 'පැන' යනුවෙනි. ඒ අනුව 'ප්‍රඥාවන්ත' යන්න 'පැනවත්' බවටත් 'ප්‍රඥාසාර' යන්න 'පැනසර' බවටත් පෙරළිණ.

'ප්‍රඥා' යන පදයෙන් සැදුණු සමාස නාම පද කීපයක් මේ ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

ප්‍රඥාලෝකය

ප්‍රඥාව ආලෝකයක් වැන්න. මේ 'ප්‍රඥාලෝකය' පාලි භාෂාවෙහි යෙදෙන්නේ 'පඤ්ඤාලෝක' යනුවෙනි. මෙනමින් හැඳින්වුණු මහ තෙරවරුන් කීප නමක් ම අපේ රටට ප්‍රඥාලෝකය ගෙන දුන් බව මෙහි ලා සිහිපත් කළ යුතු ය.

ප්‍රඥා කථා

බුදු දහමෙහි ලා දාන ශීලාදී දශවිධ කථා හමු වෙයි. මේ අතුරින් ප්‍රඥාව ගැන කියවෙන කථා 'ප්‍රඥා කථා' යනුවෙන් හැඳින්වෙයි.

ප්‍රඥා කාය

මහායානයෙහි ත්‍රිකායක් ගැන අසන්නට ලැබේ. මහායානිකයන් සිතන්නේ බුදුන් වහන්සේලාට 'කාය' හෙවත් ශරීර තුනක් ඇති බව යි. එනම් 'නිර්මාණ කාය', 'සම්භෝග කාය' හා 'ධර්ම කාය' යි. මේ අතුරින් 'ධර්ම කාය' හැඳින්වීමට 'ප්‍රඥා කාය' යන නමත් යෙදේ.

ප්‍රඥා චක්ෂුසය

ප්‍රඥාව ඇසක් වැන්න. එය හැඳින්වෙන්නේ 'ප්‍රඥා චක්ෂුසය' යනුවෙනි. එය සිංහලයට එන්නේ 'පනැස්' යනුවෙනි. මීට ම 'ප්‍රඥාක්ෂිය' යන නම ද යෙදේ.

ප්‍රඥා දශකය

පුද්ගලයෙකුගේ පරමායුෂ අවුරුදු සියයක් නම් එය දශක දහයකට බෙදා එක් එක් දශකයට සුවිශේෂී වුණු ලක්ෂණ ඉස්මතු කොට ඒ ඒ දශක නම් කිරීම බෞද්ධ සම්ප්‍රදායකි. ඒ අනුව එක් දශකයක් නම් කොට ඇත්තේ 'ප්‍රඥා දශකය' යනුවෙනි. එනම් අවුරුදු හතළිහේ සිට අවුරුදු පනහ දක්වා කාල පරිච්ඡෙදය යි.

ප්‍රඥා පාටවය

ප්‍රඥාව කුසලතාවකි. එහි පුහුණුවක් ලත් තැනැත්තා 'ප්‍රඥා පාටවයෙන්' හෙබියේය. තොටගමුවේ රාහුල හිමියන් සතු ප්‍රඥා පාටවය අවබෝධ කොට ගැනීමට උන් වහන්සේ ව්‍යාකරණය අලළා ලියූ 'පඤ්චිකා ප්‍රදීපය'ද,

'පරෙවි සන්දේශය' හා 'සැළලිහිණි සන්දේශය' ද මහාර්ඝ නිදර්ශන සපයයි.

ප්‍රඥා පාරමිතා

නිවන් දකින්ට හෝ බුදු වන්ට පෙරුම් පුරන්නන් විසින් අවශ්‍යයෙන් ම පිරිය යුතු පාරමිතා දශයකි. ඉන් එකක් 'ප්‍රඥා පාරමිතාව' යි. මහායානිකයන් සිතන ආකාරයට මේ දශ පාරමිතා අතුරින් පළමුවැන්න 'ප්‍රඥා පාරමිතාව' යි.

'ප්‍රඥා පාරමිතා' යන නමින් හැඳින්වෙන මහාර්ඝ ධර්ම ග්‍රන්ථයක් ද මහායානිකයන් අතර වෙයි. එය ලියා ඇත්තේ සංස්කෘත භාෂාවෙනි. අනුරාධපුර යුගයෙහි මෙහි විසූ භික්ෂූන් වහන්සේලාට මේ ග්‍රන්ථයෙහි එන පද්‍ය කියවන්ටත් ලියන්ටත් හැකි වූ බව මීට අවුරුදු කීපයකට උඩ දී ජේතවනාරාමයේ කළ කැනීම්වල දී හමු වුණු රන් පත් ඉරුවලින් සනාථ වෙයි.

ප්‍රඥා ප්‍රදීප

ප්‍රඥාව නමැති ආලෝකය විහිද යන්නේ 'ප්‍රඥා ප්‍රදීපයක්' දැල්වූ කල්හි පමණකි.

ප්‍රඥා ප්‍රාසාදය

ධම්මපදයේ එන එක් ගාථාවක 'ප්‍රඥාව' නමැති ප්‍රාසාදය ගැන සඳහන් වෙයි. එහි 'අප්පමාද වග්ගයෙහි' එන

'පමාදං අප්පමාදේන - යදා නූදති පණ්ඩිතෝ'

යන ගාථාවෙන් කියවෙන්නේ ප්‍රඥාව නමැති ප්‍රාසාදයට නැග ගත් පණ්ඩිතයාට පහළ දුක් විඳිමින් සිටින්නන් දැක ගත හැකි බවයි.

ප්‍රඥා ගෝචර

ප්‍රඥාවට අනුකූල පියවර 'ප්‍රඥා ගෝචර' පියවරකි.

ස්ථානෝචිත ප්‍රඥාව

මිනිසෙකුට අවශ්‍යයෙන් ම තිබිය යුතු නුවණක් නම් 'ස්ථානෝචිත ප්‍රඥාව' යි. මෙය 'ව්‍යවහාර ඥානයට' බෙහෙවින් සමීප ය. අනපේක්ෂිත අවස්ථාවක කිසියම් අර්බුදයක් උපන් විට එය විසඳන නිවැරදි මාර්ගය කල්පනා වන්නේ 'ස්ථානෝචිත ප්‍රඥාවක්' ඇති පුද්ගලයාට පමණකි.

'පඤ්ඤා' යන පාලි පදය ඇසුරින් සැදුණු භික්ෂු සංඥා නාම රාශියකි.

පඤඤා-කර පඤ්ඤා-කිත්ති පඤ්ඤා-මෝලි

පඤ්ඤාරාම පඤ්ඤාලෝක පඤ්ඤාවංස පඤ්ඤාසාර පඤ්ඤාසීහ පඤ්ඤාසේන

මාතෘකා