අවසර නොගෙන කළ පරිවර්තනවලින් බුද්ධිය ගසාකෑමක් වෙන්නෙ නෑ : ප්‍රවීණ පරිවර්තක සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන | ඇස පාදන රැස


අවසර නොගෙන කළ පරිවර්තනවලින් බුද්ධිය ගසාකෑමක් වෙන්නෙ නෑ : ප්‍රවීණ පරිවර්තක සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

 ඡායාරූපය:

අවසර නොගෙන කළ පරිවර්තනවලින් බුද්ධිය ගසාකෑමක් වෙන්නෙ නෑ : ප්‍රවීණ පරිවර්තක සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන

ගුරුවරයකු සහ විදුහල්පතිවරයකු ලෙස වසර ගණනාවක් සේවය කිරීමෙන් පසු සිය විශ්‍රාම දිවියේදී ‘ආදරණීය ගුරුතුමනි’ කෘතියත් සමඟ සාහිත්‍ය පරිවර්තනයට පිවිසෙන සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන මේ වන විට විදෙස් සාහිත්‍ය කෘති ගණනාවක් සිංහලට නඟා තිබේ. ඒ අතර ‘ලජ්ජා’ සහ ‘ප්‍රංශ පෙම්වතා’ නමින් කළ තස්ලිමා නස්රීන්ගේ කෘති දෙකක්ද, තස්ලිමාගේ කවි එකතුවක්ද, පර්ල් එස්. බක්, ආර්. කේ. නාරායන්, අැනීටා දේසායි ඇතුළු ලේඛක ලේඛිකාවන් රැසකගේ කෘතිද වේ. මේ, ඔහුගේ පරිවර්තන කලාව පිළිබඳව අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.   

මෑතකදී ඔබ පරිවර්තනය කළ සාහිත්‍ය කෘති මොනවාද? 
මෑතකදී ආරියරත්න ඇතුගල මහතා මට පොතක් ගෙනත් දුන්නා. ඒ, ඈන් පැචෙට් නමැති දකුණු ඇමෙරිකානු ලේඛිකාවකගේ ‘බෙල් කැන්ටෝ’ (Bel Canto) නවකතාව.ඉතින් මා එය පරිවර්තනය කරලා සරසවි ප්‍රකාශන ආයතනයට භාරදුන්නා. ඉන් පසුව ආර්. කේ. නාරායන්ගේ ‘වෙන්ඩර් ඔෆ් ස්වීට්ස්’ (Vendor of Sweets) කෘතියත් ‘රසකැවිළි වෙළෙන්දා’ නමින් පරිවර්තනය කළා. සදීපා ප්‍රකාශකයින් සඳහා ‘සෙවන් ඉයර්ස් ඉන් ටිබෙට්’ (Seven Years in Tibet) නමැති කෘතියත් පරිවර්තනය කළා.   

මෙයට පෙර පළ වූ ඔබේ පරිවර්තන සඳහා ලැබෙන ප්‍රතිචාර කෙබඳුද? 
මම මුලින්ම පරිවර්තනය කළේ රිකාඩෝ බ්‍රෙත්වෙයිට්ගේ ‘ටු සර් විත් ලව්’ කෘතියයි. ඒ කෘතිය පාදක කරගනිමින් නිර්මාණය කළ චිත්‍රපටයකුත් ඒ කාලයේ තිබුණා. ඒ පරිවර්තනයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. එය මුලින්ම පළ වුණේ රෝලන්ඞ් අබේපාල මහතාගේ සාර ප්‍රකාශකයින් විසින්. දෙවැනි මුද්‍රණයේ සිට එය සරසවි එකට දෙන්න කියලා ඔවුන් කිව්වා. දැන් ඒ කෘතියේ මුද්‍රණ වාර ගණනාවක් පළ වෙලා තියෙනවා. එය බොහොම ඉහළ මට්ටමින්ම අලෙවි වන බවක් පෙනෙනවා. එක් මුද්‍රණ වාරයක් අවසන් වූ වහාම තවත් මුද්‍රණයක් කෙරෙන තරමටම එය පාඨකයින් අතර ජනප්‍රිය වෙලා. ඉන්පසුව මා පරිවර්තනය කළ තස්ලිමා නස්රින්ගේ ‘ලජ්ජා’ කෘතියත් දැනට කිහිප වරක් මුද්‍රණය වෙලා තියෙනවා. මගේ පරිවර්තන සියල්ලම වගේ දිගටම මුද්‍රණය වෙනවා. සදීපා ප්‍රකාශන ආයතනය වෙනුවෙන් පරිවර්තනය කළ ‘මාරියම්’ කියන කෘතිය පමණක් අනපේක්ෂිත ගැටලුවක් නිසා එක් මුද්‍රණ වාරයකින් නැවතුණා. එය ඇෆ්ගන් ලේඛක ඛලීඩ් හුසේන්ගේ කෘතියක්. මහාචාර්ය සරත් විජේසූරිය ඒ කෘතිය සඳහා ප්‍රකාශන හිමිකම් ලබාගෙන තිබිලා තියෙනවා. සදීපා ප්‍රකාශන ආයතනය ඒ බව දන්නෙ නැතිව එය පරිවර්තනය කරන්න මට භාරදුන්නා. ඉතින් මාත් එය පරිවර්තනය කළා. ඒ පොත පළ වුණාට පසුව සරත් විජේසූරිය මහතා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති කරන්න උත්සාහ කළා. ඒ නිසා ඉන්පසුව ඒ පොත වෙළෙඳපොළට දැම්මේ නැහැ.   

ඔබ පරිවර්තනය සඳහා පොත් තෝරාගන්නේ කෙසේද? 
පරිවර්තනය සඳහා මට ලැබෙන පොත් ඔක්කොම මම භාරගන්නෙ නැහැ. මම ඉස්සෙල්ලාම බලනවා මට ඒක ගැලපෙනවාද කියලා. සදීපා ප්‍රකාශන ආයතනයෙන් මෑතකදී මට ඇමෙරිකන් පොතක් එවලා තිබුණා. ඒ පොතේ කතුවරයා ඉන්නෙ ප්‍රංශයේ. ඒ නිසා ඒ පොතේ ප්‍රංශ සහ ඕලන්ද වැනි භාෂා කිහිපයක් තියෙනවා. මම පොත ටිකක් කියෙව්වා. මට ඒක තේරුම් ගන්න බැහැ. ඒ නිසා මට පොත පරිවර්තනය කරන්න අපහසුයි කියලා මම එය නැවත ප්‍රකාශන ආයතනයට භාරදුන්නා. මම මෙතෙක් පරිවර්තනය සඳහා තෝරගෙන තියෙන්නේ මගේ දැනුමට අනුව වැටහෙන හොඳ මට්ටමේ කෘති පමණයි.   

පරිවර්තනයේදී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු මොනවාද? 
වචනයෙන් වචනය පරිවර්තනය කරන්න බැහැ. ඒක බොරුවක්. එහෙම කරනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක බොරුවක්. අපි පරිවර්තනය කරන දේවල් පාඨකයාට කියවන්න පුළුවන් වෙන්නත් ඕන. මුල් කෘතියේ ලේඛකයාගේ අදහස විකෘති කරන්නත් බැහැ. පරිවර්තනය මුල් කෘතියේ අදහසට ගැලපෙන්නම ඕන. ඒ අදහසට ගැලපෙන ආකාරයට සරලව පරිවර්තනය ඉදිරිපත් කළ යුතුයි. එහිදී අදහසට හානියක් නොවන පරිදි යම් යම් සංශෝධන කරගැනීමේ වරදක් නැහැ කියා මම හිතනවා. එහෙත් එවැනි සංශෝධන කළ සමහර අවස්ථාවලදී මට යම් යම් චෝදනා එල්ල වුණු අවස්ථාත් තියෙනවා. විශේෂයෙන්ම ‘ලැජ්ජා’ පරිවර්තනයෙදි මම මුල් කෘතියේ තැන් තැන්වලින් අයින් කරලා තිබුණා කියලා සමහරු කිව්වා. හැබැයි මම එහෙම දෙයක් කළේ නැහැ. කතාවට එතරම් අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය විස්තර කෘතියට හානියක් නොවන ආකාරයට සකස් කරගැනීමක් පමණයි මම කළේ. සිදුවීම් කිහිපයක් නැවත නැවත සඳහන් වන අවස්ථා ඒ කෘතියේ තියෙනවා. අහවල් මුස්ලිම් පල්ලියට ගිනි තිබ්බා, අහවල් හින්දු කෝවිලට ගිනි තිබ්බා වැනි සිදුවීම් ගැන විස්තර දින වකවානු දාලා සඳහන් කරලා තියෙනවා. ඒවා සාමාන්‍යයෙන් අපේ පාඨකයින්ට වැදගත් නැහැනෙ. ඉතින් මම ඒ සියල්ල ගණන් කරලා හින්දු කෝවිල් මෙතරම් ප්‍රමාණයක්ද, මුස්ලිම් පල්ලි මෙපමණ ප්‍රමාණයක්ද මෙලෙස විනාශ කරන ලදී කියලා සකස් කළා. එහෙම නොකළා නම් පාඨකයාට පරිවර්තනය කියවන්නත් කම්මැලි ඇති වෙන්න ඉඩ තියෙනවා. එවැනි දෙයක් කළේ ඒ පරිවර්තනයේදී පමණයි. අනිත් පරිවර්තනවලදී මම කවදාවත් එහෙම කරලා නැහැ. මම පරිවර්තනයක් කරන්නේ මුල් කෘතියේ අදහසට ගැලපෙන අතරම අපේ රටේ පාඨකයින්ට තේරුම්ගන්න පුළුවන් විදියටයි. මම හිතන්නෙ ඒ පරිවර්තන අපේ පාඨක සමාජය පිළි අරගෙන තියෙනවා. මගේ පරිවර්තන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති වී තිබෙන්නේ ඒ නිසා වෙන්න ඇති.   

පාඨකයින්ට පරිවර්තන වැදගත් වන්නේ කුමන ආකාරයටද?
ජාත්‍යන්තරයට අපේ පාඨකයින් ගෙනියන්න නම් පරිවර්තන තිබිය යුතුයි. වෙනත් භාෂාවකින් පළ වූ කෘති සිංහල භාෂාවට පරිවර්තනය වූ විට ඒවා ඔස්සේ ලෝකයේ විවිධ රටවල සමාජ, සංස්කෘතික සහ දේශපාලනික තත්ත්වයන් ගැන අවබෝධයක් ලබාගැනීමට අපේ පාඨකයන්ට හැකියාව ලැබෙනවා. අපේ අසල්වැසි රට වන ඉන්දියාව ගැන පවා වඩාත් හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා පරිවර්තන වැදගත් වෙනවා. කාලිදාසගේ පටන් බොහෝ ඉන්දියානු කෘති රාශියක් මේ වන විට සිංහලට පරිවර්තනය කෙරිලාත් තියෙනවනෙ. ඒ නිසා මම හිතන විදියට පරිවර්තන කියන්නේ සාහිත්‍යයේ වැදගත්ම අංගයක්. බොහෝ අය ලෝක සාහිත්‍යයේ හොඳ කෘති පරිවර්තනයට යොමු වෙන්නේ නැහැ. ඉදිරියේදී හෝ නව පරපුර ඒ කටයුත්තට යොමු වෙනවා නම් හොඳයි.   

ඔබ විශ්වාස කරන ආකාරයට ස්වතන්ත්‍ර කෘතිවලට සාපේක්ෂව පරිවර්තනවලට වැඩි ඉල්ලුමක් තිබෙන්නේ ඇයි? 
එසේ වන්නේ මෙරට පළ වන ස්වතන්ත්‍ර කෘතිවල ඇති දෙයට වඩා වෙනස් සහ වැදගත් යමක් පරිවර්තන කෘතිවල ඇති නිසා විය යුතුයි. වර්තමාන ලංකාවේ ලේඛක ලේඛිකාවන්ගේ ස්වතන්ත්‍ර කෘති ශාස්ත්‍රීය මට්ටමෙන් අඩු, සරල තේමාවන් ඔස්සේ ගමන් කරන ස්වභාවයක් තියෙනවා. අද පළ වන කෘති බොහොමයක්ම ලිංගිකත්වය වැනි එකම තේමාවක් වටේ කැරකෙන ගතියකුත් දකින්න පුළුවන්. ඒකට නම් මම වැරැද්ද පටවන්නේ ගුණදාස අමරසේකර මහත්තයටයි. අපි උසස් පෙළ පන්තිවල ඉන්නකොට තමයි එතුමාගේ ‘කරුමක්කාරයෝ’ පොත පළ වුණේ. ඒක මහා කුණුහරුප පොතක්නෙ. අන්තර්ජාතික සාහිත්‍යය පිළිබඳ දැනුමක් ඇතිවයි ඒ කෘතිය රචනා කළේ කියලා එතුමා ඒ කාලයේ කිව්වා. ඒ නවකතාව ගැන එතුමා ඒ කාලයේ මහා ඉහළින් කතා කෙරුවා. තරුණ කාලයේ එහෙම කියපු එතුමා පසු කාලයේදී කිව්වේ, “මං ඒ හැව අත්හැරියා, මට ඒ හැවෙන් වැඩක් නැහැ.” කියලයි. කොහොම හරි ඒ හැව අනිත් අය අතහැරියේ නැහැ. ඒ ඔස්සේ ගිහින් ලිංගිකත්වය පැත්තටම බොහෝ වර්තමාන ලේඛකයො යොමු වෙලා තියෙනවා. අද සාහිත්‍යයට ලිංගිකත්වය නැතුව බැරි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. ලිංගික අවස්ථා අමුඅමුවේ හුවා දක්වමින් අද බොහෝ අය පොත් ලියනවා. හුඟ දෙනෙක් කියවන්නෙත් ඒ වගේ දේවල් තියෙනවා නම් තමයි. ලිංගිකත්වය කියන එක ජාතක කතාවලත් තිබුණා. නමුත් ඒක බොහොම සභ්‍යශීලී විදියට ඉදිරිපත් කරලා තියෙනවා. අන්ධභූත ජාතකයේ මුල ඉඳලාම කියැවෙන්නේ කාම සම්බන්ධයක් ගැනයි. ඒ වුණාට ඒක කොච්චර අපූරුවට කියලා තියෙනවද? ඒ වුණාට අද ලියැවෙන බොහෝ පොත්වල ඒ තත්ත්වය නැහැ. මෙවැනි පසුබිමක් තුළ වෙනස් තේමාවන් සහ අත්දැකීම් සහිත විදෙස් කෘතිවල පරිවර්තනවලට පාඨකයන් වැඩියෙන් යොමු වනවා විය හැකියි.   

සාහිත්‍යය පරිවර්තනය හමුවේ ඇති අභියෝග මොනවාද? 
පරිවර්තනය පිළිබඳව නිසි අවබෝධයකින් හෝ විමසීමකින් තොරව ඇතැම් අය කරන පදනම් විරහිත විවේචනය එක්තරා ආකාරයක අභියෝගයක් විදියට මම සලකනවා. වරක් මගේ පරිවර්තන කෘතියක් ගැන විකල්ප පුවත්පතක එවැනි විවේචනයක් පළ කරලා තිබුණා. ඒ විවේචනය හුදු වචන ගොඩක් විතරයි. මට නම් ඒ ලියලා තිබුණු දේවල් තේරුණේ නැහැ. වසර ගණනාවක් සිංහල භාෂාව උගැන්වූ ගුරුවරයෙක් වගේම සිංහල භාෂාව ගැන ඉහළම දැනුමක් ඇති මගේ ගුරු මිත්‍රයෙක් ඒ විවේචනය කියවලා කිව්වේ ඒ ලියලා තියෙන කිසිම දෙයක් ඔහුටත් තේරුම්ගන්න බැරි බවයි. ඒ විවේචනය ලියපු ලේඛකයාට වුවමනා කරලා තිබුණේ ඔහුගේ දැනුම ප්‍රදර්ශනය කරමින් මගේ පරිවර්තනය හෑල්ලු කරන්න මිසක් හරවත් විවේචනයක් කරන්න නෙවෙයි. සමන් වික්‍රමාරච්චි මහත්තයාත් මගේ ‘ලජ්ජා’ පරිවර්තනය ගැන විචාරයක් ලියමින් පදනම් විරහිත චෝදනාවක් කරලා තිබුණා. මම ‘ලජ්ජා’ මුල් කෘතියේ කොටස් අයින් කරලා තියෙනවා කියලා එතුමා කියලා තිබුණා. මම අදත් අභියෝග කරනවා එතුමා මගේ ‘ලජ්ජා’ පරිවර්තනය කියවලා නෙවෙයි එවැනි ප්‍රකාශයක් කළේ කියලා. එතුමා මුල් පොත කියවන්න ඇති. හැබැයි මගේ පරිවර්තනය කියවලා නැහැ කියලා මම හිතනවා. අපේ පාඨකයින්ගේ පහසුව සඳහා මෙහෙම මෙන්න මෙහෙම සංශෝධනයක් කළා කියලා මම ඒ පරිවර්තන කෘතියේ පෙරවදනේ සඳහන් කරලා තියෙනවා. මම හිතන විදියට ඒක අල්ලගෙන තමයි එතුමා අදහස් පළ කරලා තිබුණේ. ඒ නිසා මෙවැනි සමහර විවේචන පරිවර්තකයනට එල්ල වන අභියෝග විදියට සැලකිය හැකියි. බොහෝ අයට ඕන කරන්නේ කෘතියක නරක කියන්න විතරයි. විවේචනය කියන්නෙ හොඳ දෙයක්. හොඳ විවේචන තිබිය යුතුයි. විවේචනයක් නැතිව රසයක් නැහැ. නමුත් විවේචනය නාස්තිකාර වෙනවා නම් ඒකෙන් පරිවර්තකයා මන්දෝත්සාහී වෙන්න පුළුවන්. ඒ තුළ ඉදිරියේදී බිහිවෙන්න තියෙන දෙයක් නැති වෙලා යන්න ඉඩ තියෙනවා.   

ප්‍රකාශන හිමිකම් පිළිබඳ ඔබේ අදහස කුමක්ද? 
පොතක් පරිවර්තනය සඳහා ප්‍රකාශන හිමිකම් ලබාගන්න වෙනත් රටවල ලොකු ප්‍රකාශන සමාගම් සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව ලංකාවේ බොහෝ අයට නැහැ. මට හිතෙන විදියට ප්‍රකාශන හිමිකම් සම්බන්ධ අනවශ්‍ය ගැටලු මතු කරගත යුතු නැහැ. අපේ රටට එන පොත් අපට පරිවර්තනය කරගන්න බාධාවක් නැහැ කියලා නීතියක් තියෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. ඕන නම් ඒ සඳහා නිශ්චිත කාල සීමාවක් දෙන්න පුළුවන්. ලේඛකයා මුල් කෘතිය රචනා කර අවුරුදු දෙකකට හෝ තුනකට පසුව අපේ රටේ එහි පරිවර්තනය පළ කිරීමට හැකියාව ලැබෙනවා නම් එය වටිනවා. එයින් මුල් ලේඛකයාට නරකක් සිදු වන්නේ නැහැ. ඒ ලේඛකයාට සහ ඔහුගේ කෘතියට වැඩි ප්‍රසිද්ධියක් සහ පාඨක පිරිසක් ලැබෙනවා. ඒ සඳහා මුල් ලේඛකයාට මුදලක් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට පිටරටවල ලේඛකයො කෝටිපතියොනෙ. අපේ රටේ එවැනි මට්ටමේ ලේඛකයො නැහැනෙ. අවසරයකින් තොරව පරිවර්තන කරන අය බුද්ධිමය දේපළ ගසා කනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. එහෙත් මම හිතන විදියට නම් පරිවර්තන කෘතිවලින් බුද්ධිය ගසාකෑමක් සිද්ධ වෙන්නෙ නැහැ. එහෙම කීම වැරදියි. ඇත්තටම සිදු වෙන්නේ එයින් තවදුරටත් බුද්ධිය විහිදීමක්. 

සාකච්ඡා කළේ    [මේනුක විතාන]

මාතෘකා