සිරීපාදෙට කුණු එපා

 ඡායාරූපය:

සිරීපාදෙට කුණු එපා

 

මෙවර අපි සිරිපාදේ ගියේ තවත් විශාල ව්‍යාපෘතියක් වෙනුවෙන්. ඒ පරිසරය රැකීම වෙනුවෙන් ප්ලාස්ටික් බෝතල් ජලය භාවිතය අවම කිරීමේ අරමුණ ඇතිව සිරිපාදේ මාර්ගයට සෞඛ්‍යාරක්ෂිත තිරසර ජල නල පද්ධතියක් එක්කිරීමේ සිහිනය සැබෑවක් කිරීමේ අරමුණින්.

ඒ සඳහා වෘත්තීයවේදීන් පිරිසක් අප සමඟ එක්වූ අතර ඒ අතර වූ ඉංජිනේරුවන්, මැනුම් ශිල්පීන් හා සැලසුම් නිර්මාණ ශිල්පීන් විසින් එම ජල නල පද්ධතිය සැකසීමට අවශ්‍ය කරන මිනුම් හා දත්ත එක්රැස් කරගනු ලැබුවා. ඊට අමතරව ගංගා 6ක් ඇරඹෙන සමනල කන්දේ දිය දහරාවක් සොයා කැලය පීරා ගොස් ජලය ලබා ගැනීමට සුදුසු ගොඩනැඟීමක් කිරීම වෙනුවෙන් තොරතුරු රැස්කර ගත්තා. එසේ එම ව්‍යාපෘතියේ මූලික අධීක්ෂණ කටයුතු සාර්ථකව නිමකළා. එය අපට සතුටක් වුවත් එහිදී දැකගැනීමට ලැබුණු දේවල්වලින් අපේ සිත් කනගාටුවට පත්වූ බවත් කිව යුතුයි.

සිරිපාදේට වතුර ලබාදීමේ සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා අපි හැටන් මාර්ගයේ ඉඳිකටුපාන අසලින් කැලෑවේ ඇතුළට පිවිසුණේ කුඩා අඩිපාරක් දිගේ. ඒ ජලය ලබාගත හැකි දිය උල්පතක් හොයන්නයි.

අපි හිතන්නේ සිරිපාදේ කුණු තියෙන්නේ පාර දෙපැත්තේ විතරයි කියලා. ඒත් ඒ අදහස අප ලැබූ අත්දැකීමත් සමඟ වෙනස් වුණා. ඒ මඟ දුටු දෙයින් අපේ හදවත බොහෝ කම්පාවට පත්වුණා.

ඒ වසර කිහිපයක් තිස්සේ ඒ මහ කැලෑව තුළ එකතු වී තියෙන කුණු දැකීමෙනුයි. එම කුණු අතර ඇති බිස්කට් පැකට් ඇසුරුම්වල නිශ්පාදිත දිනය පරීක්ෂා කර බැලීමෙන් අපට තේරුම් ගියේ ඒවා මීට වසර 5-10ත් අතර තරම් කාලයක් කැලය තුළ තිබෙන බවයි. මේවා ගැටගැසූ ගෝනිවලින් ගෙනැවිත් කැලයට විසිකර තිබීමෙන් අපගේ නිගමනය වූයේ ඒවා වෙළෙඳසැල්වල එකතු වූ කුණු බවත් ඒවා පහළට ගෙන නොයා කැලය ඇතුළත සැඟවීමට උත්සාහ දරා ඇති බවත්ය.

"මහවැලි කැලණි කළු වලවේ යන ගංගා

සමනොල කන්ද මුදුනේ සිට පැන නැංගා"

එලෙස කවියට නැඟී ඇත්තේ සමනල කන්දේ ඇති ජලපෝෂක ශක්තිය පිළිබඳව පැරැන්නන් පවා දැන සිටි නිසාය. එම ගංගා හතරටම ජලය සපයන ලංකාවේ ප්‍රමුඛම කඳුකර වැසි වනාන්තර කලාපයක් සමඟ අප මෙලෙස සෙල්ලම් කරමින් සිටීම අපේ අනාගතය ඇත්තෙන්ම අනතුරේ දැමීමක් නොවේද?

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කාර්යාලයක් පවා පිහිටුවා මෙම වෙළෙඳසැල්වලින් කුලියක් පවා අය කළද ඔවුන්ගේ ක්‍රියාවන් පාලනය කිරීමට එම නිලධාරීන් හෝ ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවන බවයි අපට වැටහී ගියේ.

වෙළෙඳසැල්වලින් ඉවත් කරන කුණු සහ වන්දනාවේ එන මිනිසුන් විසින් විසි කරන දෑ පහළට ගෙන ඒමේ නිසි ක්‍රමවේදයක් සකස් කිරීම විශාල අසීරු කටයුත්තක් නෙවෙයි. එක zip line එකක් දැම්මා නම් ගෝනි පිටින්ම පහසුවෙන් පහළට ගෙන ආ හැකියි. එවැනි වැඩක් කරන්න සිවිල් සංවිධානයක් විදියට අමාරු නමුත් කරන ආකාරයට පෙන්වා දිය හැකියි.

සමනල කන්ද කියන්නේ රටේ ජීවනාලිය බඳු ස්ථානයක්. සිංහරාජය, සමනල, හෝර්ටන් තැන්න, නකල්ස් කියන්නේ රටේ ජීවනාලිය බඳු ජල පෝෂන ප්‍රදේශ. එම ප්‍රදේශ සමඟ මේ විදියට වගකීමෙන් තොරව සෙල්ලම් කිරීම රටේ අනාගතය විනාශ කර දැමීමක් නොවේද?

කැලය තුළ තිබෙන මේ විශාල කුණු ගොඩ ඉවත් කර පිරිසුදු කිරීමට ඔබටත් එකතු විය හැකි නම් එය පරිසරයේත් රටේ අනාගතයත් වෙනුවෙන් කරන විශාල සේවයක් බවත් මතක් කළ යුතුමයි. ඒ සඳහා අවම තරමින් පුද්ගලයන් විසිදෙනකුගෙන් යුතු කණ්ඩායමක්වත් අවශ්‍ය වන බවත් කිව යුතුයි.

 

වෛද්‍ය [පැතුම් කර්නර්]

News Order: 
1
මාතෘකා