'ගිරි මුදුන මගේ නිවහන' මගේ වෙන වැඩක අතුරු ඵලයක් : ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

 ඡායාරූපය:

'ගිරි මුදුන මගේ නිවහන' මගේ වෙන වැඩක අතුරු ඵලයක් : ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන

ප්‍රජාතන්ත්‍රවාදය සහ සහජීවනය වෙනුවෙන් දීර්ඝකාලීනව කැප වූ පුරවැසි නායකයකු වන ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, 1991 සිට 2001 දක්වා දශකයක කාලයේ ක්‍රියකාරී වූයේ මෙරට ප්‍රථම ස්වාධීන විකල්ප සංස්කෘතික ආයතනය වූ විභවිය ගොඩනැඟීමේලාය. එහිදී ඔහු විශේෂ වශයෙන් සංස්කෘතික අයිතීන් සහ සංස්කෘතික පරිවර්තනය පිළිබඳව කතිකාවක් බිහි කිරීමට උත්සාහ කළ අතර සමාජ හා කලා සංස්කෘතික කරුණු අරබයා කෘති සම්පාදනයේදී නියුතු විය. ඒ අනුව ඔහු ලියා පළ කොට ඇති ශාස්ත්‍රීය සහ අර්ධ ශාස්ත්‍රීය රචනා සංඛ්‍යාව 200කට අධිකය. ඊට අමතරව ‘රත්නවල්ලි‘ වැනි නාට්‍ය කෘතියද ඔහු විසින් රචනා කරනු ලැබිණි. කෙසේ වෙතත් පසුගියදා ඔහු ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීය. ඒ, ‘ගිරි මුදුන මගේ නිවහන’ ය. විදර්ශන ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ එය නිමිති කර අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.  

‘ගිරි මුදුන මගේ නිවහන’ කාව්‍ය සංග්‍රහයේ නිර්මාණ පසුබිම කුමක්ද?   

ඇත්තටම මට කවි පොතක් මුද්‍රණය කිරීමේ අදහස හිතේ ඇති වුණේ ඉතා මෑතකදියි. වසර තුනකට පමණ ඉහතදී රුසියානු සිනමාකරු අන්ද්‍රෙයි තර්කොව්ස්කිගේ ප්‍රධාන ග්‍රන්ථය පරිවර්තනය කිරීමේ කාර්යයට මම අත තැබුවා. ඔහු තමන්ගේ පියා වූ අර්සේනි තර්කොව්ස්කිගේ කවි දහයක් පමණ සිය සිනමා නිර්මාණ තුළට ඇතුල් කරගෙන තියෙනවා. ඉතින් මේ ග්‍රන්ථයේ ඒ කවි අඩංගුයි. මා අත ගසා තිබුණු පරිවර්තන කාර්යයේදී වඩාත් අමාරු කොටස කවි පරිවර්තනය බව දන්නා නිසා මා මුලින්ම කළේ ඒ කවි පුළුල්ව අධ්‍යයනය කරමින් පරිවර්තනය කරන්න වෑයම් කිරීම. ඒකෙන් වුණේ කවිවලට මගේ රුචිය ගෙල මුලින්ම හසුවීම. ඉන් පසුව තර්කොව්ස්කි කවියාගේ සමකාලීන, මා බෙහෙවින් කැමති, කවි කිවිඳියන් කිහිප දෙනෙකුගේ කවිත් මම පරිවර්තනය කළා. අන්න එතකොට රුසියන් කවි පොතක් කිරීමේත් අදහස මා තුළ ඇති වුණා. එහෙත් කාව්‍ය පරිවර්තනය කියන්නේ සංකීර්ණ නිර්මාණ ශ්‍රමයක් ඉල්ලා සිටින, නිර්මාණාවේශය පුබුදු කරන වැඩක්. ඔයින් මෙයින් මගේ කවිත් ලියවෙන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලය තමයි මේ කවි පොත. මුලින් හිතපු රුසියන් කවි පොත තවම මඟ! ඒ නිසා ‘ගිරි මුදුන මගේ නිවහන’ කාව්‍ය සංග්‍රහය මගේ වෙනත් කාර්යයක අතුරු ප්‍රතිඵලයක්.   

මේ කෘතිය ආරම්භයේ ඔබ කවීන් පස් දෙනෙකු වෙනුවෙන් පිදුමක ආකාර සටහනක් තබා තිබෙනවා?   

ඒ තිළිණ සටහනේ ඔවුන් පස් දෙනා ගැන මම දකින ආකාරය අදහසක් වශයෙන් කැටි කොට තියෙනවා. මේ පස් දෙනා පංචාකාරයකින් අද්‍යතන සිංහල කවියේ අනුභූතික පරාසයන් සියුම් හා ගැඹුරු කිරීමට මෙන්ම එහි නිර්මාණාත්මක වපසරිය පුළුල් කිරීමට මැදිහත් වූ සහ දැනුත් මැදිහත් වන විශිෂ්ටයින් ලෙසයි මට පෙනෙන්නේ.   

විවිධ අයුරින් කවිය ඇසුරු කරන, විචාරය කරන සහ ඒ පිළිබඳව කතාබහ කරන ඔබ ඔබේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය සඳහා මෙපමණ කලක් පමා වූයේ ඇයි?   

මගේ අනන්‍යතාව සරල රේඛීය නැතිව ඇති. උදාහරණයකට ගත්තොත් රුසියාවේ ඉගෙනගන්න කාලයේ වගේම ලංකාවට ඇවිල්ලත් මම සංගීත නිර්මාණ රාශියක් සංරචනය කරලා තියෙනවා.  ජාත්‍යන්තර තරුණ සංගීත වේදිකාවල පවා මම ගායනා කරලා තියෙනවා. ඊට සහතික පවා ලැබිලා  තියෙනවා. එහෙත් මම සංගීතඥයෙක් වෙන්න ඕන කියලා මට හිතුණෙ නැහැ. කවියත් මගේ  ජීවිතේට සම්බන්ධ වෙලා තියෙන්නේ ඒ විදියටයි. මම හැමදාම කවි ලිව්වා. සමහර විට කාව්‍ය භූමියට සම්බන්ධ නිර්මාණ මම කරලා තියෙනවා. කේමදාසයන් වෙනුවෙන් කළ ‘මානස විල’,  නැත්නම් මගේ නාට්‍ය නිර්මාණය ‘රත්නවල්ලි’ වගේ ඒවා උදාහරණ හැටියට දක්වන්න පුළුවන්. ධර්මසිරි බණ්ඩාරනායක නිසා බ්‍රෙෂ්ට් නිර්මාණය ඇසුරින් කරපු ‘යක්ෂාගමනය’ නාට්‍යයත් කාව්‍ය ශ්‍රමය ඉල්ලන වැඩක්. එහෙත් මම කවියෙක්ය කියන අදහස නම් මගේ ඔළුවට ආවේ නැහැ.   

පෙරවදනෙහි ඔබ සඳහන් කරන පරිදි මේ කවි “අද්‍යතන සිංහල කවිය අනුදත් කතිකා රාමු සමග  යම් ආකාරයෙන් විසංවාදී විය හැකි” වන්නේ කෙසේද?   

සම්මත කාව්‍ය අනුභූතික වපසරියට ආගන්තුක දේ මේ පොතේ තියෙන්න පුළුවන්. ඒ වගේම, කවි සිරුරේ ප්‍රමාණය හා එය සංරචනය කිරීමේ ක්‍රම, ආඛ්‍යානයේ විශේෂතා යනාදී හැම පැත්තක්ම සම්බන්ධයෙන් වෙනස් දේ තියෙන්න පුළුවන්. එහෙම වුණාම පවත්නා ‘රසික වින්දන පුරුදු’ සමඟ  විසංවාදයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මම ඒ තත්ත්වය භාරගන්න සූදානමින් ඉන්න ඕන බව මම   දන්නවා.   

මෙහි ඇති කවි පරිච්ඡේද අටකට ගොනු කරනවා?   

ඊට හේතු මම පෙරවදනේ දක්වලා තියෙනවා. කාව්‍ය ග්‍රන්ථයට කිසියම් පිළිවෙළක් ලබා දෙන්නයි  මට ඕන වුණේ. කවිය කියන්නේම මිනිස් විඥානය සියුම් පිළිවෙළකට සකස් කිරීමේ භාවිතාවක් විදියටයි මට දැනෙන්නේ.   

කෘතියේ අගට ‘අත්වැල’ එක් කිරීමට තීරණය කළේ ඇයි?   

එවැනි කොටසක් එක් කළේ ඇතැම් කවියක පරිශීලන අවකාශයට කෙළින්ම පිවිසෙන්න බොහෝ රසිකයින්ට අපහසු වේවි සහ ඒ සඳහා යම් අත්වැලක් අවශ්‍ය වේවි කියා මට සිතුණු නිසායි.   

ඔබේ කවියට සෝවියට්/ රුසියානු කවියේ බලපෑම ලැබී තිබෙනවා යැයි ඔබ විශ්වාස කරනවාද?   

නිර්මාණකරුවකුගේ නිර්මාණවලට අදාළ මූලික සන්දර්භ තුනක් තියෙනවා කියා කියන්න පුළුවන්. පළමුවැන්න ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික ජීවන අනුභූතීන්. දෙවැන්න මේ යුගය හා කාලය පිළිබඳ සමාජ දේශපාලන සන්දර්භය. තෙවැන්න එකී නිර්මාණ සම්ප්‍රදායන් හා ශානර පිළිබඳ සන්දර්භය. මම ගත්තොත් මං 1971 සිට 1981 දක්වා වසර දහයක් ජීවත් වූ රට වුණේ රුසියාව. ඉතින් රුසියාව අර සන්දර්භ තුනම සම්බන්ධයෙන් මා කෙරෙහි බලපෑමක් ඇති කළා වෙන්න ඕන.   

මේ කෘතියට ඇතුළත්ව ඇති කෙටි කවි ගැන යමක් කියනවා නම්?   

මම කැමතියි ඒ ප්‍රශ්නය විවෘතය තබන්න. රසිකයින් ඒ කවි කියවා මට යමක් කියනවා නම් වඩා හොඳයි කියා මා සිතනවා.   

කෙටි කවි ගැන ඔබේ අදහස කුමක්ද?   

ලෝක සාහිත්‍යය උසස් කෙටි කවිය කරා ආ පාර දිගයි. ලෝකයේ මුලින්ම පද්‍ය නිර්මාණ බිහි වුණේ කෙටි පද්‍ය වශයෙන් කවි ලියන්න නෙවෙයි. පද්‍ය බැන්දේ වෙන වැඩකටයි. ලෝකයේ දක්නට ලැබෙන මුල් කෙටි පද්‍ය ‘ඉන්ස්ක්‍රිප්ෂන්’ (Inscription) නමින් හැඳින්වෙනවා. ඒවා ශිලා ලෑලි මත,  හරියට අපේ කෙටි ශිලා ලිපි වගේ, හෝ වෙනත් ස්මාරකවල කොටන ලද කෙටි, මතක හිටින සංදේශ ලෙස බිහි වුණා. පසුව ටිකක් ජනප්‍රිය සාහිත්‍ය භාවිතාවක් ඔස්සේ ‘එපිග්‍රම්’ (Epigram)  නමින් තවදුරටත් කෙටි පද්‍ය ස්ථාපනය වුණා. ව්‍යක්ත, සමහර විට උත්ප්‍රාසාත්මක අදහස් ඉතා කෙටියෙන් භාෂාවේ ශිල්පීය සම්පත් බුහුටි ලෙස භාවිත කොට ගොනු කිරීමක් ලෙස එය සැලකුණා. එහෙත් කෙටි කවිය යනුවෙන් හැඳින්විය යුත්තේ පසුව වර්ධනය වන ඉතා දියුණු කවි මඟක්. චීනයේ  සහ ජපානයේ මේ කවිය ඉතා ඉහළ මට්ටමකට වර්ධනය වුණා.   

ජපන් හයිකු ආකාරයේ කෙටි කවි පිළිබඳව මෙරට කාව්‍ය සමාජය තුළ කෙරෙන කතාබහ ගැන ඔබේ අදහස?   

ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ ප්‍රමුඛ කවීන් කිහිප දෙනෙක්ම ජපන් හයිකුව ගැන  ප්‍රයෝජනවත් සංවාදයක් ආරම්භ කළා. එහෙත් ඒ සංවාදය විසින් මතු කරන්නට උත්සාහ කළ හයිකුවේ නිර්මාණ ලක්ෂණ සහ දාර්ශනික මානය ආශ්‍රිත යම් ප්‍රමිතීන් ගැන සංවේදීතාවක් කෙටි කවි ලියන්නට උත්සාහ කරන බොහෝ දෙනෙක් තුළ තවම ඇති බවක් පෙනෙන්නේ නැහැ.   

අද දවසේ සිංහල කවිය ගැන ඔබේ අදහස?   

දශකයකට කලින් සිංහල කවිය තිබුණේ අපේ කෙටිකතාවට හෝ නවකතාවට වඩා පසුපසින්. දැන් තත්ත්වය යහපත් වෙමින් පවතිනවා කියලා මම හිතනවා.   

අද වන විට කාව්‍ය විචාරය ප්‍රමාණවත් මටට්මකින් සිදු වෙනවා යැයි ඔබ සිතනවාද?   

විද්වතුන් දෙතුන් දෙනෙක් නොකඩවා හා විධිමත්ව විචාර මැදිහත්වීම් කරනවා. අපට තියෙන සීමිත  අවකාශ ඇතුළේ සංවාද විවාද ඇති වෙනවා. මේ තත්ත්වය දෙස නැවත හැරී බැලුවොත් දශකයකට  පෙර හිටි තැනට වඩා ඉදිරියට යෑමක් හැටියට දකින්න පුළුවන්. එහෙත් මනුෂ්‍යයින් වශයෙන් පොදුවේ අපේ සමාජ - සංස්කෘතික දුබලතාත්, අප ජීවත් වන රුදුරු තරගකාරී සමාජය විසින් ඇති කරන සදාචාර ගැටලුත් අපේ සාහිත්‍ය සංස්කෘතිය තුළ විචාර භාවිතාවන් තුළ, නරක ලෙස  බලපවත්වනවා. ඒකට විසඳුම තියෙන්නේ සාහිත්‍යය තුළම නෙවෙයි.   

ආකෘතික අත්හදාබැලීම් කවියට වැදගත්ද? එවැනි අත්හදාබැලීම් අද සිදු කෙරෙනවාද?   

සෑම හොඳ කවියෙක්ම තමන් මේ වන විට ප්‍රගුණ කර සිටින ශිල්පීය රාමුවලින් සෑහීමට පත් වෙන්නේ නැහැ. තමන් කවියට ගෙනෙන අනුභූතික සංසිද්ධීන්ගේ බලපෑම නිසා නැවත නැවත ආකෘතික ගවේෂණයේ යෙදෙන්නට කවියාට සිදු වෙනවා. 

තාක්ෂණයේ දියුණුවත් සමඟ වෙනත් රසවින්දන මාධ්‍යයන්ගේ පැමිණීම වැනි විවිධ හේතු මත අද පාඨක ප්‍රජාව අඩු වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ කවිය වැදගත් මාධ්‍යයක් වේද?   

භරතමුනි සමඟ ඈඳී තියෙන රස වින්දනය කියන සංකල්පය සමඟ මා එකඟ නැහැ. සාහිත්‍යයික විඳීමේ ස්වභාවයන් භරත මුනි හිතුවාට වඩා සංකීර්ණයි, ගැඹුරුයි. ඒ නිසා සාහිත්‍යයේ සමාජ -  සංස්කෘතික - ආධ්‍යාත්මික කාර්යභාරයන් විශාලයි, සියුම්. ඒ වගේම අනාදේශිතයි. රටක විනෝදාස්වාද කර්මාන්තය කෙතරම් ලොකු වුණත් එයට බැහැ දියුණු සාහිත්‍යයක් විසින් සමාජ විඥානයේ පෝෂණය උදෙසා ලබාදෙන ගැඹුරු දායාදයන් වෙනුවට ආදේශකයක් වෙන්න.   

ෆේස්බුක් කවි ගැන ඔබේ අදහස කුමක්ද?   

ෆේස්බුක් අපේම සමාජයේ පිළිබිඹුවක්. වඩා නරක පැති ඉදිරියට ගන්නා වූ පිළිබිඹුවක් විදිහටයි එය මට පෙනෙන්නේ. කවිය සංවර්ධනය කිරීමේ කාර්යය සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් කරන්න එයට හැකි යැයි මම විශ්වාස කරන්නේ නැහැ. 

‘ගිරි මුදුන මගේ නිවහන’ කවි පොතට මේ වන විට ලැබෙමින් පවතින ප්‍රතිචාර කෙබඳූද?   

තවම ඒ ගැන කිසිවක් කියන්න බැහැ. වැඩිපුර තියෙන්නේ නිහඬතාවයි.   

එවැනි ප්‍රතිචාර කවියාට වැදගත්ද?   

කවියෙකුට ඉදිරියට යන්න සාධාරණ ප්‍රතිචාර වැදගත්. එහෙත් මගේ තත්ත්වය නම් ටිකක් වෙනස්  කියලයි මට හිතෙන්නේ. ප්‍රතිචාර තිබුණත් නැතත් මා අතින් කවි ලියැවෙයි.   

තවමත් මෙරට කවි පොත් අලෙවිය අඩු යැයි කියනවා?   

ඔව්. සැලකිය යුතු මට්ටමේ කාව්‍ය පාඨක ප්‍රජාවක් තවමත් අපට නැහැ.   

ප්‍රජාතන්ත්‍රවාදය සහ සහජීවනය වෙනුවෙන් දීර්ඝකාලීනව කැප වූ අයෙකු හැටියට කවිය එවැනි කටයුතු සඳහා සක්‍රියව යොදාවාගත හැකි යැයි ඔබ විශ්වාස කරනවාද?   

එවැනි සමාජ ඉලක්ක සඳහා ප්‍රචාරාත්මක හෝ අධ්‍යාපන මෙවලමක් වශයෙන් එක්තරා වර්ගයක පද්‍ය භාවිත කෙරුණත් කවිය එවැනි වැඩකට සෘජු ආකාරයෙන් භාවිත කරන්න බැහැ. එහෙම කිරීමට අවශ්‍යත් නැහැ. කවියේ කාර්යභාරය තියෙන්නේ වෙන මානයකයි. කවිය, අනෙක් සාහිත්‍ය භාවිතාවන් වගේම සමාජ විඥානයට ඉතා සියුම් ලෙස බලපෑම් කරනවා. වඩා දියුණු මානුෂික සම්බන්ධතා ලෝකය සමඟ ඇති කරගන්නා වූ සංවේදී මිනිසෙක් නිර්මාණය කිරීමේ කාර්යයේදී කවිය ඉහළ ධාරිතාවක් පෙන්වන සංස්කෘතික ශක්ති විශේෂයක්. අන්න ඒ අර්ථයෙන් නම් කවිය ප්‍රජාතන්ත්‍රවාදයට සහ සහජීවනයට සම්බන්ධයි.

සාකච්ඡා කළේ    [මේනුක විතාන]
ඡායාරූප    [සුදම් ගුණසිංහ]

මාතෘකා