මට බලපෑමක් කළේ නලින් ද සිල්වාගේ ‘මගේ ලෝකය’ යි

 ඡායාරූපය:

මට බලපෑමක් කළේ නලින් ද සිල්වාගේ ‘මගේ ලෝකය’ යි

විශේෂඥ මනෝ වෛද්‍ය වජිර ධර්මවර්ධන

සසල කිරීම කෙසේ වෙතත් ශිෂ්‍යයෙකු ලෙස මට විශාලම බලපෑමක් කළ පොත තමයි ආචාර්ය නලින් ද සිල්වාගේ ‘මගේ ලෝකය’. එය නවකතාවක්වත් වෙනත් ප්‍රබන්ධයක්වත් නෙවෙයි. එය දැනුම ගැන කරන අවලෝකනයක්.

මේ කෘතිය මට කියවන්න ලැබෙන්නේ 1990 දශකයේ මුල් අවධියේ. පාසල් අධ්‍යාපනය අවසන් කරලා විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න පෙර කාලයේ මම ‘විදුසර’ පත්තරේ නිදහස් ලේඛකයකු ලෙස වැඩ කළා. මේ කාලය විශ්වවිද්‍යාල වසා තිබූ අවධියක්. මාව විවිධ විෂය පොත්වලට නිරාවරණය වුණේත්, මේ පොත මට කියවන්න ලැබුණේත් මේ කාලයේයි. මට ඇත්තටම ‘මගේ ලෝකය’ කියවන්න ලැබෙන්නේ මගේ මිත්‍රයකුගෙන්. මෙහි මුල් මුද්‍රණය 1986 කර්තෘ ප්‍රකාශනයක් ලෙසයි පළ වෙලා තිබුණේ. මම කියෙව්වේ ඒ පළමු මුද්‍රණ‍යේ පිටපතක්. පසු කාලයක ඒ පොත විසිදුනු ප්‍ර‍කාශකයන් පළ කරන්න ගත්තා.

‘මගේ ලෝකය’ කෘතියෙන් මූලික වශයෙන් කියා සිටින්නේ දැනුමෙහි සාපේක්ෂ බවයි. ඉන්ද්‍රිය හෝ මනසට සාපේක්ෂ නොවුණු යථාර්ථයක් තිබිය නොහැක කියන කාරණය එහිදී සාකච්ඡා කෙරෙන්නේ සම්භාව්‍ය භෞතික විද්‍යාව සහ ක්වොන්ටම් භෞතික විද්‍යාව ඇසුරු කරගෙනයි. විද්‍යාව හදාරලා විද්‍යා පත්තරේක වැඩ කරමින් සිටි මට මේ කතාව හොඳට අල්ලලා ගියා. අපි ඉගෙනගත් දේවල් දේවභාෂිත නොවෙයි, කිසියම් සංස්කරණයකට ලක් වූ දර්ශනික පදනමක උපන් දැනුමක් බව එයින් තහවුරු වුණා. ඒවගේම එයින් මාව එක පැත්තකින් ශක්තිමත් කළා කියන්න පුළුවන්.

එකල ඒ ගැන විශ්වවිද්‍යාල මට්ටමින් පවා වාද විවාද ඇති වුණා. එහිදී ඒ පාදක කරගෙන විද්‍යාව යනු කුමක්ද? පෙරදිග, අපරදිග දැනුම ලබාගන්නේ කෙසේද? යනාදී බරපතල ප්‍රශ්න ගැන ඇදුරන් තර්ක කළා. අද භෞතික විද්‍යාව මේ ගැන නිතර කතා කරනවා. අපි ගොඩනඟන යථාර්ථය ඉන්ද්‍රියන්ට සහ අපේ අත්දැකීම්වලට සාපේක්ෂය කියන කරුණ මනෝ විද්‍යාවේදී නිතර දකින කියන දෙයක්.

මම පුංචි කාලෙ ඉඳලා පොත් කියවන්න යොමු වුණු කෙනෙක් නෙවෙයි. පොඩි කාලේ මම වැඩියෙන්ම කියෙව්වේ චිත්‍ර කතා. ගෙදර පරිසරය මට ලොකුවට පොත්පත් කියවන්න බලපෑමක් කළේ නෑ. ගෙදරින් කතන්දර පොත් අරන් දීමේ පුරුද්දක් තිබුණෙත් නැහැ. ඒ වුණාට මම ගෙදර තිබුණ විවිධ පොත් කියෙව්වා. සමහර පොත් අම්මලා තාත්තලා ඉස්කෝලේ කියවූ පාඨ ග්‍රන්ථ. එහෙම උඩින් පල්ලෙන් පොත් කියවූ මගේ කියවීමේ ජීවිතය වෙනස් වුණේ මං එතෙක් ඉගෙනගනිමින් සිටි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් පහ ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුල් වුණාට පස්සෙයි. එහිදී හය ශ්‍රේණියේ සිට මට සිංහල සාහිත්‍යය විෂයක් වශයෙන් අධ්‍යයනය කරන්න ලැබෙනවා. නමුත් එ් සාහිත්‍යය වුණත් මට එච්චර රසවත් වුණේ නෑ. එහිදී මට කියවන්න ලැබුණේ උම්මග්ග ජාතකය, මනුතාපය වගේ පොත්. ඒත් ඔය කාලයේ මම පුස්තකාලවලින් පොත් කියවන්න නැඹුරු වෙනවා. එහිදී සිංහල - ඉංග්‍රීසි භේදයක් නැතුව මම කියෙව්වා. විද්‍යා ලේඛකයකු ලෙස සැහෙන කාලයක් කටයුතු කරපු නිසා මට ක්ෂේත්‍ර රැසක පොත්පත්, ලිපි ලේඛන කියවන්න ලැබුණා. වැඩියෙන්ම කියෙව්වේ ප්‍රබන්ධ නොවන පොත්. දැන් වුණත් එහෙම තමයි. ප්‍රබන්ධ නොබලනවාම නෙවෙයි.

මෑතකදි මට කියවන්න ලැබුණු ප්‍ර‍භාත් ජයසිංහගේ ‘මකර තොරණ’ කෙටිකතා සංග්‍රහය මම කැමතිම පොතක්. ඒ පොතේ විශ්වවිද්‍යාල සේවකයෙකු ගැන එන කෙටිකතාව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය සහ එහි අර්බුදය පිළිබිඹු කරනවා කියල මට හිතෙනවා. විශ්වවිද්‍යාල, දැනුම ලබාදෙන හා එය මනින ආකාරය ඒ කතාවෙන් සාතිශය උපහාසයට ලක් කරනවා.

‘මගේ ලෝකයේ’ කෘතියේ තේමාවත් දැනුම. දැනුම උපදින තැනනටම ගිහින් එදෙස බලන්න මෙහෙයවන පොතක් ලෙස ‘මගේ ලෝකය’ පුරෝගාමී එකක්. ඒවගේම එය දැනුම පිළිබඳ කතිකාවක සන්ධිස්ථානයක්.

සටහන [එරංගා පල්ලියගුරුගේ]

මාතෘකා