නවකතාවකින් සාකච්ඡා විය යුත්තේ වර්තමානයයි : සම්මානලාභී ලේඛක කීර්ති වැලිසරගේ

 ඡායාරූපය:

නවකතාවකින් සාකච්ඡා විය යුත්තේ වර්තමානයයි : සම්මානලාභී ලේඛක කීර්ති වැලිසරගේ

ප්‍රවීණ ලේඛක කීර්ති වැලිසරගේ ‘ගරුඩ මුහුර්තය’ නවකතාව පසුගිය වසරේ සාහිත්‍ය සම්මාන උළෙල රැසකදී විශේෂ ඇගයීමට පාත්‍ර විය. එය ඔහුගේ හත්වැනි නවකතාව වන අතර ඊට පෙර ඔහු රචනා කළ නවකතාව නම් 2015 වසරේ එළිදුටු ‘දෛව’ ය. 2012 වසරේ පළ වූ ඔහුගේ ‘කාල සර්ප’ නවකතාවට ස්වර්ණ පුස්තක සම්මානයද හිමි විය. වෙනස් ආකාරයක බස් වහරක් සහ ආඛ්‍යාන ශෛලියක් යොදාගනිමින් රචනා කර ඇති ‘ගරුඩ මුහුර්තය’ නවකතාව පිළිබඳව අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

‘ගරුඩ මුහුර්තය’ නවකතාවේ නිර්මාණ පසුබිම ගැන කතා කරනවා නම්?   
 

මීට අවුරුදු දහයකට පමණ කලින් මගේ ඥාති පුත්‍රයෙක් දැරණියගල නූරිය ප්‍රදේශයෙන් කසාදයක් බැන්දා. මේ ඥාති පුත්‍රයා මාත් එක්ක බොහොම මිත්‍රයි. අප අතර තියෙන්නෙ ඥාතීත්වයට වඩා මිත්‍රත්වයක්. ඔහුගේ නම සමන්ත ජයතුංග. ඔහු තමයි මට දැරණියගල ප්‍රදේශයේ නූරිය නමින් හරි ලස්සන ප්‍රදේශයක් තියෙනවා කියලා කිව්වේ. මේ ප්‍රදේශයට යමු කියලා ඔහු කිහිප වරක්ම මට කිව්වා. ඒ අනුව වරක් මම ඒ ප්‍රදේශයට ගියා. ඒ ගමනෙදි උතුරා යන මාගල් ගඟේ අපි දිය නෑවා. ඒ මොහොතේ ධාරාණිපාත වර්ෂාවකුත් ඇදගෙන වැටුණා. ඒ වර්ෂාවෙන් අපි බේරුණේ එතැන තිබිච්ච ගල් කුලක් යටට ගිහිල්ලයි. මෙන්න මේ මොහොතේ මට හිතුණා මේ ප්‍රදේශයේ හරි අපූරු දේවල් තියෙන්න පුළුවන් කියලා. ඒත් එක්කම ඔහු ඒ ප්‍රදේශයේ ජීවන රටාව ගැනත් යම් යම් අදහස් මාත් එක්ක හුවමාරු කරගත්තා. ටික දවසක් යනකොට මේ ප්‍රදේශය මට හුරු තැනක් බවට පත් වුණා. මට හරි ආස හිතුණා ඒ ජීවන රටාව යම්කිසි ආකාරයකට අධ්‍යයනය කරන්න. ඔය අතරතුරදි මගේ ‘මායා තීර්ථ’ නවකතාව කියවලා මා සමඟ සමීප සම්බන්ධතාවක් ඇති කරගෙන සිටි තුෂාර ගලහිටියාව නමැති සහෘදයෙක් වරක් මම අසනීප වෙලා රෝහල්ගතව සිටි අවස්ථාවක මාව බලන්න ජයවර්ධනපුර රෝහලට ආවා. ඔහු ඒ වෙලාවෙ යෝජනා කළා කැමතිද අපේ ගම් ප්‍රදේශයට ඇවිත් යන්න එන්න කියලා. පුදුමයකට වගේ ඔහුගේ ගමත් මම කියපු අර නූරිය ප්‍රදේශයමයි. ඒ නිසා ඔහුත් සමඟ නැවතත් නූරිය ප්‍රදේශයේ සංචාරයක යෙදෙන්න මම එකඟ වුණා. ඔය විදියට කිහිප වරක්ම මේ ප්‍රදේශයට ගිය ගමන්බිමන්වලදි මාගල වයි. ජී. ආර්. ධනපාල සහ නූරියෙ අයි. ජී. ජයවීර ඇතුළු මහත්වරුන්ගෙන් ඒ ප්‍රදේශයේ විවිධ ඇදහිලි, පුරාණෝක්ති, පැණි හකුරු කර්මාන්තයේ ව්‍යාප්තිය සහ වතු වගා ක්ෂේත්‍රයේ ව්‍යාප්තියත් සමඟ ඇති වූ තත්ත්වයන් වැනි කාරණා රාශියක් ගැන මට දැනගන්න ලැබුණා. ඒ ඔස්සේ තමයි මේ නවකතාවට පදනම වැටෙන්නෙ. අවසන් වතාවට මම ඒ ප්‍රදේශයට ගියේ 2016 වසරේ ජනවාරියේ. ඒ ගමනෙදි නිර්මාණයක් සඳහා මගේ ඔළුවෙ සටහන් වී තිබුණු චිත්‍රය සම්පූර්ණ කරගෙන ඇවිත් මම මේ නවකතාව රචනා කළා.   

මේ නවකතාව සඳහා ඔබ යොදාගෙන ඇති බස් වහර වෙනස්?   

ප්‍රථම වතාවට ඇහෙනකොට ඒ ඇතැම් වචනවල නුහුරු, නුපුරුදු ස්වභාවයක් මටත් දැනුණා. ඒවා මම ඒ ප්‍රදේශයේ වැඩිහිටියන්ගෙන් අසා දැනගත් වචන. ඔවුන්ගේ වාග්කෝෂය තුළ එදා භාවිත වූ, අද භාවිත නොවන ඒ වචන නැතුව මේ නිර්මාණය කිරීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. ඒ ඇතැම් යෙදුම් වගේම කතා රටාවත් වෙනස්. ප්‍රදේශයේ වැඩිහිටියන් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමේදී ඔවුන්ගෙන් මතු වූ ඒ කථන ව්‍යවහාරය තමයි මේ කෘතිය සඳහා භාවිත කළේ. අද ඒවා ඒ විදියට භාවිත නොවෙන්න පුළුවන්. ඒවා අවුරුදු සියයකට එපිට ඔවුන්ගේ භාෂාවේ වචන. ඒ යුගයේ ඔවුන්ගේ ජීවිත නිරූපණය කරන විට මේ භාෂාව යොදාගන්න සිදු වෙනවා. අපි නවකතාව මැවීම කරන්නෙ භාෂාව ඔස්සේයි. ඒ නිසා ඔවුන්ගේ භාෂාව ඒ අයුරින් යොදා නොගෙන මේ නිර්මාණය කරන්න බැහැ කියලා මට හිතුණා. ඒ වචන අවබෝධ කරගැනීම පහසු වන ආකාරයේ පාදක සටහන් මේ පොතට යොදාගෙන තිබෙනවා.   

එහෙත් බස් වහරෙහි නුහුරු ගතිය නිසා කෘතිය ආයාසකර කියවීමක් බවට විය හැකියි?   

ඇත්තටම ඒ ගැන නම් මම කල්පනා කළේ නැහැ. මේ ජනතාවගේ සැබෑ ජීවන ප්‍රවෘත්තිය පාඨකයාට හුරු භාෂාවෙන් ඉදිරිපත් කරන්න අපහසුයි. එහිදී භාෂාව හරස් කරගන්නාවට වඩා මේ භාෂාවේ අපූර්වත්වය පාඨකයා වෙත රැගෙන යෑම වඩා උචිත බවයි මා විශ්වාස කළේ. මගේ කතා කියවා පුරුදු පාඨකයින් මෙය ප්‍රතික්ෂේප කරන එකක් නැහැ කියන විශ්වාසය මා තුළ තිබුණා.   

අතීතය ඇසුරු කරන මෙවැනි නවකතාවක් අදට වැදගත් වන්නේ කෙසේද?   

නවකතාවකින් සාකච්ඡා විය යුත්තේ වර්තමානයයි. නවකතාව කියන්නෙ ජීවිත විවරණයක්. අපි නවකතාවකින් සාකච්ඡා කරන්නේ ජීවිතවලට පසුබිම් වන සමාජ, දේශපාලන සහ ආර්ථික යනාදී වශයෙන් වන සම්පූර්ණ සන්දර්භයයි. එහිදී සිදු වන්නේ යම්කිසි සමාජ සංස්තෘකික පදාසයක් ඔස්සේ පොදුවේ මිනිසා මුහුණ දෙන යථාර්ථය විවරණය කිරීමයි. මීට අවුරුදු සියයකට කලින් ජීවත් වූ මනුෂ්‍ය කොට්ඨාසයක හැඩහුරුව, ඔවුන්ගේ අධ්‍යාත්මය වගේම ඔවුන්ගේ ජීවිතයේ කුදු මහත් සියල්ල මේ නවකතාව තුළින් මතු වෙනවා නම් එහි යම්කිසි අපූර්වත්වයක් තියෙනවා. අපි අත්විඳින ජීවිතයම ඔවුන් වෙනත් ආකාරයකට අත්විඳලා තියෙනවා. මේ හඬ ඇසෙන්නේ අතීතයෙන් වුවත් වර්තමානයේත් වෙනත් ස්වරූපවලින් අපට ඇසෙමින් තියෙන්නේ මේ හඬවල්ම නේද? මේ පිළිබඳ කිසියම් කතිකාවකට, හෘදය සම්භාෂණයකට තවත් පැත්තකින් අපට යන්නට පුළුවන්. නවකතාවකින් අපට අත්පත් විය යුතු දේ ඉදිරිපත් වෙන්නෙ ඒ ඔස්සේයි. ඒ නිසා මෙය මටත් කිසියම් ආකාරයක වින්දනයක් ලබාදෙන අතරම ජීවිතය පිළිබඳ එක පැත්තකින් හිත් සසල කරවන, තවත් පැත්තකින් නැවත අපේ ජීවිතය දෙස අතීත මානයකින් අවලෝකනය කිරීමේ අවස්ථාවක් හැටියට මම මේ නවකතාව දකිනවා. ඒ හරහා නවකතාකරුවෙක් හැටියට මම නිරූපණය කරලා තියෙන්නේ අපි අත්විඳින ජීවිතයමයි. හැබැයි එය ඉදිරිපත් කර තිබෙන්නේ වෙනස් ස්වරූපයකින්, වෙනත් ස්ථානයකින්, වෙනත් කෝණයකින් සහ හැඩතලවලින්.   

ප්‍රබන්ධ සඳහා සමකාලීන පරිසරය ඇසුරු කළ ඔබ මෙවැනි නවකතාවකට යොමු වුණේ ඇයි?   

මූලිකවම මේ සුන්දර ප්‍රදේශය මාව දැඩි ලෙස ආකර්ෂණය කරගත්තා. ඒ ප්‍රදේශයේ මිනිස්සුන්ගේ කතාබහ තුළ තිබුණු විශේෂත්වයත් මට හොඳින් දැනුණා. ඇත්ත වශයෙන්ම මම ඒ ප්‍රදේශයට ගියේ නවකතාවක් ලිවීමේ අරමුණින් නෙවෙයි. දැරණියගල ආරියසිරි රත්නසේකර මහතා වැනි අය මගේ හොඳ මිත්‍රයින් බවට පත් වුණා. දැරණියගල තියෙන්නෙ ඒ ප්‍රදේශයට බොහෝ බැහැරින්. නමුත් ඒ අවට තවත් ප්‍රදේශවල විශාල පිරිසකගේ ජීවන රටා අධ්‍යයනය කරන්නත් මට මේ සමඟම අවස්ථාව ලැබුණා. ඒ සියලු කරුණු මේ නවකතාවේ අන්තර්ගත වුණේ නැහැ. සමහර විට මගේ වෙනත් නිර්මාණයක් ඔස්සේ ඒ කරුණු එළි දකින්න ඉඩ තියෙනවා.

කෙටිකතාව යම්කිසි අර්බුදයකට යමින් ඇති පසුබිමක ස්වර්ණ පුස්තකය වැනි සම්මාන ඔස්සේ නවකතාවට ඇති වී තිබෙන උනන්දුව වැඩියි?   

ඔය ගැන හරි සමීක්ෂණයක් සිදු වෙලා තියෙනවාද? ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඇරැඹෙන්නට පෙර සහ පසු අවධිය ඇසුරින් සංසන්දනාත්මකව එවැනි අධ්‍යයනයක් කරලා තියෙනවාද කියලා මම හරියට දන්නෙ නැහැ. හැබැයි නවකතා කියවන පාඨක පිරිස වර්තමානයේ වැඩි වෙලා තියෙනවා. ඒක යම් ආකාරයකට ස්වර්ණ පුස්තක උළෙල නිසා ඇති වූ දෙයක් වෙන්න පුළුවනි. ඒ ගැන මගේ අදහස මෙයට කලින් පුවත්පත් ගණනාවකට මම කියලා තියෙනවා. “නවකතාවට පමණක් නෙවෙයි, කෙටිකතාවට සහ කවියටත් ස්වර්ණ පුස්තකය ලබා දෙන්නේ නම් මැනවි” කියන ඒ අදහස මට 2013 වසරේ සවර්ණ පුස්තක සම්මානය ලැබුණු අවස්ථාවේදීත් මා ප්‍රකාශ කළ දෙයක්. ප්‍රායෝගිකව කොයි තරම් දුරට එය ඉටු කරන්න ප්‍රකාශකයින් සූදානම්ද කියන එක මා දන්නේ නැහැ.   

ස්වර්ණ පුස්තකයේ සහ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ප්‍රබෝධය හමුවේ පවා මහා සමාජය තුළ සාහිත්‍යය හුදෙකලා වී ඇති බවක් පෙනෙන්නට තියෙනවා?

අපේ සංස්කෘතික ක්ෂේත්‍රය පවතින්නේ ඉතා හැකිළුණු ස්වභාවයකයි. ඒකට හේතු තියෙනවා. ප්‍රධාන හේතුවක් තමයි අධ්‍යාපනය තුළ සාහිත්‍යය නොවැදගත් විෂයක් බවට දැන් කාලයක් තිස්සේ පත් වෙමින් පැවතීම. අද ශිෂ්‍යයෙකුට පුළුවන්කම තියෙනවා සාහිත්‍යය අත්හැරලා විද්‍යා, ගණිත සහ තාක්ෂණික විෂය ක්ෂේත්‍රයන් ඔස්සේ යන්න. විෂය පද්ධතිය තුළ සාහිත්‍යය අන්තර්ගත විය යුතුය කියන අදහස අපේ අධ්‍යාපන බලධාරීන්ටවත්, සංස්කෘතික ක්ෂේත්‍රයේ බලධාරීන්ටවත් ඇති වෙලා නැහැ. මේකෙන් අදහස් කෙරෙන්නේ නැහැ දරුවන්ට බලහත්කාරයෙන් සාහිත්‍යය පෙවිය යුතුයි කියලා. මේ වහලා තියෙන කෝෂ්ඨාගාරය විවෘත කරලා දෙන්න කියන එකයි අපි කියන්නෙ. එහෙම වුණොත් අපේ දරුවො වඩා යහපත් පුරවැසියන් බවට පත් කරගන්න හැකි වේවි. අධ්‍යාපනය තුළ සාහිත්‍යය නොසලකා හැරීමට ලක්ව තිබෙනවා. ඒ නිසා අද පරපුර සාහිත්‍යයෙන් ඈත් වෙලා සිටින බවක් පෙනෙනවා. 

අපේ අධ්‍යාපන ක්‍රමයේ පොඩි විකලාංග බවක් තියෙනවා. ඒකට හේතුව සාහිත්‍යය වැනි අත්‍යවශ්‍ය කොටස් අධ්‍යාපනයෙන් බැහැර කර තිබීමයි. විද්‍යාව, ගණිතය, තාක්ෂණය සහ වාණිජ්‍යය වැනි විෂයන් හදාරන අයටත් යම් ආකාරයකට සාහිත්‍ය කලාවේ උණුසුම් සුවඳ දැනෙන්න පුළුවන් විදියට මේ විෂය මාලාව සංවර්ධනය විය යුතුයි. විෂය මාලා සංස්කාරකවරු, අධ්‍යාපන බලධාරීන් සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ ක්‍රියාධරයින් කවුරුත් උනන්දුවකින් මෙවැනි කාරණා දෙස බලන බවක් පෙනෙන්න නැහැ. සංස්කෘතික ක්ෂේත්‍රය නොවැදගත් පාර්ශ්වයක් කියලා රජය කල්පනා කරනවා වෙන්න පුළුවන්. සංස්කෘතිය, සාහිත්‍යය සහ කලාව ආදිය මනුෂ්‍ය ජීවිතයේ බොහොම නොවැදගත් දේවල් කියලා ඔවුන් හිතනවාද දන්නෙ නැහැ. ඒ ආකල්පය තමයි මෙහිදී මූලිකවම වෙනස් වෙන්න ඕන. හැබැයි අද ඒ ආකල්පය වෙනස් වුණා කියලා ක්ෂණිකව වෙනසක් සිදු වන එකක් නැහැ. එහෙත් තව අවුරුදු දහයකින් හෝ එවැනි වෙනසක් ඇති කරගන්න නම් අද අප ඒ සඳහා සූදානම් විය යුතුයි. ඒ සඳහා ආකල්පමය වශයෙන් බලධාරීන්ගේ, දේශපාලනඥයින්ගේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේ ක්ෂේත්‍රයට යොමුවීම අත්‍යවශ්‍යයි කියලයි මම නම් හිතන්නෙ. 

සාකච්ඡා කළේ    [අජිත්  නිශාන්ත]

මාතෘකා