මට හිතෙනවා රෝලින් කෙනෙක් වෙන්න

 ඡායාරූපය:

මට හිතෙනවා රෝලින් කෙනෙක් වෙන්න

නිබන්ධිකා වන්නිනායක

රූපවාහිනී තිර රචිකාවක හා පුවත්පත් ලේඛිකාවක වන නිබන්ධිකා වන්නිනායකගේ කුළුඳුල් කෘතිය වූ ‘අඬනහිරියා’ හෙට (4 වෙනිදා) සවස 2.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී ජනගතවීමට නියමිතය. දැරියක වටා ගෙතුණු යොවුන් කෘතියක් වන එය සයුර ප්‍රකාශනයකි. මේ, අප නිබන්ධිකා වන්නිනායක හා කළ සම්මුඛ සාකච්ඡාවකි.

මේ කෘතිය යොවුන් පොතක්. එය උපදින්නේ කෙසේද?

මම ලියන්න ගත්තෙ ෆේස්බුක් එකෙන්. එහෙම ලියන කොට එක තැනක් අහුවෙනවා ළමයින්ට ලිවීම මං තුළ තියෙනවා කියලා. සමහර ලේඛකයනුත් මට ඒ ගැන කියලා තියෙනවා. ඇත්තටම මම ෆේස්බුක් එකේ පුංචි පුංචි කතා ලිව්වෙ කාන්සියට. ඒත් පස්සෙ මට හීනයක් හැදෙනවා ලංකාව තුළ ආදරය කරන චරිතයක් ගොඩනඟන්න. හරියට ඈන් වගේ. පොලියානා වගේ. ඒ අනුව තමයි මා අතින් ‘අඬනහිරියා’ නිර්මාණය කරන්න.

ඔබ ඈන්, පොලියානා වැනි චරිත ගැන කිව්වා?

මම ගොඩක් පොත් කියවන කෙනෙක්. වැඩියම කියවන්න පුරුදු වෙලා තියෙන්නේ පරිවර්තන කෘති. ඈන් පොත් ටික, පොලියානා පොත. ඊළඟට ප්‍රියංකා කහවණුගොඩගේ ‘සුළඟේ ගීතය’ සහ ‘රීදි තරු වියන යට’. ඒවා ගැහැනු ළමයි වටා ගෙතුණු කතා. අපේ රටේ යොවුන් නවකතා ලියා තියෙන්නේ කතාව අවසානයේ නිධානයක් හොයාගන්න තැනකට යනවා වගේ.

ඒ ගැන මම නිතර කල්පනා කළා. ගැහැනු ළමයෙක් වටා ගෙතුණු, වැටුණම නැඟිටින, ‘ඈන්’ට වගේ ආදරය වෙන කෙනෙක් අපේ රටේ නැහැ. ඒ අනුවයි ‘අඬනහිරියා’ නිර්මාණය වෙන්න මට බලපෑවේ.

අඬනහිරියාගේ චරිතය සහ ඇය සැරිසරන පරිසරය ගොඩනැඟෙන්නේ කොයි විදියටද?

මම පුංචි කාලේ අත්වින්ද පරිසරය ඊට ගොඩක් ඉවහල් වෙනවා. ඒ වගේම මගේ ළඟ හිටපු ගොඩක් අයත් බලපෑවා. ඒ අය හරහා පරිකල්පනය යොදාගෙනයි චරිතය ගොඩනඟන්නෙ.

ඔබ ප්‍රේම කතා වෙනුවට ළමා සාහිත්‍යයට ප්‍රවේශ වෙන්න හිතුවේ ඇයි?

හැම කෙනෙක්ම යොමු වෙන්නේ ප්‍රේමකතා සහ කවිවලට. ලියන්න පුළුවන් අය ළමයි ගැනත් හිතනවා නම් හොඳයි. ළමා සාහිත්‍යයට යොමුවෙන පිරිස අඩුයි. විඩීයෝ ගේම්ස්වලට, කාටුන්වලට ඇබ්බැහි වුණාම සමාජය ගොඩක් අවුල් වෙනවා. ළමා සාහිත්‍යයක් අපේ රටේ නැතිකම මට දැනෙනවා. අපේ ළමයි අතරේ ලොකු තරගයක්, ළමාකම අමතකවීමක් මට පෙනෙනවා. මට හිතෙනවා ළමයින්ට ආදරය ගැන, පරිසරය ගැන උගන්වන්න පටන්ගන්න. අපිම ඒක පටන්ගන්න ඕන. ලියන්න පුළුවන් අය මේ වැඩේ කරන්න ඕන. ඒ හින්දා ළමා සාහිත්‍යයට යොමු වෙන්න මට අදහසක් ආවා. සිබිල් නැන්දාටත් දැන් වයසයි කියලත් මට හරියට හිතෙනවා.

අනිත් එක ජීවිතයේ කඩා වැටිලා හිටපු එක කාලෙකදී මගේ ජීවිතයේ ‘රෝල් මොඩල්’ එක වුණේ ජේ. කේ. රෝලින්. මට හිතෙනවා රෝලින් කෙනෙක් වෙන්න. රෝලින් කෙනෙක් වෙන්නේ හැරී පොටර් වගේ චරිතයකින් නෙමෙයි. මගේ ආරට රෝලින් කෙනෙක් වීමේ ලොකු ආසාවක් මට තියෙනවා.

අද අපේ ළමා සාහිත්‍යයේ ආකෘතිය ගැන මොකද හිතන්නේ?

ළමා සාහිත්‍යය කිව්වම අපිට හුරු කතාවක් තියෙනවා. ඒත් මම හිතනවා ඒක වෙනස් වෙලා ළමයින්ගේ ලෝකයත් එක්ක බද්ධ වුණු සාහිත්‍යයක් තියෙන්න ඕන කියල. ළමයි තනියම දේවල් ඉගෙන ගන්න හැටි, තමන්ට ආදරය කරන අයට ආදරය කරන හැටි, ඒ හින්දම අනතුරු කර ගන්නා හැටි, ඒවායින් එයාලව වළක්වා ගන්න හැටි වගේ දේවල් සාහිත්‍යයට ඇතුළත් වෙන්න ඕන. ඒ කියන්නෙ අද ළමයින්ගේ කතන්දර ලියවෙන්න ඕන. ‘අඹ යහළුවෝ’, ‘හපනා’, ’මැටි ගෙදර ළමයි’ අයිති ඉස්සර ළමයින්ට.

ඒ යුග වෙනසත් එක්ක ළමයාගේ භුමිකාව වෙනස් වෙලාද?

ඒ කාලෙත් ළමයි අතින් වැරදි වුණා. ළමයින්ට වැරදුණා. දැනුත් එහෙම වෙනවා. දැන් ළමයි තාක්ෂණයට විවෘතයි. ඒ කාලේ අම්මා ගෙදර හිටියා. දැන් එහෙම නැහැ. ළමයි සමාජයට නිරාවරණය වීම වැඩියි. අවුරුදු 15 -16 වෙන කොට ළමයි වළේ වැටෙනවා. ඒ තත්ත්වය නවත්ත ගන්න පුළුවන් විදිහට ඔළුව හදන්න ඕන. ඒ නිසා

හැම වෙලේම ළමයින්ට හරි දේ කියාදෙන විදිහක් හැදෙන්න ඕන. අනිත් කෙනාට ඉරිසියා නොකර, අනෙක් අයට රැවටෙන්නේ නැතිව ජීවත්වෙන හැටි කියලා දෙන්න ඕන. අම්මලාගේ ආදරේනුත්, අපේ සාහිත්‍යයෙනුත් එය ඉටු විය යුතුයි.

ළමයින් සම්බන්ධයෙන් ඔබගේ අදහස මොකක්ද?

පුංචි කාලේ ඉඳලා තමන්ගේ ගෙදර තමන්ට සමීප කවුරු හරි ඉන්න ඕන. ඒ කිව්වෙ අම්මා - තාත්තා හරි, සීයා - ආච්චි හරි, ළඟම නෑයෙක් හරි ළමයි එක්ක ඉන්න ඕන. එහෙම වුණාම හැම දෙයක්ම ළමයින් ඔවුන්ගෙන් අහගන්නවා. පරිසරයට ආදරය කරන එක, සත්තුන්ට ආදරය කරන එක එහෙමත් නැත්නම් ලියන්න පුරුදු වෙන එක වගේ ආස කරන දේවල්වලට පුරුදු වුණාම ළමයි තමන්ගේ වයසට ගැළපෙන්න වැඩෙනවා. එහෙම නැතුව ෆෝන් එකත් එක්ක ඉන්න පුරුදු වුණොත් නොගැළපෙන දේවල් ඔළුවට වැටෙන්න පුළුවන්. මානව සම්බන්ධතා එක්ක, ගහකොළත් එක්ක, සත්තුන්ටත් කිට්ටුව ළමයි හැදෙන්න ඕන කියලා මම හිතනවා.

‘අඬනහිරියා’ පොතේ චිත්‍ර ඇඳෙන්නේ කා අතින්ද?

එහි චිත්‍ර ඇන්ද නංගිලා දෙන්නා මට මුණගැහෙන්නේ ෆේස්බුක් එකෙන්. එක් කෙ‍ෙනක් හෂිණි. එයාගේ අක්කා මගේ පාසල් මිතුරියක්. ඒත් මම හෂිණිව දැකලා නැහැ. අනිත් චිත්‍රකාරි විරංගා. එයාවත් මම දැකලා නැහැ. චිත්‍ර ඇඳලා ෆැක්ස් කරලයි එව්වේ. ඒ දෙන්නා ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට මෙවර පෙනී ඉන්නවා. ඒ දෙන්නා මම වෙනුවෙන් ලොකු දෙයක් කළා.

සාකච්ඡා කළේ [හර්ෂිනී පුෂ්පමාලා ආරච්ච්ගේ]

මාතෘකා