කර්තෘභාග බද්ද තවමත් වලංගුද?

 ඡායාරූපය:

කර්තෘභාග බද්ද තවමත් වලංගුද?

රජයේ නව බදු පනත් සංශෝධනය තුළ ලේඛකයාගේ කර්තෘභාගයට වැදුණු අසාධාරණ ප්‍රහාරය පිළිබඳව දැන් අලුත් කතිකාවක් නිර්මාණය වී තිබේ. එනම් එම සියයට 14.5ක බද්ද අය කරනුයේ වසරකට නොව මසකට රුපියල් පනස්දහසකට (50,000/-) වඩා කර්තෘභාග මුදලක් ලබන ලේඛකයන්ගෙන් පමණක් බවයි. බොහෝ ලේඛකයන් කියනුයේ එය එතරම් ගැටලුවක් නොවන බවය. ඒ, මසකට තබා වසරකටවත් එපමණ කර්තෘභාගයක් ලේඛකයකු නොලබන නිසාය. එහෙත් ඇතැමුන් පවසන්නේ එය පෙර පැවති වසරකටම බවයි. එහෙත් ආදායම් බදු බලධාරීන් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කර නැත. කෙසේ වුව මෙහි අනෙක් ගැටලුව ප්‍රකාශකයන් මේ පිළිබඳව දරන අදහසයි. මීට පෙර අප කළ මත විමසුමේදී ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශක ප්‍රේම් දිසානායක මහතා සඳහන් කළේ ඔවුන් තවමත් කර්තෘභාග බද්ද අය කරන බවයි. සංශෝධිත බදු පනත රජය අවලංගු කර නොමැති නිසාය. මේ, තවත් ප්‍රකාශකයන් ඒ පිළිබඳව දරන අදහසයි.

අපි තවම රජයට බදු ගෙවීමක් කරන්නෙ නෑ

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයන්ගේ සංගමයේ සභාපති සහ විජිත යාපා ප්‍රකාශන අධිපති

විජිත යාපා

මම දන්නෙ නෑ මාසිකව රුපියල් පනස්දහසක කර්තෘභාගයක් ලැබෙන අය ඉන්නවාද කියල. හැබැයි ආණ්ඩුව යම්කිසි නීතියක් හෝ බද්දක් පනවනවා නම් අපි එය පිළිපදින්න ඕන. නමුත් අපි දැනට එහෙම රජයට බදු ගෙවීමක් කරනවා කියලා තීරණයක් අරගෙන නැහැ. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයන්ගේ සංගමය විධියට අපට මේක ගැන රජයට ඇපෑලක් ඉදිරිපත් කරන්න පුළුවන්.

ඔබගේ ආයතනයෙන් මාසිකව රුපියල් පනස්දහසකට වඩා කර්තෘභාගයක් ගන්න ලේඛකයො ඉන්නවාද?

පසුගිය අවුරුද්දේ එහෙම කෙනෙක් සිටියා. හැබැයි ඔහුගේ පොත ප්‍රකාශනය කළේ මගේ ප්‍රකාශන ආයතනය නෙවෙයි. අපි කළේ පොත බෙදාහැරීම විතරයි. කෙසේ හෝ ඒ ලේඛකයා මාසිකව රුපියල් පනස්දහසකට වඩා කර්තෘභාගයක් ගත්තා.

ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ බද්ද අයින් කරන මතයක ඉන්නෙ

පොත් ප්‍රකාශයකයන්ගේ සංගමයේ හිටපු සභාපති සහ සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී. ප්‍රේමසිරි

අැත්ත වශයෙන් මේ වගේ බද්දක් රජය ලේඛක කර්තෘභාගයෙන් අය කිරීම වැරදියි. ලේඛකයන් එච්චර ආදායමක් ගන්න අය නෙවෙයිනෙ. එහෙම තියෙද්දී එහෙම කරන එක වැරදියි. මම නම් මේ වන තුරු කිසිම මුදලක් ලේඛක කර්තෘභාගයෙන් කපලාවත්, රජයට බද්දක් ගෙවලාවත් නැහැ. මම අද උදෙත් කතා කළා ආදායම් බදු දෙපාර්තමේන්තුවට. නමුත් තවම ඒක අයින් කරලා නෑ. හැබැයි ඉදිරියට මේක අයින් වෙයි. ඒ වගේ මතයක තමයි ඔවුන් ඉන්නෙ. දැනට අපි ලේඛකයන්ට සාමාන්‍ය විධියට කර්තෘභාගය ගෙවනවා. ආදායම් බදු දෙපාර්තමේන්තුව මේක වෙනස් කරන්න යම් යෝජනා කිහිපයක් ගෙන එන්න සූදානම් කරලා තියෙන්නේ. නමුත් තවම ඒ ගැන මුදල් අමාත්‍යාංශය දැනුවත් කිරීමක් හෝ ඒ සම්බන්ධ දෙයකට ගිහින් නැහැ. කොහොම වුණත් අපි ඉන්නෙ ඔවුන් එහෙම අයකිරීමක් කරන්න සූදානමක හරි ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම වැරදියි කියන ස්ථාවරයේ.

මුදල් අමාත්‍යංශය

ලේඛක කර්තෘභාගය ගැන හරියට දන්නෙ නෑ

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ අධිපති

මහාචාර්ය සරත් විජේසූරිය

මේක බොහෝ වෙලාවට වෙන රටක කොන්දේසියක් වෙන්නැති. ඇත්තටම අද ලේඛකයාට කර්තෘභාගය විධියට ලැබෙන්නේ සියයට දහයයි. ඒක සොච්චම් මුදලක්. ඒකෙන් අදාළ ලේඛකයාට ලොකු දෙයක් ලැබෙන්නෙ නෑ. එහෙම තියෙද්දිත් මෙහෙම බදු ගැසීම බොරු වැඩක්. මම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා එක්කත් කතා කළා. ඔහු කියනවා මේ ගැටලුව යම්තාක් දුරකට නිරාකරණය කරලා තියෙන්නේ කියලා. හැබැයි මම හිතන විධියට මුදල් අමාත්‍යංශය ලේඛක කර්තෘභාගය ගැන හරියට දන්නෙ නෑ. ඔවුන්ට ඒ ගැන නිසි අධ්‍යයනයක් නෑ. මේ වැඩ හින්දා වෙන්නේ රජය නිකන් නම කැත කරගන්න එක. අනෙක ලේඛකයන්ගේ කර්තෘභාගයෙන් සියයට දාහතරයි දශම පහක් ගත්තයි කියලා රජයට ලොකු ආදායමක් ලබන්න බෑ.

එතකොට ස්වර්ණ පුස්තක සම්මානය වගේ සම්මානයක් ලබන පොතකට ලොකු මුදලක් ලැබෙනවා?

ඒ වගේ දේකිනුත් එහෙම බදු මුදලක් අයකර ගන්නවා නම් ඒක වැරදියි. මොකද එහෙම සම්මානයක් ලැබෙන්නෙ වසරකට එක වතාවයි. කොහොම වුණත් මුදල් අමාත්‍යංශය මේ ගැන නිසි පරිදි සොයා බලන්න ඕන. නැත්නම් වෙන්නේ ලේඛකයාත් ප්‍රකාශකයාත් අපහසුතාවට පත්වීම වගේම රජයත් නිකන් අපහසුතාවට පත්වීමයි.

අවුරුද්ද අන්තිමේ අපි ඔය බද්ද ගෙවනවා

සූරිය ප්‍රකාශක අතුල ජයකොඩි

මේ වෙනකම් නම් අපි කර්තෘභාග බද්දක් රජයට ගෙවලා නෑ. අවුරුද්දේ අන්තිමටනෙ ඔය බද්ද ගෙවන්න තියෙන්නෙ. එතකොට අපි ඒ අදාළ මුදල ගෙවනවා. දැනට ඒ ගෙවීම් කරන්නෙ කොහොමද සහ ඒකෙ ක්‍රමවේදය කුමක්ද කියල අපි සැලසුම් කරගෙන යනවා. කොහොමහරි නීත්‍යනුකූල විදිහට ඒ කටයුත්ත කරනවා.

මම පෞද්ගලිකව ඔය බද්දට අකමැතියි. ලේඛකයෙකුට ලැබෙන පොඩි මුදලෙනුත් මෙහෙම දෙයක් වෙන එක වැරදියි. ඇත්තටම ලේඛකයන්ගේ සංගමයෙනුත් මේකට වැඩපිළිවෙළක් යොදලා තියෙනවා. ඒක ගොඩක් හොඳ වැඩක්.

මේ වෙනකොට රුපියල් පනස්දහසකට වඩා කර්තෘභාගයක් ගන්න ලේඛකයෙක් මගෙ ආයතනයට සම්බන්ධ වෙලා නැහැ. කලින් හිටියාද අදටත් ඉන්නවාද කියලා මට කියන්න බැහැ. මං එහෙම දෙයක් කියන්න බැඳිලා නැහැ.

දැන් බදු තීරණය රජය අහෝසි කරලා

ගොඩගේ ප්‍රකාශන අධිපති සිරිසුමන ගොඩගේ

ඇත්තටම එහෙම කර්තෘභාගයෙන් මුදලක් බදු වශයෙන් ගන්න එක වැරදියි. මොකද ලේඛකයො කියන්නේ පොඩි මුදලක් කර්තෘභාගය විධියට ගන්න පිරිසක්. ඔය වගේ තීරණයක් දැනුම් දුන්න දවස්වල අපි කිව්වා අපි ඒ ගෙවීම කරනවා කියල. එ්ක නීතියක්නෙ. ඒ හින්දා අපි ඒ ගෙවීම කරන්න එකඟයි. ගොඩගේ ආයතනය විදිහට අපි ඒක ගෙවනවා.

දැනට ඔබ ආදායම් බදු වශයෙන් මේ මුදල ගෙවනවාද?

නෑ. දැන් ඒ තීරණය රජයෙන් අහෝසි කරලා තියෙන්නෙ. ඒ නිසා එ් ගැන දැන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක අහෝසි කරන්න කලින් මම මගෙන් ලේඛකයන්ට ලැබෙන්න තියෙන කර්තෘභාගය කිසිම අඩුවක් නැතිව සුපුරුදු විධියටම දුන්නා. ඒ අදාළ බදු මුදල මම මගේ අතින් ගෙව්වෙ. එතනදී ලේඛකයන්ට කිසිම ගැටලුවක් වෙන්න මම ඉඩ තිබ්බෙ නැහැ. ඒක හින්දා දැන් කර්තෘට ප්‍රශ්නයක් නැහැ. පොත් ප්‍රකාශයකයන්ගේ සංගමයේ සාමාජිකයන් විධියට නම් ඒ ගැන අපි තවම සාකච්ඡා කීරීමක් හෝ පැහැදිලි ස්ථාවරයකට ඇවිල්ලා නැහැ.

දැන් එහෙම බද්දක් නැහැ

විදර්ශන ග්‍රන්ථ ප්‍රකාශක ජනක ඉනිමංකඩ

කර්තෘභාගය සම්බන්ධව දැන් මේ වගේ බද්දක් ක්‍රියාත්මක වෙන්න නැහැ. ඒක මුදල් ඇමතිතුමා මාධ්‍ය හමුවක් තියලම කිව්වා අයින් කරනවා කියලා. දැන් එහෙම එකක් නැහැ. අපේ ෆෝන්වලට පවා ඇලර්ට් එකක් අවානෙ. මම බදු නීතිය ගැන ඉතාම හොඳට දන්නවා. මේක මේ අවුරුද්දේ අන්තිමට ගෙවන්න තියෙන එකක් නෙමෙයි. පනතෙ තියෙන්නේ ඕනෑම ලිත් මාසයක අවසාන දිනයෙන් පසුව එළඹෙන පළමු දින දහහතරක් ඇතුළත රඳවාගත් මුදල ගෙවිය යුතුයි කියලා.

මේ වෙනකන් මම කිසිම බදු ගෙවීමක් කරලා නැහැ. ගෙවන්න වුණොත් මම කිසිම විධියකින් ලේඛකයාගේ කර්තෘභාගයෙන් අය කරන්නේ නැහැ. මමම අතින් ගෙවනවා. මම මගේ ආයතනයෙන් පසුගිය වසරේ සම්මාන ගත්ත එක පොතකට ඒ ලේඛකයාට රුපියල් ලක්ෂ දහයක් දුන්නා. ඒ වුණාට මේ රඳවා තබා ගැනීමේ බද්දයි ප්‍රශ්නෙ. ආණ්ඩුවට දුන්නම ආයෙ ගන්න බැහැ. එ්කයි තියෙන ප්‍රශ්නෙ.

මම හිතන්නෙ මේ ආදායම් බද්ද ගැන ආණ්ඩුව හරියට දන්නෑ. ආණ්ඩුව වැරදි නැහැ. මේක ඔය දේශීය ආදායම් බදු පනත එනකොට වටෙන් ආපු එකක් කියලයි මට නම් හිතෙන්නෙ.

කර්තෘභාග බද්ද පිළිබඳව විමසීම සඳහා අප දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් අයිවන් දිසානායක මහතා සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් උත්සාහ කළ නමුත් එය ව්‍යර්ථ විය. ඔහු අපට පිළිතුරු දීම මඟහැර ගියා සේ විය. ඔහු ඇමතූ හැම විටම ඔහු දුන් නියමිත වේලාවට අප ඔහුට කථා කළ බැවිනි.

සාකච්ඡා කළේ [කවීෂ ආරච්චිගේ]

මාතෘකා